පියවි ඇසට නොපෙනෙන ලෝකය

ඇදුරෝ භූතයන්ගේ සම්බන්ධය හෙවත් භූතයන් ලවා අවශ්‍යතා ඉටු කර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර භාවිත කරන්නට වූහ. කර්මානුරූපව හෝ බන්ධනයකින් හෝ කෙනකුට හිරිහැර කරන භූතයන් අල්ලා බැඳ බෝතලවල අසුරා කොන්ක්‍රීට් දමා සිර කොට මුහුදු පතුලට යැවීම යකැදුරන් විසින් සිදු කරනු ලැබීම ඊජිප්තු ආදී රටවල පවා අෑත අතීතයේ සිටම සිදුවී ඇත.

එසේම යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාකාරකම්වලින් අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට හිරිහැර සිදුවන නිසා භූතයෝ යකැදුරන්ට බියක් දක්වති. ඔවුන් දුටු විට පලා යති. දුර්වල භූතයෝ යකැදුරන්ට අසුව දුක් විඳිති. සමහරු කඹුරති. භූතයන් පමණක් නොව සෑම සත්ත්වයකුම තමන්ගේ නිදහස අහිමි වෙනවාට අකැමැතිය.

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කුසුමා හැට හැවිරිදි විවාහක කාන්තාවකි. දරුවන් පස් දෙනකු බිහි කළ මවකි. ඇගේ දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකුම තුන් වසරක් තුළ මරණයට පත්ව ඇත. ලොකු පුතා මානසික අවුලකට පත්වී සිටි අතර ඔහු වැවට නාන්නට ගොස් ආපසු ගෙදර ආවේ නැත. ඔහුගේ මළ සිරුර වැව් දියේ පාවෙමින් තිබී ගම්මුන්ට දැක ගන්නට ලැබී ගොඩගනු ලැබිණි. දෙවැනි පුතා දුම්රියක් එද්දී රේල් පාර දිගේ කල්පනා කරමින් ගමන් කරමින් සිට එහි හැපී මරණයට පත්ව ඇත. තුන්වැනියා වූ දුව රහසිගතවම ගැබ්ගෙන සමාජයට මුහුණදිය නොහැකිව වස පානය කොට මියගොස් ඇත.

කාලයක සිට රාත්‍රියට නිවෙසේ කෙනකු ඇවිදින අඩි සද්ද ඇසෙන්නට විය. කෙනෙකු තදින් හුස්ම ගන්නා සද්ද ඇසෙන්නට විය. සාත්තර අහන්නට ගිය විට මේ ගෙදරට කොඩිවිනයක් කර ඇතැයි කියැවී ඇති බැවින් තොවිල් පවිල් වලට රුපියල් ලක්ෂ ගණනක් වියදම් කළත් පවතින දෝෂ, දුක් කරදර නිමා වී නොතිබිණි. තොවිල් කළත් දින දෙක තුනක් ගතවන විට පෙර පැවැති තත්ත්වයම උදාවිය.

පවුලේ හතරවැනි පුතා චාමර 'මව්බිම' පත්‍රයේ පළ වන 'මළවුන්ගේ හෝරාව' විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සිය මෑණියන් කැටුව පැමිණියේය. එහිදී ආධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරියට කුසුමා පැමිණියේ "අනේ බුදු මහත්තයෝ මගේ ඉතුරු දරු දෙදෙනාගේ ජීවිත බේරා දෙන්නැ"යි අඬාගෙනය. තම පවුලට එළැඹී ඇති තත්ත්වය චාමර විස්තර කළේය. ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට මේ දෙදෙනාට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවක්
පැහැදිලි නොවීය. එහෙත් ඔවුන්ගේ ශක්ති ශරීර කඩතොළු ඇති බව පැහැදිලි විය.

"ඔබේ අමනුෂ්‍ය දෝෂය සංකීර්ණයි. පැහැදිලි නෑ. මේක සංසාරගත පාපකර්මයක විපාකයක් බවයි පෙනෙන්නට තියෙන්නේ. ඔය දෙදෙනාගේ සිත් දෙකත් අවුල්. ඒක නිසා සිත ඒකාග්‍ර වෙන්න ඕනෑ. එතකොට ශරීරයේ ශක්ති වළල්ල (ඕරා) සකස් වෙනවා. ඒකට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධිපූජා විසි එකක් පවත්වා නැවැත එන්නැ"යි ගවේෂකවරයා මේ මවටත්, පුතාටත් උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවැත පැමිණියහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට කුසුමා භූතාවේෂයෙන් ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට වී කෑ ගසන්නටත් අඬන්නටත් වූවාය.

"කවුද මේ කෑ ගහන්නේ" යි ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
"මම කමල්"
"කවුද කමල් කියන්නේ"
"මේ මගේ පුංචි අම්මා. මම මෙයාගෙ අක්කගෙ පුතා"
"මොනවා වෙලාද මැරුණෙ"
"පසුගිය භීෂණ කාලෙ මැරුණෙ. වෙඩි වැදිලා"
"මැරුණට පස්සෙ මොකද වුණේ?"

"මැරුණාට පස්සෙ පාවෙවී හිටියා කාලයක්. ඊට පස්සෙ අම්මව මතක් වුණා. මතක් වෙනකොටම මම ගෙදරට ඇවිත් හිටියා. මට බොහෝ දේවල් කියා ගන්න ඕනෑ වුණා. ඒවා අම්මාට කිව්වාට එයාට ඇහුණේ නෑ. මම අම්මාට ආදරෙයි. මට ඕනෑ වුණා මා ඉන්නා තැනට අම්මාව අරගෙන යන්න. අම්මා අසනීප වුණාම මුන් කට්ටඩි ගෙනැල්ලා මාව බෝතලයකට දාන්න හැදුවා. ඒක කතාවෙනකොට මට දැනුණා. මම ඉස්සර අහලා තිබුණා බෝතලයකට දාලා මූදෙ දාන කතාව. මම මුන්ට අහුනොවෙන අෑතට පැනලා ගියා. ඒත් සැරෙන් සැරේ ඇවිත් එක එකාව පිස්සු වට්ටලා මැරුවා. මම මුන් එක්ක තරහයි. ඒකයි මේ පළිගන්නේ" යි භූතයා කීවේය.

"තමුන් කරන දේ වැරැදියි. මේ මනුෂ්‍ය භාවය ඉතාම වටිනවා. ඉතින් මේ මිනිස් ලෝකයේ ඉන්න අම්මාව මරාගෙන යන්න හිතන එකත් මහා පාපයක්" යැයි ගවේෂකවරයා කීවේය.

"ඔය බණ මට වැඩක් නෑ. මම මිනිස් ලෝකෙ ඉන්දැද්දිත් දරුණු වැඩ කළ කෙනෙක්. මට ඕවා ඒ තරම් දේවල් නෙමෙයි. මුන් මාව බැඳලා බෝතලේට දැම්මා නම් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වෙනවා. මම ඒකට පළිගන්නවා. මේකිගෙ පවුලම මරනවා. මාව වළක්වන්න කාටවත් බෑ"

මේ භූතයා දරුණු වෛරයකින් පෙළෙන බැවින් හොඳින් කතා කළාට නම්‍යශීලී නොවන බව වටහා ගත් ගවේෂකවරයා ආධ්‍යාත්මීය කිරණ ශක්තියෙන් දවාලීය. පුවක් මලක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට දිනපතා උදේ හවස නිතර බෝධි පූජා පවත්වන බෝධියක හොඳින් සුවඳ දුම් වදින ඉහළ අත්තක එය එල්ලා තබන ලෙස කුසුමාගේ පවුලේ අයට උපදෙස් දුන්නේය. එසේම සතියක් බෝධි පූජා පවත්වමින් ඔහුට පින් අනුමෝදන් කොට බෝධීන් වහන්සේටත් පුවක් මලටත් සුවඳ දුම් අල්ලා සතිය අවසානයේ පුවක් මල නැවැත රැගෙන එන ලෙස උපදෙස් දුන්නේය.

බෝධි පූජාව අවසන් කොට ඔවුහු පුවක් මලද රැගෙන නැවැත පැමිණියහ. එදිනද කුසුමා ආවිශ්ට වූ පසු භූතයාගේ වෛරය පළිගැනීමේ අදහස අඩුවක් වී නොතිබුණු බැවින් නැවතත් ශක්ති කිරණ එල්ල කොට දවාලීය.

භූතයා අඬන්නට ගත්තේය. "එපා... එපා... මාව පුච්චන්න එපා. මම යන්නම්. අනේ මට කරදර කරන්න එපා. මම යන්නම්, කියන තැනකට යන්නම්" යැයි බැගෑපත් වූයේය.
පලතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට ඔවුන් ලවාම අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීය.

කුසුමාටත් පවුලේ සියලු දෙනාටත් කුසුමාගේ අක්කාටත් නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.


No comments:

Powered by Blogger.