මන්ත්‍ර බලයෙන් පරතෙරට ගිය අවුඩංගාවේ හිමි

ඒ 1967 වර්ෂයයි. එකල මම ගලේවෙල මහා විද්‍යාලයේ උප ගුරුවරයකු ලෙස සේවය කළෙමි. ගලේවෙල හා දඹුල්ල අතර පිහිටි තලකිරියාගම නමැති ගම්මානයෙන් හැරී ගුරු පාරක්‌ දිගේ සැතපුම් පහක්‌ පමණ ගිය විට හාත්පසින් වනාන්තරයෙන් වට වූ 'දඬුබැඳිරුප්ප' නම් පාරම්පරික පැරැණි ගම්මානය හමු වෙයි. ගලේවෙල සිට කලාවැව බැම්ම දිගේ අවුකනට විහිදෙන පාරේ බුදුගේහින්න හන්දියෙන් හැරී සැතපුම් පහක්‌ පමණ වන තීරුව දිගේ ආ විට ද
දඬුබැඳිරුප්ප ගමට ආ හැක. මුළුමනින්ම වනයෙන්, වන සතුන්ගෙන් ගහන වනගත පාරම්පරික ගම්මානයක්‌ වූ දඬුබැඳිරුප්පේ සියලු පවුල් එකට එකතු වී අවුරුද්දකට වරක්‌ දඹුල්ල විෂ්ණු දේවාලයට පෙරහැරක්‌ පවත්වති. ඒ හුදකලාව වන මැද ජීවත්වන ඔවුන්ට දේව පිහිට ලබා ගැනීමටයි. මේ ගමේ මළ ගෙදරකට යැමට අපට සිදුවිය. උසස්‌ පෙළ පන්තියේ ළමුන් කණ්‌ඩායමක්‌ සමඟ ඔයවල්, දිය දහරා පසු කරමින් ගුරුපාර දිගේ වනය මැදින් දඬුබැඳිරුප්පට ගිය ගමන මට තවම ඊයේ මෙන් මතකය. ඉතා චාම් පැරැණි ජීවිත ගමේ විය.

ගමේ පන්සලේ අවුරුදු අනූව පසුකළ ඉතා වයස්‌ගත හිමිනමක්‌ ගිලන්ව සිටින බව ඒ ගමෙන් පාසල් එන ශිෂ්‍යයෝ මට කීහ.

"අවුඩන්ගාවේ හාමුදුරුවෝ කිව්වොත් මුළු පළාතම ප්‍රසිද්ධයි. අවුඩන්ගාව කියන්නේ සීගිරිය කිට්‌ටුව ගමක්‌. ඒ වුණාට ඒ හාමුදුරුවෝ තරුණ කාලේ ඉඳලම ජීවත් වුණේ දඬුබැඳිරුප්ප ගමේ. රට පුරා යන්ත්‍ර මන්ත්‍රවලට අවුඩන්ගාවේ හාමුදුරුවෝ වැඩියා. දැන් වයස අනූව පහුවෙලා. ඔත්පලයි. හැරමිටි වාරුවෙන් තමයි යන්නේ. දැන් කොහෙවත් ඈත යන් නෑ. බැරිම කෙනෙකුට පන්සලට ආවොත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරල දෙනවා.

අප පන්සලට යන විට දහවල් දානෙන් පසු හිමිනම සැතපෙමින් සිටියේය. පන්සල කුඩාය. චාම්ය. හිමිනම සමඟ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ආවතේව වැඩට යන අයකු පන්සල ළඟ නිවසේ විය. මම ඔහු සමඟ කතාවට වැටුණෙමි.

"හාමුදුරුවන්ගේ හපන්කම් ගැන ඕනෑ තරම් රසවත් කතන්දර ඇති. මට එක කතාවක්‌ කියන්න පුළුවන්ද?"

වනය පීරාගෙන එන මන්ද මාරුතය ඇඟ ගිනි කවන ග්‍රීෂ්මය නිවයි. නගරයේ තාර සිමෙන්ති රත් වී විඳින දහදුකට වඩා මේ වනාන්තරය මැද ගැමියන් ගෙවන සරල ජීවිතය ස්‌වභාව ධර්මයට කෙතරම් එකඟÊදැයි මට හිතෙයි. බුලත් විට සපා හපය ඉවතට විසි කළ ඔහු දිග කතාවකට මුල පුරයි.

"එක දවසක්‌ හාමුදුරුවෝ හමුවන්න මැදිවියේ කෙනෙක්‌ ආවා. එයා අඬමින් දොඩමින් එයාගේ පවුලට වෙච්ච නස්‌පැත්ති හාමුදුරුවන්ට කිව්වා. ඉඩම් හබයකට ළඟÊකෙනෙක්‌ මේ පවුලට බලගතු කොඩිවිනයක්‌ කරලා. ඒකේ විපාකය විදිහට පවුලේ තුන්දෙනෙක්‌ එක අවුරුද්දකදී නැතිවෙලා. පවුලේ තවත් කෙනෙක්‌ අසාධ්‍යව ඇඳට වැටිලා. කොයි තරම් බෙහෙත් කළත් අල්ලන් නෑ. හාමුදුරුවෝ අංජනමෙන් විස්‌තර බලාගෙන කිව්වා. පහුවදා ඒ ගෙදරට එන්න පොරොන්දුÊවෙලා ඕනෑ කරන අඩුම කුඩුම ලැයිස්‌තුවක්‌ ලියලා දුන්නා. හාමුදුරුවෝ වැඩම කරගෙන ගමට එක්‌ක එන බව පොරොන්දු වුණා. කොහෙ ගියත් හාමුදුරුවන්ගේ තනියට මම එක්‌ක යනවා. පහුවදා දවල් අර මනුස්‌සයා ආවා. හැන්දැවේ දෙකට විතර අපි තුන්දෙනා ගමන පිටත් වුණා. ඒ ගෙදරට ගියේ අඳුර වැටුණාට පස්‌සේ. හාමුදුරුවෝ එක්‌ක මම හූනියම කපන්න ඕනෑ කළ කලමනා සකස්‌ කළා. ගෙදර අය රෑට කාලා රෑ අටට විතර යන්ත්‍ර මන්ත්‍ර වැඩ පටන් ගත්තා. ඒ වගේ බලගතු ගුරුකම්වලදී කරන කියන උපදෙස්‌ අත්දැකීමෙන් මම දන්නවා. ඊට අමතර උපදෙස්‌ ඇත්නම් හාමුදුරුවෝ දෙනවා. පුද පූජා, ගොටු, මල් පුළුටු, මල් පැලක ඔක්‌කොම සූදානම් කරලා. හාමුදුරුවෝ මතුරන්නට පටන් ගත්තා. මම සැරෙන් සැරේ මල් පැලට කාමරයට කට්‌ටකුමංජල් දුම් අල්ලනවා. මුළු පරිසරයම නිශ්ශබ්දයි. ඔරලෝසුවේ රෑ දොළහ වැදුණා. කෝපි කෝප්පයක්‌ ගිලන්පසට වළඳලා හාමුදුරුවෝ ආයෙත් මතුරන්න පටන් ගත්තා. දැන් රෑ දෙකට කිට්‌ටුයි. හාමුදුරුවෝ පරල වුණා වගේ මතුරනවා. මම දුම් අල්ලනවා. එළියේ අමුතු අමුතු ශබ්ද ඇහෙනවා. හිටපු ගමන් මැතිරිල්ල නවත්තලා හාමුදුරුවෝ ඉද්ද ගැහුවා වගේ හිටගත්තා.

"බේත් තුවක්‌කුව ලෑස්‌තිද?" හාමුදුරුවෝ මගෙන් ඇහුවා.

"මම තව ටික වෙලාවක්‌ මතුරලා මගේ හැරමිටිය හයියෙන් පොළොවේ අනිනවා. එතකොටම උඹ මිදුලට පැනල අහසට එල්ල කරලා තුවක්‌කුවෙන් වෙඩි තියපන්. ඒ වෙඩිල්ල යන්නේ අහසට. හැබැයි කොයි දීපන්කරේ හිටියත් හූනියම කළ එකා ඒ වෙඩිල්ල වැදිලා කම්මුතු වෙනවා. ඒ වෙඩිල්ල තිබ්බ ගමන් උඹයි මමයි ගෙදර කෙනෙක්‌ පාරට එක්‌කරගෙන යන්ට ඕනෑ. අපි මෙහෙ විනාඩියක්‌වත් නතර වෙන්නෙ නෑ. අපි රෑම පන්සලට යන්න පිටත් වෙනවා. හූනියම කළ එකා කොහෝ හිටියත් ඒ වෙඩිල්ලෙන් මැරිල වැටෙනවා. අපිත් එක්‌ක පාරට යන කට්‌ටිය සූදානම්ද? හාමුදුරුවෝ ඇහුවා. ඉලන්දාරි තුන්දෙනෙක්‌ ගමනට සූදානම් වෙලා හිටියා."

හාමුදුරුවෝ ආයෙත් පැය භාගයක්‌ විතර මතුරනවා. මම දුම් ඇල්ලුවා. එළියේ වෛවාරන ශබ්ද. හාමුදුරුවෝ එක පාරටම හැරමිටිය බිම ඇන්නා. මම එළියට පැනලා මුල්ලේ සූදානම් කරලා තියපු තුවක්‌කුව අරගෙන අහසට වෙඩි තිබ්බා. රෑ පාළු පරිසරයේ දොaංකාරය කරගෙන වෙඩිල්ල අහසට නැග්ගා. එතකොටම කළමනා පොට්‌ටනිය සූදානම් කරගෙන හාමුදුරුවොයි මමයි ඉලන්දාරි තුන්දෙනයි එළියට බැස්‌සා. ඒ අතුරු පාරේ හැතැම්මක්‌ විතර මහ පාරට යන්ට ඕනෑ. අපි එනකොට ඒ මඟ ගෙදරක මනුස්‌සයෙක්‌ නහයෙන් කටින් ලේ දාගෙන මැරිල වැටිලා. ළඟ ගෙවල්වල මිනිස්‌සු විලාප ශබ්දෙට හුළුඅතු බැඳගෙන ඒ ගේ දිහාට දුවනවා. අපි ඉක්‌මනට ඒ පාර පහුකර ගෙන ගියා."

"අපි හිතාගෙන හිටිය සැක කරපු හූනියම කරපු මිනිහා නාහෙන් කටින් ලේ දාගෙන මැරිල වැටිලා. ගෙදර අය විලාප දෙනවා. ඉලන්දාරි කට්‌ටිය කිව්වා. හාමුදුරුවෝ වචනයක්‌වත් කතා කළේ නෑ.

"අනුන්ට විපතක්‌ කළොත් ඒක තමන්ට ආපහු එන බව දැනගන්ට ඕනෑ. මං මේ මතුරලා අහසට තියන වෙඩිල්ල ඒ වැරැද්ද කළ මිනිහා කොහේ හිටියත් වැදිල විපාක දෙනවා. ඒකෙ දෙකක්‌ නෑ."

"පන්සලට අපි එන කොට එළිය වැටිලා. අපි පන්සලට ඇරලල තේ බීලා ඉලන්දාරි තුන්දෙනා ආපහු ගියා. හතුරා එදාම රෑ මැරිල වැටුණා. පණ ඇද ඇද හිටපු ලෙඩා ඇඳෙන් නැගිට්‌ටා. දවස්‌ තුනකට පස්‌සේ කැවිලි පෙවිලි, පුද පඬුරු අරගෙන පවුලේ ඔක්‌කොම හාමුදුරුවෝ ළඟට ඇවිත් දණගහල වැන්දා"

ඔහු කතාව නතර කොට වටපිට බලයි. පන්සලේ බෝ ගසේ කොළ සුළඟට හසු වී හඬ නඟයි. යහනේ වැතිර සිටින හිමියන්ගේ මුqහුණ දෙස බැලූ මම ළමුන් සමඟ පාරට බැස්‌සෙමි. එහෙත් හිතත් ගතත් කතාව අසා දින කීපයක්‌ කම්පනයට පත් විය.

No comments:

Powered by Blogger.