මියගිය පසු මිනීමරුවන් අල්ලා දුන් එමිලි

නේතන් 24 වියැති පීසා බෙදන්නෙකි. දිනක් ඔහු රැුකියාව නිමවී නිවසට පැමිණ විවේකීව සිය ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරමින් සිටින අතර අමුතුම ආකාරයේ චැට් පණිවුඩයක් ලැබිණි. එය ලැබුණු වහාම ඔහු පුදුමයෙනුත් පුදුමයටත් කලබලයටත් පත් විය. එය එවා තිබුණේ ඔහුගේ පෙම්වතිය වූ එමිලි විසිනි. එය දුටු වහාම කලබලයට පත්වීමට හේතු වූයේ එමිලි නම් වූ 22 හැවිරිදි ඔහුගේ පෙම්වතිය මීට මාස දෙකකට පෙර මිය ගොස් සිටි බැවිනි. මිය යාමට හේතු වූයේ එමිලි විසින් පදවාගෙන ගිය මෝටර් රථය පාළු ස්ථානයකදී මාරක අනතුරකට මුහුණ දීමයි. අනතුර
සිදුවූයේ පාළු මාර්ගයක වූ බැවින් එය සිදුවී පැයක් පමණ ගතවන තුරු කිසිම කෙනෙකු එය දැක තිබුණේ නැත.

නමුත් පුදුමයට කරුණ වූයේ අනතුර සිදුවී පැයකට පමණ පසු පුද්ගලයන් කීප දෙනෙකු එම ස්ථානයට පැමිණෙන විට එමිලි පදවාගෙන ආ මෝටර් රථයේ කිසිදු පුද්ගලයෙකු නොසිටීමත්, මෝටර් රථයේ ඩෑෂ් බෝඩය කැඞී යාම නිසා එයට හිර වූ කාන්තා පාද දෙකක දණහිස් දෙකෙන් පහළ කොටස පමණක් එහි තිබීමත්ය. ඇගේ පාද දෙක දණහිස් දෙකෙන් ඉහළ කඳ කොටස කිසියම් මොට ආයුධයකින් කපාගෙන සිරුර පිටින් රැුගෙන ගොස් තිබූ අතර ලේ සලකුණු පාර පුරාම දකින්නට තිබිණි.

ඉතා ම්ලේච්ඡු ආකාරයෙන් සිදුවූ මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලීසියට පොලිස් සුනඛයින් යොදා හෝ එමිලිගේ සිරුරේ ඉහළ කොටස පිළිබඳ කිසිදු ආරංචියක් දැනගන්නට හැකි වූයේ නැත. මාස දෙකක් ඉක්මගිය පසු ඇය මිය ගොස් ඇති බව පොලීසිය විසින් දැනුම් දුන්න ද ඇගේ මෘත දේහය පවා එමිලිගේ පවුලේ අයට දකින්නට ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන් ආදාහනය කරනු ලැබුවේ ඇගේ පාද දෙක පමණි.

නේතන් වෙත පුදුමාකාර චැට් පණිවුඩය ලැබී තිබුණේ මෙවැනි මොහොතකය. මුලදී ඔහු කලබල වුවද පසුව ඔහු එමිලිගේ මවට සහ සොයුරියට දුරකතනයෙන් අමතා ඔවුන් එමිලිගේ ෆේස්බුක් ගිණුම පරිහරණය කරන්නේ ද යන්න සොයා බැලූවද එවැන්නක් සිදුවී තිබුණේ නැත. ඉන්පසු ඔහුගේ මිත‍්‍ර මෘදුකාංග ඉංජිනේරුවෙකු ලවා එමිලිගේ ෆේස්බුක් ගිණුමට කවුරුන් හෝ බලෙන් ඇතුළුවී ඇත්දැයි සොයා බැලූ විට එවැනි දෙයක් හෝ සිදුවී තිබුණේ නැත. ඉන්පසු මේ ආකාරයට එමිලිගේ ෆේස්බුක් ගිණුමෙන් තමාට පණිවුඩ එවන තැනැත්තා සමග කුළුපගව කතා කර එය කාගේ වැඩක් ද යන බව දැනගැනීමට සිතූ නේතන් දිගින් දිගටම එම තැනැත්තා සමග කතා කරන්නට පටන් ගත්තේ ය.

එමිලි නමින් පෙනී සිටි තැනැත්තා දිගින් දිගටම නේතන් සහ එමිලි ගතකළ සුන්දර මතකයන් පිළිබඳව ආවර්ජනය කරන්නට පටන් ගෙන තිබිණි. එවැනි විස්තර සියල්ල දැන සිටියේ නේතන් සහ එමිලි පමණි. මෙම පුද්ගලයා ඒවා දන්නේ කෙසේදැයි නේතන් ඇසූ විට එමිලි නමින් සිටින තැනැත්තා පැවසුවේ ‘නේතන් මේ මම, ඔයාගෙ එමිලි. ඇයි මාව හඳුනගන්න බැරි?’ යනුවෙනි.

මෙහිදී ඉතා සුක්ෂ්ම ලෙස බුද්ධිය මෙහෙය වූ නේතන් ‘මම ආසයි ඔයාව දකින්න. වීඩියෝ කෝල් එකකට එන්න.’ යනුවෙන් ආරාධනා කළේය. නමුත් එවිට එමිලි පැවසුවේ තමාගේ සිරුර කැබලි බවට පත්කර ඇති බවත්, මේ වනවිට එය තිබෙන්නේ ඌරන් සහ ගෝනුන්ගේ මස් සහිත ශීතකරණයක් තුළ බවත්, එය අධික ශීතලෙන් යුක්ත නිසා වහා පැමිණ තමන් ඉන් මුදවා ගන්නා ලෙසත්ය.

නේතන් එමිලි සමග කතාබහ කිරීමෙන් ලබා ගත් ප‍්‍රධානතම කරුණ වූයේ රිය අනතුරින් පසු ඇයට සිදුවූයේ කුමක් ද යන කාරණයයි. අනතුර සිදුවූ වහාම තමාගේ සිහි විසඥවූ බවත් කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තම දෙපා කපා දමන මොහොතේ සිහි ලැබී තමන් කෑ ගැසූ බවත් එහිදී නැවත සිහි විසඥවූ බවත් ඉන්පසු තමන්ට සිහි නොලැබූ බවත්, එම පුද්ගලයින් දෙදෙනා තමාව කරේ තබාගෙන කැලෑබදව තිබූ පැරණි ගොඩනැගිල්ලක් තුළට රැගෙන යන ආකාරය තමා ඉහළ පාවෙමින් බලා සිටි බවත් ඇය නේතන්ට පැවසීය. ඇය පැවසූ මං සලකුණු ඔස්සේ මිනීමරුවන් සොයා යාමේ වගකීම භාරවූයේ කැලිෆෝනියානු පොලීසියටයි. නේතන් විසින් ෆේස්බුක් ඔස්සේ එමිලි පැවසූ සියල්ලක්ම ඔහු පොලිස් නිලධාරීන් වෙත පැවසූ පසු ක‍්‍රියාත්මක වූ 50 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් එමිලිගේ රිය අනතුර සිදුවූ ප‍්‍රදේශය ඔස්සේ කිලෝ මීටර් 12 ක් පමණ කැලෑව තුළට ගමන් කරන විට අතහැර දැමුණු පැරණි ගොඩනැගිල්ලක් දක්නට ලැබිණි.

එතුළට ගිය පොලිස් නිලධාරීන්ට දැක ගත හැකිවූයේ මිනිස් ඇට කටු සහ හිස් කබල් තැන තැන විසිරී ඇති ආකාරයයි. ඒ වනවිට බීමතින් නිදා සිටි හැඩිදැඩි පුද්ගලයින් දෙදෙනෙකු ද එහි සිට අත්අඩංගුවට ගනු ලැබිණි. එමිලි කී පරිදි අසල තිබූ ශීතකරණයක් තුළ කොටස්වලට වෙන් කරන ලද ඇගේ සිරුර තිබෙනු පොලීසිය විසින් සොයා ගන්නා ලදී. මෙම පුද්ගලයන් දෙදෙනා අනවසර කැලෑ සතුන් දඩයම් කරන්නන් වූ අතර එමිලිගේ මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ ඔවුන් ඒ අසල සිට ඇති බව පසුව ඔවුන් ප‍්‍රකාශ කරන ලදී. අනතුර නිසා දෙපා කැඞී සිහි විසඥව සිටි එමිලි දුටු ඔවුන් අවස්ථා කීපයකදී ඇයට අතවර කර තිබූ අතර මෙය හෙළි වේ යැයි සිතා දෙපා කපා දමා ඇයව පැරණි ගොඩනැගිල්ල වෙත ගෙන ගොස් තිබුණේ පසුකාලයේ වළ දමන චේතනාවෙනි. නමුත් ඔවුන්ට එම සිදුවීමෙන් පසු ඒ පිළිබඳව එතරම් උනන්දුවක් හෝ මතකයක් තිබී නැත.

එමිලිගේ සිරුරේ කොටස් නිසි ගෞරවය සහිතව ආදාහනය කිරීමෙන් පසු කිසි දිනක නේතන්ට නැවතත් ෆේස්බුක් ගිණුම ඔස්සේ එමිලිගෙන් චැට් පණිවුඩ පැමිණ තිබුණේ නැත.

දුලාංජලී මුතුවාඩියගේ


No comments:

Powered by Blogger.