මැණිකේ මැරූ රත්නෙගේ ආත්මය නිකිණිගෙනුත් පළිගනියි

නිකිණි සුපුරුදු ලෙස මල් වට්ටියද දෝතින් ගෙන පන්සලට පිවිසියාය. ඇය දෙමසකට අධික කාලයක් තිස්සේ දිනපතා පන්සලට පැමිණෙයි. ඒ බෝධි පූජාවක් කිරීමේ අරමුණෙනි. ගෙවීගිය කාලය ඇයගේ ජීවිතයට ගැටලූ පිරි කාලයකි. දිගින්දිගටම මතුව ආ කරදරවලින් ඇය හෙම්බත් වී අවසානය.

ඇගේ ජීවිතයේ අඳුරු යුගය එළඹෙන්නේ මීට වසර එකහමාරකට දෙකකට පමණ පෙරදීය. ඒ පියා හදිසියේ එක්තැන්වීමත් සමගය.
තමන්ගේ ඉඩමේ අඹ ගසක අතු කපන්නට ගොස් ගහෙන් බිමට වැටීමෙන් එක්තැන් වන පියා මාස දෙක තුනක්ම උපරිම ලෙස දුක් වින්දේය. අවසානයේ ඔහු සියල්ලන් හැරදා යන්නට ගියේය. නිකිණි අම්මා සහ මල්ලි සමග හුදෙකලා විය. තාත්තා ජීවිතයෙන් සමුගත් දිනය අද මෙන් ඇයට මතකය.
සෙලවෙන්නටවත් නොහැකිව ඇඳ උඩ දිගාවී සිටි පියා ළඟ බොහෝවිට සිටියේ නිකිණිය. මව ජීවන අරගලය සමග පොර බදන්නට විය. එදින අධික වැසි දිනයකි. පියා හවස සිටම තරමක් කලබල ගතියකින් යුතු බව නිකිණිට වැටහුණි. මව සිල්ලර කඩය තරමක් වේලාසනින් වසා දැමුවද වැස්ස ඇයගේ ගමනට බාධා කළාය. පියා අපහසුවෙන් මවට අඬගහන හඬ නිකිණිට ඇසුණි.

‘මැණිකේ........ ආ........ මැණිකේ’
‘ඇයි........... තාත්තේ’
පියාගෙන් පිළිතුරක් නැත. ඔහු වහලය දෙස බලාගෙන අපහසුවෙන් හුස්ම ගනියි.
‘මැණිකේ........ ව.... වතුර’
ඇය ළඟ තිබූ ගුරුලේත්තුවෙන් කෝප්පයට වතුර ටිකක් ගෙන පියාගේ මුවට වැක්කෙරුවාය.
‘අහ්.........හ්හ්.........’

ඒ පියාගේ අවසන් මොහොතය. ඇයගේ දෙනෙත් ඉදිරිපිට පියා සදහටම ඔවුන් හැරදමා ගියේය. ඇගේ විලාපය මහවැසි හඬ යටපත් කරමින් ඇසෙන්නට විය. පියා දෙනෙත් විසල් කරගෙනම ඇඳ උඩ මියගොස් සිටියේය. පියාගේ මරණයෙන් සය මසක් යන්නටත් කලියෙන් මව හිටිහැටියේම ලෙඩ වන්නට විය.
නිවස පිහිටි ඉඩමේම ඉදිරියේ තිබූ කඩය රාත‍්‍රී 8ට පමණ වසා දැමූ නිකිණිගේ මව, ගෙය දෙසට හිමින් හිමින් පැමිණෙමින් සිටියාය. මල් පඳුරු අතරින් වේගයෙන් දිව ආ කළු පූසකු වැනි සතෙකු ඇය අසලින් දිවයන අයුරු ඇය දුටුවාය. ඇය එය එතරම් ගණන් නොගත්තාය. එම පූසා ආ වේගයෙන්ම ඉඩමේ ඇති අඹ ගසට නැග්ගේය.
කලවැද්දකු හෝ හෝතඹුවකු විය හැකි යැයි සිතූ ඇය නිවස දෙසට පිය මැන්නේය. එහෙත් වැඩිදුරක් ඇයට යෑමට ඉඩ ලැබුණේ නැත. අඹ ගහ අසලින් යත්ම අඹ ගසේ අත්තක් ඇය මතට කඩා වැටුණේය. කිසිදු හුළඟක්, කිසිදු වැස්සක් නොමැතිව අමු අත්තක් කඩා වැටීම සියල්ලන්ටම මහත් පුදුමයක් විය. අත්ත කඩා වැටීමෙන් කැඞී ගිය ඉලඇටයක් ඇගේ හදවතේ තැල්මක් ඇති කළාය.

මව දිනෙන් දින රෝගී බවට පත්වන්නට විය. ඇයගේ එතෙක් පැවති නිරෝගී බව ඇය වෙතින් ටිකින් ටික දුරස්ව ගියාය. අවසානයේ ඇයද ඇඳට වැටුණේ නිවසේ සියලූ බර නිකිණි මත පටවමිණි. මාස කිහිපයක් ගෙවී ගියේය. මවගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය තත්ත්වයට පත්විය. ඇය සති කිහිපයක් රෝහල් ගතකර සිටියත් ඇය සුව අතට හැරෙන ලකුණක් හෝ නැත. දොස්තරවරු මවගේ ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තු අතහැර දැමූහ.

ඇයට හොඳින් මතකය. ජුනි මාසයේ සිකුරාදා දිනයකි. මවගේ සිහිකල්පනාව විකල් වී ගියාය. ඇය විකාර කතා බොහොමයක් කියවන්නට විය.
‘එපා....... මාව ගෙනියන්ඩ එපා’
‘මුං මාව කන්න හදනවා’
‘මගේ බෙල්ල මිරිකන්ඩ එපා රත්නේ මං මැරෙයි. මම මුකුත් කළේ නෑ’
ඇයද අවසානයේ දරු දෙදෙනා තනිකර නික්ම ගියාය. නිකිණි පවුලේ බර කරට ගත්තාය. මවගේ මරණයෙන් පසු ඇය පුරුද්දක් ලෙස සෑම පෝයටම සිල් ගත්තාය. සිල් ගෙන සිටිද්දීම සිල් ගන්නා දුප්පත් මවකට සිල් රෙදි පූජාකර තම මවටත් පින් දුන්නාය. ඇය මෙලෙස මාස කිහිපයක් එය දිගින්දිගටම කරගෙන ගියාය. එක් දිනක් රාත‍්‍රියේ සිහිනයෙන් සුදු ඇඳුමකින් සැරසුණු ඇගේ මව ඇය ඉදිරියේ පෙනී සිටියාය.
‘මම මෙච්චර දවසක් ගේ ඉස්සරහා අඹ ගහේ හිටියේ. මට ඇඳුමක්වත් තිබුණේ නෑ. දුව සිල් අරගෙන ඇඳුම් පූජා කරපු එකෙන් මට ඇඳුම් ලැබුණා. ඒ එක්කම මට මගේ ආත්මයෙන් නිදහස් වෙන්න පුළුවන්’
එදින සිට ඇය සෑම දිනකම නිකිණිට පෙනෙන්නට පටන්ගත්තාය. ඒත් සමගම ඇය බොහෝ දේ පැවසුවාය.
‘තාත්තා ඉන්නෙත් ඒ අඹ ගහේමයි. එයාට පින්ගන්න බෑ. එයා මළ යකෙක් වෙලා ඉන්නේ. අපි ඔක්කොම එක්ක තරහෙන්. මාව ලෙඩ කළෙත් එයාමයි. මම රෝහලේ ඉන්න විට එයා ඇවිත් මගේ බෙල්ල මිරිකුවා. එයාගේ වටේ තව ගොඩක් අය හිටියා. මට හුස්මගන්න බැරි වෙනකොට එයා මහා හඬින් හිනාවුණා. පිටිපස්සේ හිටපු අයත් හිනාවුණා. මට ඇතිවෙච්ච තරහට තමයි මම පේ‍්‍රත ආත්මයකට ගියේ. ඒත් මට ඉන් මිදෙන්න පුළුවන් වුණා’

නිකිණිගේ හිතට අහේතුකව ආ සිතුවිල්ලක් මත ඇය දිගින්දිගටම සිල් අරගෙන සිල් රෙදි පූජා කළාය. එය ඇගේ මවගේ ආත්මය නිදහස් කරන්නට තරම් බලවත් වී ඇත. මවගේ ආත්මය ඇය සමග තිබූ සබඳතා ටික දිනකින් නතර විය. ඒ ඇයගේ ආත්මය නිදහස් වීම නිසා බව ඇය සිතුවාය. එහෙත් ඇය පුරුද්දක් ලෙස දිගින්දිගටම සිල් ගැනීමත් සිල් රෙදි පූජා කර මවට සහ පියාට පින් දීමත් සිදුකළාය.

එදින මවගේ අවුරුද්දේ දානය පැවති දිනයයි. දින දෙක තුනක් තිස්සේ වෙහෙස නිසා ඇය ටිකක් කලියෙන් ඇඳට ගියාය. ඇයට යන්තම් නින්ද යාගෙන ආවා පමණි. ඇය ඇඳෙන් බිමට පාවී ගොස් බිම වැටුණාය. එය හරියට ඇඳ රෙද්ද සමගින් කිසිවකු ඇයව ඇඳෙන් බිමට ඇද දැමුවා හා සමාන බව ඇයට සිතුණි. නින්දයත්ම ඇය තිගැස්සී ඇහැරෙන්නට විය. දිනෙන් දින මෙම තත්ත්වය වර්ධනය වන්නට විය. රාත‍්‍රියේ සිහිනයෙන් කිසිවකු ඇගේ ගෙල කිහිපවිටක්ම සිර කළේය. ඇය නැගිටින විට කිසිවකු නැත.

මව සිහිනෙන් පැවසූ දෙය ඇයට සිහිවිය. තම පියාගේ ආත්මය තමාවද බිලිගැනීමට උත්සහ දරන බව ඇයට සිතුණි. ඇය ඇගේ හිතවතකු සමග මළගිය අය ගෙන්වන තැනකට ගියාය. ඇගේ මව ගෙන්වීමට උත්සහ කළද ඉන් ඵලක් වූයේ නැත. මවගේ ආත්මය රත්නපුරය පැත්තේ ඉපදී ඇතැයි දේවාලය පවත්වාගෙන යන මෑණියෝ ඇයට පැවසූහ. එය සත්‍යයක් විය හැකිය. මව සිහිනෙන් පෙනුණු අවසාන දිනවල ඇය ඇයගේ ආත්මයට මිදිය හැකියැයි පැවසුවාය. අවසානයේ තම පියාගේ ආත්මය ගෙන්නුවේය. පියාගේ ආත්මය ගෙන්වීමත් සමගම පියා අවසන් කාලයේ සිටි ලෙස මෑණියෝ උඩුබැලි අතට බිම දිගාවිය. මෑණියන්ගේ උදව්වට ළඟ සිටි අතවැසියා කතා කළේය. මෑණියන් තරමක් අපහසුවෙන් සිටින අයුරු දිස්විය.
‘තමුන් කවුද?’
‘මම රත්නේ.....’
‘මෙයා කවුද?’
අතවැසියා නිකිණි දෙසට අත දිගු කළේය.
‘ඒ මගේ දුව’
‘මොකද දිග ඇදිලා ඉන්නේ’
‘මගේ කොන්ද කැඩුණා’
පැමිණ ඇත්තේ තම පියාගේ ආත්මය බව නිකිණිට හොඳින්ම පැහැදිලි විය. ඒ ආත්මය වෛරයෙන් කැකෑරෙමින් සිටියේය. දත්මිටි කමින් අත් දිගු කරමින් සිටියේය.
‘ඇයි..... දුවගේ බෙල්ල මිරිකන්නේ........’
‘මම පණ අදිනකොට වතුර ඉල්ලූවා...... මේකි දුන්න වතුර මගේ උගුරේ හිරවුණා. ඒ වෙලාවේ මේකිත් එක්ක ආපු තරහත් එක්කයි මම මැරුණේ. මම මැරෙන්ඩ පණ අදින වෙලාවේ ගෑනි මගේ ළඟ හිටියේ නෑ. මම තනියෙන්ම යන්න ගියා’
මම ඒකිවත් මගේ ළඟට ගත්තා. ඒත් මේකි පින් දිලා දීලා ආයිත් ඒකිව මගේ ළඟින් අයින්කළා. ඒ තරහට තමයි මම මේකිගේ බෙල්ල මිරිකන්නේ. මේකිගේ බෙල්ල මිරිකන්න අත තියනකොට මාව පිච්චෙනවා. ඒකයි මේකි තාම බේරිලා ඉන්නේ’
‘ඇයි ඔහේට ඔය ආත්මෙන් නිදහස් වෙන්න බැරිද?’
‘බෑ...... මම ඉන්නේ ගේ ඉස්සරහා අඹ ගහේ. මම නිදහස් වෙන්න නම් මාස 3ක් එක දිගට බෝධියට සුදු මල් පූජා කරලා මට පින් දෙන්න  ඕනේ. ඒත් කවුද ඒක කරන්නේ.....’
නිකිණි තම පියාගේ ආත්මය මුදාගැනීමට පොරොන්දු විය. ඇය දෙමසකට අධික කාලයක් තිස්සේ තවමත් බෝධි පූජාව සිදුකරමින් සිටින්නීය.



No comments:

Powered by Blogger.