සොපි නෝනා මළ යකින්නක් වී ගුණදාස සොයා එයි

ගුණදාස සිය බිරිඳ සමඟ හෝමාගමට පදිංචියට පැමිණියේ මීට වසර 38කට පෙරය. එකල අක්කරයම ඔහු මිල දී ගත්තේ රුපියල් පනස් දහසකටය. ගෙය ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගය අසල ඉදි කළ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සල ඔවුනගේ ජීවනෝපාය විය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ගුණදාසගේ පවුල තව තවත් විශාල වන්නට වූයේ පුතුන් දෙදෙනකු හා දුවකු එම පවුලට එකතු වීමත් සමඟය.

කල් යත්ම දරුවන් තිදෙනාද විවාහ පත්වී පියා විසින්ම එම ඉඩමේ ඉදි කර දුන් නිවාසවලම පදිංචි වූහ. මායිම තාප්ප වෙන් නොවූ නිවාස හතර ඉඩමේ වෙන වෙනම පිහිටා තිබුණි. ඔවුන්ගේ ජීවිතවලට යාන වාහනවලින් මිල මුදලින් කිසිදු අඩුවක් නොවුණි.

බාලයාගේ විවාහයත් සමඟම මව්පියෝ නිවසේ හුදකලා වූහ. විවාහයෙන් මාස තුනක් ගත වෙද්දී ගුණදාසගේ පවුලේ අයට අයහපත් කාලයක් උදාවන බවට පෙර නිමිති පහලවන්නට විය. එහි පළමු ඉඟිය වූයේ ගෙවල් හතරේම අය සුරතලයෙන් ඇති දැඩි කළ වත්තේ ආරක්ෂකයා වූ
‘‘බිංගෝ’’ නම් සුනඛයා වත්තේ මැද මැරී වැටී සිටීමයි. කිසිදු රෝගී තත්ත්වයකින් පසු නොවූ සුනඛයා හදිසියේ මිය යෑම කාටත් ප‍්‍රහේලිකාවක් විය. ප‍්‍රධානම ගැටලූව වූයේ මුළු මුහුණම ලෙයින් වැසී තිබීමයි. නයෙක් දෂ්ඨ කරන්නට ඇතැයි සැක කළ ද එවැනි ස්වභාවයක් සුනඛයාගේ ශරීරයෙන් දැක ගත නොහැකි විය.

බල්ලාගේ මරණයේ දුක පහව යන්නත් කලියෙන් ගුණදාසගේ පවුල දෙදරා පුපුරා ගියේය. ඒ ගුණදාසගේ මරණයත් සමඟයි. ගුණදාසගේ මරණය ද අබිරහසකි. 2008 අපේ‍්‍රල් 24 වැනිදා රාත‍්‍රී ආහාර ගෙන නින්දට ගිය ගුණදාස රාත‍්‍රී 12.00 පසුවත්ම එක් වනම ඇහැරුණේ වමනය දැමීමට අවශ්‍ය බව පවසමිනි. එක් දිනට තුන් වරක් ඔහුට වමනය ගියේය. රෝගී තත්ත්වය වර්ධනය වන බව පෙනී ගියෙන් ගුණදාසව ඉක්මනින් රෝහල වෙත රැුගෙන ගියේය.

රෝහල ළං වෙත්ම, වාහනයේ දිග ඇදී සිටි ඔහු එක්වරම යළිත් වරක් වමනය දැම්මේය.
එවර ඔහුගේ මුවින් පිටවූයේ රුධිරයයි. වාහනයේ අසුන මතම වැටුණු රුධිරය ගුණදාසගේ මුහුණ පුරා ගෑවී තිබුණි. නිවසේ ඇති දැඩි කළ බල්ලා මිය යන මොහොතේ මුහුණ පුරා ලේ තැවරී තිබුණු අයුරින්ම ගුණදාසගේ මුහුණ පුරාද ලේ තැවරී ඇත. ඔවුන්ට එය පිස දමන්නට හෝ වෙලාවක් නොවුණි. ගුණදාස මහා හඬින් ‘‘බුදු අම්මෝ-- එපා’’ ලෙස කෑගැසුවේය. ඒ ඔහුගේ අවසන් කෑගැසීම විය.
ගුණදාස තම පවුල හැර දා ගියේ කිසිවකු නොසිතූ ලෙසිනි.
මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව අබිරහසක් විය. වෛද්‍යවරු හිසෙහි සිදු වූ නහර පිපිරීමක් හරහා මේ මරණය වන්නට ඇතැයි අනුමාන කළහ. ඒත් එම මරණය ගමේ සියල්ලන්ටම මහත් ගැටලූවක් බවට පත්විය. ගම පුරා විවිධ කටකතා පැතිර ගියේය.

කළුවර වැටෙන්නට පෙර එම වත්ත පසු කර යෑමට ගමේ මිනිස්සු උත්සහ ගත්හ. ගුණදාස හොල්මන් කරන බව ගම පුරා පැතිර යන්නට විය. ගමේ කිහිප දෙනකුම රාත‍්‍රි කාලයේ ගුණදාසගේ ඉඩම ළඟ දී බිය වීමත් සමඟ මේ තත්ත්වය තව තවත් දරුණු අතට හැරිණි.

ගුණදාසගේ මරණින් සති කිහිපයක් ගෙවී ගිය අතර ඒ දිනවල විශේෂ සිදුවීම් කිසිවක් සිදුනොවුණි.
යළි ගැටලූ ආරම්භ වන බවට ඉඟි පහළ වූයේ දුවගේ නිවසෙන්ය. දහවල් කාලයේ එම නිවසේ වූයේ ගුණදාසගේ දියණිය පමණි. ඇයගේ ස්වාමියා රැුකියාවක් සඳහා දහවල් කාලයේ පිටව යයි. ඇය නමින් රම්‍යා ලෙස හඳුන්වමු. රම්‍යා කුස්සිය අස්පස් කර සාලයට පැමිණෙන විට සාලයේ සෙටියේ කුෂන් ටික නැති බව දුටුවාය. වට පිට සොයද්දී කුෂන් ටික මිදුල මැද්දේ දැක ගත හැකිවිය. අයියාගේ ළමයිද පාසල් ගොස් ඇති බැවින් මෙය කරන්නට කෙනෙක් ද නොමැත. රම්‍යා මේ පිළිබඳ කල්පනා කරමින් සිටින විට මල්ලිගේ නිවසේ ද එවැනිම සිදුවීමක් සිදු වී තිබුණි. ඒ උයන බත් මුට්ටිය මිදුලට යෑමයි.

දිනෙන් දින මේ තත්ත්වය වර්ධනය වන්නට විය. නිවාස හතරේම බඩු මුට්ටු අහේතුකව එළියට යන්නට විය. එය කරන කෙනෙකුත් කිසිවකුට දැක ගත නොහැකි විය. බාලම සොයුරාගේ නිවසේ මේ තත්ත්වය ඉතා දැඩි විය. නිවස තුළ කිසිදු භාණ්ඩයක් තබා ගත නොහැකි තත්ත්වයක් වර්ධනය වෙමින් පැවැතිණි. හැළි වළං එළියට විසි වී කැඞී බිඳී යන්නට විය. ගෘහ උපකරණ බිම දිගේ ඇදී එළියට යන්නට විය. ගමේ මිනිසුන්ට මෙය ආරංචි වීමත් සමඟම මෙය දැක බලා ගැනීමට රොද බැඳ එන්නට විය. මෙය ගුණදාසගේ පවුලේ අයට මහත් හිසරදයක් විය. නිවස හා ඉඩම සඳහා ආරක්ෂා කටයුතු කිහිපයක් සිදු කළ ද ඒ එකකින් හෝ ගැටලූව නතර නොවුණි. ගුණදාසගේ භූතාත්මය විසින් මේවා සිදු කරන බවට ගම පුරා කතා පැතිර ගියේය.

රම්‍යා නිවස වසා දමා මහ ගෙදරට පැමිණීමට තීරණය කළාය. එයට බලපෑවේ ඇඟ කිළිපොළා යන සිදුවීම් දෙකකි. රම්‍යාගේ හා අයියාගේ පවුලේ අය රම්‍යාගේ නිවසේ සිටින අවස්ථාවක වයස අවු 1 1/2 පමණ වයසැති අයියාගේ බාලම දියණිය නිදි කර තැබූ පැදුර ඇය පිටින්ම නිවසින් එළියට ඇදී යන්නට විය. ළඟ සිටි පුතාගේ කෑගැසීම හේතුවෙන් දරුවා වහා ඔසවා ගැනීමට පවුලේ අයට හැකි විය. අනෙක් හේතුව වූයේ එදිනම සවස පවුලේ කිහිප දෙනකු කුස්සියේ කතා කර කර සිටින විට පිහියක් ඔවුන් අතරින් එළියට විසි වී යෑමයි.
මෙය ඔවුනගේ මාරකයන් පැනීමක් සේ විය. ඒ මොහොතේම නිවස වසා දමා රම්‍යාගේ පවුලේ අය ගුණදාසගේ මහ ගෙදරට පැමිණියහ.

එම නිවස අත හැරීමත් සමඟම පවුලේ අයට තරමක සහනයක් දැනෙන්නට විය. ඔවුනගේ ගැටලූවට හේතුව නිවැරදිව දැනගත හැකි වනුයේ මේ අතරතුරය. හිතවතකු මාර්ගයෙන් දැනගත් කපු මහතකුගේ නිවසේ ආරක්ෂාවක් ලක ලැහැස්ති විය. යොදා ගත් දිනයේ දී කපු මහතා සහ තවත් දෙදෙනෙක් පැමිණියහ. ආරක්ෂා කටයුතු ආරම්භයේ සිටම එක් අයකු අඳුනකින් (නොපෙනෙන ශක්තීන් හඳුනාගත හැකි පාරම්පරික ක‍්‍රම වේදයකි* බලමින් කළ යුතු දේ සහ ඉදිරියේ ඇති බාධා පිළිබඳ තොරතුරු ප‍්‍රකාශ කරන්නට විය.
නිවසේ ආරක්ෂාවට බාධා කරමින් මළ යකින්නියක් ගමන් කරන බව ඔහු පැවැසීය. ආරක්ෂාවේ වැඩ කටයුතු බොහෝ සෙයින් නිම වෙමින් පැවැතුණි. නිවසින් නිවස ආරක්ෂා කරමින් රම්‍යාගේ නිවසට කපු මහතා හා රම්‍යාගේ පවුලේ අයත් හිතවතුන් කිහිප දෙනෙකුත් පැමිණියේය. කපු මහතා විසින් සෑම කෙනකුටම ආරක්ෂාවට ළඟ තබා ගැනීමට දෙහි ගෙඩියක් දුන්නේය.

සිදුවූයේ කවුරුත් නොසිතූ දෙයකි. ප‍්‍රථමයෙන් කපු මහතා නිවස තුළට ඇතුළු විය. රම්‍යාට මතක ඇය නිවස තුළට ඇතුළු වූවා. පමණි. කපු මහතාගේ පසු පසින් නිවසට ඇතුලූ වූ ඇය දොර ළඟ කණප්පුවක් මත තබා තිබූ මල් දමන බඳුනක් ගෙන කපු මහතාට දමා ගැසුවාය. සියල්ලෝ තිගැස්සී ගියේය. කපු මහතාගේ පිටට වැදුණු පහර වේගවත් වුවත් කාර්ය නතර කරන්නට එය ප‍්‍රමාණවත් නොවීය. කිසිදා පරුෂ වචන භාවිතා නොකළ රම්‍යාගේ මුවින් පරුෂ වචන දිගින් දිගට පිට වන්නට විය.

‘‘බල්ලෝ’’ තොපි මගේ ඒවට රිංගගෙන මාව එලවන්නද හදන්නේ තොපි හිතන තරම් ඒක ලෙහෙසි නෑ.
කථාව බොහෝ දිගට ගියේය. කිහිප දෙනකු එක්වී රම්‍යා අල්ලා ගැනීමට උත්සහ දරුවද එය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවීය. වෙනදා සුකොමල ගතිවලින්
පිරි රම්‍යා යකඩ ගැහැනියක් නැතහොත් යකින්නක් ලෙසම ශක්තිමත්ය. කිහිප දෙනකුටම ඇයගෙන් ලැබුණේ දරාගත නොහැකි පහරවල්ය.

කපු මහතා මතුරා ඉසින ලද පැන් ටිකෙන් රම්‍යා සන්සුන් විය. සියලූ සිදුවීම් රම්‍යාගේ මුවින් අසා ගැනීමට කපු මහතාට හැකිවිය. අදින් වසර 38කට පෙර ගුණදාස මෙම ඉඩම මිලදී ගෙන ඇත්තේ සොපි නෝනා නම් ගැහැනියකගෙනි. ඇය සිටි කුඩා නිවස සමඟම ඉඩම විකුණා හෝකන්දර ප‍්‍රදේශයේ සිය දරුවාගේ නිවසට ගියාය. එහෙත් ඇය අවසන් කාලයේ සැලකුම් නොලබා ඉතා දුක සේ මිය ගියාය. ඒ මීට වසර 2 1/2 පමණ පෙරය. ඇය මිය ගියේ අනාථ නිවාසයකය.

මිය යන මොහොතේ ඇයට සිහි වූයේ තමාගේ හෝමාගම නිවසයි. ගුණදාස කෙරෙහි අධික වෛරයක් ඇයගේ සිතට නැගුණි. මිය ගිය සැනින් නිරුවත් මළ යකින්නක්ව ඇගේ නිවස සොයා පැමිණයාය. නිවස එතන නැත. එහෙත් එතන වූ කොස් ගසකට වී ඇයගේ ඉඩම දෙස බලා හූල්ලමින් සිටියාය. රම්‍යාගේ නිවස ඉදි කළේ කොස් ගස ආසන්නයේය. නිවස ඉදි කර අවසානයේ දොරවල් දමන්නට ගුණදස මළ යකින්න ලැගුම් ගෙන සිටි කොස්ගස කපා දැමුවේය. දොරවල් දමා නිවසට පදිංචි විය.
මළ යකින්නගේ ක‍්‍රියා තව තවත් වර්ධනය වූයේ ඇගේ නිවස පිහිටි තැන රම්‍යාගේ නිවස ඉදි කිරීම නිසාය. ඇය ඇයගේ ගෙය යළි අල්ලා ගැනීමටත් ගුණදාසගෙන්

පලිගැනීමටත් සිදුකළ සියල්ල ගැන සැමටම අවබෝධ විය. බල්ලාව, ගුණදාසව මරා දමා තිබුණේ පලිගන්නට පැමිණි යක්ෂ ආත්මය විසිනි. ආරක්ෂාව අවසානයේ ඇයට කනත්තේ ගසක් හිමිවිය. ගුණදාසගේ ජීවිතය අහිමි වූ අතර පවුලේ අයට වූ ගැටලූව නිමාවට පත්විය.

(රම්‍යාට මළගිය ආත්මය ආරූ`ඪ වීමට හේතුව වූයේ ආරක්ෂාව උදෙසා ලබා දුන් දෙහි ගෙඩිය අමතක වීමකින් පැදුර මත දමා යෑමයි.)

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර


No comments:

Powered by Blogger.