මහසෝන් බලියෙන් ආ පිල්ලිය

















අපේ අප්පච්චි ගේ අප්පච්චි පට්ට මන්තර කාරයෙකි.මාතර ගුරුකම් කප්පිත්තෙකි.ඒ මදිවට බලි තොවිල් වල අපූරු මූර්ති අඹන අතහුරු සිත්තරෙකි .පොඩි ළමයින්ගේ බාලගිරි දෝෂ ය මම දෑහින් දැක ඇත.ඒ මගේ නැගනිය කුඩා කාලයේදී ය.වටපිට බලා ගැස්සී බයවී යටිගිරියෙන් කෑ ගසා හඬන ඇයව නැලවීමට මුලු ගමම මිදුලට එකතු වූවත් ඇය ඇඬීම නවත්තන්නේ නැත.අලුත් බතක් උයා ඇගේ උසට ඒ බත් වලින් අපූරු බබෙක් හදා යාතිකා මන්තර ගමක මතුරා සීයා වරුවකින් ඒ ලෙඩේ හොද කල අපූරු ව තවම මට විශ්මය ගෙන එයි.

ඒ දවස් වල ගමේ කොයි කොනකින් හෝ බෙර හඬක් නෑසෙන දවසක් නැත.දැන් වගේ ගැටිස්සියන්ට නැටිලි නටන්නට ඒ කාළේ ඉඩ නැත.ගේ මුල්ලට කර හද න නිසා නටන නැටුමක් ඉතින් තොවිල් පලක
විතරය.පිස්සියක් ආවේශ කරවද්දී තවත් තරුණ ගැහැණු දෙතුන් දෙනෙකු ආවේශ වීම අනිවාර්ය අතර ගුරුන්නාන්සේ නූලක් බැඳ ඔවුන් එක එක්කෙනාට තොවිලයට දින වෙන්කරයි.ඉතින් ගමේ හැම සතියකම තොවිලයක් වරදින්නේ නැත.

මේ තොයිල වලට ලී මැස්සක මහසෝන් බලියක් ඇඹීම සිරිතකි.ඒ වලස් මුහුන ක් සහ ලොම් පිරුණු පිරිමි සරීරය ක් සහිත අඩි හයක පමණ මූර්තියකි.වර්ණ සියල්ල ගෙදර හදාගත් ඒවාය.මේ ඇඹීම සදහා හොද හුරුවක් සහිත යකැදුරෝ අපේ පලාතේ ඕනෑතරම් සිටි අතර අපේ සීයා එහි නායකයෙකි.තුන්මංහන්දියක් සහ එහි යටින් දොලක් ගලන ලී පාලමක් සහිත මූසලපාට මංසන්ධියක් මේ බලිය තැබීමට තෝරාගත් ස්ථානයයි.එහි බලියක් නැති දිනයක් නොමැති අතර ගැහැණු ,ළමයි තබා පිරිමි පවා ඒ ඉසව්වේ තනියම යාමට බියක් දක්වති.

එකළ මම හය හෝ හත් හැවිරිදි වියේ වූ බව මගේ මතකයයි.චිත්‍ර ඇඳීමට උපන් හපන් මා මේ මහසෝන් බලියට වශී වී සිටි සමයකි.එහෙත් කිසිම දිනක මන්තර ගුරුකම් වල හුළඟ වත් වැදීමට අම්මා ඉඩනොදෙන්නේ මා තුන්කුළුදුල් සේම, ඇගේ හුරතල් දියණිය වූ නිසා අනතුරක් වේ යැයි බියට විය යුතුය.
පාසැල් ඇරී ගෙදර පැමිණි මා බත් ටිකක් කෑමෙන් පසු පේර අඹ ගස් යට ඇවිදිමින් වට පිට බලමින් ගත කළ දිවා කාලයකි එය.ඉර මුදුන් වී තිබූ අතර නංගී අතදරුවකු නිසා අම්මා ඇය සමඟ කාමරයේ විය යුතුය.මේ තමා හොඳම වෙලාව ඈතින් පේන මහසෝන් බලිය නිදහසේ නැරඹිය යුතු හොඳම වෙලාව...

අඩියට දෙකට වක්කඩවල් ඇල දොලවල් නියර දිගේ මම එතැන....අප්පේ...
අපූරු පාට....උල් දත්...ලේ පෙරෙන කට..අතගාලත් බලන්න ඕන......

" ලොක්කියේ....." තාත්තාගේ හඬින් මම දැහැනෙන් මිදුනෙමි.දුවගෙන එන තාත්තා අඩියට දෙකට මා අසලට පැන දෝතින්ම මා ඔසවා ගත්තාය .මම වඩාගත් තාත්තා පසුපස නොබලාම ගෙදරට දුවන්නට පටන්ගත්තාය.

ඒ සැනින් තේ හේනේ සිටි සීයා ගෙදර පැමිණි අතර පොල් තෙල් පීරිසියකට දමා කහකෑලි දෙකතුනක් කපා දමා තෙල් තවරා ගත් ඇඟිලි මගේ නලලේ තබමින් වරුවක් මන්තර මැතිරුවේය.ටකස් ගා ඇඟිලි අසුරු ගසමින් යකුන්ට අම්බානක බනිමින් බුදු ගුණ කියමින් නැටූ ඒ නාඩගමේ අවසානය මට අමතක මට නින්ද ගිය නිසා ය.
පසු කාළයක තාත්තා මට පැවසූ පරිදි කුඹුරේ සිට මද්දහනේ ඔහු ගෙදර එනගමන් නිකමට බලි තබන පාලම දිහා බලා ඇත.තාත්තා දැක ඇත්තේ මහසෝන් බලියට ඇඟිලි තුඩින් ඉස්සී අතදික්කරමින් සිටින මගේ පිටුපසින් කලු ලොම් වලින් වැසුණු අඩි හයක පිරිමි යෙක් සිටගෙන සිටින අයුරුයි....


No comments:

Powered by Blogger.