හදිසියේ මුනගැසුනු මහසෝන් පිල්ලිය

ටවුම මැද්දේ එල්ලලා තියෙන මලානික ලයිට් එකේ එලිය නොදකින්න  ‍කුරුදුවත්ත හන්දිය පහුවුන බවට කිසිම සාක්ශියක් හොයා ගන්න බැරිවෙන්න ඕන තරම් ඉඩ තිබුනා.අන්තිම පාරට වෙලාට බලනකොට  රෑ 8.30 යි , එකියන්නේ දැන් නවයට විතර ඇති.
උදේ ඉදන් එකදිගටම වැටෙන වැස්සට තවම හතිවැටිල නෑ, අඩියක් දෙකක් එහායින් ඉන්න එකා නොපෙනෙන තරමට මීදුම , ඒකත් මගේම කරුම වෙලාව තමයි .

" ගල්වල හන්දිය බහින අය ඉස්සරහට එන්න " සී.ටී.බී බස් එකේ ටකරන් වහලෙව වැටිල වේදනාවේන කෑගහන වැහිබින්දුවල සද්දේ අස්සෙන් ,කොන්දොස්තර කථාකරපු සද්දේ ඇහුනේ හරියට පොඩි හාමුදුවෝ කෙනෙක් සෑහෙන දුරක ඉදන් කියන කවි බනක් වගේ සීරුවට . පලාතම මීදුමේ ගිලිල තියෙන අස්සේ  මං ඊළගට නවත්තන තැන්නි බස් එකෙන්,රෙදි පුරවපු බෑග් එකත් අරන් බහින්න ඔනේ .කුඩේක වටිනා කම තේරෙන්නේ දැන් තමයි .එදා හවස් වරුවේ කොළඹින් ගම්පොල බස් එකට නගිනකොට පටන් ගත්තු වැස්ස මගෙත් එක්කම ගම්පොලට ඇවිත් ...... තවමත් මගෙත් එක්කමයි .හයයි කාළට ගම්පොලින් පිටත්වෙන උඩුවැල්ල බස්එක මග ඇරුනෙත් ඊට පස්සේ අට වෙනකන් ගම්පොල ඩිපෝවට වෙලා වෙව්ල වෙව්ල ඉන්න උනෙත් මේ කාලකන්නි වැස්ස නිසාම තමයි .

අටට විතර ආපු ලදරම් බස් එකට නැගල මුල්ලක් අල්ලගෙන ඉදගෙන බලාගෙන හිටියේ, වැහි පොද සැරේට දියවෙන්නේ නැතුව ඉන්න දගලන ගම්පොල ස්ටේශන් එකේ නාම පුවරුව දිහා, කිසිම හැගීමක් නැති හිස බවක් ඒ වෙනකොටත් මාට වටකරගෙන ඉවරයි  .මං ඇරුනම මුලු බස්එකටම හිටියේ ‍තව දෙන්නෙක් විතරයි.
" ලෝකානන්ද පන්සල ගාවදි කියන්ට පුතේ " මගේ ඉස්සරහින් හිටපු වයසක අම්ම  කොන්දොස්තරට කියනව ඇහුනේ බොහොම ලාවට .මගදි කිසට කෙනක් බස් එකට ගොඩ වුනෙත් නෑ .ගම්පොල නාවල පිටිය පරන පාරේ මුල්ලකට වෙන්න තියෙන ගම්පොඩ්ඩක තමයි අපේ මහ ගෙදර තියෙන්නේ. බහින තැනටත් ආවා දවාලටත් පාළුවට තියෙන අංක 19 තේ කෑල්ල ලග තමයි ගල් වල හන්දිය තියෙනන්නේ , කුරුදුවත්ත     කොළඹ එක නෙවෙයි ) ටවුමේ ඉදන් ගමට යන්න අපූරු තාර පාරක් තියෙන වුනත් ....මගදි හම්බවෙන සොහෙන් පිට්ටනිය පහුකරන් යන්න හිතේ  තියෙන බය නිසාම මං තෝරගත්තේ මේ 19 තේ කෑල්ල හරහා ගමට යන්න පුළුවන් අඩිපාර . තේරීම වැරදී කියයල හිතුනේ බස්එකෙන් බිමට අඩිය ති‍යපු වෙලාවෙමයි , ඒත් දැන් පරක්කු වැඩී. මොකෙක් හරි එකෙක් ලග ඉදන් ඇගිල්ලෙන් ඇහැට ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි . තද වැස්ස නැවතිලා තිබුනත් ඝණ සැරේට මීදුම මදිවට පට්ටම හීතලයි ........... මාමාට දෙන්න කියල දීපු රෙරන්කෝට් එක බෑක් එකෙන් එලියට අරන් ඇද ගත්ත .ෆෝන් එ‍කේ ටෝච් එක ඔන් කරන් මහ පාරෙන් ,අඩි  පාරට අඩිය තිබ්බේ මෙච්චරවෙලා නැවතිලා තිබුන වැස්ස විදුලිකොට කොටම ආයෙත් පටන් ගන්නවත් එක්කමයි .  වෙලාව රෑ දහයට නැත්තං දහය හමාරට විතර ඇති .

ඔන්න දැන් "කොල්ලෙක් රෑ  දහයට කොල්ලෙක් මහ වැස්සේ පාළු තේ වත්තක් මැද්දේ , මනුස්ස පුළුටක්වත් හොයාගන්න නැතුව " ,බො‍හොම ඈතින් තිබුනු ලැයිම් පේලියක තිබුන  ගෙදරකින බේරිලා එන චිමිනි ලාම්පු එලියක් හැරුනම ඇහැ නිවා ගන්න කිසිම දෙයක් නෑ .සැරින් සැරේට පලාතම දම්පාට කරගෙන මතුවෙලා නැතිවෙන විදුලි එළී වලින් ,තේවත්ත මැද්දේ තිබුන මාර ගස් පෙනුනේ මගේ ඇගට පනින්න බලාන ඉන්න රාක්ෂයො විදිහටයි . කාලෙකට කලින්, මං ගමේ ඉස්කොලෙට යන කාලේ මේ වත්ත ඇතුලේ මාර ගහක එල්ලිලා මැරිල හිටපු , ඉස්කෝලේ ඇරිල එන කොල්ලෙක් හොයගත්තු දෙමල කෙල්ලව මගේ මතකෙට ආවේ මේ වගේ විදිහට වටපිටාව හැදිල තියෙන කොටයි.

මොන තරම් හිත හයිය වුනත් ඒ වෙලාව වෙනකොට මට සැරින් සැරෙට පිටිපස්සටත් ටෝච් එක ගහල බලන්නේ නෑතුව යන්න හිත දුන්නේ නෑ . .... ඔළුව යකාගේ කම්මල වගේ වෙලා තිබ්බ ඒවෙලාවේ කෝල්කරපු පියුමි නංගිට පින් සිද්ද වෙන්න ඔනේ ,
" චූටි අයියේ කොහෙද හලෝ ඉන්නේ ??? අද එන්නේ නැද්ද ..... 11.00 ත් වෙලා "
" ඔහොම ඉන්නව ! මං මේ මග ............... 19යේ මුදුනේ ඉන්නේ "
" මොනව !!!!!! පිස්සුද හැබෑටම මේ මහරෑ කැලෑවල රිංගන්න. "
" ඉන්න ඉන්න දැන් එනව "
" අනේ..... වල් ඌරෙක් පැනපිය ඉස්සරහට ...... එලිවෙනකං ගහක් උඩ ඉන්න "
" තුහ් ...... නොදකින් විතරක් කට !"
" හී හී.......... ඉක්මනට එනව පරිස්සමෙන් "

දැන් හිතට ෆිට් ...... ඔනේ අට මගලක් කියල ආයෙත් යන්න පටන් ගත්ත . කොහොමෙන් කොහොම හරි ....... දහ නවය තේ වත්තේ මුදුනට ආවා ...වෙලාව දොලහට කාලයි .වැස්ස නැවතුනත් පොද ගහනව ..... කන්ද මුදුනට පය තියපු වෙලාවේ ඉදන් මහ අමුතු විදිහට සීතල වැඩිවුනා, මල මිනියක් බදාගෙන ඉන්න සයිස් එකට සීතලයි , කටින් දුම් පිටවෙන ගානට ...... මේතරම් සීතලක් මෙච්චර වෙලා තිබුනේ නෑ ,තව විනාඩි දහයක ගමනක් තමයි ඉතුරුවෙලා තියෙන්නේ .  මුදුනට වෙලා ටිකක් හිටපු මං ආයෙත් ගමන පටන් ගත්ත .ඒත් වැඩි වෙලාවකට නෙවෙයි,ඒ  මෙච්චරවෙලා ආපු අඩි පාර හරස් කරගෙන  පර්වථයක් වගේ මගේ දිහා බලාගෙන හිටපු මී හරකෙක් නිසා .අයාලේ යන උන් නැති වුනත් මී හරක් අපේ ගමට අළුත් ස‍ත්තු ජාතියක් නෙවෙයි , එත් තේ වත්තක් මැද්දේ මී හරකෙක් !! ටිකක් අමුතුයි , මොකද උන් කොළ කන්න කැමති සත්තු ජා‍තියක් නෙවෙන නිසා .ඒ මදිවට පාරත් හරස් කරන්. ටිකක් වෙලා බලන් හිටියත් මූ අහකට යන පාටක් නෑ , යන්න වෙන පාරකුත් නෑ ඒ නිසා මට කරන්න තිබුන එකම දේ මූව එලවලා දාන එක .මොනව උනත් ළගට යන එක අවුල් වගේ නිසා මං කලේ තඩි ගලක් ඇරගෙන හරකට කෙලල ඇරපු එක . අමුතු  විදිහට පිඹල මගේ දිහා බලපු සතා පාරෙන් අයින් වුනා ........ ඒත් දැන් අළුත්  බාධාවක් මතුවෙලා .
                                       
මෙච්ච වෙලා ඇවිදන් ආපු අඩිපාර ...... එක අතුරුදහන් වෙලා ..... මං හිටන් ඉන්නේ නිකම්ම නිකං තේ ගස් ගොඩක් මැද්දේ ! ඒ පාරනං ඔළුව හොදටම අවුල් වුනා .......... හොදටම විස්වාසයි හරකට ගල් ගැහුවේ අඩිපාරේ ඉදන් කියන එක, ඒත් දැන් මං කොහෙද මන්ද වෙන තැනක ..... නෑ වෙන තැනක වෙන්න බෑ ... එතනමයි . මොකද හරකා ඉන්නේ මට පේන මානේ....... ඒත් පාර නෑ . බැග් එකත් එල්ලගෙන එහේ මෙහේ කැරකුනේ පාර හොයන්න ...එත් කෝ ....... . මේවෙනකොට මට , මෙතන වෙන්නේ මහ අමුතු දෙයක් කියල තේරිලා ඉවරයි . මොනපැත්තට මොන තරම් දුරක් ගියත් මට අර කියපු මී හරකාව පේන මානයෙන් එහාට යන්න බෑ , කොච්චර දුර ගිහින් හැරිලා බැලුවත් ඌ කලින් දැක්ක දුරින්ම මගේ දිහා බලාගෙන ඉන්නව . පාර‍හොයන එක පැත්තක දාපු මං දැන් උත්සහ කරන්නේ හරකව මග අරින්න . ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල මට තේරුනේ පැයක් විතර ඔහේ ඇවිද්දට පස්සේ .අන්තිමට බැරිම තැන මං ගිහින් උස ගලක් උඩ වාඩිවුනේ එලිවෙනකන් ඉන්න හිතාගෙන, කළු මී හරකා තාමත් මගේ දිහා බලාගෙන . පොඩි පොඩි ගල් කැට අරන් මං ඉන්න තැන ඉදන්ම ඌට ගැහුව , වදින වදින හැම පාරකටම මූ නයෙක් වගේ පිඹිනව, එත් හෙල්ලෙන්නෙවත් නෑ .එතන මොන තරම් වෙලා ඉදන් හිටියද , අන්තිමට මතක තිබ්බේ කවුදෝ කට්ටියක් මගේ නමකියල කෑගහන සද්දෙත් එක්කම අර මී හරකා පිඹගෙන මගේ දිහාට දුවගෙ ඇවිත් මගදි අතුරු දහන් වුන හැටිත් ,මං ගල උඩ ඉදන් බිමට පැන්න හැටිත් විතරයි .
                           
ඇහැරෙන කොට මං හිටියේ ... ගමේ අපේ ගෙදර කාමරයක , ආච්චි අම්ම මගේ දිහා බලාන හිටියා.
" මොකද මගේ පුතේ උනේ "
"‍ අනේ මන්ද ! කොහෙද යන මී හරකෙක් නිසා පාර වැරදුනාද කොහෙද ... අන්තිමට ඌ මගේ පැත්තට දුවගෙන එනකොට පැනපු එක විතරයි මතක ,,,,,, කොහොමද ‍මං ගෙදරට ආවේ ? "
" අපි ගිහින් අරන් ආවා .......... පාර වැරදුන විදිහ තමයි හිතා ගන්න බැරි , උඹ ගලක් උඩ ඉදන් පනිනව අපි දැක්ක .... ඒ ගල  පාමුලින්නේ අඩි පාර යන්නේ .... අනික මී හරකෙක් හිටියේ නෑ .............. "
"ඌ කොහෙට හරි යන්න ඇති"
"මොන පැත්තට ඇවිද්දත් හරකව මග අරින්න බැරිවුනා නේද ?"සීයත් කාමරේට ආවා .
" කොහොමද ඒක දැන ගත්තේ !!!!! ඌ මගේ පස්සෙන් එන්න ඇති " 
" උඹේ කේන්දරේ බලගතු නිසායි , උඹ උපන්නේ  රාස්ස ගනෙන් නිසායි  පුතේ බේරුනේ නැත්තං මහසෝන් පිල්ලියට ගල් ගහපු එකෙක් බේරෙනව බොරු "
" මහසෝන් පිල්ලි !!!!! ගල් ගහපු එකත් දැක්කද ? "
" පිස්සුවෙන් වගේ  මොකකටදෝ ගල් ගහනව අපි ඈත තියාම දැක්ක "






No comments:

Powered by Blogger.