මහ රෑ ආ සන්නි යකා ජිනදාසට මරු පෙන්වයි

ජිනදාස උත්සහවන්ත මෙන්ම කඩිසර ගොවියෙකි. උදෑසනම නැඟිට කුඹුරට යන ඔහු පොළොවට කළුවර වැටෙන තෙක්ම කැත්ත, උදැල්ල සමග වෙහෙසෙන්නේ අක්කරයකට ආසන්න කුඹුරේ සියලූ වැඩ කටයුතු සිදුවූයේ ඔහුගේ තනි මහන්සියෙන් වූ නිසාය. දරුවන් තිදෙනකුගේ පියකු වූ ජිනදාස මැදිවිය ඉක්මවා සිටියද පිරිපුන් ශරීරයකින් යුතු පුද්ගලයෙකි.
සමනළගිර පෙනෙන මානයේ ගමක පදිංචිව සිටි ඔහු අවාරයේදී වැටෙන
වැසි සමගම ඇළ අමුණු ප‍්‍රචණ්ඩ වන අයුරු පිළිබඳ හොඳින් දැන සිටියේය. තම ශ‍්‍රමය මෙන්ම තම ජීවිතය බඳු වූ කුඹුරුයාය රැුකගැනීම මෙවන් වකවානුවකදී දැඩි වෙහෙසක් දැරිය යුතුය. ඒ නිසාම රාත‍්‍රී නින්දට පෙර නියරවල් කැඞී බිඳී ගොස් ඇතිදැයි කියා බැලීම ඔහු පුරුද්දක් ලෙසින් කළ කාර්යයකි. එදිනද ජිනාදාස රාත‍්‍රී නමයට පමණ කෑලි හතරේ විදුලි පන්දමද ගෙන කුඹුර දෙසට ගමන් කරන්නට විය.

සිහින් සිරිපොදයක් සමඟම පැතිර තිබූ තරමක මිහිදුම, පරිසරයේ ඇති කළේ ගුප්ත බවකි. පොහොය ආසන්නව පැවතියද වැහි වලාකුළු වසාගෙන සඳ කිරණ පොළොවට පතිත වූයේ මළානිකවය. ඔහු සෙමෙන් සෙමෙන් කුඹුර දෙසට ගමන් කරන්නට විය. විදුලි පන්දමක් අත තිබුණද එය දල්වාගෙන යෑමේ පුරුද්දක් ඔහුට නොවුණි. ඔහුට ඒ පාර එතරම්ම හොඳට හුරුපුරුදුය. නිවසේ සිට මීටර් පනහක් පමණ දුරින් කුඹුර පිහිටා ඇත. අඩිපාර නිමවනුයේ මිල්ල ගහ අසල ඒදණ්ඩෙනි. ඒදණ්ඩෙන් එගොඩවත්ම ලියදි දෙකකට පමණ එපිටින් මඩකර වතුර බැඳ ඇති කුඹුරේ නියර මත අඩි දෙක තුනක් උසට කළු පැහැති යමක් ඇතිබව ඔහු ඈතටම දුටුවේය.
ඒ ‘වන සතෙක් විය යුතු යැයි සිතූ ජිනදාස ඒදණ්ඩ අසල නැවතී ශබ්ද නොකර මොහොතක් බලා සිටියේය. සිරිපොද අතරින් වේගයෙන් හමාගිය සුළං පහර කඳු අතර වැදීමෙන් මතු වූ ගුප්ත දෝංකාරයත් සමග ඈතින් ඇසෙන උලමෙකුගේ කෑ ගැසීම පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩි කළේය.

මලානික සඳ කිරණින් නියර මත සිටින්නේ වන සතකු නොවන බව තේරුම්ගැනීමට ජිනදාසට වැඩිවේලාවක් ගතවූයේ නැත. ඒ මිනිස් රුවකට සමාන රුවකි. ඒ රුව නියරේ වාඩිවී යම් දෙයක් අත්දෙකින්ම අල්ලාගෙන කන බවක් ඔහුට තේරුණි. සුළු මොහොතක් ඒ දෙස බලාගෙන සිටි ජිනදාස විදුලි පන්දම දල්වා ඒ දෙසට එල්ල කළේය.

විදුලි පන්දමේ ආලෝකය වැදීමත් සමගම නියරේ වාඩිවී සිටි රුව නැඟී සිටියේය. එසැණින් ජිනදාසගේ සරුවාංගයම සීතල වී ගියේය. ඒ ඔහු ජීවිත කාලයටම දුටු බියජනකම දසුන වූ නිසාය. අවලස්සන ශරීරයක් සහිත විකෘති වී ගිය මිනිසකු වැනි සත්වයකු ඔහු දෙස බලා සිටියේය. විදුලි පන්දමේ ආලෝකයට ඒ අද්භූත මිනිසාගේ ඇස් විශාල වී දිලිසෙන්නට විය. කට අවට රත් පැහැ අමු ලේ බේරෙමින් ඇති අතරම ඔහුගේ අතේ හාවකු හෝ මීමින්නකු වැනි සත්වයකුගේ ශරීරයක කා ඉතිරි වූ අඩක් එල්ලෙමින් පවතියි.
ඇඳුමක් හෝ කිසිදු දෙයකින් ශරීරය ආවරණය කරගෙන නොසිටි මේ අද්භූත සත්වයා එක්වනම යළි හැරී ටික දුරක් දිව ගියේය. ජිනදාසගේ විදුලි පන්දමේ සීමාවෙන් මිදුණු පසු යළි ඔහු දක්නට නොලැබිණි. ජිනදාසගේ සියොළඟම වෙව්ලන්නට විය.
තමා දුටුවේ කුමක්ද?

මිනිසෙක්ද? යකෙක්ද? කුඹුරට යෑම පසෙක දැමූ ඔහු යළි හැරී නිවසට පැමිණියේය. නිවසට පැමිණෙන විට ටිකින් ටික ඔහුගේ ශරීරය අප‍්‍රාණික වනබව ඔහුට දැනෙන්නට විය. නිවසට මඳක් ඈතදීම තම බිරිඳට කෑගැසුවේය.

‘මැණිකේ... ඔහුට මතක එපමණය.
ජිනදාසගේ කෑගැසීමට දිව ආ මැණිකේට දැකගත හැකිවූයේ කඩුල්ල ළඟ ඇඳවැටුණු තම සැමියාය. ඔහුව නිවසට ඔසවාගෙන පැමිණි ගමේ පිරිස සමග ජිනදාසව රෝහලට රැුගෙන ගියේය. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහු ක්ෂණිකව මතු වූ අංශභාග තත්ත්වයකට ගොදුරුවී ඇති බවය. දිගින් දිගටම මාස කිහිපයක් වෙදකම් කළද ජිනදාසට සුවයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. අවසානයේදී නිවැසියෝ තොවිලයක් නැටීමට තීරණය කළහ.

යකඳුරාගේ නිගමනය වූයේ ජිනදාසට සන්නියකු හදිකර ඇති බවය. විවිධ ලෙඩ ගෙනෙන සන්නියකුන් දහ අටක් වෙයි. රාත‍්‍රිය උදාවිය. ජිනදාසගේ නිවස ඉදිරිපිට තොරණ් හතක් ඉදිකර ඇත. ඉන් සතරක් දෙවියන් උදෙසාය මංගු, දොළ පත්තිනි, අලූත් පත්තිනි හා සිද්ධි පෙළ දේව සමාගම උදෙසා වූ තොරණින් වෙන්ව ඇති අනෙක් තොරණ යක් තොරණය.

ප‍්‍රධාන කපුමහතා හා තවත් කිහිපදෙනකු ආතුරයා වූ ජිනදාසව ඔසවාගෙන පැමිණ තොරණ්වලට එපිටින් එලා තිබූ ආතුර පන්දල ලෙස හඳුන්වන පැදුරේ තැබීය. ආතුරයාගේ දෙපයට මෝල් ගසක් හා පොල් ගෙඩියක් තැබීම දහ අට සන්නිය නැටීමේදී කරනු ලබන්නකි.
එකකට එකක් වෙනස් මුහුණු පැළඳගෙන යකුන් දහ අට දෙනකුගේ සන්නි නැටවීම නිමවන විට හිරු එළිය පොළොවට පතිත වෙමින් පැවතුණි. භූත, අභූත, අමුක්කු, ගෝත, කෝල ආදී ලෙසින් වූ සන්නි යකුන් ආතුරයාගේ අතින් දොළ ගෙන පිටව යති.

හිරු එළිය පතිතවත්ම සිරස පාද කවි යකඳුරාගේ මුවින් පිටවුයේ ශාන්ති කර්මය අවසන්වන බව දැනුම්දීමටය.
‘වරු තුනක් ආතුරයව තනි කරන්ඩ එපා. වරුතුනක් තොරණවල පහන් දල්වන්න ඕනේ. වරුතුනෙන් ලෙඩා නැගිටියි’ එසේ පැවසූ යකඳුරෝ පිටව ගියහ. මසකට අධික කාලයක් ප‍්‍රතිකාර කළද සුව නොවූ අංශ භාගය දින තුනකදී සුව වූ ජිනදාස අමාරුවෙන් යළි නැගී සිටියේය. එදා වෙලේදී සිදු වූ සිදුවීම ඔහු ගොතගසමින් පැවසුවේ ඉන් අනතුරුවය.


No comments:

Powered by Blogger.