ලෝරා හාමුගේ අවතාරය වළව්වත්තට අරක්ගනියි

වසර ගණනාවක් තිස්සේ තම හිතේ පැවති බලාපොරොත්තුවක් සපුරා ගනිමින් සිරිනාග පරපුරට අයත් මහ වලව්ව සෝමරත්න මිලදී ගත්තේ රුපියල් කෝටි ගණනක් යටකරමිනි. කුඩා කාලයේ දිළිඳු බවින් දැඩිලෙස පීඩාවිඳි සෝමරත්නට වලව්වත්තේ වැටෙන පොල් ඇහිදීමට ගොස් ගුටි කෑ ආකාරය වසර තිස්පහක් ගෙවී ගියද අද ඊයේ මෙන් හොඳින් මතකය. තම පියාගේ බේබදුකමත්, පවුලේ දුප්පත්කමත් ඉවසාගත නොහැකි වූ තැන අවසානයේ වයස අවුරුදු දාහතරේදී නිවසින් පැනයෑමට තීරණය
කළේය. ගමේ කැලෑවෙන් හොරෙන් ගස් කපා මොරටුවට ගෙනයන ලොරියක කොට ගොඩ උඩ නැග ගමෙන් මොරටුවට පැමිණෙන සෝමරත්න අද වනවිට කෝටිපති ව්‍යාපාරිකයෙකි.
මහ පරිමාණ ලීමෝල් කිහිපයකම හිමිකරුවෙක් වූ ඔහු ගෙවීගිය වසර තිස්පහ තුළ තම මනසේ රැුඳී පැවති දුප්පත්කමේ වේදනාව හේතුවෙන්ම මුදල් සෙවීමේ යහපත් මාර්ගවලට වඩා ඉක්මනින් මුදල් සෙවීමේ ක‍්‍රම වෙත යොමුවීමට ඔහු උත්සුක විය. මෙහි එක් ප‍්‍රතිඵලයක් ලෙස තම ගමේ වූ මහා වනාන්තරයේ බොහෝ වටිනා ගස්වල ඉරණම විසදුණේ සෝමරත්නගේ ලීමෝල් තුළදීය.

ගමෙන් පැන ආ කොලූ ගැටයකු ලී මඩුවක අත්උදව් දෙන්නකු ලෙස සේවය කර කෙටි කාලයක් තුළ මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන්නට ඔහු තුළ පිනක්ද පැවතිය යුතුය. කෙසේ හෝ සෝමරත්න කුමන උප්පරවැට්ටියක් යොදා හෝ අවසානයේ තම අරමුණ ජයගත්තේය.

කන්ද උඩරට පාරම්පරික වලව්වක් වූ සිරිනාග වලව්වේ ඉතිහාසය වසර දහස් ගණනකට ඈත අතීතයට දිවයයි. ගරා වැටෙමින් තිබූ වලව්ව මිලදීගැනීමෙන් පසු එය නවීකරණය කිරීමටද ලක්ෂ ගණනක් වැයකිරීමට ඔහුට සිදුවිය. නිවස වටා පර්චස් සියයක පමණ ප‍්‍රදේශයක තිබූ ගස් හා කඩා බිඳ වැටුණු ගොඩනැගිලි සියල්ල ඉවත්කර දමා ඉතා අලංකාර උද්‍යානයක් ලෙස සකස් කළේය. පැරණි කබොක් ගලින් බැඳ තිබූ තාප්පය හා ගේට්ටුව ගලවා දමා පැරණි බලකොටුවල ඇති ගල් තාප්ප මෙන් කළුගල් තාප්පයක් ඉදිකර විශාල ලී ගේට්ටු දෙකක් යෙදුවේ ගමේ බලය තමාට හිමිවූවාක්ය යන හැඟීීමෙනි. නිවසට දකුණු පසින් ඉඩමේ කෙළවරට වන්නට පැරණි සොහොන් කොත් කිහිපයක් පැවතියේය. ඒ සිරිනාග පවුලේ පැරණි සොහොන් බිමය. සෝමරත්නගේ නියමයෙන් සොහොන් කොත් බිමට සමතලා වූයේ වලව් පරපුරේ මතකයද ගැමියාගේ සිත් තුළින් මකා දමමිනි.

කාලය කෙමෙන් ගෙවී ගිය අතර සිරිනාග වලව්වේ සියලූ ඉදිකිරීම්වලින් පසු පෞද්ගලික ආරක්‍ෂක අංශයක සේවකයකු හා නිවස බලාකියාගැනීමට පුද්ගලයකුද යෙදවීය. එහෙත් කිසිවකු දින දෙක තුනකට වඩා එහි සේවය කළේ නැත. සමහරු නිවසින් යන්නට ගියේ තමන් යළි නොපැමිණෙන බවද නොකියාමය.
හේමේ නැතහොත් හේමපාල නිවසේ වැඩට පැමිණෙන්නේ මේ අතරතුරය. හේමේ වලව්වට පැමිණෙන විට උදෑසන දහයට පමණ ඇත. මැදිවිය ඉක්මවූ ඔහු කුඩාකල සිටම විවිධ වලව්වල සේවය කර අත්දැකීම් සහිත අයෙකි. ඔහුව මේ නිවසට රැුගෙන ආ පුද්ගලයා පිටව ගිය පසු ඔහු මුලින්ම හොඳින් නා කියා ගත්තේය. ඉන්පසු වලව්වේ එකින් එක කාමරවලට ගමන් කරමින් තමා මින් ඉදිරියට සේවය කළ යුතු සම්පූර්ණ වලව්වම හොඳින් දැකබලා ගත්තේය. වලව්වේ දොරවල් වසා දැමූ හේමේ වත්ත වටා රවුමක් ගමන් කළේය. වත්තේ ස්වභාවය අවබෝධ කරගැනීම ප‍්‍රථමයෙන්ම කළ යුතු යැයි ඔහු සිතුවේය. එය අක්කර සිය ගණනක වත්තකි. තවමත් එහි වගා කටයුතු අරඹා නැත. නිවස අවට ඇත්තේ පොල් ඉඩම්ය. නිවසේ අලූතින් ඉදිකළ උද්‍යානයට එපිටින් පෙනෙන මානයේ පොල්ගස් යට තිබූ කැලෑවද මේ වනවිට සම්පූර්ණයෙන්ම වාගේ එළිපෙහෙළි කොට ඇත.
වත්ත වටා ඇවිද ගිය හේමේ පැයකින් පමණ යළි වලව්වට ගොඩවිය. වලව්වේ මෙන්ම වලව් ඉඩමේද කුමක් හෝ ගුප්ත බවක් පවතින්නේ යැයි පුරුද්දෙන් මෙන් ඔහුට දැනුණි. කෙමෙන් කෙමෙන් මළානික හිරුකිරණ සිරිනාග වලව්වත්තට පතිතවෙමින් පැවතුණි.

හේමේ වලව්වේ සියලූම කාමර වසා යතුරු දැමුවේය. එය ඔහු සෑම වලව්වකදීම පුරුද්දක් ලෙස කළ දෙයකි. වෙන වෙනම තිබූ දොරවල්වල යතුරු එක්කර යතුරු කැරැුල්ලක් ලෙස සාදා ගත් හේමේ එය තමන්ගේ කාමරයේ බිත්තියේ වූ ඇඳුම් එල්ලන බෝල කූඩුවේ එල්ලූවේය. අන්ධකාරයෙන් මුළු වලව් වත්තම වැසීයද්දී, මුර කුටියේ සිටි මුරකරු හා හේමේ ? කෑමෙන් පසුවද පැය කිහිපයක් වලව්වේ ඉස්තෝප්පුවට වී කතා කරමින් සිටියේය. රාත‍්‍රී දහය පසුවෙද්දී ඉස්තෝප්පුවෙන් නැගී සිටි හේමේ නිදාගැනීම සඳහා නිවස තුළට පිවිසියේය. අවසන් වරට දොර ජනේල වසා ඇති බව පසක් කරගත් ඔහු සාලයේ විදුලි බුබුලක් දල්වා තබා කාමරයේ ඇඳට ඇලවුණේය. ගමන් විඩාව නිසාම මොහොතකින් ඔහුට නින්ද ගියේය.

‘දඩාං.......’
නින්දෙන්ම ඇසුණු සද්දයකින් ඔහු උඩ විසිවී ගොස් ඇහැරුණේය. අත ළඟම තිබූ විදුලි පන්දම දල්වා, ඔරලෝසුව දෙස බැලූ විට මධ්‍යම රාත‍්‍රිය පසුවී ඇති බව දුටුවේය.
‘සිලි..... සිලි..... සිලි.....’
දම්වැල් එකින් එක ගැටෙමින් එකට ඇදී යන හඬක් සමගින් ගැහිනියකගේ වියරු සිනා හඬකින් වලව්ව දෝංකාර දෙන්නට විය.
හිහ්..... හිහ්..... හිහ්
හිහ්..... හිහ්..... හිහ්

මෙවර ඒ සිනාහඬ පෙරටත් වඩා වේගවත්ය. හේමේ එවෙලෙහිම නැගීසිටියේ කොට්ටය යට සඟවා තිබූ වක් කැත්තද අතට ගනිමිනි. සිතේ ඇතිවූ තිගැස්ම පසෙකට දැමූ හේමේ විවරව තිබූ කාමරයේ දොරෙන් එළියට පැමිණියේ අවේලාවේ ඇසෙන සිනාහඬ කුමක් විය හැකිද යන කුතුහලයෙන් යුතුවය. කාමරයෙන් එළියට විත් හෙමින් හෙමින් කල්පනාවෙන් සාලය දෙසට ගමන් කරන්නට විය.

සිලි..... සිලි..... සිලි
දම්වැල් හඬ පඩිපෙළ දිගේ ඇදී යන හඬ සමගින් මහ හඬින් හිනාවෙන හඬද යළි ඇසෙන්නට විය.
හිහ්..... හි..... හි.....
හේමේ වේගයෙන් සාලය දෙසට දිව ආවේ සිනා ශබ්දය උඩුමහල දෙසට ඇදී යන බව වැටහීමත් සමගය. සාලයේ දැල්වූ විදුලි පහනේ ආලෝකයෙන් යම් ඡුායාවක් පඩිපෙළ මුදුනෙන් දුටුවද එය ආලෝකයක් යැයි සිතූ ඔහු පඩිපෙළ දිගේ ඉහළට දිවයන්නට වූයේ විදුලි පන්දමද දල්වා ගනිමිනි.
දඩාං.......

උඩුමහලේ කාමරයක දොර ඇරී බිත්තියේ වැදුණු හඬ එකවරම ඇසුණේය. හේමේ ගල් ගැසී නතර විය. තමා යතුරු දමා වැසු කාමරයක් ඇරෙන්නේ කෙසේද? ඔහු මොහොතක් සිතන්නට විය. හිමින් හිමින් ඔහු කාමරය දෙසට පැමිණියේය. කාමරයේ දොර පියන් දෙකම ඇර දමා ඇත. වක්පිහිය තදින් අල්ලා ගත් ඔහු විදුලි පන්දම කාමරය තුළට එල්ල කළේය. කාමරය තුළ කිසිවෙකුත් නැත. ඔහු කාමරය තුළට ඇතුළු වී විදුලි බුබුල දැල්වූවේය. අන්ධකාරය මැදින් කාමරයට ඇතුළුවන විට කාමරයේ දකුණුපස ඇඳක් තබා ඇති බව ඔහු දුටුවේය. විදුලි පහන දැල්වූ පසු ඔහුට එවැන්නක් පෙනෙන්නට නැත. එසේනම් තමා අන්ධකාරයේ දුටුවේ කුමක්ද? කාමරෙ ය් ජනේල දෙකද හැර දමා ඇත. ඔහු ජනේලයෙන් බැල්කනියට පිවිසියේ විදුලි බුබුලද දල්වමිනි. පෙනෙන්නට කිසිවක් නැත. ජනේලයත් දොරත් ඇරුණේ කෙසේද? මෙය තමාට මඟහැරුණු දොරක්ද? ජනේල පියන් තමා වසා තිබූ බැවින් තමන් පිරික්සා නොබැලූමුත් නින්දට පෙර සියලූ දොරවල් වසා යතුරු කැරැුල්ලත් තමා ළඟ තබා ගත් බවත් ඔහුට හොඳින්ම මතකය. ඔහු යළි හැරීගොස් දොර දෙස බැලූවේය. යතුර දොරේ දක්නට නැත. එහෙත් දොර ඇර දමා ඇත. කාමරය එසේම තිබියදී ඔහු බැල්කණියේ සිට මුරකාරයට කතා කළේය.

‘ජිනදාස..... ජිනදාස.....’
කිහිපවරක්ම කතාකළ නමුත් ඔහුගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නැත. ඉහළ මාලයේ ජනේලය වසා දැමූ ඔහු සාලයට පැමිණ වත්තේ විදුලි බුබුළු දල්වා දොර ඇරගෙන මුරකුටිය දෙසට ගමන් කළේය.
‘ජිනදාස මල්ලි.....’
‘කවුද?’
‘මම හේමේ.....’
ඔහු බියෙන් වෙව්ලමින් සිටියි. කිසිවක් නොවුණා සේ හේමේ කතා කළේය.
‘ඇයි..... මල්ලී?’
‘නෑ.... මේ..... මේ..... හොල්මනක්.....’
‘මොකෙක්?’
‘ඇයි අයියා දැක්කේ නැද්ද?’
‘මම මොකෙක්වත් දැක්කේ නෑ’
‘ඇයි ..... සද්දේ ඇහුණෙවත් නැද්ද?’
‘ඇයි මොකක්ද?’

‘නෑ..... සුදු ඇදගත්ත ගෑනියෙක් මහ හයියෙන් හිනාවෙවී අර පැත්තේ ඉදන් දුවගෙන ආවා. ඒ එක්කම දම්වැල් සද්දෙකුත් ආවා. මට මුලින් ඇහුණේ සද්දේ විතරයි. එතකොට මම ගේ පැත්තට ආවා. ඒ ගෑනි වත්ත දිගේ දුවගෙන ගේ පිටිපස්සට ගියා. ඒ එක්කම දොරක් ඇරෙන සද්දයක් ආවා. මට හීන් දාඩියත් දැම්මා. මම මුරකුටියට වෙලා දොර වහාගත්තා......’
තමා එළියට පැමිණියේ ඉදිරි දොරෙනි. එසේනම් උඩුමහලේ දොර මෙන්ම, පිටුපස දොරද ඇරදමා තිිබිය යුතුය.
‘මටත් මේ සද්දයක් ඇහිලා එළියට ආවේ’ එහෙත් ඔහු තමාට ඇසුණු දෙය කියා ජිනදාසව බිය කිරීමට සිතුවේ නැත.

‘මල්ලිට ටිකක් නින්ද යන්ඩ ඇති. බය නොවී ඉන්ඩ.  ඕනේ වෙලාවක මට කතාකරන්න. මම ඉන්නේ පිටිපස්සේ කාමරේ. ජනේලෙ ළඟින් ඇවිත් කතාකරන්න’
ඔහු ඉදිරි දොර වසා දමා නිවසේ පිටුපසට ගමන් කළේය. නිවසේ පිටුපස දොර ඇරදමා ඇත. ඔහු පෙරදින රාත‍්‍රියේ වසා දැමූ දොර ඇරුණේ කෙලෙසද? නිදිවර්ජිතව රාත‍්‍රිය ගෙවීගියේය.
පසුදා උදෑසනින් ගම දෙසට ගමන් කළ හේමේ වලව්ව පිළිබඳ තොරතුරු විපරම් කළ බැලූවේය. තේ කෝප්පයක් බීමට මෙන් කඩයට පිවිසි ඔහු කඬේ මුදලාලි සමග කතාවට වැටුණේය.

‘මුදලාලි අර සිරිනාග වලව්වේ හොල්මන් තියෙනවද?’
‘ඔහේ අලූත් මුරකාරයද?’
‘බංගලාව බලාගන්නේ මම’
‘ඔය එන ගමන්ද?’
‘නෑ ඊයේ ආවේ’
‘එහෙනම් ඔය යන ගමන් වෙන්ඩ ඇති’
‘ඇයි එහෙම කිව්වේ’
‘පසුගිය කාලේම වලව්වේ මුරට ආපු අය දවසයි දෙකයි හිටියේ’
‘ඔය වලව්වේ හොල්මන් තියෙනවා. හැබැයි අලූතෙන් ගේ හැදුවට පස්සේ ඒක ගොඩක් වැඩියි. ඉස්සර මාසෙකට දෙකකට සැරයක් තමයි, ලෝරා හාමුට කවුරු හරි බයවුණේ’
‘කවුද ලෝරා හාමු කියන්නේ’
‘ඔය වලව්වේ අවුරුදු 30-40කට කලින් හිටපු කුමාරිහාමි. එයා දම්වැල් එක්ක දුවනවා දැකපු ගමේ අය  ඕනතරම් ඉන්නවා’
‘ඔහෙත් දැක්කද?’
‘මට ඇහුණා..... ඇයි ඒ?’

‘අපේ තාත්තලාගේ කාලේ ඉඳන් ඔය වලව්වේ හාමුගෙන් ගමට කරදර තිබිලා තියෙනවා. හාමු හරි සෙල්ලක්කාරයෙක්ලූ. හාමුගේ නෝනා වෙච්ච ලෝරා හාමුව එළියේ තියෙන කාමරයක දම්වැල් දාලා බැදලා වෙන වෙන ගෑනුත් එක්ක කාමරයේ නිදාගන්නවලූ. එක දවසක් ලෝරා හාමු කොහොම හරි දම්වැල කඩාගෙන ගිහින් ගෙදර තිබුණු තුවක්කුවෙන් මිනිහට වෙඩි තියලා බැල්කණියට ඇවිත් එයත් වෙඩි තියාගෙන මැරිලා. එදා ඉදන් එයාගේ අවතාරය ඉඩම වටේ කැරකෙනවා. ඒ ගොල්ලන්ගේ සොහොන් තමයි ඔය වත්තේ කෙළවරේ තිබුණේ. ළමයි දෙන්නා ටික කාලයකින් පිටරට පදිංචියට ගියා. වලව්ව ගරාවැටෙන්න ගත්තා. සොහොන් කඩලා දැම්මට පස්සේ ඒ ප‍්‍රශ්නෙ තවත් වැඩියි වගේ’

හේමේට කාරණය පැහැදිලි විය. ඔහු යළි වලව්වට පැමිණියේය. මුරකරු පිටව ගියද, ඔහු වලව්වේම නතර විය. වලව්වල මළගිය ආත්ම පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තිබුණි. රාත‍්‍රිය කෙමෙන් උදාවිය. ඔහු නිදිවර්ජිතව සිටියේය. වෙලාව රාත‍්‍රී දොළහ පසුවූවා පමණි.
‘දඩාං’

ඔහුගේ කාමරය ඉදිරියෙන් දිවයන සුදු ඇඳුමෙන් සැරසුණ ගැහැනිය හොඳින් දුටුවේය. ඔහු නිසොල්මනේ බලා සිටියේය.



No comments:

Powered by Blogger.