මරා දැමු බිරියගේ ආත්මය මොහොතින් සැමියා මරයි

සමන්ති හැඩකාරය. හැඩකාර බව පරදන දඟකාර බවක් ද ඇය සතු විය. සිනහවෙන් හා සැහැල්ලූවෙන් ගත කළ ඇගේ ජීවිතයට බරක් පතලක් නොවී ය. නිමල් ඇගේ ජීවිතයට ඇතුළු වන්නේ පාසල් කාලයේදීම ය. ඇගේ ආදරය ඉල්ලා පැමිණි කිහිපදෙනකු අතුරින් සමන්තිගේ තෝරා ගැනීම බවට පත් වන්නේ නිමල් ය. නිමල් සෙල්ලක්කාරී තරුණයකු බව සමන්ති දැන ගන්නා විට ඇය බොහෝ සෙයින් ප‍්‍රමාද වී හමාර ය. කෙසේ
හෝ වසර කිහිපයක පේ‍්‍රම සබඳතාවකින් පසු නිමල්ගේ හදිසි යෝජනාවකට අනුව නිවෙස්වලට හොරෙන් සමන්ති නිමල් හා පැන යන්නේ ඒ ගැන දෙවරක් හිතා බලා නොවේ.
සමන්ති සමඟ නිමල්ගේ යහළුවකුගේ නිවසේ කාලයක් නැවතීී සිටින අතරතුර රජයේ ඉඩමක කුඩා නිවසක් ඉදි කර ගැනීමට ඔවුනට හැකි වෙයි. මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන්නේ සමන්ති ය. සමන්තිගේ නිවසින් ලද උදව් උපකාර නොවන්නට ඔවුනගේ ජීවිත දැඩි බිඳවැටීමකට ලක්වන බව සමන්තිගේ මුවින් සැම විටම පිටවුණ වදනකි.

සමන්තිට පළමු දරුවා ලැබෙන කාලය වන විට නිමල්ගේ සැබෑ ජීවිතය පිළිබඳ සිටියේ දැඩි කලකිරීමකිනි. නිමල් බොහෝ විට නිවසට පැමිණෙන්නේ දින කිහිපයකට සැරයකි. ඒ එන අවස්ථාවලදීත් දැඩි ලෙස මත්පැන් පානය කර පැමිණ බොරු හේතු මත සමන්තිට ක‍්‍රෑර ලෙස පහර දෙන්නේ අනුකම්පා විරහිතව ය. නිමල්ට අනියම් සබඳතා කිහිපයක් ම තිබුණු අතර කුලී වැඩවලින් උපයන මුදල ද අනියම් බිරියන් වෙනුවෙන් වියපැහැදම් කළා මිස සමන්තිගේ අඩු පාඩු පිළිබඳ සොයා බැලීමට වත් ඔහුට අවශ්‍ය නොවීය. නිමල් නිවසට පැමිණෙන බොහෝ දිනවල දී තම දරුවාව තම මවගේ ගෙදර නතර කරලීමට සමන්ති උත්සහ දරනුයේ නිමල්ගේ තාඩන පීඩනවලින් දරුවා බේරා ගැනීමට ය.

වෙනදා මෙන් ම සිකුරාදා හවස නිමල් නිවසට පැමිණියේ බමන මතිනි. පැමිණි අවස්ථාවේ සිට සමන්තිගෙන් රුපියල් දෙදහසක් ඉල්ලා සිිටියේ ය. ඒ සෙනසුරාදා යහළුවන් සමඟ විනෝද සවාරියක් යෑම සඳහා ය. සමන්ති ළඟ මුදල් තිබුණේ නැත. ඇය ජීවිතය ගැටගසා ගන්නේ ද ඉතා අපහසුවෙනි.

තමා ඉල්ලූ මුදල් නොලැබුණු විට ඔහු නිවසේ දොරවල් වසා නිවස තුළ සිර කර ගෙන මුදල් දෙනතුරු ම සමන්තිට පහර දෙන්නට විය. ඔහුට දෙන්නට මුදලක් ඇය සතුව නැත. එහෙත් නිමල් එය පිළිගන්නේ ද නැත. රාත‍්‍රී හතේ සිට පාන්දර දෙක දක්වා ම එක දිගට නොනවත්වා ම සමන්තිට සිදු වූයේ ක‍්‍රෑර ලෙස ගුටිකෑමට ය. සමන්ති කෙතරම් කෑගැසුව ද උදව්වට කිසිවකු හෝ නොපැමිණියේ ගමේ අයට මෙය සාමාන්‍ය සිදුවීමක් වූ නිසා ය. රාත‍්‍රී දෙකට පමණ ඇය සිහිනැතිව ඇදගෙන වැටුණු පසුව ද පහර දීම නතර නොවුණි. අවසානයේ සමන්තිගේ සිරුරින් වෛරී චේතනාවෙන් කැකෑරෙමින් තිබූ ආත්මය පිටව ගියේ ය.

සමන්ති මිය ගිය බව අසල් වැසියන් දැන සිටියේ නැත. ඇය රාත‍්‍රියේ ම තම මවගේ නිවසට යන්නට ඇතැයි අසල්වැසියෝ සිතූහ. නිමල් කිසිත් නොවූවකු සේ උදෑසන නිවසින් පිටව ගියේ ය. යහළුවන් සමඟ සැතපුම් 30-40ක් දුරින් වූ දිය පහරක් වෙත ගමන් ගත් නිමල් විනෝද වෙමින් හොඳ හැටි මත්පැන් පානය කළේ ය. මේ වන විට සමන්තිගේ වෛරී ආත්මය ද නිමල් පසු පසින් ම ගමන් කරමින් තිබුණි. බීමතින් පසු වූ නිමල් ව අවස්ථා කිහිපයකදී ම සමන්තිගේ ආත්මය විසින් ජලයට තල්ලූ කළ ද යහළුවන් විසින් යළි ඔහුව ගොඩට ගත්තේ වෙරි මතින් ජලයට වැටුණු බව සිතා ය. මේ නිසා සමන්තිගේ වෛරී ආත්මය තව තවත් වෛරයෙන් පුපුරන්නට විය.

සියල්ලෝ ම කා බී නිවෙස් බලා යන්නට පිටත් වූහ. වෑන් රථයට ඉදිරියට යෑමට හැකි වූයේ සැතපුම් කිහිපයක් පමණි. පරිසරයේ මලානික අඩ අඳුරින් වැසී යමින් පැවතුණි. අධික වේගයෙන් පැමිණෙන වෑන් රථයේ ලයිට් එළියෙන් මාර්ගය මැද සිටගෙන සිටින ගැහැනියක් රියැදුරාට දැකගත හැකි විය. ගතවූයේ නිමේෂයකි. ඇයගේ මුහුණේ වූ භයංකාර රෞද්‍ර බව හමුවේ රියැදුරා දැඩි කම්පනයකට පත් විය. පැමිණි වේගයෙන් ම ඔහු වාහනය වම් පසට කැපුවේ ය. මාර්ගයට සමාන්තරව ඉතා පහළට ඇලවී තිබූ පොල් ගසක් දිගේ අඩි 15-20ක් පමණ ඇදී ගිය වෑන් රථය පාරට පෙරළී දිගු දුරක් ඇඳී ගියේ ය. වෑන් රථය පාරට පෙරළෙන අතරතුර නිමල්ගේ හිස කවුළුවකින් එළියට පැමිණියේ ය. සමන්තිගේ අභිප‍්‍රාය වූයේ ද එයයි. ගත වූයේ නිමේෂයකි. මහ මාර්ගයත් වාහනයත් අතර තෙරපුණු හිස කැබලි බවට පත් විය. කුලි රථයේ රියැදුරා හැර නිමල්ගේ සගයන් පස්දෙනා ම එතැනදී ම මිය ගියහ. සමන්තිගේ වෛරී ආත්මය තම අරමුණ ඉටු කර ගත්තේ එලෙසිනි.

මිය යනතුරු ම සිදුවූ පහර දීමත්, කලෙක සිට සිතේ පැවැති වෛරයත් මෙන්ම සිකුරාදා දිනය භූත විද්‍යාවට අනුව කාලි නැතහොත් මළගිය ආත්මයන් ශක්තිමත් වන දිනයක් ද බැවින් ඇය මිය ගිය මොහොතේ ම පළිගැනීමේ අධික චේතනාවෙන් කැකෑරෙන ශක්තිමත් මළ යකින්නක් බවට පත් විය. මොහොතකුදු පමා නොවී ඇය ඇගේ ඝාතකයාගෙන් මෙන් ම ඇගේ මරණයට හේතු වූ විනෝද ගමනට සහභාගී වූවන්ගෙන් ද පලි ගත්තා ය.

නිමල්ගේ අනතුර පිළිබඳ සැල කිරීමට ඔහුගේ යහළුවෝ සමන්ති සොයා නිවසට පැමිණියහ. නිවසේත්, මවගේ නිවසේත් ඇය නැත. අවසානයේ නිවසේ දොර කඩා දැමීමට තීරණය කෙරිණි. සියල්ලන්ට ම දැකගත හැකි වුයේ සාලය මැද වැටී සිටිනා සමන්ති ය. ඇගේ ශරීරය නිල් වී දරදඬු වී ඇත. ඇය මිය ගොස් ය. දරදඬු වී ඇති අයුරින් මිය ගොස් බොහෝ වේලාවක් බව සැමට අවබෝධ විය.

සමන්තිගේ ආත්මය පලිගැනීමෙන් පසුව ද නිදහස් වූයේ නැත. අදට ද ඇගේ ආත්මය තමන් ගොඩනැඟූ නිවසේ සැරිසරමින් සිටියි. පවුල් කිහිපයක් මෙම නිවසේ පදිංචියට පැමිණිය ද සමන්තිගේ ආත්මය විසින් ඔවුන් ව බිය කර පළවා හරින ලදී. කැලයෙන් වැසී ගිය අතහැර දමන ලද මෙම නිවස අදට ද මහියංගනයේ සමන්ති විසූ ගමේ දැකගත හැකි වෙයි.




No comments:

Powered by Blogger.