අදෘශ්‍යමාන බලවේගවලින් පිරි දිඹුලාගල හිමි වැඩ සිටි අද්භූත ගල්ලෙන





























අපි කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවන්ගේ ජිවිතකතාව තුල අසන්නට ලැබෙන අද්භූත දේවල් රැසක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ,

යතිවරුන් දෙනම දෙයාකාරය. වයස් පරතරය. සසුන්ගත වූ කාලසීමාව අතින්ද එලෙසය. ඒමුත්; සිල්වත් බව අතින් ගත් කළ මෙම යතිවරුන් ඒකාකාර යැයි කීම අතිශෝක්තියක් නම් නොවේ. දිඹුලාගල නාහිමියන් පිළිබඳ මෙම යතිවරුන් දෙදෙනාටම ඇත්තේ එක්තරා ආකාරයක ගෞරවය මුසු ගුරු ආදරයකි. එය දිඹුලාගල නාහිමියන් ඇසුරේ හැදී වැඩුණු නිසාවෙන් නොව උන්වහන්සේගේ ජීවිතය පිළිබඳ උගත් දෑ නිසාවෙන් ඇති වූවකි. ඔමුණුගල ආරණ්‍යය සෙනසුනේ භාරකරු වන කන්දේගම දීපවංශාලංකාර හිමියන් හා හෙනන්නේගල ආරණ්‍ය සෙනසුනේ භාරකාර හිමියන් වන ගෝනවල සුදස්සිලංකාර හිමියන් කිතලගම සීලාලංකාර හිමියන් පිළිබඳ තමන් දැනුවත් කරුණු කාරණා හෙළිකර සිටියේ මේ ආකාරයටය.

ඉතිහාසය කියන ආකාරයට විජය රජු ලංකාවට ආවයින් පස්සේ එවකට ලංකාවේ හිටපු දේශීය ජනයා අතරින් යක්‍ෂ කියන කොට්ඨාසය එක්ක තමයි විජය රජු ගැටුමට එළැඹිලා තියෙන්නේ. සැබෑ විදියට යක්‍ෂ ජන කොටසේ පාලක මධ්‍යස්ථානය වුණේ දිඹුලාගල. අදටත් මේ යක්‍ෂයන්ගේ පුරය කියන අදහසින් එදා හඳුන්වලා දුන්න භූමිය යක්කුරේ කියන නමින් දිඹුලාගල ආරණ්‍ය අසල තිබෙනවා.

විජය රජුගේ සහෝදරයා වුණ ප්‍රමිත්ත කුමාරයාගේ පුතා වුණේ පඬුවස්දෙව් රජු. මේ රජුට තමයි සීතා කියන දියණිය සිටියේ. පස්සේ කාලයකදී උන්මාද චිත්‍රා වුණේ මේ කුමරිය. මේ කුමරියගේ ආදර සම්බන්ධයට උදවු පදව් කළ විත්තරාජ කාලවේල කියන කුමාරවරු දෙන්නගේ ගම් පළාත යක්කුරේ. මේ දෙදෙනා රාජ නියෝගයකින් මරා දමන කොට වාසය කරලා තියෙන්නේ දිඹුලාගල පර්වතයේ. ඔය අතීත කතාව එක්ක අෑදුණු ඓතිහාසික ස්ථාන අදටත් දිඹුලාගල ආරණ්‍ය අවටින් සොයා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි දිඹුලාගල පර්වතය භික්‍ෂුන් වහන්සේගේ ආරණ්‍ය සේනාසනයක් බවට පත් වුණේ. ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වුණු මලියදේව මහ රහතන් වහන්සේත් මේ දිඹුලාගල පර්වතයේ වැඩ වාසය කරලා තියනවා.

ඒ විතරක් නෙවෙයි පොළොන්නරුව රාජධානියේ හොඳම කාලය සටහන් වෙන්නේ මහා පරාක්‍රමබාහු රජ දවසේදී. ඒ කාලයේ වැඩ විසූ දිඹුලාගල කාශ්‍යප සංඝරාජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විනය සංගායනාවකුත් පවත්වලා තියනවා. ඒක තමයි අතීත ඉතිහාස කතාව. ඊට පස්සේ කිතලගම සීලාලංකාර හිමියන් දිඹුලාගලට ආවයින් පස්සේ තමයි නැවත වතාවක් දිඹුලාගල ලංකාවේ හතර දෙස ජනතාව යන එන තැනක් බවට පත් වෙන්නේ. උන්වහන්සේ දිඹුලාගලට වැඩම කරලා ගත කරපු අතිශය කටුක ජීවිතයේදී හරි අරුම පුදුම අත්දැකීම්වලට මුහුණ දෙන්න වුණා කියලා අපේ ගුරු හිමිවරුන් පවසලා තිබෙනවා.

කිතලගම නායක හාමුදුරුවෝ හඳපාන්විල වැඩ වසල තමයි දිඹුලාගලට පැමිණිලා තියෙන්නේ. හඳපාන්විලින් උන්වහන්සේ දිඹුලාගලට පිටත් වෙලා වෙලා තියෙන්නේ රෑ මැදියමේ. ඒ කාලේ මේ පළාත අලි, කොටි, වලස්සු ඉන්න මහ කැලෑව.

හඳපාන්විලින් රෑ මැදියමේ පිටත් වුණු කිතලගම හිමියන්ට ඇති වුණු මූලික අරමුණ බණ, භාවනාවට සුදුසු තැනක් සොයා ගන්න එක. එහෙම අදහසින් ආවහම එතැන ගමනේ අවසානයක් නැහැනේ. ඒ නිසාද කොහෙද උන්වහන්සේ මහ කැලෑවේ අතරමං වෙනවා. එතැනදී තමයි මේ අපූරු සිදුවීම වුණා කියන්නේ. එක අවස්ථාවක අලි කොටි ඉන්න මහ කැලෑව මැද කිරි කළ දෙකක් බැඳ ගත්ත උස මහත මනුස්සයෙක් උන්වහන්සේ ඉදිරියට එනවා. සාමාන්‍යයෙන් මේ පළාත්වල කිරි ගවයෝ ඉන්න නිසා උන්වහන්සේට ඒක පුදුමයකට කරුණක් වෙන්නේ නැහැ. තමන් දැඩි කුසගින්නකින් පසු වෙන බවත් අසල ගම්මානයක් සොයා ගැනීම තමන්ගේ අරමුණ බවත් උන්වහන්සේ අර කිරි කළ දෙකේ කදට අයිතිවාසිකම් කියන පුද්ගලයාට පවසා සිටිනවා. කුසගින්න නිවන්න අර කිරි කළ දෙකෙන් ගත්ත කිරි ඒ පුද්ගලයා උන්වහන්සේට පූජා කරනවා.

ඊට පස්සේ උන්වහන්සේට ගම්මානයට යන පාර කියන්න අර පුද්ගලයා ඉස්සර වෙනවා. ගම්මානයක මිනිස් කටහඬවල් ඇහෙන සීමාවේදී අර පුද්ගලයා උන්වහන්සේට ඉස්සර වෙන්න ඉඩ දීලා එක පාරට අතුරුදන් වෙනවා. ඒ විදියට උන්වහන්සේ පැමිණිලා තියෙන්නේ සොරිවිල කියන ගමට.
කොහොමත් උන්වහන්සේ දැනගෙන ඉඳලා තියනවා තමන්ට මඟ පෙන්වන්නේ මිනිස් ප්‍රාණියෙක් නොවන විත්තිය. ඊට පස්සේ තමයි උන්වහන්සේ සොරිවිල ඉඳලා බණ භාවනා කරන්න දිඹුලාගලට වැඩම කරන්නේ.
ඒ අතරතුර හෙනන්නේගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ගෝනවල සුදස්සිලංකාර හිමියෝ අතීතයට පිය මැන්නේ මේ ආකාරයටය.

මාවේදිය කියලා ඔෟෂධ පොකුණක් දිඹුලාගල කැලෑව මැද්දේ තියනවා. ඔය පොකුණ තියන ප්‍රදේශයේ අදටත් මිනිස්සුන්ට වැඩිය කැමැත්තක් නැති හිමි නමක් බණ භාවනා කරනවා. උන්වහන්සේ කාලයකට සැරයක් දෙකක් විතරයි පිරිවෙනට එන්නේ. ඔය මාවේදිය පොකුණ කිතලගම හාමුදුරුවෝ හොයාගෙන තියෙන්නේ හරි අද්භූත විදියට. මාවේදිය පොකුණෙ වතුර බිව්ව ගමන් වෙහෙස නිවෙනවා කියලයි දකින අය කියන්නේ. මාර විදිය – පස් බුදුලෙන, ඔෟෂධ පොකුණ කියලත් මෙතැනට කියනවා. එතැනට යන්න තියෙන්නේ විශාල ගල් පර්වතයක බෑවුමක් තරණය කරලා. එහෙම ගිහින් ආපසු එන දවසක අපේ නායක හාමුදුරුවෝ කැලෑවේ අතරමං වෙනවා. ඒ වෙද්දි මහණ වුණ පොඩි උන්වහන්සේ සෑහෙන ගාණකුත් උන්වහන්සේ එක්ක. ඒ පාර අපේ නායක හාමුදුරුවෝ කොළ අත්තක් කඩලා එල්ලලා බුදු ගුණ සිහි කරනවා. පුදුමයකට වගේ ගල් පව්ව ගාවින් තිබුණ පාර වෙනුවට වෙනත් පාරකින් ආයේ දිඹුලාගලට එන්න උන්වහන්සේට පුළුවන් වෙනවා. ඒවා මේ පරිසරය එක්ක ගත්තම ඇත්තටම පුදුම හිතෙන සිදුවීම්.

තව දවසක නාගමනි කියලා කෙනකුයි ගමරාල කියන කෙනකුයි එක්ක අපේ හාමුදුරුවෝ “ඉස්වටේ” කියලා ආදිවාසීන් හඳුන්වන ගල් ගේ හොයන්න කැලේ යනවා. එක පාරටම කොටියෙක් මේ තුන් දෙනා යන පාරට පනිනවා. ආදිවාසියෝ දෙන්නා බය වෙලා දුවන්න ගන්නවා. කොටියා එන මඟ වළක්වන්න අපේ නායක හාමුදුරුවෝ කොටියා පස්සේ දුවන්න ගන්නවා. එක පාරටම අපේ හාමුදුරුවෝ දුවගෙන යන පාරේ සුදු පාට ඇඳුමක් ඇඳගෙන හිසේ ජටාවක් බැඳ ගත්ත කෙනෙක් පේන්න ඉන්නවා. ඊට පස්සේ ඒ මනුස්සයා උස් හ¾ඩින් කතා කරද්දි ආදිවාසියෝ දෙන්නා ආපසු දුවගෙන එනවා. මේ වෙද්දි කොටියා අතුරුදන් වෙලා. අර සුදු පාට ජටාව බැඳලා හිටිය කෙනා මේ පැත්තෙන් වඩින්න කියලා අපේ හාමුදුරුවන්ට පාර පෙන්නනවා.

ඒ පාර කෙළින්ම වැටෙන්නේ “ඉස්වටේ” ගල් ගෙය ගාවට. එදාම අපේ හාමුදුරුවෝ ගල් ගෙය සුද්ද කරලා මැස්සක් හදලා ගිනි ගොඩක් පත්තු කරලා ඒ ගල් ගෙයි පදිංචි වෙනවා. පොල් තෙල් පහන පත්තු කරලා, හඳුන්කූරු පත්තු කරලා දෙවියන්ට පින් දීලා නිදා ගන්න හදද්දි එක පාරටම මතු වෙන උස මනුස්සයෙක් උන්වහන්සේට සීලාලංකාර නැඟිටින්න කියලා කතා කරනවා. ඊට පස්සේ උන්වහන්සේට කියනවා එයා පස්සේ එන්න කියලා. එහෙම කරලා ගල් ගොඩ නුදුරු තැනක් පෙන්නලා අර සද්දන්තය අතුරුදන් වෙනවා. පස්සේ දවසක අපේ හාමුදුරුවෝ ඒ තැන හාරන්න ගන්නවා.

එතැනින් නතර කරන්න බැරි තරම් වතුර උල්පතක් මතු වෙනවා. එතැනට අද කියන්නේ කොස්ගහ උල්පත කියලා. කොච්චර පෑව්වත් වතුර නැති වෙන්නේ නැති උල්පතක් ඒක. මේ “ඉස්වටේ” ගල් ගෙයි නායක හාමුදුරුවෝ පදිංචි වෙලා ඉද්දි පහන් 21 පත්තු කරලා හැමදාම සතිපට්ඨාන සූත්‍රය හයියෙන් කියනවලු! එහෙම දවස්වලට මිණි ගෙඩි හෙල්ලෙන සද්දයක් ඇවිත් ඒ සද්දය කන්ද උඩට ඇදෙනවා ඇහෙන්න ගන්නවලු! මේ ගල් ගෙයි හත් දවසක් පිරිත් කියලා ලොකු උත්සවයක් අරගෙන කියනවා. දැන් දොරකඩ අස්නේ කියවන්න වෙලාව. බෙර පද ගහලා, නළාව පිඹින්න ගත්ත ගමන් දෙමළ ආරච්චිලා කෙනෙක් කෑ ගහන්න ගත්තලු! එයා කෑගහලා තියෙන්නේ සාමි – සාමි – වාංගලෙයි කියලා. කට්ටියම ඇවිත් බලද්දි කන්ද උඩ ඝණ්ටාරය හයි කරන තැන විශාල ගිනි බෝලයක්. පළාතම ආලෝක වෙලා. පැය කාලක් විතර එක දිගට මිනිස්සු සාධුකාර දුන්නලු!

බමුණුගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් සතුව ඉතා දුර්ලභ අත් පිටපත් කීපයක් අතර කිතලගම සීලාලාංකාර හිමියන් ආදිවාසීන් සමඟ එක්ව දිඹුලාගල ගොඩනැඟූ අයුරු උන්වහන්සේම විසින් විස්තර කරන ආකාරය පැහැදූ අත් පිටපතක් පවතී. එය කිතලගම හිමිගේ අප්‍රතිහත ධෛර්ය පිළිබඳ මනා සාක්ෂියකි. එහි සඳහන් දෑ මෙලෙසය. එහි අතුරු කතාව එන්නේ අද දිනයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන්ගේ පියා වූ ආදිවාසී නායක ‘මිල්වානා’ ද තම අදහස් එම අත්පිටපත් අතරට රැගෙන විත් ඇති නිසාය.
මහ පොළොව නැත්නම් ජාතියක් නෑ. ජාතියක් නැත්නම් ආගමක් නෑ. අපිට ආගම නෙවෙයි ඉස්සෙල්ල ඕන කරන්නෙ. මේ මහපොළොව ඉස්සර වෙලා බේරගන්න ඕනෑ. මේ මහ පොළොව බේරගත්තෙ නැත්නම් මිනිහෙක් හැටියට ඉන්න බැහැ. මිනිස්සු ඉන්න ඕනෙ මහ පොළොව උඩ, හිටියට වැඩක් නෑ.

ඒ මිනිහ දියුණු වෙන්න ඕන. හො¼දට කෑම කන්න පුළුවන් ශක්තිමත් මිනිහෙක් වෙන්න ඕන. පොළොව සශ්‍රීක නම් ඒ මිනිහට කන්න බොන්න තියෙනව නම් සල්ලිපනම් තියෙනව නම් ඉබේටම ආගම අදහනව. කෙවිටි ගහන්න ඕන නෑ. ආගම කොරනව කියල මෙලෝ දෙයක් කරන්නේ නෑ. සමහරු කියනව දන් දීපන්. පන්සල හදපන් කියලා. දැන් යාපනේට ගිහින් කිව්වට දන් දෙන්න කියලා දෙනවද? කවුද දෙන්නෙ ඉතින් මඩකළපුවට ගිහින් කිව්වම දෙනවද? වවුනියාවට ගිහින් කිව්වම දෙනවද, කවුද ඉන්නේ? ඒකට ඉන්න ඕන සිංහල බෞද්ධයන්. මම ඒක තමයි කරන්නෙ. සිංහල මිනිස්සු මේ රටේ හැම තැනකම පදිංචි කරවන්න ඕන.

එතකොට ඒ අය දන් පින් කරාවි. ඒ අය හොඳ දියුණු ජාතියක් වෙලා ඉඳීවි. මිනිස්සු නැතිනම් ඒ පළාත්වල අපේ සිංහලයන් පදිංචි කරන්න ඕන. ආන්න ඒකයි අපේ මහත්තයො මගේ දර්ශනය. මගේ ඇදහීම. මම ඒ අනුව මෙච්චර කාලයක් මේ මහ වනාන්තරේ අලිය, කොටිය, වලහ, පොළඟ එක්ක අම්ම, තාත්තා, අයිය, අක්ක කියල හිතාගෙන කල් ගත කළා. ඉස්සරහටත් මම මේ වනාන්තරේට වෙලා අපේ මිනිස්සුන්ට පුළුවන් තරම් කාලයක් වැඩ කරනව. අපේ මහත්තයො.”

“දැන් මෙතැන ඉන්නව හාමුදුරුවරු පන්සිය පස් නමක්. කට්ටියක් බණ භාවනා කරනව. තවත් කට්ටියක් ඉගෙන ගන්නව. මම අපේ මිනිස්සුන්ට පුළුවන් තරම් උදවු කරනවා. දවස් තුන්සිය හැටපහේම මෙතැනට ශ්‍රද්ධාවන්ත පින්වතුන් රටේ හැම තැනකින්ම දාන මාන අරගෙන එනව. මම ඒ දානෙ වළඳලා ගහක් යටට වෙලා බණ භාවනා කරන්න යනවට වැඩිය පුළුවන් තරමක් කල් වැඩ කරනව. කකුල් දෙක දැන් හොඳටම පදම් වෙලා. ගෙවිල ගිහින්.

මිල්ලවානා හෙවත් යාපා නමැති වැදි නායකයාගේ කතාව,

දවස පටන් ගන්නකොට ඉර නැඟෙන එකයි, දවස කම්මුතු වෙනකොට ඉර බහින එකයි විතරයි අපි දන්නෙ. අපි කැලේම ඉඳල කැලේම සත්තු මරාගෙන කොටාගෙන කාලම ඉඳල හිටන් මියෑදෙනව මිසක් අපිට දවසක් ගැන හිතන්න තේරුමක් නෑ. කැකුළ කාලෙ ඉඳල අම්මල ඇත්තො, අප්පිල ඇත්තො ඔය ගල් රැඳී පෝජ්ජේ රැඳී හිටිය.

“අපිට ඒ කාලෙ දකින්න හිටිය අලිය, කොටිය, වඳුර, රිළව්, මුවෝ, ගෝන්නු තමයි. කවදාවත් පිට කෙනෙක් අපේ අඩවියට ආවේ නෑ. දවසක්දා මේ මහ කපුවල ඇත්තො කහ සිවුරක් ඇඳගෙන මේ පැත්තට ආව. අපි බය වෙලා දුවන්න ගත්තා. එදා අපිට නායක හාමුදුරුවො හමු වුණේ නෑ. පහුවදත් නායක හාමුදුරුවෝ මේක බලන්න ආව. එදා නම් අපි දිව්වෙ නෑ. ඉඳල හිටන් නායක හාමුදුරුවො කියන එක අපිට ඒ කාලෙ තේරෙන්නේ නෑ. නායක හාමුදුරුවො ඇහුවා මේ ගල් ගේ අපට දෙන්න පුළුවන්ද කියලා.

ඒක තේරුණෙ නෑ. ඉඳල ඉඳල නායක හාමුදුරුවො ගල් ගේ අතගාල පෙන්නුව. මේ වෙලාවේ තමයි තේරුණේ. මම කිව්වා ‘කපුවලැ ඇත්තන්ට මේ රුකුල් පොජ්ජ පටගහව්වට මේ ඇත්තන්ට කැකුළියන්ට කැකුළන්ට ර¼දා පජ්ජන්න පැල් කොටයක් කො‍ෙදාව්” කියල. ඒ කිව්වේ හාමුදුරුවන්ට මේක දුන්නම මගේ ගෑනිට දරුවන්ට ඉන්න තැනක් කොයින්ද කියල. ඉතින් නායක හාමුදුරුවො ඉස්සර හිටිය මහ හූරට කියල තියෙනව. වැද්දෝ ගල් ගෙවල්වල ඉන්නව. ඉණ දවටන කෝනම් පොජ්ජක් කො‍ෙදාව් ඇඟ දවටන කෝනම් පොජ්ජක් කො‍ෙදාව්, කොටා බාන දෙයක් කො‍ෙදාව්, පැල් කොටයක් කො‍ෙදාව් කියලා කියන්න පටන් ගත්ත නායක හාමුදුරුවො මේ කතාව අහල අපි අපේ ගල් ගේ නායක හාමුදුරුවන්ට දුන්න.

ගල වටේ ඉන්න වැද්දෝ ඔක්කොටම නායක හාමුදුරුවො වාහනවලින් කෑම ගෙන්නල අපිට කන්න දුන්න, එදා තමයි අපිට වැවෙන් නාන්න කියල සබන් දුන්නෙ. ඉස්සර වෙලාම කාරම් පොජ්ජ පටගහව්වව්වෙ එදා තමයි. අපේ ඇඟේ බැඳිච්ච කුණු ජරාව අයින් කරන්න. ඒ වනතුරු අපි කවදාවත් ඇඟේ සබන් ගාලා නෑ. අපිට ඇඳගන්න සරොන් කමිස රෙදිපිළි දුන්නා. මෙච්චර කලක් කැලෑ සත්තු කොට කොටා කෑවා මිසක් බත් කටක් කටේ තියල තිබුණෙ නෑ. අපි මේ අලුතින් දීපු බත් මාළු හරි ආසාවෙන් කෑව. අපිට පැල් කොටවල් හදල දුන්න.
පැල්කොටවල් හදන්න අපේ නායක හාමුදුරුවො මිනිස්සු එක්කරගෙන ආවෙ මින්නේරිය, හිඟුරක්ගොඩ වගේ පළාත්වලින්. පුංචි ඉස්කෝලෙ ළමයි ගෙන්නල මහත්තුරු එක්කරගෙන ඇවිත් අපට පැල් කොටවල් හදල දුන්න.

අපේ වැදි කට්ටිය පාරක් කපන්න ගිහින් හරි කරදරයක් වුණා. නායක හාමුදුරුවො තමයි අපිට කිව්වේ පාරක් කපමු කියලා. කැති පොරවල්, තුවක්කු අරගෙන දෙමළ මිනිස්සු කට්ටිය අපි එක්ක යුද්දෙට ආව. අපිත් ඇරියෙ නෑ. උන් එක්ක අපි තරගෙට හිටිය. නායක හාමුදුරුවො කියපු විදියට අපි උන් එක්ක ගහගන්න ගියා. අන්තිමේදී දෙමළ මිනිස්සු බයවෙලා කැලේට රිංගල දිව්වා.

අපිට අලුතින් පැල් කොටවල් හදල දුන්නට පස්සේ නායක හාමුදුරුවො අපේ දරුවන්ට ඉස්කෝලයක් හදන්න අෑත පළාත්වලින් මිනිස්සු ගෙන්නල වැඩ කළා. උදේට දවල්ට බත් කන්න දීල පොත්පත් අරගෙන දීල අපේ දරුවන්ට අකුරු උගන්නව්වා. කොහොමට කොහොමට හරි අපිත් දැන් අනිත් සිංහල මිනිස්සුන්ට වැඩිය වෙනසක් නැති කට්ටියක් වුණා. දැන් අපේ පුංචි එවුන් වැද්‍ෙදා කියනවට කැමැතිත් නෑ. උන්ට වැද්‍ෙදා කිව්වම වෙලාවකට කේන්ති යනව. අපි දැන් සිංහල බෞද්ධයෝ වගේ ජීවත් වෙනව මිසක් ආසාවට වත් සතෙක් මරන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, කවුරු හරි දඩයමක් උයල පිහල දුන්නත් අපි කටේ තියන්නෙවත් නෑ.”
දවසක් දා අපේ නායක හාමුදුරුවො අපේ වැදි කට්ටිය ඔක්කොම කැඳෙව්ව. කැඳවල කිව්ව මහහූර සී.පී. මහත්තය හමුවෙන්න යන්න ඕනයි කියල. අපි ඔක්කොම මේක අහල බය වුණා. එකෙක්වත් යන්න බයයි. මම කිව්ව නායක හාමුදුරුවනේ මුන් බයවෙලා. ඉතින් කොහොමද එක්කරගෙන යන්නේ කියලා.

අන්තිමේදී මමයි, නායක හමුදුරුවොයි කැලේ මැද්දෙන් මනම්පිටියට ගියා. එතැන ඉඳල කෝච්චියෙන් යන්නයි හිතාන උන්නෙ. අපේ හාමුදුරුවො බිම බලාගෙන වඩිනව. බැලින්නම් ඉස්සරහට වලහෙක් එනව. මම එක පාරටම ගහකට නැඟ ගත්තා. නායක හාමුදුරුවො කුඩේ ඉස්සුව. එක පාරටම මොන මොනවද කිව්ව. වලහ කැලෑව බිඳගෙන ආපහු ගියා. අපි කොළඹ ආව. වැවක් බඳින්න අවසර අරගෙන අපි ආපහු ආව. නායක හාමුදුරුවන්ගෙ මහන්සිය නිසා අපි වැවක් බැන්දා. ඒ වැව ඉස්සර අපේ වැදි ඇත්තො ඉත්තෑවො පුච්චාගෙන කාපු තැන. ඉත්තෑපුච්ච වැව කියලයි අපි කියන්නෙ. මේ වැව හදාගෙන ඒකෙන් වතුර අරගෙන අපි ගොවිතැන් බත් කරගෙන දැන් ජීවත් වෙනවා.

මේ අතරේ නායක හාමුදුරුවෝ මට කිව්ව යක්කුරේ කියන වැදි ගම්මානය පෙන්නන්න කියල. මම කිව්ව නායක හාමුදුරුවන්ට මේ යක්කුරේ ගමනට හාමුදුරුවන් යන එක ඒ තරම් ලේසි නෑ. මඟ තොටේ දිගටම වල් සත්තු ඉන්නව කියල. හාමුදුරුවො ඒක ගනන් ගත්තෙ නෑ. අපි ඉස්සරහට ගියා. අෑත කුළු හරක් වගයක් ඉන්නව. මම නායක හාමුදුරුවන්ට කිව්ව අර කුළු හරක් ටික බලාගෙන ඉන්න විදිය නම් හරි නෑ හාමුදුරුවනේ කියල. හාමුදුරුවො ඒ කතාව නෑහුණා වගේ හිටිය. මම කෝක වෙතත් බයෙන් බයෙන් පස්ස ගහලා ගියා. එක පාරටම වළේ බුදියගෙන හිටිය කුළු හරක හාමුදුරුවො ඉස්සරහට එන්න ගත්ත. හාමුදුරුවො අතට කුඩේ ගත්ත.
මොන මොනවද කිව්ව. මම එක පාරටම ගහකට ගොඩ නැගුණා. කුලා එකපාරට කැලෑව කඩාගෙන දිව්වා. අපි ඒ පාර වැදිගමට ගියා. වැද්‍ෙදා අපි යනකොට වැවෙන් මාළු අල්ලගෙන ඇවිත් පුච්චාගෙන කනව. එදා මේ ගම්මානෙ මිනිස්සුන්ට බණක් කියල නායක හාමුදුරුවො ආපසු වැඩිය. එන ගමන කිව්ව මේ වැදි ගම්මානෙත් මම දියුණු කරනවයි කියල.

ඉතින් ටික දවසක් යනකොට නායක හාමුදුරුවො මගේ දරුව ඉල්ලුව මහණ කරන්න කියල. මම ඒකට කැමැති වුණේ නෑ. හාමුදුරුවන්ගේ ඉල්ලීම නොකර බැරි තැන මමමයි පුතා මහණ කරවන්න දුන්න....
ඔයාලගේ අදහස් කියන්න , ගල් මුල් මඩ හැමදෙයක්ම සතුටින් බාර ගන්නවා ....


No comments:

Powered by Blogger.