භූතයන් සමඟ අහසින් ගමන් කළ 19 වැනි සියවසේ කඩවසම් තරුණයා

මෙය ටිකක්‌ පැරැණි කතාවකි. ටිකක්‌ යයි කීවාට අවුරුදු 179 ක්‌ පැරැණි කතාවකි. අපගේ කතා නායකයා වූ ඩැනියෙල් ඩංග්ලස්‌ උපදින්නේ 1833 මාර්තු 20 වැනිදා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ කෝරළයට කිට්‌ටුව පිහිටි කියුරි ගම්මානයේ ය. ඩැනියෙල් ඩංගල්ස්‌ගේ පියා එංගලන්තයේ 'හෝම්' කෝරලයේ දසවන අර්ල්වරයාගේ අනියම් පුත්‍රයා ය. ඩැනියෙල් ඩංග්ලස්‌ ඉතා හොඳ ආර්ථික පසුබිමක්‌ ඇතුව හැදුනේ අර්ල්වරයා සිය අනියම් පුත්‍රයාට හෙවත් ඩංගල්ස්‌ගේ පියාට යහමින් උදව් කළ නිසාය. ඩංග්ල්ස්‌ගේ මව පේනකාරියකි. කුඩා කාලයේ සිට ක්‍ෂය රෝගයෙන් පෙළුණු ඩංග්ලස්‌ ඔහුගේ නැන්දණියක හා මාමණ්‌ඩිය විසින් ඇමරිකාවේ කානෙක්‌ටිකට්‌ ප්‍රාන්තයට ගෙන යන ලදී. ළමා වියේ සිටම ඩංග්ල්ස්‌
පසුපස භූතයෝ පැමිණෙමින් සිටියහ. සිය නැන්දා සහ මාමා සමඟ කෑම මේසයට ඔහු හිඳගත් සැනින් භූතයෝ මේසය සොලවන්නටත් පුටු පෙරළන්නටත් කෑම පිඟන් අහසේ පා කරන්නටත් පටන් ගත්හ. සමහර විට ඩංග්ලස්‌ සාලය මැදින් යන විට පුටුවක්‌ ඔහු පසුපස ඇදී ආවේය. ඇතැම් විට මේසයක්‌ පුටුව පසුපස පැමිණ පුටුව ආපසු ගෙන ගියේය. මෙය ඉවසිය නොහැකි තැන නැන්දා මේ කුඩා ළමයා ගෙදරින් පන්නා දැමුවාය.

 1850 වන විට භූතාත්ම, මළ පෙරේතයන් සහ භූත විද්‍යාව පිළිබඳ විශාල උනන්දුවක්‌ ඇමරිකාව හරහා පැතිර ගියේය. ඩංග්ලස්‌ගේ හොඳ කාලය එන්නේ මේ අතරය. ඒ වන විට 19 හැවිරිදි තරුණකු වූ ඔහු කනෙක්‌ටිකට්‌ ප්‍රාන්තයේ ධනවත් පවුල්වල රූමත් කාන්තාවන්ගේ ඉන්ද්‍රජාලික යෞවනයා විය. ඔහු කළේ පුදුමම පුදුම වැඩකි. ඒ වූ කලී අහසේ ගමන් කිරීමය. මේ වන විට තම සීයා වූ අර්ල්වරයාගේ හෝම්ස්‌ පෙළපත් නාමය රැගෙන සිටි ඩැනියෙල් ඩංග්ලස්‌ අහසේ යන තරුණයා ලෙස මහත් ගෞරවාදරයට පාත්‍ර විය. අහසින් යැම පිළිබඳ ඩංග්ලස්‌ගේ පළමුවැනි අත්දැකීම මෙසේය. 1852 අගෝස්‌තු මාසයේ දවසක කනෙක්‌ටිකට්‌ ප්‍රාන්තයේ ධනවත් සිල්ක්‌ වෙළෙන්දකුගේ මන්දිරයේ පැවැති සාදයකට ඔහු සහභාගි වෙමින් සිටියේය. හාර්ට්‌ෆර්ඩ් ටයිම්ස්‌ නමැති පුවත්පතේ කර්තෘවරයා ද මෙම සාදයට එක්‌ව සිටියේය. කර්තෘතුමා භූතයන් සහ ප්‍රේතයන් ගැන මහත් සැකයෙන් සිටි කෙනෙකි. කර්තෘතුමා භූතයන් නොපිළිගන්නා බව ඇසූ ඩංග්ලස්‌ ඔහු පුදුමයට පත් කරන්නට තීරණය කළේය. එතැන් සිට කතාව කර්තෘතුමා අපට කියන්නේ මෙසේය. "සාදය මැද සිටි ඩංග්ලස්‌ හිටි හැටියේම පොළොවෙන් උඩට යන්නට විය. ඔහුගේ පාද පොළවෙන් අඩි දෙකක්‌ පමණ උසින් එල්ලා වැටෙමින් තිබිණි. ක්‍රමයෙන් උඩ ගිය ඔහු නැවත පොළොවට පහත් වී යළි උඩගොස්‌ ගෙයි සිවිලිම ස්‌පර්ශ කරමින් නැවතී සිටියේය. ඊළඟට ඔහු තම හිස සීලිමේ ගැවුවේය. අනතුරුව ක්‍රමයෙන් පහත් වී මහපොළොව මත සිට ගත්තේය. ඩංග්ලස්‌ මෙබඳු අවස්‌ථාවල සිටියේ කිසියම් මෝහනීය තත්ත්වයකය. පසුව දැනගත් පරිදි එබඳු වේලාවලදී ඔහු භූතාත්ම සමඟ එකඟත්වයකට පැමිණ සිටියේය. පසුව ඇමරිකාවේම බොස්‌ටන් ප්‍රදේශයේ පදිංචිය සඳහා ඔහු ගිය අතර, ඔහුගේ හැකියාවන් වඩාත් පුළුල් තත්ත්වයකට පත්වන්නේය. ඔහුගේ හැකියාවන් ඇසූ ඇමරිකානුවෝ සතර දිසාවෙන්ම ඔහු බැලීමට පැමිණියහ.

ඔහු අත්ල දිග හැරගෙන සිටින විට භූතයන් පැමිණ ඔහුගේ අත්ල මත පණිවුඩ ලියා ගියහ. ඒ පණිවුඩ අන් අයට කියෑවීමට හැකි විය. සමහර විට ඇතැම් පණිවුඩයක්‌ ලියා ගොස්‌ තිබුණේ එතැන සිටි අයකුගේ මළගිය පියා හෝ මවය. තවත් විටෙක ඔහු රැස්‌ව සිටි අයකුගේ මියගිය මවගේ භූතාත්මය සිය සිරුරට ආවේශ කර ගෙන කතා කරන්නට විය. ඩංග්ලස්‌ට වැඩ වැඩි වූ බැවින් ඔහුට මානසික නිදහසක්‌ අවශ්‍ය බව වෛද්‍යවරු කීහ. ඒ මන්ද යත් භූතාත්මයක්‌ නිතරම ප්‍රවේශ වුණේ ඔහුගේ මනසටය. එය මහත් විඩාවකි. සමහර විටෙක ඔහුගේ මනසට ඇතුළුවන භූතාත්ම දෙකක්‌ එකවර කතා කරන්නට ගොස්‌ කළහ කර ගත්හ. මේ නිසා විවේකය ලබා ගැනීම සඳහා 1855 මාර්තු මාසයේදී විසි දෙහැවිරිදි ඩංග්ලස්‌ එංගලන්තය බලා යැමට නැවකට ගොඩවිය. නැවේදී ද ඔහුට නිදහසක්‌ නොවූයේ ඔහු ගැන අසා තිබූ වංශවතුන් කිsපදෙනකු නැවේ සිටි නිසා ය. දිනක්‌ ඔහු නැව් තට්‌ටුව මත ආදිපාදවරයන් සමූහයක්‌ සමඟ සිටින විට භූතාත්මයක්‌ පැමිණ ඔහුගේ අතට මල් කළඹක්‌ දුන්නේය. අනතුරුව එය රැගත් භූතාත්මය ඩංග්ලස්‌ අසල සිටි වංශාධිපති කාන්තාවකගේ හිස අසල එම මල් කළඹ තැබුවේය. මේ කාලයේදී එංගලන්තයේ ජීවත් වූ චාල්ස්‌ ඩිකන්ස්‌ නමැති කීර්තිමත් ලේඛකයා භූතයන් සහ මළ පෙරේතයන් ගැන විශ්වාස නොකළ අතර ඩංග්ලස්‌ගේ ක්‍රියා ගැන අසා කෝපයට පත්ව සිටියේය. ඩංග්ලස්‌ එංගලන්තයට පැමිණි බව ඇසූ ඔහු ඩංග්ලස්‌ හමුවීමට ගියේය.

මේ මොහොතේදී ඩිකන්ස්‌ පුදුමයට පත් කරවමින්, භූතාත්ම පිරිසක්‌ පැමිණ ඩංග්ලස්‌ අතට මල් පොකුරු දෙමින් සහ ඒවා නැවත රැගෙන යමින් විවිධප්‍රසංගයක්‌ පැවැත්වූහ. ඩිකන්ස්‌ එය පිළිගැනීමට මැලි වූ නමුත් ඩංග්ලස්‌ යනු විස්‌තර කළ නොහැකි සංකීර්ණ රහස්‌ සහිත මිනිසකු බව කීවේය. භූතාත්ම සමඟ සම්බන්ධකම් පැවැත්වීමේදී කිසියම් පිවිතුරු බවක්‌ අවශ්‍ය බැවින් ඔහු ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යැමෙන් පවා වැළකී සිටියේය. එක්‌තරා අවස්‌ථාවකදී කතෝලික පූජකයකු විසින් රවටා ගන්නා ලද ඩංග්ලස්‌ භූතාත්ම සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටීමට පවා උත්සා කළේය. එවිට ඔහු සිටියේ ප්‍රංශයේය. එහෙත් III වැනි නැපොලියන් අධිරාජ්‍යයාගේ ඉල්ලීම මත තවදුරටත් භූතාත්ම සමඟ සම්බන්ධතා පැවැත්වීමට ඔහු තීරණය කළේය.

 ප්‍රංශයේ ගත කළ කාලයේදී ඔහුට කදිම තරුණියන් මුණ ගැසිණ. තරුණ ඩංග්ලස්‌ සහ තරුණිය සිය පළමුවන බැල්මෙන්ම ආදරය හුවමාරු කර ගන්නා ලදී. රුසියාවේ සාර් නිකුලස්‌ රජුගේ ඥාති දියණියක වූ ඇය පළමු හමුවෙන් දින 12 කට පසු ඔහු සමඟ විවාහ විය. ඔහුගේ දෙවැනි මනාළයා වූයේ සුප්‍රකට ප්‍රංශ ලේඛක ඇලෙක්‌සැන්ඩර් දියුමා ය. එහෙත් විවාහයෙන් වසර තුනකට පසු ක්‍ෂය රෝගය වැළඳීමෙන් ඇය මියගියාය. ඒ වූ කලී මුළු මහත් යුරෝපය පුරාම ක්‍ෂය රෝගය පැතිර ගිය කාලයකි. ඩංග්ලස්‌ අහසේ ඇවිද්දේ කෙසේද? ඔහුම කියන පරිදි භූතාත්ම ඔහුගේ කිහිලිවලින් අත් යවා ඔසවාගෙන එහා මෙයා ගෙන ගියහ. සිය ජීවිතයේ අවසාන කාලයේදී රුසියාවට ගිය ඔහු භූතයන් සමඟ වූ සියලු හාදකම් අත්හැර සාමකාමී මිනිසෙක්‌ ලෙස 1886 ජුනි 21 වැනිදා මළේය.

 අනුර සොලමන්ස්‌


No comments:

Powered by Blogger.