අද්භූත හතරමං හන්දිය

මේ පේජ් එකේ මං දාන මුල්ම කතාව. මේක ඇත්ත එකක් කියලා මං කියන්නෙ වගකීමෙන්.

මේක සිද්ධ වෙලා තියෙන්නෙ දැනට මාස කීපෙකට කලින්. කුරුණෑගල වාරියපොල පැත්තට ලඟ මිනුවන්ගැටේ පැත්තෙ මිනුවන්ගැටේ ජලාශය ඉදිකරපු පැත්තෙ. මූන දීලා තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩකරන මගේ යාලුවෙක් සහ එයාගෙ සහෝදර සේවකයො කීපදෙනෙක්. යාපහුව පැත්තෙ පුරාවිද්‍යා වැඩපොලක තමයි එයා සේවය කරන්නේ. කෝමහරි මෙන්න මේකයි කතාව.

"මහේෂ්.. උඹට ආරංචිද මේ ඔත්තුව මොකද්ද කියලා"

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති වෑන් එකේ පිටිපස්සෙ ශීට් එකේ වාඩි වෙලා හිටපු සුරංග ඇහුවෙ මහ හයියෙන්.වෑන් එකේ ඉස්සරහා ඩ්‍රයිවර්ට එහා අසුනේ වාඩිවෙලා කල්පනාවෙ හිටපු මහේෂ් ගැස්සුනා. "හ්ම්ම් එහෙම නම් දන්නෙ නෑ බං. මිනුවන්ගැටේ පැත්තෙ ඇතුලෙ ගමක නිධානයක් ගන්න සෙට් එකක් ට්‍රයි කරනවා කියලා ලොක්කට ආරංචිය. මිනුවන්ගැටේ පොලීසිය මිනුවන්ගැටේ හන්දියට එයිලු. එයාලත් එක්ක අපිටත් යන්නලු. මමත් ඔච්චරයි දන්නේ බං"
මහේෂ් කිව්වෙ ඔරලෝසුව බලන ගමන්. වෙලාව පාන්දර 1.30 විදියටයි සටහන් වෙලා තිබ්බේ.
"මහ පුදුම පාලු පැත්තක්නේ බං.. පුදුම මූසලයි. සතෙක්වත් නෑ මේ පැත්ත පලතකවත්."
කමල් කිව්වෙ වෑන් එකේ වීදුරු ජනේලයක් අරින ගමන්.
"යකෝ.. ඕක වහපන්. සීතලයි"
පිටිපාසෙම ශීට් එකේ හිටපු කොල්ලෙක් කෑගහපු නිසා කමල් ජනේලෙ වැහුවා. වෑන් එකේ ඩ්‍රයිවරුත් එක්ක පුරාවිද්‍යාවෙ කොල්ලො 7ක් හිටියා.
"උඹට පිස්සුද බං.. යකෝ මේ මිනුවන්ගැටේ ජලාශෙ හදද්දි ඒකට යටවුනු පැත්තක් මිනිස්සු ඔක්කොම ගිහිල්ලා. මතක නැද්ද එද්දි දැක්කා කැඩිලා තිබ්බ ගෙවල්. හැබැයි මේ පැත්ත නම් වතුරට යටවෙලා නෑ වගේ. ඒත් වැවටම අයිති නිසා මිනිස්සුන්ව යවලා. වැව ආයෙ හදන නිසානෙ අපිට මෙහෙම යන්න පුලුවන් තරම් පෑදිලා තියෙන්නෙ."
මහේෂ් පිටිපස්ස හැරිලා කිව්වා. එතකොටම ඉද්ද ගැහුවා වගේ වැදුනු බ්‍රේක් පාර නිසා ශීට් එකෙන් ඉස්සරහට විසිවුනු මහේෂ්ගෙ ඔලුව වින්ඩ්ස්ක්‍රීන් එකේ ඩොග් ගාලා වැදුනා. ඒක දැකපු කොල්ලෝ ටික බක බක ගාලා හිනාවෙන්න ගත්තා..
"මොකද හු$#% වෙලා තියෙන්නේ..? තෝ බ්‍රේක් එක පාගනවද නැත්තන් බ්‍රේක් එකට පයින් ගහනවද..? ආයි යකෝ මගේ ඔලුව"
මහේශ් ඔලුව අතගාන ගමන් කිව්වා.
"අඩෝ සොරි බන්. මටත් ඒක ගානක් ගියේ නෑ.. එක පාරටමයි මන් මේක දැක්කේ.. බලපන්කෝ.. මෙතන හතරමං හන්දියක්. මෙතනින් කොහාටද..?"
ඩ්‍රයිවර් අහද්දි කට්ටියම එබිලා බැලුවා. දැඩි අඳුර කපාගෙන වෑන් එකේ ලයිට් එලියෙන් පෙනුනේ තුන් පැත්තකට විහිදුනු පාරවල් තුනක්.
"ඒයි.. අර පාර අහපු පොර කිව්වෙ වංගු හන්දි මොනාත් නෑ කෙලින් යන්න කියලනේ.. "
පිටිපස්සෙ හිටපු කොල්ලෙක් කෑගැහුවා.
"ඒකනේ.."
මහේෂ්ටත් කියවුනා.
"මොන පාරෙද යන්නේ.."
ඩ්‍රයිවරුත් ඇහුවා. කට්ටියම ටිකක් වෙලා කල්පනා කලා.
"කරන්න දෙයක් නෑ.. මැද පාරෙ යං."
මහේෂ් කියද්දි කවුරුත් මොනාත් කියන්න කලින් ඩ්‍රයිවර් වෑන් එක පාරවල් තුනෙන් මැද පාරට හැරෙව්වා. ටික දුරයි යන්න හම්බුනේ.. ලොකු බ්‍රේක් පාරක් ගහන සද්දයක් එක්කම ආයෙත් ඩොක් ගාලා වින්ඩ්ස්ක්‍රීන් එකේ මොකක් හරි වදින සද්දයක් ආවා. පිටිපස්සෙ හිටපු කොල්ලෝ ඉස්සරහට වීසිවුනා. වෑන් එකත් පැත්තකට විසිවෙලා ගියා.. කට්ටියම කෑගැහුවා.
"තොට පිස්සුද ප%$..? මාව මරන්ඩද යන්නේ.."
මහේෂ් මූන රකුසු කරගෙන ඩ්‍රයිවර් දිහා බලාගෙන ගෙඩි ගැහුනු නලල අතගෑවා.
"අඩේ සොරි බන්.. අර බලපන්.. හාවෙක් පැන්න බන් වෑන් එකට. ඌව හප්පන්න බෑනෙ බන්."
ඩ්‍රයිවර් කිව්වේ පාරෙ සිග් සැග් ක්‍රමේට පැන පැන දුවන ලොකු හාවෙක් පෙන්නලා.
"යමන්.. යමන් දැන් ඉතින්..තෝ ආයේ බ්‍රේක් ගැහුවොත් ඔහොම.. තෝව ඇදලා දානවා ඩ්‍රයිවින් ශේට් එකෙන් බිමට"
මහේෂ් කියද්දි කොල්ලෝ ආයෙ හක හක ගෑවා. වෑන් එක යද්දි පාරෙ දුව දුව ගිය හාවත් ඒ වගේම දිගටම වෑන් එක ඉස්සරහින් දිව්වා. මේ විදිටට ටික වෙලාවක් ගියා.
"ඒ.. මූ මාර හාවෙක්නෙ බන්.. මූ තවම වාහනේ ඉස්සරහින් දුවනවනේ.. මෙච්චර දුරක්.. ඉස්සර කරපන් බලන්න.. ඌ වාහනේට බයේ දුවනවද දන්නෙ නෑනෙ"
මහේෂ් කිව්වා. ඒ වෙද්දි හාවා මීටර 500කටත් වඩා වාහනෙත් එක්කම දුවලා තිබ්බා. ඩ්‍රයිවර් වාහනේ වේගෙ වැඩි කරලා හාවාට ඉස්සර කරන්න හැදුවා. ඒත් හාවා ඊටත් වඩා වේගෙන් පුරුදු සිග් සැග් විදියටම වාහනේ ඉස්සටහින් දිව්වා. ඩ්‍රයිවර් කීප සැරයක්ම උත්සහ කලත් මේ දේම වුනා .
"මේ මොන මගුලක්ද.. යකෝ වෙලාව 2.00ත් පැනලා. සත්තු හුරතල් කරන්න වෙලා නෑ. ඕකව යට කරගෙන හරි පලයන්. පව් නෑ."
මහේෂ් කිව්වෙ කේන්තියෙන්. කේන්තියේ උපරිමයේ හිටපු ඩ්‍රයිවරුත් වේගෙ වැඩි කරලම හාවව යට කරගෙන හරි යන්න ලෑස්ති වෙද්දිම ඌ කැලේට පැන්නා. ඒත් එක්කම ආයෙත් බ්‍රේක් පාරක්.
"යකෝ.. මෙන්න ආයෙත් හතරමං හන්දියක්."
ඩ්‍රයිවර් කෑගැහුවා. කට්ටියම එබිලා බැලුවා. කලින් වගේම හතරමං හන්දියකයි වෑන් එක තින්බේ.
"මේක වෙන්න බෑ බං.. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. යකෝ අරූ කිව්වනේ එකම වංගුවක්වත් නෑ කියලා."
මහේෂ් කිව්වෙ කලබල වෙලා.
"යකෝ.. නංපචං ගාන්නෙ නැතුව කෝල් කරලා අහපංකෝ"
පිටිපාසෙ හිටපු කොල්ලෙක් කෑගැහුවා. මහේෂ් කෝල් එකක් ගත්තා. ටික වෙලාවකින් කෝල් එක කට් කරලා ආයෙත් ගත්තා.
"ශිට් මගුල.. ෆෝන් එක වැඩ නෑ බන්."
මහේෂ් කල්පනාවට වැටුනා. කවුරුවත් සද්දයක් කලෙත් නෑ..
"මෙතන මොකක් හරිම අවුලක් තියෙනවා.. මචං දාපං වාහනේ වම් පැත්තේ පාරට."
මහේෂ් කිව්වේ ලොකු කල්පනාවක ඉඳන්.. ඩ්‍රයිවර් වාහනේ හතරමං හන්දියෙන් දකුනට තිබ්බ පාරට හැරෙව්වා. කට්ටියම මීක්වත් සද්දයක් නැතුව ඔහේ ගියා. ටික වෙලාවකින් ඩ්‍රයිවර් වාහනේ වේගෙ බාල කරලා අමුතු කටහඬකින් කතා කලා.
"මහේෂ් .. ඉස්සරහා බලපංකෝ.."
ඒ කටහඬින් තිගැස්සිලා පියවි සිහියට ආපු මහේෂ් ඉස්සරහා බැලුවා.. වාහනේ ඉස්සරහින් සිග් සැග් ක්‍රමේට පැන පැන යමින් හිටියේ හාවෙක්..
"මචං ආයෙත් හාවෙක් නේද.. මේ අරූම වගේ බන්.. මොකද වෙන්නේ මේ.."
පිටිපස්සෙ හිටපු කොල්ලෙක් බය වෙච්ච හඬින් කිව්වා..
"බය නොවී ඉඳහන්කෝ.. කවුද දන්නෙ මේ වෙන හාවෙක්ද කියලා.."
මහේෂ් කිව්වෙ හිතට අවංකව ඒ අදහසින් නම් නෙමේ. කට්ටිය බයවෙන එක නවත්තගන්න. හාවා පුරුදු විදියටම දිව්වා.. ටික වෙලාවකින් ඌ ආයෙත් කැලේට පැන්නා. ඊලඟ මොහොතේ ඩ්‍රයිවර් වාහනේ නවත්තලා මහේෂ්ගේ මූන බලද්දිම එයත් ඩ්‍රයිවර්ගෙ මූන බැලුවා. ඉස්සරහා තිබ්බේ හතරමං හන්දියක්..
"මේ අර කලින් හන්දියම තමයි බන්.. මං කලින් සැරේ මතක තියාගත්ත ලොකු ගහ ඒ විදියටම තියෙනවා බන්"
පිටිපස්සේ හිටපු එකෙක් කියනවා මහේෂ්ට ඇහුනා.. එයා ඩ්‍රයිවර් දිහා බලලා ඉස්සරහට යමු කියලා ඔලුවෙන් සංඥා කලා. ඩ්‍රයිවර් හතරමං හන්දියෙන් කෙලින්ම තිබ්බ පාරට දැම්මේ ලොකු වේගෙකින්. ටික වෙලාවක් යද්දි පාර දිහා උවමනාවෙන් බලපු ඩ්‍රයිවර් හෙඩ් ලයිට් ඩිම් කරලා ආයෙ හෙඩ් එකට දැම්මා..
"ඒයි.. මහේෂ්.. මනුස්සයෙක් බන්.."
ඩ්‍රයිවර් වාහනේ වේගෙ බාල කරලා මහේෂ් දිහාවත් නොබලා පාරෙ යමින් හිටපු මනුස්සයා දිහාම බලාගෙන කිව්වා. ඇත්තටම පාරෙ ඈතින් මනුස්සයෙක් යමින් හිටියා. සම්පූර්න කලුවට යුරෝපීය ඇඳුම් කට්ටලය ඇඳලා හිටපු එයා ඔෆිස් බෑග් එකක් එල්ලගෙනයි හිටියේ. පුදුම උසක් තිබ්බේ ඒ මනුස්සයාට.අසාමාන්‍ය උසක්. අනිත් අසාමාන්‍යම දේ තමයි එයා යමින් හිටියේ සාමාන්‍ය ගමනක් නෙමේ. වඳුරෙක්, හාවෙක් පනිනවා වගෙයි එයාගෙ ගමන. කට්ටියටම ඒක දැනුනා.
"මචං.. ඒ මනුස්සයා ලං කරලා නවත්තපං.. පොරගෙන්වත් පාරක් අහගන්න."
මහේෂ් එහෙම කියද්දිම පිටිපස්සෙ හිටපු කොල්ලෙක් කෑගැහුවා.
"උඹට පිස්සුද.. යකෝ මේ කැලේ කොහෙද ඔෆිස් කිට් ඇඳලා ඔෆිස් බෑග් අරන් යන මිනිස්සු..? ඊටත් දැන් පාන්දර 3ත් පැනලා. ඔය නම් මනුස්සයෙක් වෙන්න බෑ බන්. යමන් ඔන්න ඔහේ අතරමං වෙන්න හරි."
වාහනේ පිටිපස්සෙ හිටපු කොල්ලෙක් එහෙම කියද්දි මහේෂ් පිටිපස්සට හැරුනා.
"අනේ මේ.. කුනුහරුප නොකිය ඉඳපන්.. දැන් කැරකි කැරකි එකම තැන පැය ගානක් තිස්සේ.. ආයෙත් ගිහින් අතරමං වෙන්නද උඹ කියන්නේ..?"
එහෙම කිව්ව මහේෂ් ඩ්‍රයිවර් දිහාට හැරුනා.
"මේ.. ඔන්න ඔය මනුස්සයා ලඟට කරලා නතර කරපන් වාහනේ.."
එයා කිව්වා. ඩ්‍රයිවර් පාරෙ යමින් හිටිය අමුතු මනුස්සයා ලඟ වාහනේ නතර කලේ දෙගිඩියාවෙන්. ඒ මනුස්සයා යමින් හිටිය ගමන නතර කරලා කැලේ පැත්තට හැරිලයි හිටියේ.. මහේෂ් වාහනේ පැති වීදිරුව පහත් කලා. ඒත් එක්කම ෆෝමලීන් ගඳ වගේ සැර ගඳක් පැතිරිලා ගියා.
"මේ... අයියේ.. මේ පාර කොහෙටද වැටෙන්නේ.. මිනුවන්ගැටේට මේ පාරෙන් යන්න පුලුවන්ද..?"
මහේෂ් එහෙම අහද්දිම අමුතු උස මනුස්සයා වෑන් එක පැත්තට හැරුනා.. ඒත් එක්කම වාහනේ ඇතුලේ හිටපු කොල්ලෙකුට කෑගැහුනා.. ඒ මනුස්සයාගෙ මූනෙ තිබ්බ අසාමාන්‍ය සුදුමැලි පාට වගේම ඇස්වල තිබ්බ මලානික පාට දැක්ක මහේෂ්ට දාඩිය දැම්මා.
"ආ.. මේ පාරද.."
ඒ මනුස්සයා කට ඇරියා විතරයි.. ෆෝමලීන් වගේ සැර ගඳ දරුනුවටම පැතිරුනා. ඒ කටහඬ ඇහුනු ඩ්‍රයිවර් ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා. අමුතු මනුස්සයා වාහනේ පැති වීදුරුවට ලංවෙද්දි මහේෂ් තිගැස්සුනා.
"යකෝ.. යමං යමං... යමාංංං"
පිටිපස්සෙ හිටපු එකෙක් මරහඬ දුන්නා..
"යන්න පුලුවන්.. යන්න පුලුවන්.. හැබැයි මමත් එනවා. අපි ඔක්කොම යංකො.යන්නම යං"
අමුතු මිනිහා හිනාවෙලා එහෙම කියලා වාහනේ පිටිපස්ස පැති දොර ලඟට යද්දි මහේෂ් කෑගැහුවා.
"වාහනේ ගනිං.. ඉක්මනට යමං.. යමං යකෝ යමං.."
ඒත් එක්කම වාහනේ දූවිලි අවුස්සගෙන ඉස්සරහට පැන්නා.යන්න පුලුවන් උපරිම වේගෙට වාහනේ ගන්න ඩ්‍රයිවර්‍ට වැඩි වෙලාවක් ගියේ නෑ. වෑන් එකේ හිටපු කොල්ලෝ එහේ මෙහෙ විසිවුනා ඒ වේගෙට. මහේෂ්ට පස්ස බලන පැති කන්නාඩියෙන් පිටිපස්ස බැලුනෙ ඉබේටම. ඒත් පාරෙ කවුරුත් හිටියෙ නෑ.. ඔලුව ජනේලෙන් එලියට දාලා බැලුවත් එයාගෙ ඇස් එයාට බොරු කරලා තිබුනේ නම් නෑ
පැය ගානක් එක දිගට පාරෙ තිබුනු වල ගොඩැලිත් නොතකා වේගෙන් ගිය වෑන් එක නතර වුනේ පාරෙ අයිනෙ ගිනිගොඩක් ගහලා තිබුනු පොඩි පැලක් ඉස්සරහා.
%%%%%%%%%%%%%%%%%%%

"අපිත් මෙහාට එන්නෙ නෑ. ඒත් ආවෙ ජලාශෙ හිඳුනු වෙලාවෙ දර ටිකක් කපාගන්න කියලා. ජලාශෙ හදද්දි වතුරෙන් යටවුනු ගම් මණ්ඩියක්ලු මේ පැත්ත. ඉතින් මහත්තයෝ වතුරෙ ගිලිලා මැරුණු සත්තුන්ගෙ, ඉඩ කඩම් නැති වුනු මිනිස්සුන්ගෙ සැනසීමක් නැති ආත්ම තවමත් සැරිසරනවා ඇති ඕවගේ.. හ්ම්ම් හ්ම්ම් කෝම හරි කාරි නෑ, එලිවෙන්න තව ඩිංගයිනේ.. ඒකත් ඉඳලා උදෙන්ම යමු මහත්තයෝ"
පැලේ හිටපු මිනිස්සු දෙන්නගෙන් කෙනෙක් එහෙම කියද්දි කොල්ලෝ ටික සැනසුම් සුසුමක් හෙළුවත් හිත්වල තිගැස්ම සම්පූර්නයෙන්ම නැති වුනේ නම් නෑ..



2 comments:

Powered by Blogger.