මිනිස් ඝාතනයන් රැසක් සිදු කළ සුල්තාන්ගේ මාලිගය






















නිව් ඔර්ලීන්ස්, ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ විශාලතම නගරයයි. ඒ නගරයේ ඇති ඩෝෆයින් වීදියත් ඔර්ලීන්ස් වීදියත් කෙළවර වෙන තැන ඇති අංක 716 ලිපිනය ඇති නිවස සුවිශේෂ තැනකි. මේ සුවිශේෂී නිවස ඉදි වුණේ 1836 අවුරුද්දේදීය. ෆිලඩෙල්ෆියාවේ උපන් ජෝසෆ් කෝලෝන් ගාර්ඩෙට්, නිව් ඕර්ලීන්ස් නගරයට පැමිණියේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස සාර්ථක ව්‍යාපාරයක් අරඹන්නට සිතාගෙනය. ඔහුගේ බලාපොරොත්තුව සඵල විය. නිව් ඕර්ලින්ස් වලට පැමිණ වසර හතරක් යන්නට පෙරම ඔහුගේ ව්‍යාපාරය අති සාර්ථක විය.

ඒ ව්‍යාපාරයෙන් ඔහු ඉපැයූ මුදලින්, ප්‍රදේශයේ උන් දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේද සහය ලබා ගනිමින් ඔහු තට්ටු තුනකින්ද, භූගත මහලකින්ද යුතු විශාල නිවසක් ඉදිකරවූයේය. ඩෝෆයින් වීදියත් ඔර්ලීන්ස් වීදියත් කෙළවර වෙන තැන අංක 716 යන ස්ථානයේ ඉදිවූයේ මේ නිවසය.

ඔහු ඉදිකල මේ විශාල මනරම් නිවස තවත් අවුරුදු කීපයක් ගිය තැන වෙනත් කෙනෙකුට විකුණා දමන්නට ගාර්ඩෙට් ට සිදු විය. ඒ නිවස ගාර්ඩෙට්ගෙන් මිලදී ගත්තේ ධනවත් බැංකු හා වතු හිමියෙකු වූ ජීන් බැප්ටිස්ට් ලෙ ප්‍රිටෙ නම් වූ ව්‍යාපාරිකයාය. ඇදහිය නොහැකි තරමේ ධනවතෙකු වූ ජීන් බැප්ටිස්ට් මේ අලංකාර නිවස තවත් විශාල කරමින් සහ තව දුරටත් අලංකරණය කරමින් අලුතින් නිමවූයේය.

කොතරම් අලංකාර ලෙස නිවස නිම කළත් ජීන් බැප්ටිස්ට් හා ඔහුගේ පවුලේ අය මේ නිවසේ රැදී උන්නේ අවුරුද්දකට මාස කීපයක් පමණකි. ජීන් බැප්ටිස්ට් පවුලේ අයට රට පුරා අලංකාර මැදුරු කිහිපයක්ම තිබුණු අතර ඔවුහු මාරුවෙන් මාරුවට ඒ මන්දිර වල වාසය කළහ.

1860 දී ඇමරිකානු සිවිල් යුද්ධය එළඹි විට රටේ ආර්ථික තත්වයද ව්‍යාකූල විය. ඒ හා සමගම ජීන් බැප්ටිස්ට් පවුලේ ආර්ථික ස්ථාවරත්වයද ගිලිහෙන්නට වීය. මේ ආර්ථික කඩාවැටීම නිසා තව දුරටත් ඕර්ලින්ස් හි මේ විශාල නිවස නඩත්තු කිරීම ජීන් බැප්ටිස්ට් පවුලට අසීරු කාර්යයක් විය. ඒ නිසා නිවස විකුණා දමන්නට ජීන් බැප්ටිස්ට් තීරණය කළේය. ජීන් බැප්ටිස්ට් කොතරම් උත්සාහ කළද නිවස විකුණා ගන්නට ගැණුම් කරුවෙකු සොයා ගැනීමද ලේසි පහසු කාර්යයක් වූයේ නැත.

පවුලේ ආර්ථික ගැටලු එන්න එන්නටම උත්සන්න වෙද්දී, මන්දිරය විකිණීමේ උත්සාහයද අසාර්ථක වූ තැන අඩු ගනනේ මේ මන්දිරය කුලී පදනම මත හෝ කාගේ හෝ ඇගේ ගහන්නට ජීන් බැප්ටිස්ට් උත්සාහ කළේය.
එසේ උත්සාහ කරමින් සිටින අතරතුර ඔහුට අමුත්තෙකු මුණ ගැසිණ. මේ අමුත්තා මැදපෙරදිග සම්භවයක් ඇති අයෙකි.

මේ මැදපෙරදිග අමුත්තා ජීන් බැප්ටිස්ට් ට ගෙන ආවේ සුභ ආරංචියකි. ඒ මෑතකදී සුල්තාන් වරයෙකු බවට පත් වූ තම සොහොයුරා මේ මන්දිරය කුලියට ගන්නට කැමැත්තෙන් සිටින බවයි. ඒ වන විට ආර්ථික අපහසුතාවයන්ගෙන් බැට කමින් උන් ජීන් බැප්ටිස්ට් මේ අමුත්තාගේ යෝජනාවට එක පයින් එකග වූයේය.
දින කිහිපයක් ඇතුලත මන්දිරය සුල්තාන්ට බදු දෙන බදු ගිවිසුම අත්සන් කෙරිණ. බදු ගිවිසුම අත්සන් කොට වැඩි දවසක් යන්නට කලියෙන් නිව් ඕර්ලීන්ස් වරාය වෙත නැවක් ලගා විය.

ඒ නැවෙන් පැමිණ ගොඩ බට පිරිස දෙස වරායේ උන් අය පවා බලා උන්නේ පුදුමයෙනි. එයින් පැමිණි කාන්තාවෝ මනරම් වර්ණ වලින් යුත්, ඉස්තරම් සේද රෙදි හා පට රෙදි වලින් මැසූ අලංකාර ඇදුමින්ද, මුතු මැණික් සහිත වටිනා ආභරණයන්ගෙන්ද සැරසී උන්හ. පිරිමි උදවිය සැරසී උන්නේ හමුදා ඇදුම් වලට බදු තද පැහැයෙන් යුතු ඇදුම් වලිනි. ඉන්පසු සුල්තාන් වරයාගේ සහෝදරයාද, සුල්තාන් වරයාද නැවෙන් ගොඩ බටහ. ඉන් පසු නැවෙන් වරායට ගොඩ බෑවේ පෙරදිග රටවල ඉස්තරම්ම ලීයෙන් හා වානේ වලින් තනන ලද අලංකාර ගෘහ භාණ්ඩය. මේ තරම් ධනවත් බවක්, මේ තරම් මහේශාක්‍ය බවක් සහ මේ තරම් සුඛෝපභෝගී බඩු භාණ්ඩ රැසක් ඔර්ලින්ස් වැසියන් කිසිදාක දැක තිබුණේ නැත.

නැවෙන් ආ මේ අමුත්තන්ද, සුඛෝපභෝගී භාණ්ඩද සියල්ල පැමිණියේ නිව් ඕර්ලින්ස් හි ඩෝෆයින් වීදියේ අංක 716 දරන මන්දිරයටය.
එතැන් සිට එළඹි මාස කිහිපය තුළ ඩෝෆයින් වීදියේ 716 නිවස ඉතා කලබලකාරී තැනක් විය. හැම රාත්‍රියකම මේ නිවස තුළ සාද පැවැත්විණ.

නිරන්තරව මේ මන්දිරයෙන් නික්මෙන සංගීත නාදයත්, කාන්තාවන්ගේ සිනා හඩත්, පිරිමින්ගේ කතා බහත් අසල්වැසියන්ට ඇසිණ. මන්දිරයෙන් පිටතට හඹා ගිය ප්‍රණීත ආහාර සුවදත්, මිහිරි සිනා කතා හඩත් තුළ දැවටී තිබුණේ සන්තෝෂයේ සලකුණුම පමණකි.

මේ මන්දිරයේ දිනපතාම පැවැත්වුණු උත්කර්ෂවත් සාද වලට කිසි දිනක, එකම නිව් ඕර්ලින්ස් වැසියෙකුටවත් ආරාධනා ලැබුණේ නම් නැත. ඒ වන විට නිව් ඕර්ලීන්ස් වැසියන් මේ මන්දිරයට “සුල්තාන්ගේ මාලිගාව“ කියන්නට පටන් ගෙන තිබිණ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය මාලිගාවක්ම විය. අසල්වැසියෙකුට හෝ නිව් ඕර්ලීන්ස් නගරයේ කිසිදු වැසියෙකුට “සුල්තාන්ගේ මාලිගාව“ ට ඇතුල්වීමට අවසර තිබුණේ නැත. මාලිගාවට සැපයෙන එදිනෙදා සැපයුම් මාලිගාවේ දොර අසල තබා යායුතු විය. ඒ සියලු සැපයුම් වලට පසුදා උදෑසනම නොවරදවාම රත්තරනින් ගෙවීම් සිදු කරනු ලැබිණ.

එක් රාත්‍රියක නිව් ඕර්ලින්ස් ප්‍රදේශයට දැඩි කුණාටුවකට මුහුණ දෙන්නට සිදු විය. එක දිගට ඇද හැලුණු වර්ෂාපතනයත්, බිහිසුණු ලෙස හමා ගිය කුණාටුවත් නිසා එදා රෑ නිව් ඕර්ලින්ස් වැසියන් කිසිවෙකුත් නිවෙස් වලින් එලියටවත් බැස්සේ නැත. සියල්ලෝම නිවෙස් තුලට වී දොරවල් වසාගෙන උන්හ.
පසුදා උදෑසන වන විට වැස්සත් පායා, කුණාටුවද නතර වී, සියල්ල සන්සුන් බවට පත් වී තිබිණ. වැස්සෙන් සෝදා දැමූ වීදි වල නැවුම් බවක් වීය. එක් නිව් ඕර්ලීන්ස් වැසියෙකු ඒ නැවුම් බව අත් විදිමින් හිමිදිරියේම ඩෝෆයින් වීදිය දිගේ ඇවිද යමින් උන්නේය.

වීදියේ කෙළවර එක් තැනකදී දුටු දසුනින් ඔහු ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි. ඔහු දුටුවේ සර්පයෙකු මෙන් පාර දිගේ සෙමෙන් ඇදී එන රතු ලේ දහරාවකි. ඒ ලේ දහරාව ඇදී එමින් තිබුණේ අංක 716 දරන නිවසේ දොර යටිනි. හරියටම කිව්වොත් “සුල්තාන්ගේ මාලිගාවේ“ දොර යටිනි. පාරෙහි තිබුණු කුඩා වලවල් පුරවමින්, පාර හරහා මේ අමු ලේ ගංගාව නොකඩවා ගලා යමින් තිබිණ.
බියපත් වූ මගියා වහාම පොලිසිය වෙත දිව ගියේය.

පොලිසියෙන් එතැනට පැමිණෙන විටත් සුල්තාන්ගේ මාලිගයෙන් පිටතට ලේ දහරා ගලා යමින් තිබිණ. පොලිසියෙන් මාලිගාවේ දොරට තට්ටු කර කතා කළත් කිසිදු පිළිතුරක් නොවූ තැන, දොර කඩා ඇතුළු වෙන්නට තීරණය කෙරිණ. දොර කඩා ගෙට ඇතුළු වූ පොලිස් නිලධාරීන් හට දකින්නට ලැබුණේ විශ්වාස කරන්නට බැරි තරමේ බිහිසුණු දසුනකි.

මුළු නිවසම නිහඩය. එහෙත් බිම පුරා අඩියක් අඩියක් පාසා මල සිරුරුය. නිකන්ම නිකම් මල සිරුරු නොවේ. බිහිසුණු ලෙස කපා කොටා විකෘති කරන ලද මල සිරුරුය. සිරුරු වලින් කපා වෙන් කර විසි කර දැමූ අත්, පා, බෙලි තැන තැනය. ඒවා මොන මොන සිරුරු වලට අයිති ඒවාදැයි සොයා ගන්නටත් නොහැකි තරම්ය.
නිවසේ බිත්ති පුරා විසිරුණු ලේ පැල්ලම්ය.

මේ සියල්ලටමත් වඩා බිහිසුණු දර්ශනයක් නිවසේ මැද මිදුලෙහි විය.
පෙරදා රාත්‍රියේ වැස්සෙන් මැද මිදුලෙහි පස බුරුල් වී, මඩ වී තිබිණ. ඒ බුරුල් පසෙන් ඉහලට එක් මිනිස් අතක් එසවී තිබිණ. ජීවිතය බේරා ගන්නට දරන අසීරු වෑයමක ත්‍රාසය පෙන්වන අයුරින් අතේ ඇගිලි විහිදී තිබිණ. ඒ අත සුල්තාන්වරයාගේය. සුල්තාන් වරයාව මැද මිදුලේ පණ පිටින් වල දමා තිබිණ.

මේ සා බිහිසුණු මිනිස් ඝාතනයන් රැසක් සිදු කළේ කවුරුන්ද.? මුළු ඩෝෆයින් වීදියම ලේ විලක් බවට පත් කළේ කවුරුන්ද.? එය කිසිදා කිසිවෙකුට සොයා ගන්නට නොහැකි අබිරහසක් විය.
සැකය යොමු වූයේ සුල්තාන්ගේ සහෝදරයා වෙතටය. ඒ, මැදුරෙහි වූ මළ සිරුරු අතර සුල්තාන්වරයාගේ සහෝදරයාගේ මල සිරුර හමු නොවූ බැවිනි. පවුලේ දේපල වලට සහ සුල්තාන් තනතුරට කෑදරව ඔහු තම සොයුරාත් පිරිවරත් මරවන්නට ඇතැයි සැකයක් පමණක් ඉතිරි විය.

එදායින් පසු මේ සුවිසල් මැදුර මිලදී ගත් සියලු දෙනාටම අද්භූත අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු විය. බොහෝ අය කීවේ සුල්තාන් වරයාගේ අවතාරය මැදුරේ තවමත් සැරි සරන බවයි. ඇමරිකාවේ වැඩිපුරම අද්භූත බලවේගයන් පිරුණු තැනක් ලෙසින් මේ නිව් ඕර්ලින්ස්හි “සුල්තාන්ගේ මාලිගය“ ප්‍රකට වී ඇත.
ඇතැමුන් පවසන්නේ මේ කතාවද අනෙකුත් නාගරික පුරාවෘත්තයන් මෙන් නිර්මාණය කරන ලද කතාවක් පමණක් වන බවය.

කෙසේ වෙතත් මේ “සුල්තාන්ගේ මාලිගය“ නරඹන්නට එන අද්භූත අත්දැකීම් වලට කැමති සංචාරකයින් හා පර්යේෂකයින්ගෙන් අදටත් ඕර්ලීන්ස් වීදියත් ඩෝෆයින් වීදියත් නිරන්තරවම පිරී පවතියි. මෙතෙක් ලෝකයේ වැඩි වශයෙන්ම ඡායාරූප ගත වුණු මන්දිරය වනුයේත්, ඇමරිකාවේ බිහිසුණුම ඉතිහාසයක් ඇති මන්දිරය වනුයේත් මේ “සුල්තාන්ගේ මාලිගාව“යි.

~නිම්මි මුදිතා~

No comments:

Powered by Blogger.