රිදී මේසයේ සැගවුණු භූතයා

සිරිවර්ධන දුක්මහන්සියෙන් ගොඩනගාගත් නිවසට ගෙවැදී සති කිහිපයක් ගෙවී ගියේය. නිවසට අවශ්‍ය මේස පුටු මිලදී ගන්නට තරම් ආර්ථික ශක්තියක් ඒ වනවිට ඔහුට තිබුණේ නැත. රජයේ සේවකයකු වූ සිරිවර්ධන ලබාගත් බැංකු ණය සම්පූර්ණයෙන්ම නිවස ඉදිකිරීමටම යටකර තිබුණි. මේ අතරතුර ඔහු සේවය කළ ආයතනයේ හිතවතකුගෙන් අඩුවට මිලදී
ගතහැකි ගෘහ භාණ්ඩ ඇති තැනක් පිළිබඳ තොරතුරක් ඔහුට ලැබුණේය.

‘සිරිවර්ධන මහත්තයා පන්නිපිටියේ ගෙදරක අඩුවට මේස පුටු වගයක් විකුණන්න දාලා තිබ්බා’
‘කොතැනද?’

‘පන්නිපිටිය හන්දියට කිට්ටුවමයි. ගොඩක් ලාබයි. හොඳ මේසයක් තිබ්බා. මට මහත්තයව මතක් වුණා. ගෙදරට මේසයක් ගන්න ඕනේ කිව්වනේ’

‘අපි හවසට ගිහින් පොඞ්ඩක් බලමුද?’

‘වැඩ ඇරිලා යමු’

හවස කතාකරගත් පරිදි ඔවුහු මේසය මිලදී ගැනීමට ගියහ. එතැන තිබුණේ වසා දමන ලද හෝටලයක පුටු මේස හා උපකරණය. පිට පළාතක පවත්වාගෙන ගිය හෝටලයක බඩු එහි හිමිකරුවන් නිවසට ගෙනවිත් දමා විකුණතැයි සිරිවර්ධන සිතුවේය. හිතවතා පැවසූ ලෙසම ඒවායේ මිල ඉතා අඩුය. ගෙදරට අවශ්‍ය පුටු මේස ටික ඉතා අඩුවට මිලදී ගැනීමට හැකිවීම ඔහුට ඇති කළේ මහත් සතුටකි. තමන්ගේ කාමරයට හොඳ තේක්ක ලීයෙන් කරන ලද ලියන මේසයක්ද ඔහු මිලදී ගත්තේ දරවලට ඉවත දමන ලෑලි ටිකක්වත් ඒ මිලට නොලැබෙන නිසාය.

අදින් වසර තිහකට පෙර සිරිවර්ධන මිලදී ගත් ඒ ලියන මේසය ඔහුගේ කාමරයේ එක් මුල්ලක අදටත් දැකගත හැකිවෙයි. එහෙත් මේසය නිවසට ගෙන එන දවසේ පස් දෙනෙක් සිටි නිවසේ අද ඉන්නේ සිරිවර්ධන පමණි.
නව නිවසට පිවිස කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. එතෙක් ඔවුන් අතර පැවති සතුට ටිකෙන් ටික අඩුවී යන්නට වූයේ කිසිදිනක තරහානොගිය සිරිවර්ධනට සුළු දෙයට පවා තරහා යන්නට වීමත් සමගය. සමහර අවස්ථාවලදී තරහා ගිය හේතුව ඔහුටම සිතාගත නොහැකි විය. තරහා ගිය විට ඔහු හැසිරුණේ පිස්සකු ලෙසය. අසභ්‍ය ලෙස බැන වදිමින් කොණ්ඩය අවුල් කරගනිමින් සම්පූර්ණයෙන්ම වෙනස්ම අයුරින් ඔහු හැසිරුණේය.

නිවසේ අයට මෙය මහත් ගැටලූවක් විය. මෙච්චර කල් හොඳින් ගත කළ මිනිසාට සිදුවූයේ කුමක්ද කියා ඔවුනට සිතාගත නොහැකි විය. රාජකාරි ස්ථානයේදී හෝ නිවසින් පිටතදී ඔහු ගතකළේ වෙනස් ජීවිතයකි. ඉතා සැහැල්ලූවෙන් මෙන්ම ඉවසීමෙන් කාලය ගත කළද නිවසට පැමිණි විට ඒ සියල්ල පිපිරී ගියේය. වසර දෙක තුනක් ගෙවී යද්දී නිවසේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන්නට විය. සිරිවර්ධනගේ කාමරය ටිකෙන් ටික පෙරේත විමානයක් බවට පත් වන්නට වූයේ බිරිඳ ලොකු දුවගේ කාමරයේ
නිදාගැනීමට තීරණය කිරීමත් සමගය. සිරිවර්ධනගේ විකාර හැසිරීම ඇයට මහත් මානසික පීඩාවක් ඇති කළාය.

සිරිවර්ධනගේ බිරිඳ මේ අතරතුර තමන්ගේ නිවසට සිදුව ඇත්තේ කුමක්දැයි කියා සොයා ගැනීමට සාස්තර, අඳුන් හා යකැදුරන්ගේ පිහිට සොයා යන්නට විය. එක එක තැනින් එක එක කාරණා පැවසුවේය. බොහෝ තැන්වලින් කියැවුණේ නිවසට කර ඇති හදිහූනියමක් පිළිබඳයි. කියූ දේවල් එකිනෙකට පරස්පර වුවත් සැමියාට හොරෙන් නිවසට කරගත හැකි ආරක්ෂාවන් ඇය කරගත්තේ නිවසට පැමිණ කරන පූජා කටයුතුවලට තම සැමියා තදින්ම විරුද්ධවූ නිසාය.

සිරිවර්ධනට මානසික රෝගයක් ඇතැයි නිවසේ අය සිතූහ. බොහෝ දිනවල ඔහු කාමරයේ වූ ලියන මේසයට වී කල්පනා කරමින් රැය පහන් කළේය. ඔහු කල්පනා කරන්නේ කුමක්ද කියා හෝ හැඟීමක් ඔහුට නැත. කාමරයට කිසිවකු හෝ ඇතුළු වුවහොත් යකකුට මෙන් ඔහුට තරහා ගියේය. එක් දිනක් සිරිවර්ධනගේ පොඩි පුතා හදිසියකට ලියන මේසයේ ලාච්චුවේ තිබූ පෑනක් ගත්තේය. ඒ අවස්ථාවේදී පියා නිවසේ සිටියේ නැත. පියා ඒමට පෙර යළි පෑන ලාච්චුවටම දැමුවේ පියාගේ හැටි දන්නා නිසාය. එහෙත් සිදුවූයේ කිසිලෙසකවත් සිතිය නොහැකි දෙයකි.

වැඩ ඇරී රාත‍්‍රී හතට පමණ නිවසට පැමිණි සිරිවර්ධන ඇඟපත සෝදාගෙන කාමරයේ ඇඳට ගියේය. දරුවන් තිදෙනාට සහ බිරිඳට ඔහු කතා කළේ අත්‍යවශ්‍ය කාරණයකදී පමණක් වූයේ ඔහුගේ කේන්තිය කොහෙන් පුපුරා යාවිද කියා තේරුම්ගත නොහැකිවූ නිසාය. ඇඳට වී ටික වේලාවක් සිටි සිරිවර්ධන එක් වරම නැගී සිටියේය. ඔහුගේ මුහුණ වියරු වැටුණු නාගයකුගේ බඳු විය. ඇස් දෙක ලොකු විය. වේගයෙන් කාමරයෙන් එළියට පැමිණි ඔහු මොර දෙන්නට විය.

‘මොකාද මගේ මේසෙ ඇද්දේ. මම තොපිට කියලා තියෙනවා නේද මගේ කාමරයට එන්න එපා කියලා. කියපන් මොකාද අද මගේ කාමරයට ගියේ කියලා’

කිසිවකු හෝ කතා කළේ නැත. කතා කළොත් ප‍්‍රශ්නය දුර දිග යන බව ඔවුහු අත්දැකීමෙන් දැන සිටියෝය. එහෙත් නිහඬ බව මෙවර ප‍්‍රශ්නය තව තවත් වර්ධනය කරන්නට විය.

‘තොපි එකෙක්වත් කියන්නැද්ද මොකාද මගේ මේසය ඇද්දේ කියලා. අද මම තොපිව ඉතුරු කරන්නේ නෑ’
වෙනදා සිදුනොවූ දෙයක් සිදුවන්නට යන බව තේරුම්ගත් මව සිරිවර්ධන කුස්සිය දෙසට යන සැණින් ළමයි තිදෙනා රැගෙන නිවසින් එළියට පැන්නේ ලොකු දුවගේ කාමරයේ දොරද වසා දමමිනි. ඔහු කුස්සියෙන් එළියට පැමිණියේ පොරවද රැගෙනය.

‘හිටපන් අද තොපිට මම කවුද කියලා පෙන්වන්න’

ඔහු ලොකු දුවගේ කාමරයේ දොර පොරවෙන් ගසා දෙපලූකර කඩා දැමුවේය. එහෙත් කාමරයේ කිසිවකු නොමැති බව තේරුම්ගත් ඔහු සාලයේ වූ බඩු මුට්ටු කුඩු කරන්නට වූයේ යකෙක් වැහුණු මිනිසකු ලෙසිනි. එයින් නොනැවතී ලොකු දුවගේ හා බිරිඳගේ ඇඳුම් එළියට දමා ගිනි තිබ්බේය. දරු තිදෙනා හා බිරිඳ අවසන් වරට නිවසේ සිටියේ එදිනය. ඔවුන් මවගේ මහ ගෙදරට පිටව ගියේ යළි කිසි දිනක නොපැමිණෙන අදහසිනි.

සිරිවර්ධනට තම පවුල යළි කිසිම දිනක එකතු කරගැනීමට හැකිවූයේ නැත. ඔහු කොපමණ උත්සහ කළද තම පවුලේ අය යළි නිවසට එක්කගෙන ඒමට හැකිවූයේ නැත. අවසානයේ ඔහු නිවසේ තනිවිය. වසර විස්සක් පමණ කාලයක් යනතුරුම ඔහුගේ පවුලට සිදුවූයේ කුමක්ද යන්න සොයාගැනීමට ඔහුට හැකිවූයේ නැත.
මෑත එක් දිනකදී ඔහුගේ මිතුරකුගේ අවශ්‍යතාවක් උදෙසා මා හමුවීමට පැමිණියේය. මිතුරාගේ කාරණාව නිමවීමෙන් පසු ආගිය තොරතුරු කතා කර කර සිටින අතරතුරදී මා සිරිවර්ධනගෙන් ඇසූ ප‍්‍රශ්නයෙන් සිරිවර්ධන ගල්ගැසී ගියේය.

‘තමන්ගේ කියන හැමෝම තමන්ව දාලා ගියා නේද?’

‘ඔව්. අවුරුදු විස්සක් තිස්සේ ගෙදර ඉන්නේ මම විතරයි’

‘නෑ... ගෙදර තව කෙනෙක් ඉන්නවා’

මා සිනාසෙමින් පැවසුවේය.

‘කවුරුත් වෙන නෑ..’

‘ඇයි ඔබ අවුරුදු 25-30කට කලින් මේසයක් ගෙනාවා නේද? ඒකේ අයිතිකාරයත් ඉන්නේ ඔය ගෙදරමයි’
‘කවුද?’

‘ගෙදර ගියාම හොඳට බලන්න වාඩිවෙන තැනින් වම් පැත්තේ මැද හරියේ පිහිතුඩක් ඇනිච්ච පාරක් ඇති. පාවිච්චි කරපු මේසයක් නේද ගත්තේ?’

‘ඔව්’

‘ඔය මේසයේ අයිතිකාරයා ලොකු බිස්නස්කාරයෙක්. හැබැයි මොනවා හරි හොර වැඩවලට සම්බන්ධයි. රිදී වගයක ප‍්‍රශ්නයකට ඔය මේසය උඩම පිහියෙන් ඇනලා එයාව මරලා’

‘ඇයි එයා මගේ පස්සෙන් එන්නේ....’

‘එයාගේ වස්තුව තියෙන්නේ ඔය මේසයේ...’

‘මේසේ මම ගන්න කොට ඒකේ මුකුත් තිබ්බේ නෑ’

‘ඔය මේසේ ලොකු කකුල් නේද තියෙන්නේ..... ගොඩක් බර මේසයක් නේද?’

‘ඔව්.... ඒක ගොඩක් බර හයිය මේසයක්’

‘ඒකේ කකුල් ලේසියෙන් ගලවන්න පුළුවන් විදියට ඇණ දාලා ඇත්තේ. ඒ කකුල් ගලවන්න. ඒක ඇතුළෙ රිදී පතුරු වගයක් තියෙයි. ඔය ටික නිසා තමයි තමුන්ගෙයි, එයාගෙයි දෙන්නගෙම ජීවිත විනාශ වුණේ..’

‘එයාව අයින් කරන්න බැරිද?’

‘එයා කියන විදියට කළොත් එයාව නිදහස් කරන්න පුළුවන්...’

‘මොකක්ද කරන්න ඕනේ.. එතැන තියෙන රිදීවලින් පොඩි මල් පොකුරක් හදවන්න. මල් 21ක. ඒක රතුපාට වීදුරු පෝච්චියකට දාලා බෝගහක් යටින් තියලා පොඩි තැඹිලි ගෙඩියක් දෙකට පළලා, කොහොඹ තෙල් පහනක් පත්තු කරලා, බෝධිය මුල ළඟ තියලා පූජා කරන්න. ඒ පින ඒ ආත්මයට අනුමෝදන් කරලා, ඉන්න ආත්මෙන් මිදෙන්න කියලා හිතන්න’

සිරිවර්ධන නිවසට පැමිණියේ පැවසූ දෙය ඇත්තක්ද යන්න තම නෙත්වලින්ම දැකීමේ අදහසිනි. ඔහු නිවසට පැමිණි සැණින් ගියේ මේසය ළඟටය. මේසයේ කකුල් සවිකර තිබුණේ බෝල්ට් ඇණ දෙකකිනි. මේසයේ පළමු කකුල ගැලවූ විට ඔහුගේ දෑස් නිලන්කාරවී ගියේය. කකුල තුළවූ රිදී කැබලි ටයිල් පොළොව මතට හැලී ගියෙන් සිරිවර්ධනට ආසාවකට වඩා ඇතිවූයේ තරහකි. තමාගේ මුළු ජීවිතයම විනාශකර දැමූයේ මේ රිදී කැබලිය යන හැඟුමෙන් ඒ දෙස බලා සිටියේය.

කකුල් හතර තුළම වූ රිදී ටික එක ගොඩකට දමා දිගු සුසුමක් හෙළුෑ සිරිවර්ධන මළගිය ආත්මය ඉල්ලූ පූජාව කරන අයුරු බිම වාඩිවී කල්පනා කරන්නට විය.

No comments:

Powered by Blogger.