මැරුණට පස්සේ බංගලාවේ හොල්මන් කරන හාමුගේ අවතාරය

ප්‍රති විරුද්ධ දෙසට පාළුව මුසුවූ,මූසල සුළඟක් ඇදී ගියේය.ආනෝල්ඩ් හට නොකඩවා ඇසෙනුයේ අශ්වයන්ගේ කුර ගැටෙන හඬය.අශ්ව කරත්තය ද ඇදී ගියේ මන්දගාමීවය.දසත පැතිරී තිබුණේ අඳුරකි.දිවයිනේ අනෙකුත් පෙදෙස්වලට මෙන් නොව ,මෙම කඳුකරයට කලින් හිරු බැස යන බව ආනෝල්ඩ් දැනසිටියේ නැත.හෙතෙම අශ්වකරත්තය පදවමින් සිටි රියදුරාගෙන් මේ පිළිබඳව විමසීය.

"ඇත්තටම මොකද අද මේ කලින්ම ඉර බැහැගෙන යන්නේ?"
"මෙහාට එහෙම තමයි මහත්තයා.කලින්ම කළුවර වෙනවා.කඳුකරයනේ........"
රියදුරාද පැවසීය.

දැන් දැන් කරත්තය ඇදී යනුයේ ඉතා පටු ලෙසිනෑතට දිවෙන මගකය.ගැස්සෙමින් පැද්දෙමින් යන මේ ගමන්වලට ආනෝල්ඩ් හුරු පුරුදු අයෙක් නොවීය.මක්නිසාද යත් පරිපාලන නිළධාරියෙකු ලෙස තම පත්වීම ලැබ වැඩ බාර ගැනීම පිණිස යන මුල්ම ගමන මෙය වූ බැවිනි.තමාට දැන් පාලනය කිරීමට සිදුව ඇති පෙදෙසේ ක්ලින් පාලකයාව සිටි නිළධාරියා අස්වාභාවික ලෙස මරණයට පත්ව තිබූ හෙයින් එම පුරප්පාඩුව පිරවීමට තෝරාගනු ලැබුවේ ආනෝල්ඩ්ය.

දිගු ගමනකින් ඉක්බිති කර්‍අත්තය ඉතා පැරණි බංගලාවක් ඉදිරිපිට නවත්වනු ලැබීය.ආනෝල්ඩ් තම ගමන් මළු ඔසවාගෙන බංගලාවට පිළිපන්නේය.දොර හැර තිබූවද බංගලාව තුළ වූයේ දැඩි අඳුරකි.හදිසියේම අඳුර දෙබෑ කරගෙන කෙසඟ මිනිසෙක් එළියට පැමිණියේය.
"මහත්තයා වෙන්නැති මේ පැත්තට පත්වෙලා ආව අලුත් දිසාපතිතුමා"
හේ දෙකට තුනට නැමෙමින් විමසීය.
"ඔව්......මං තමයි"
ආනෝල්ඩ්ද පැවසීය.

"එහෙනං පොද්දක් හිටින්න මහත්තයා..මම එළියක් අරන් එන්නම්"
සේවකයා නැවත බංගලාව තුලට වැදුණේය.අශ්වකරත්තයද පිටව යන හඬ ඇසිණි.ආනෝල්ඩ් පාළු,මූසල ගරාවැටුණු බංගලාව දෙස් වරක් නෙත යොමා බැලීය.
තවත් මිනිත්තු කිහිපයකින් කෙසඟ සිරුරැති සේවකයා ලන්තෑරුමක් රැගෙන පැමිණ නිළධාරියාගේ එක් ගමන් මල්ලක් ඔසවා ගත්තේය.
ආනෝල්ඩ් තම ඉතිරි ගමන් මල්ලද රැගෙන සේවකයා පසු පස්සෙහි වැටුණේය.හෙතෙම සේවකයා පිටිපසින් ගොස් තරප්පු පෙළක් නැග ඉහළ මාලයට පිවිසියේය.
"මෙන්න මෙතනයි මහත්තයාගේ කාමරය"

සේවකයා ඉණෙහි වූ යතුරු කැරැල්ලක් ගෙන ,අභිමුඛයෙහි වූ ද්වාරයේ යතුර සොයමින් පැවසීය.

"ඉස්සල්ලා හිටිය දිසාපතියුමා හිටියෙත් මේ කාමරේමයි;අනේ!හරි හොඳ මහත්තයා"
ඔහු දොර විවෘත කරමින් නැවත පැවසීය.
"ඒ කිව්වේ අර.................මැරුණු දිසාපති මහත්තයද?"
ආනෝල්ඩ් බියපත් සැකයකින් යුතුව විමසීය.
"ඔව් නෙව.ඒ මහත්තයා ඔය බංගලාව ඉස්සරහ තියන ප්‍රපාතයට ඇදවැටිලා මැරුණනේ......"
ආනෝල්ඩ් තම සාක්කුවෙන් ලේන්සුවගෙන මුහුණෙහි වූ දා බිඳු පිසදා ගත්තේය.
"ඇයි මහත්තයා රස්නෙයිද?අද නම් වහින්න වගේ"
සේවකයා ගණනකට නොගෙන පැවසීය.
"ඇත්තටම ඉස්සල්ල හිටපු දිසාපති තුමා මැරුණේ කොහොමද?"
තමා එයට අදාළ සිද්ධිය දනිතත්,ආනෝල්ඩ් යළිත් එය සේවකයාගෙන් විමසීය.
"හරියටම කියන්න දන්නෙ නෑ.....දවසක් මහ රෑ කෑ ගැහීමක් ඇහිලා මම දුවගෙන එනකොට ඒ මහත්තයා ප්‍රපාතයට වැටිලා මැරිලා හිටියා."
"කවුරුත් තල්ලු කළා වෙන්න බැරිද?"

"නෑ මහත්තයා.............එතන තිබුණේ ඒ මහත්තයාගේ අඩි සලකුණු විතරමයි."
සේවකය ආනෝල්ඩ් නැවත ඇසූ පැනයට පිළිතුරු දුන්නේය.
"හැබැයි මහත්තයා...මේ බංගලාව හදපු හාමු,ඒ කාලේ කාටවත් මේ පැත්තටවත් එන්න දෙන්නේ නෑලූ.ඒ හාමු මැරුණට පස්සේ මේ බංගලාවේ හොල්මන් කරනවා කීප දෙනෙක්ම දැකලා තියනවා.මහත්තයත් රෑ වුණාම කාමරේටම වෙලා ඉන්න."
සේවකයා රහසක් කියන්නාක් මෙන් ආනෝල්ඩ්ට පැවසීය.මෙහි නොපැමිණියේනම් වඩා හොඳ යැයි ආනෝල්ඩ්ට සිතිණ.

සේවකයා කාමරයෙන් පිටව ගියේය.ආනෝල්ඩ් ඇඳුම් මාරු කර ටික වෙලාවකින් බංගලාව තුළ ඇවිදීමට ගියේය.එහි පැරණි විසිත්ත කාමරයේ විශාල ඡායා රූපයක් විය.එහි හුන් තැනැත්තා එම බංගලාවේ නිර්මාතෘයැයි සඳහන්ව තිබිණ.ඔහු දැඩි කෝපයෙන් ,රෞද්‍ර මුහුණ තමා දෙසට හරවාගෙන සිටින්නේයැයි ආනෝල්ඩ්ට දැණින. රාත්‍රී ආහාරය ගෙන තම කාමරයට ගිය ආනෝල්ඩ් ඇඳට වැතී නිදාගන්නට වූයේය.වර්ෂාවද ඇද හැලෙන්නට විය.
මධ්‍යම රාත්‍රියේ ආනෝල්ඩ් තිගැස්සී අවදිවූයේ අස්වාභාවික හඬක් තම සවනත වැටීමෙනි.එක්වරම බරට අඩි තබමින් සොල්දරය මත ඇවිදින හඬක් ඇසෙන්නට විය.එහෙත් ඒ කෙසඟ සිරුරැති සේවකයා නොවන බැව් ඔහුට තීරණය කළ හැකි විය.ටික වෙලාවකින් ශබ්දය නැවතුණු හෙයින් කුතුහලයෙන් යුතුව ආනෝල්ඩ් සයනයෙන් නැගිටුණේය.

තද වර්ෂාවෙහි වුවත් ගත දහදියෙන් තෙමී ඇති බැවු ඔහුට ද ප්‍රත්‍යක්ෂ විය.අසාමාන්‍ය අයුරින් වටපිට බැලූ ඔහුගෙ නෙතට හසුවූයේ තම කාමරයෙන් එපිට බිමේ සිටි මිනිස් රුවකි.
ජනේලය අසලට ගිය ආනෝල්ඩ් වඩා හොඳින් එදෙස බැලීය.වර්ෂාව මැදින් කෙටූ අකුණකින් විහිදී ගිය ආලෝකයෙන් ධාරාව හේතුවෙන් ධාරානිපාතයේ තමාට පිටුපා සිටින පුද්ගලයා ආනෝල්ඩ් හට පැහිදිලිව පෙණින.සිතට දිරිගත් ඔහු විපරම් කිරීමේ අටියෙන් කාමරයේ දොර හැරගෙන අඳුරේම බන්ගලාව මැදින් ගොස් ගෙවත්තට ඇතුළුවිය. වැස්සේම තෙමෙමින් ආනෝල්ඩ් අඳුරු රුව දෙසට කෙමෙන් කෙමෙන් පියමැන්නේය.එක් වරම තවත් අකුණක් කෙටීමෙන් දසත ආලෝකමත් විය;අඳුරු රුවද මුළුමනින්ම ආනෝල්ඩ්ගේ නෙත ගැටුණි.ඒ ....තමා මීට පැය කිහිපයකට පෙර ඡායාරූපයකින් දුටු බංගලාවෙහි නිර්මාතෘ නොවේදැයි ආනෝල්ඩ්ට සිතිණ.

එවේලෙහි ආනෝල්ඩ් හට සිහි වූයේ සේවකයා කියූ වදන්ය.
නැවත දාස් පිසදා දිය ගසාදමා බැලූ කල ඔහුට එම රුව නොපෙණින.ඔහු කෙමෙන් ඒ රුව තිබූ ස්ථානයට පැමිණියේය.පසෙකින්වූයේ ගැඹුරු ප්‍රපාතයයි.

හදිසියේම පිටුපසින් ,අකුණකටත් වඩා රුදු වූ කොක් හඳලා සිනාසෙන හඬක් ඇසීමෙන් ආනෝල්ඩ්ගේ දෙපා අප්‍රාණික විය.ඔහු බංගලාව දෙසට හැරී දුවන්නට සැරසුණේය.නමුත් මග අහුරා සිටියේ බංගලාවේ අවතාරයයි.අවතාරය ඔහු දෙසට එන්නට විය.
ආනෝල්ඩ් පියවරෙන් පියවර ප්‍රපාත ගැට්ට අසලටම පැමිණියේය.කළහැකි යමක් ඔහු වෙත නොවීය. තමා ඉදිරියට පනින රුව ඔහු දිටීය.ඒ සමගම දැඩි හස්තයකින් තම ගෙල සිර කරනු ඔහුට දැනිණ.පසුව ළය පෙදෙසට එල්ලවූ පහරකින් හේ ප්‍රපාතයට පෙරළිණි.

පසුදා උදෑසන නව පරිපාලන නිළධාරී ආනෝල්ඩ්ගේ ශරීරය සොයාගන්නා විට ඔහුගේ ගෙලෙහි හා ළයෙහි වූ ඇඟිලි සලකුණු දැක කවුරුත් විස්මයට පත්වූහ.



No comments:

Powered by Blogger.