විශ්වගේ මනෝකාය මාරක රිය අනතුර වළක්වයි

දවසේ වැඩකටයුතු නිමකර දැමූ විශ්ව රාත‍්‍රී එකොළහට පමණ නින්දට ගියේය. දින කිහිපයක සිටම නින්ද හරි හැටි ඔහු සොයා පැමිණියේ නැත. ඇඳේ එහෙට මෙහෙට පෙරළෙමින් රැය පහන්කර දමා ඇඳෙන් බසින විශ්වගේ සිත තුළ මොකක්දෝ අහේතුක හැඟීමක් මෝදුවෙමින් පැවතුණි. එහෙත් එය කුමක්දැයි කියා ඔහුට අවබෝධයක් වූයේද නැත. එදිනත් සුපුරුදු ලෙසම නින්දත් නොනින්දත් අතර ඔහු ඇඳේ පෙරළෙමින්
සිටියේය. පාන්දර ජාමයේදී එක දිගට දින කිහිපයක් දුටු සිහිනය නැවත පෙනෙන්නට විය.

විශ්ව සුපුරුදු ලෙස හැඳපැළඳගෙන නිවසින් එළියට බැස්සේය. තම කුඩා පුතුගේ බෑගය හා බෝතලය මෝටර් සයිකලයේ එල්ලාගෙන දරුවාවද ඉදිරියෙන් නංවා ගත්තේය. නිවසේ සිට සැතපුම් පහක් පමණ දුරින් පිහිටි පෙර පාසලට ප‍්‍රධාන මාර්ගයෙන් යෑමට වඩා පැලවත්ත හමුදා කඳවුර හරහා වැටී තිබූ මාර්ගය හරහා යෑම පහසු වූ හෙයින් සුපුරුදු ලෙසම කඳවුර හරහා ගමන් කළේය. දරුවාව දිනපතාම ළදරු පාසලට රැුගෙන ගියේ විශ්වය. දරුවාව ළදරු පාසලට ඇරලවා තම රාජකාරි ස්ථානයට යන විශ්ව හවසට පැමිණෙන්නේද යළි දරුවා රැගෙනය. එතෙක් වෙලා දරුවා කාලය ගතකරනුයේ දිවා දරු සුරැුකුම් මධ්‍යස්ථානයේය.

හමුදා කඳවුර පසුකර පාර්ලිමේන්තුව අසල ශිල්ප ගම්මානය ආසන්නයට බයිසිකලය පැමිණෙමින් තිබුණි. දියවන්නා ඔයේ ඉවත්කරන පස් රැගෙන යන ටිපර් රථයක් පහළ ඇළ පැත්තේ සිට වේගයෙන් ප‍්‍රධාන මාර්ගයට දැම්මේය. එහෙත් වේගය ඔහුට පාලනය කරගත හැකිවූයේ නැත. එක් නිමේෂයකදී ලොරියේ ගැටුණු බයිසිකලය උඩින් විසි වී ගොස් ඇළ ඉහළින් වූ පදික වේදිකාව මත පතිත විය. විසිවී ගිය විශ්ව හා දරුවා මහපාර මැදම ඇදවැටුණේය. විශ්වට සියල්ල ඉහළ අහසේ සිට පෙනෙන්නා සේ සියල්ලම හොඳින් දිස්වෙයි. හිසින් ලේ ගලමින් බිම වැටී සිටින විශ්ව අමාරුවෙන් අත දිගුකර තම එකම පුතාගේ අතින් අල්ලා ගත්තේය. දරුවාගේද කිසිදු හැලහොල්මනක් නැත.

අවට ගස්කොළන් නිසොල්මනේ තිබියදී විශ්ව ටිකින් ටික තම සිරුරින් ඈතට පාවි පාවී ඉහළට යන බව හැෙඟන්නට විය. එසේ යෑමට ඔහුට අවශ්‍යතාවක් නැත. හැකි වෙර යොදා පහළට ඒමට උත්සහ කළද එය කළ නොහැකිය. අවට සිටි මිනිසුන් මාර්ගයේ වැටී සිටි විශ්ව හා ළමයා අසලට දිව එන අයුරුද විශ්වට ඉහළ අහසේ සිට දැකගත හැකි විය. ටිකින් ටික විශ්ව පාවි පාවී ඉහළ අහසට ඇදී ගියේය.

විශ්ව තිගැස්සී ඇහැරුණේය. එක දිගට පෙනෙන හීනයේ තේරුම කුමක් විය හැකිද? සිතේ වූ පීඩනය අඩුවන තුරු ඔහු මොහොතක් ඇඳේම වාඩි වී සිටියේය. ඉදිරියේදී සිදුවන අනතුරක ඉඟියක් තමාට පෙන්වන්නේ දැයි ඔහු තුළ සියුම් සැකයක් මතු විය. නොඑසේ නම් මෙතරම් සජීවී ලෙස එකම හීනය දිගින් දිගටම පෙන්වීමට හේතුවක් නැත. ඔහුගේ සිතට මෙය මහත් ගැටලූවක් විය. මෙය විසඳාගත හැක්කේ කෙසේද යන්න ඔහුට සිතාගත නොහැකි කරුණකි.

මිතුරකුගෙන් ලද තොරතුරක් මත භාවනා යෝගියකු සොයා යෑමට විශ්ව තීරණය කළේය. මෙය කෙසේ හෝ විසඳාගත යුතු ගැටලූවකි. එක් අතකින් මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි. නොඑසේ නම් මෙය මහා විකාරයකි. පසුවදා රැුකියාවට යෑම පසෙක තැබූ විශ්ව යෝගීවරයා සොයා ගියේය. ආගිය තොරතුරු ටික වෙලාවක් කතා කර කර සිටියද විශ්ව ඔහුට කෙළින්ම තම කාරණාව පැවසුවේ නැත. එහෙත්

යෝගීවරයා තමාගේ සිතේ ඇති ගැටලූව ගැන දන්නා බව ඇසූ පළමු ප‍්‍රශ්නයෙන්ම විශ්වට තේරුම් ගියේය.

‘හිතේ ලොකු බරක් තියෙනවා නේද? හරියට දවස් දෙක තුනකින්ම



නිදාගෙනවත් නැහැ නේද?’

‘ඔව් ස්වාමි’

‘මේ ටික කාලය නම් හොඳ මදි ගොඩක් පරිස්සම් වෙන්න’

‘මම ආවෙත් එහෙම දෙයක් ගැන දැනගන්න’

‘අනතුරක් ගැන.....’

විශ්ව පැමිණි කාරණාව එළියට එමින් පවතින බව ඔහුට වැටහුණි.

‘ඉදිරි සතිය පරෙස්සම් වෙන්න අනතුරක් පෙන්වනවා’

වෛද්‍යවරයාටත්, ජ්‍යොතිෂවේදියාටත් කිසිවක් සඟවා ඵලක් නැත. සැඟවීමෙන් හානිය සිදුවනුයේ තමාටමය. එබැවින් තමා දින කිහිපයක් එකදිගට දුටු සිහිනය විශ්ව යෝගීවරයාට පැවසීය. ඉතා සාවධානව එය අසා සිටි

යෝගීවරයා මොහොතක් දෙඇස් පියාගෙන ධ්‍යානයට සමවැදුණි. විනාඩි කිහිපයකට පසු ඔහු දෙඇස් හැරියේය.

‘ඔව්. ඔබ කියූ ටික මාත් දැක්කා. නමුත් එය ඔබට වළක්වා ගත හැකියි. ඔබට ලොකු දේව පිහිටක් තියෙනවා. ඔබට පිහිට වෙන දෙවියන් ඔබව ආරක්ෂා කරයි. නමුත් විශ්ව නියමයන්ට පිටින් කිසිවක් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. මෙන්න මේ පූජා කටයුතු ටික ඉක්මනින් කරන්න. අනෙක් කාරණාව 26, 27, 28 දවස් තුන හොඳටම පරෙස්සම් වෙන්න’

විශ්ව වහා නිවසට පැමිණියේය. තමා දුටු දෙය හා යෝගීවරයා පැවසූ දෙය පිළිබඳ දැඩි විශ්වාසයක් ඔහුගේ සිතේ තිබුණි. විසිහය වැනිදාට ඇත්තේ තව දින තුනකි. කාලය ඉක්ම ගොස් තිබූ බැවින් කිසිදු පූජාවක් එදින කළ නොහැකිය. පසුදා උදෑසනම කොහුවල ඇන්ඩර්සන් පාරේ කෝවිලට විශ්ව පැමිණියේ තමන්ට යෝගීවරයා පැවසූ පූජාව තැබීමට අවශ්‍ය කළමනාද රැගෙනය. එහෙත් ඔහුගේ ඉහමොළ ගිනි ගත්තේය. කිසිදු දිනක සිදු නොවූ සිදුවීමකට ඔහු මුහුණ දුන්නේය. එදින කෝවිල වසා ඇත. විශේෂ පූජාවකට සූදානම් වීම උදෙසා අනෙකුත් සියලූ පූජා කටයුතු නවතා ඇත.

කුමක් හෝ බාධාවක් තමා වටා ක‍්‍රියාත්මක වන බව විශ්වට සිතුණි. ඔහු වහා වැල්ලවත්තේ කෝවිලට යෑමට තීරණය කළේය. එතැනින්ද ඔහුගේ පූජාව තැබීමට අවස්ථාවක් උදාවූයේ නැත. ඒ සඳහා කළින්ම දිනයක් වෙන්කර ගත යුතුව ඇත. සිදුවීමට යන දෙය වැළැක්විය නොහැකිද? ඒ තරමටම කර්මය ප‍්‍රබලද? ඔහු උත්සහය අතහැරියේ නැත. ඔහු මෝදර කෝවිල වෙත ගියේය. එහිදී ඔහු බලාපොරොත්තු වූ ආකාරයටත් වඩා හොඳින් පූජාව සිදු කෙරුණි. විශ්වට කාරණය වැටහුණේ ඉන් අනතුරුවය. ඔහුව කෝවිල් තුනක් වෙත රැගෙන ගොස් ඇත. කර්මය ලෙහෙසියෙන් විසඳාගත නොහැකිය. ඉන්පසු ඔහු දරුවාද රැගෙන අනතුර වන තැනට පැමිණියේය. ඇළට ඉහළින් වූ පදික වේදිකාව මත සිට

යෝගීවරයා පැවසූ පූජා ද්‍රව්‍ය ගඟට දමා පූජාව සම්පූර්ණ කළේය. එදිනෙන් පසු එකදිගට දුටු සිහිනය ඔහුට පෙනුණේ නැත. එහෙත් විශ්වගේ ශරීරය තුළ කුමක්දෝ තේරුම්ගත නොහැකි රෝගී ගතියක් දිගින් දිගට පැවතියේය. විසිඅට වැනිදා රාත‍්‍රිය එළඹියේය. විශ්ව සුපුරුදු ලෙස නින්දට ගියේය. පසුදා පාන්දර ජාමයේ යළිත් කවුදෝ සිහිනෙන් පැමිණ අවවාදයක් දුන්නේය. එනම් තව දින තුනක් පරෙස්සම් වන ලෙසය.

විශ්ව තම පූජාව තැබූ දින සිටම එම මාර්ගය භාවිතය අතහැර දැමුවේ වැඩි ආරක්ෂාවටය. කාලය කෙමෙන් ගෙවී ගියේය. දින තුන වෙනුවට දින හයක්ම එම මාර්ගය භාවිත නොකළ විශ්ව හත්වැනි දිනයේ සුපුරුදු ලෙස දරාවාව මෝටර් සයිකලයේ ඉදිරියේ නංවාගෙන හමුදා කඳවුර පසුකර පැලවත්තේ සිට පාර්ලිමේන්තු වටරවුම දෙසට පැමිණියේය. පසු පසින් වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකක් ඔවුන්ව පසුකර ඉදිරියට ඇදී ගියේය. ඒ සමගම වටරවුමෙන් අධික වේගයෙන් ටිපර් රථයක් පැලවත්ත දෙසට යන්නට හැරවීය. යතුරුපැදි දෙකට අයින්කර ගන්නට ඉඩක් තිබුණේ නැත. යතුරුපැදි දෙකම ලොරියේ ගැටුණි. එක් යතුරුපැදියක් උඩින් විසිවී ගොස් ඇළට ඉහළින් වූ පදික වේදිකාව මත ඇද වැටුණි. අනෙක් යතුරුපැදිය මාර්ගයේම පෙරළී ගියේය. විශ්ව සිටි තැනට මීටර් කිහිපයක් ඉදිරියෙන් සිදුවූ දෙය විශ්වට සිතාගත නොහැකි විය. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනාටම කිසිදු තුවාලයක් සිදුවූයේ නැත. එවන් අනතුරකින් ඔවුන් දෙදෙනා බේරුණේ කෙසේද? උඩින් විසිවී ආ යතුරුපැදිය පතිත වූයේ විශ්ව හීනෙන් තම යතුරුපැදිය පතිතවනවා දුටු තැනමය. මිනිසුන් දෙදෙනා වැටී සිටියේද එලෙසමය. එහෙත් කිසිවකුට තුවාලයක් හෝ නැත. එක් යතුරුපැදියක පැති කණ්ණාඩියක් පමණක් ගැලවී ගොස් තිබුණි.



No comments:

Powered by Blogger.