සුද්දප්පු මාමාගෙ උදවුව

රාජකාරි කටයුත්තක් සඳහා බදුලු ගිය ජස්ටින් මහතා එම රාජකාරිය නිමා කොට රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටවූයේ පසු දින පෙරවරු නවය වන විට තවත් රැස්වීමකට සහභාගි වීමට තිබෙන නිසාය. ඔහු ඒ සඳහා තෝරාගත්තේ බදුලු මහියංගණය මාර්ගයයි. කුමන හේතුවක් මත ඒ මාර්ගය තෝරාගත්තද කියා ඔහුටම නොතේරුණත් දහඅට වංගුව යන්තම් පසුකරන විටිත් රාත්‍රියේ හොඳම වෙලාව පසුකර තිබිණි. වෙනත් මඟක් තියෙද්දී මේ මාර්ගයෙන් ඒම ගැන සිටියේ පසුතැවීමෙනි. පසුතැවීමෙන්
පලක් නොවුණු තැන ඔහු වාහනයේ වේගය තරමක් වැඩි කළේය. එහෙත් යෑමට ලැබුණේ සැතපුම් කිහිපයක් පමණි. "චූස්....." හ¾ඩින් ඉදිරිපස රෝදයේ හුළං බුරුල් වන විට ජස්ටින්ට එළොව පොල් පෙනේනට පටන්ගත්තේය. ඩිකියේ තිබූ ජැක්කුව අතට ගත්තත් කට්ට කපන අඳුරේ තනිව දෙයක් කරගත නොහැකිව ඇඹරෙමින් ඒ මේ අත විපරම් කළේය.

තමන්ට යාර දහයකට පහළොවක අෑතින් පුංචි මඩුවක කිසියම් කෙනකු තමන් දෙස එක එල්ලේම බලා සිටිනු ජස්ටින් දුටුවේය. ඔහු හනිකට එතනට දිව්වේය. "හුළං ගසනු ලැබේ" බෝඩ් ලෑල්ල බාගෙට වේයො කා තිබේ. පෙනුමින් වින්කලයක් වගේ වුණත් එය ගරාවැටෙන්නට ආසන්නය. වින්කල්කරු කිසිත් නොකියාම නොපැකිලවම ජස්ටින් ඉදිරියට එමින් "යං" කියන්නා සේ දකුණත ඉදිරියට දිගු කළාය. වින්කල්කරුගේ දැඩි උපකාරය මැද විනාඩි දහයකටත් අඩු කාලයකදී ඔස්ටින් රථයේ රෝදය මාරුකර ගැනීමට ජස්ටින්ට හැකි විය.
ජස්ටින් දෙවියන්ට මෙන්ම වින්කල්කරුටද පින්දී ඔහු අත රුපියල් පහේ කොලක් තැබුවාය. ඒ කාලයේ වාහන "පැච් එකක්" දැමීමට පවා අය කළේ රුපියල් දෙකකි.
ජස්ටින් ඊළඟ වාරයේ බදුලු යන විට මේ මාර්ගයම යළි තෝරාගත්තේ කෘතගුණ සැලකීමක් වශයෙන් වින්කල්කරු මුණගැසී වචනයක් දෙකක් ‍ෙදාඩා යෑමටය. හරිහැටි සලකුණක් නැතත් "හුළං බෝඩ් ලෑල්ල" ජස්ටින්ට හොඳින් මතකය. කෙසේ හෝ තැන සොයාගත් ජස්ටින් බිරියද සමඟ වාහනයෙන් බැසගත්තේ යක්කු ගස් උඩ බල්ටිගහන වේලාවේ තමන්ට උදව් උපකාර කළ අසරණ මනුස්සයා දැකීමටය.
එහෙත් මෑතකදී එහි යමකු වාසය කළ බවක් නම් පෙනෙන්නට නොතිබුණේ වින්කලයක් බඳු එම ස්ථානය එතරමටම දිරාපත්ව ගොස් තිබූ නිසාය. වේලාවට මෙන් දරමිටි බැඳගත් පාපැදිකරුවෙක් ජස්ටින්ලා පසුකර යෑමට සිටියේය.
"මහත්තයා ඔය අහන්නේ සුද්දප්පු මාමා ගැන. හරිම හොඳ මනුස්සයා" බයිසිකල්කරු කියාගෙන යයි.
"ගිය සතියේ දවසක මහ රෑ මටත් හරියට උදව් කෙරුවා. වාහනේ පැච් එකක් ගිහිල්ලා. එහෙම උදවිය හොයාගන්න අමාරුයි. මම මේ බැලුවේ මේක හදාගන්න මොකක් හරි උදව්වක් කරන්න..."
ජස්ටින් පවසන දේ බයිසිකල්කරු අසා සිටියේ ගොඩයාට මැජික් පෙන්නුවා සේය. අනතුරුව තොලකට ලෙවකාගත් කෙළ ගුළියක් ගිලගත් ඔහු ජස්ටින් ඇමැතුවේය.
"ඇ... ඇත්තටම ම... මහත්තයාට සු.... සුද්දප්පු මාමා උදව් කළාද?"
"ඔව්... ඇයි. ඇයි ඒ මනුස්සයට කරදරයක්ද?"
"නෑ.... මහත්තයා ඔය සුද්දප්පු මාමා මළේ මීට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳලම ඔය මනුස්සයා මහ රෑ පාරේ යන එන අයට හරියට පිහිටට එනවා. පණපිටින් ඉන්දැද්දීත් ඔහොමම තමා"
ජස්ටින් මහතා බිරියගේ මුවත් බිරිය ඔහුගේ මුවත් මාරුවෙන් මාරුවට බලාගත්තා විනා වෙනත් යමක් සිතන්නට දෙයක් තිබුණේ නැත.
ඉන් අනතුරුව බදුලු ගිය කිහිපවිටක්ම ජස්ටින් මහතා සුද්දප්පු මාමා දැක ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණේ කරදරයට පත් කෙනකුගේ පිහිටකට පමණක් ඔහු පෙනී සිටින නිසාය. ඒ අනුව සුද්දප්පුද අවතාරයකි. එහෙත් දන්නා කියන කෙනෙකුවත් සුද්දප්පුගේ අවතාරයට බය වුණේ නැත. සුද්දප්පු කිසිවකුත් බිය නොගන්වා පෙනී නොපෙනී ගියා පමණි


No comments:

Powered by Blogger.