අප්‍රකට මායා කර්ම




















මේ ලිපියෙන් නම් මං ඉදිරිපත් කරන්න හදන්නෙ ශ්‍රී ලංකාවෙ පැරණි කාලයේ තිබුනු හා දැනටත් අප්‍රකටව තියෙන්න ඉඩ තියෙන ගුප්ත මායා කර්ම කීපයක් ගැන. මේ මායා කර්ම සමහරක් බොහොම ම්ලේච්ඡයි. ඒ වගේම හරිම අමානුෂිකයි.

සමහර විට මේ මං ඉදිපත් කරන මායා කර්මයන් එක එක පළාත්වල එක එක නම්වලින් හැඳින්වෙන්න
පුලුවන් කියලා වගේම ඒවාට භාවිත කරන පූජා භාණ්ඩවලත් ප්‍රාදේශීයව යම් යම් වෙනස්කම් වෙන්න පුලුවන් කියලා මතක තියාගන්න එක වටිනවා. මේ මායාකර්මවලට ගන්න මන්ත්‍ර හා ශ්ලෝක අනිවාර්‍යෙන්ම තිබුනත් ඒවා මේ ලිපියේ නොදක්වන්නෙ යම් යම් හේතු කාරණා මතයි

01. රණබටේ ගුරුකම

ඔය පරණ ගම් පලාත්වල ; විශේෂයෙන් දකුණු පළාතෙ ගම්වල ගං ඉවුරුවල, දොල, ඇළ ඉවුරුවල වැවිලා තියෙනවා ලොකුවට පදුරු වර්ගයක්. ඒවා තණ වර්ගයක්. හැබැයි කඳන් ලොකුයි. ලපටිම ලපටි උන බට වගේ. ලා කුරහන් රතුපාටයි. මෙන්න මේ පඳුරු වර්ගෙ කඳේ එක පුරුකක් ගලවාගත්තම ඒක හැදිලා තියෙන්නෙ බට කෑලි දෙකක් එකට පෑස්සුවා වගේ. ඒ කියනෙ බට පුරුක දෙපැත්තට ඇද්දම මැද කුහරයක් තියෙන විදියට ගැලවෙනවා.

මෙහෙමයි.. බඩදරු අම්මා කෙනෙක් නැත්නම් බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙකුට තමයි මේ ගුරුකම කරන්නෙ.

මෙහෙමයි, ඒ බබා හම්බවෙන්න ඉන්න අම්මා මුත්‍රා කරන වෙලාවක් බලලා ඒ තැනින් මුත්‍රා මුසුවුනු පස් ටිකක් අරගෙන අර රණබටයක් ඇතුළට දාලා ඒ බටපුරුක් දෙක එකට සම්බන්ධ කරලා මතුරලා අරන් තියනවා. එතකොට අර අම්මට නියම කාලෙ හරි ගිහිල්ලා බබා හම්බවෙන්න ආවත් බබා හම්බවෙන්නෙ නෑ. ගැබ හිරකරලයි තියෙන්නෙ. ඉතින් කොයිම වෙලාවක හරි අර බටපුරුක හොයාගෙන ඒක ගලවලා ඒකෙ තියෙන අර මුත්‍රා ගෑවුනු පස් ටික ගලාගෙන යන වතුරකට දානකම් අර අම්මගෙන් දරුවා බිහිවෙන්නෙ නෑ. එක්කො අම්ම මැරෙනවා. එක්කො දරුවා මැරෙනවා. එක්කො දෙන්නම මැරෙනව.

02. ඉබ්බන් බැඳිල්ල

කවුරු හරි කෙනෙක් කාට හෝ භූමි පාළුවක් වගේ කොඩිවිනයක්, හූනියමක් කරපුවාම සාමාන්‍යයෙන් ඒක දක්ෂ කට්ටඩියෙකුට ඒක අයින් කරන්න පුලුවන්. එක්කො පෙරළා වදින්න කපන්න පුලුවන්. හැබැයි මෙ කියන ඉබ්බන් බැඳිල්ල නම් හූනියමට කරලා තියෙන්නෙ එහෙම කරන්න බෑ.
මෙහෙමයි මේක වෙන්නෙ..

හූනියම කරලා ඒක භූමියේ වළලන්නෙ නෑ. අල්ලගන්නවා තරුණ වයසෙ නිරෝගී කිරි ඉබ්බෙක්ව. ඊටපස්සෙ අර හූනියම නොගැලවෙන විදියට අර ඉබ්බගෙ කකුලක හෝ ඇඟට තියලා ගැටගහනවා. ඊටපස්සෙ ඉබ්බව දානවා ගලාගෙන යන වතුර පාරකට හෝ වැවකට. ඉතින් කාට හෝ මෙන්න මේ හූනියම කපාගන්න ඕනෙනම් අර ඉබ්බව අල්ලගෙන හූනියම ගලවා ගන්න ඕනෙ. ඒක කරන්න පුලුවන්ද බැරිද කියලා තේරෙනවනේ?

03. කුල්ල දීම, ඇතුල්පත දීම

ඔය ඉස්සර ගම්පළාත්වල ගෙවල්වලට හිඟමනේ එනවා රොඩී මිනිස්සු. මෙයාලා ආපුවාම ගෙවල්වල අය හාල් ටිකක්, පොල් ගෙඩියක්, පරණ ඇඳුමක් එහෙම දෙනවා. සමහර රොඩී ගෑනු සාත්තර කියලා කීයක් හරි හොයාගන්නවා. මෙයාලව තරහා කරවාගන්න කවුරුත් බය මෙයාලා හොඳ මන්ත්‍ර මායාකාරයෝ නිසා. මේ මිනිස්සු එද්දි කවදාවත් ලමිස්සියෝ, ඇහැට කනට පේන ගෑනු උදවිය එහෙම පේන්න ඉන්නෙවත් නෑ.
සාමාන්‍ය ගැමි සිරිත තමයි කවුරු හරි හාල් ටිකක් ඉල්ලුවොත් කුල්ලට හෝ ඇතුල්පතට (ප්‍රමාණයෙන් කුඩා වට්ටිය) හාල් ටික දෙන එක. ඒත් මෙයාලා ඉල්ලුවොත් ගිහින් දෙන්නෙ පිරිමි අය.

මොකද මේ රොඩී පිරිමි කුල්ල හෝ ඇතුල්පොත ගෑනු කෙනෙක් දුන්නොත් හාල් ටික දාගෙන ආයෙ දෙද්දි මතුරලාලු දෙන්නෙ. එතකොට කුල්ල අතට ගත්ත ගමන් ගෑනු කෙනා වශීවෙලා එයාගෙ පස්සෙන් යනවලු. මේ වශිය කඩන්න නම් ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවලා කණපිට හරවලා අඳින්න ඕනෙලු.

04. රත් නිවිති දණ්ඩේ ගුරුකම

රත් නිවිති කියන්නෙ ටිකක් දුර්ලභ ශාකයක්. හැඩරුවෙන් නම් සාමාන්‍ය නිවිති වගේම තමයි. ඒත් මේ නිවිති වර්ගෙ දණ්ඩ, කොළවල නැට්ට හා නාරටි ඔක්කොම තද රතුපාටයි. ඉස්සර ගං ගෙවල්වල මිනිස්සු කොච්චර දුර්ලභ වුනත් රත් නිවිතිය ගස් හැදුවෙ නෑ. මොකද මේ ගහ බොහොම අමානුෂික මායා කර්මයකට ගත්ත නිසා.
තමන්ට නොරුස්සන හා හතුරු ගැහැනු අය ඉන්නවා නම් එයාලට තමයි මේක කළේ. බොහෝ විට තමන්ට අකමැති වුණ තමන්ගෙ ඇවැස්ස නෑනාට මේ වැඩේ කරන්න දුෂ්ඨ මස්සිනාවරු කටයුතු කළාලු.

අදාළ ගෑනු කෙනාට මාස් ශුද්ධිය (ඔසප් වීම) ඇතිවෙන දවසක් අල්ලලා රත් නිවිති දඬු කෑල්ලක් මතුරලා ඒක දියේ දැම්මම අධික රුධිර වහනයක් වෙනවලු. ඒක නතර වෙන්නෙ අර මතුරපු රත් නිවිති දඬු කෑල්ල දියෙන් ගොඩට අරගෙන දුම් මැස්සෙ දැම්මමලු. ආයෙත් දවස් 28කට 30කට පස්සෙ ආයෙත් දියේ දැම්මම අර විදියටම සිද්ධ වෙනවලු.

05. තුවක්කු පොට්ටය

මේක නම් නරක දෙයක් කියලත් කියන්න බෑ.. ඒත් ටිකක් ගුප්ත දෙයක්.. මේකෙදි කරන්නෙ සත්තුන්ට වෙඩිතියන කෙනෙකුට අයත් තුවක්කුවක වෙඩි තැබීමේ හැකියාවට හානි කෙරෙනවා. මේ ගුප්ත කර්මය කරන ක්‍රමත් ප්‍රාදේශීයව වෙනස් වෙනවා. සමහර පැතිවල මතුරපු බලු ලොම් ගහක් තුවක්කු බටේ ඇතුලට දානවා. එහෙම නැත්තං මතුරපු හුණු ඩිංගක් අයිතිකාරයට හොරෙන් තුවක්කු කටේ ගානවා. එහෙම වුනාම වෙඩිල්ල වදින්නෙ නෑ සතාට. එක්කො තුවක්කුවෙ ඉලක්කය වරදිනවා.

06. කටු ගැහිල්ල

මේක නම් සමහරු දන්න දෙයක්. ඒත් කරන විදිය නම් දන්නෙ නැතුව ඇති. මේක නම් භාවිත කරන්නෙ බොහොම දරුණු පළිගැනීම්වලට.

මුලින්ම හොඬල අලයක් අරගෙන ඒකෙන් මනුස්ස රුවකට බොහොම සමාන මනුස්ස රූපයක් කපන්න ඕනෙ. ඊට පස්සෙ මේකට අදාළ කෙනාගෙ ශරීර කොටසක් (කෙස්, නිය, ලොම්) අරගන්න ඕනෙ. ඒ වගේම අදාළ කෙනා ඇදපු ඇඳුමකින් කොටසක්. ඒවාත් අරගෙන අර රූපෙටම සම්බන්ධ කරලා මතුරනවා. ඊළගට පස්කටු (දෙහි, බෙලි, ඉඹුල්.. තව දෙවර්ගයක් තියෙනවා) අරගෙන ඒක පස්තෙලේ (තල, කොහොඹ, පොල්, ඇතුළු තෙල් වර්ග තව දෙකක්) බදින්න ඕනෙ මතුරමින්. ඊටපස්සෙ මරු ඉන්න හෝරාවකදි අදාළ හොඬල අල රූපයේ එක එක තැන්වලට පස්කටුවලින් අනිද්දි අදාළ කෙනා කොහේ හිටියත් එයාට වේදනාව දැනෙනවාලු ඒ රූපෙට කට්ටෙන් ඇනපු තැනටම. පපුව, හිස, ලිංගේන්ද්‍රිය වගේ මර්මස්ථානයකට ඇන්නොත් මැරෙනවලු. කටු ගහලා තියෙන තාක්කල් වේදනාව අඩු වෙන්නෙ නෑලු. මේ හූනියම කපන්න ඕනෙ නම් පිළිමෙ පුච්චන්න ඕනෙලු.

07. කාලම්, අංගම් පිඹීම

මේ දෙකම එක වගේ ගුප්ත කර්ම දෙකක් . මේකෙදි කරන්නෙ මන්ත්‍ර මතුරලා අදාල කෙනා අරමුණු කරලා එයා දිහාට පිඹින එක.. අංගම් පිඹිද්දි සමහරු මතුරනකොට ගම්මිරිස් ඇට කීපයක් හපන ගමන් තමයි මතුරන්නෙ. මතුරලා කටේ තියෙන ගම්මිරිස් ඇට කෑලි තමයි පිඹින්නෙනෙ. මේ අංගම් වැදුනම ඇඟේ දැවිල්ල, හිසේ දැවිල්ල, උම්මත්තකබව (පිස්සු), තෝන්තුව, නහයෙන් කටින් ලේ දැමිල්ල, ක්ලාන්තය ඇතිවෙනවා. අංගම් පිඹින්නෙ මනුස්සයන්ට විතරයි

කාලම් ටිකක් දරුණුයි.. සත්තුන්ට වුනත් මතුරනවා.කාලමේ මන්ත්‍ර කෙටියි දරුණුයි. සාමාන්‍යයෙන් දක්ෂ ගුප්ත විද්‍යාධරයෙක් කවදාවත් සතෙකුට කාලම් පිඹින්නෙ නෑ. කියමනට කියන්නෙත් කාලමක් දළ ඇතෙකුට පිම්බොත් ඒ ඇතා මැරෙන්නෙ රෝම කූපයක් රෝම කූපයක් ගානෙ ලේ ගිහිල්ලා කියලයි.

08. උගුර කට හිරබැන්දුම 

මේකත් බොහොම අමානුෂික මායා කර්මයක්. මේක බොහෝවිට කරන්නෙ බහ තෝරන වියේ පොඩි එවුන්ට. ලොකු අයටත් බැරිකමක් නෑ.

අදාළ පොඩි දරුවගේ කොන්ඩ ගහක් අරගෙන අඟල් හතර - තුන විතර දිග යකඩ ඇණයක පටලවලා මතුරනවා. ඊටපස්සෙ ඒ දරුවා කතාකරන වෙලාවක් බලලා පොල්, කොස් වගේ ලොකු ගහකට ඇණේ ගහනවා අර හඬ අල්ලලා. ඊටපස්සෙ ක්‍රම ක්‍රමයෙන් අර දරුවගෙ කටහඬ නැතිවෙනවා එයා ගොළු වෙලා යනවා. අර ඇණේ ගැලෙව්වොත් තමයිලු එයාට සුවවෙන්නෙ

09. කුකුළා බැන්දීම

මේකත් ඉතින් හොඳ නරක දෙකම තියෙන එකක්. මේකෙදි වෙන්නෙ ගැබ්බර අම්මා කෙනෙකුට ආරක්ෂාව සැපයීමක්.

මුලින්ම හොඳ නීරෝගීව වැඩුණු පාට තුනේ කුකුළෙක් ගන්නවා. ඊටපස්සෙ මල් බුලත් තටුවක් හදලා යහන් හදලා යාදිනි කියලා කුකුළව කැප කරනවා අමනුෂ්‍ය ආත්මෙකට අර ගැබිනි අම්මගේ නමින්. එවේලෙ ඉඳන් මේ කුකුළා අර අම්මව තනි කරන්නෙ නෑ. නිදාගත්තත් ඇඳේ විට්ටම උඩට වෙලා හරි ඉන්නවා. වැසිකිලියට ගියත්, දියට ගියත් ඉන්නවා. ඌ කෑම අහුලාගන කන්න ගියත් ඒ අම්මා ඉන්න සීමාව පනින්නෙ නම් නෑ. ඌ ඒ අම්මව රකිනවා. කොහොමින් කොහොම හරි බබා හම්බ වෙලා කීප දවසකින් අර බන්ධනෙන් නිදහස් කරන්න පොඩි පූජාවක් සූදානම් වෙනවා. ඒකෙදි අර කුකුළට බැන්දිලා බඩදරු අම්මගේ නමින් ආරක්ෂාවට හිටපු අමනුෂ්‍යයා නිදහස් කරනවා. හැබැයි ඉතින් ඒකට ඇපේ හැටියට අර අම්මව එච්චර කාලයක් ආරක්ෂා කරපු කුකුළව බිල්ලට දෙන්න වෙනවා අමනුෂ්‍යයාට.

10. කිඹුල් කට ගැටලෑම

මේක නම් බොහෝ විට දකුණු පළාතටම ආවේණික මායා කර්මයක්.. මේකෙදි කරන්නෙ මිනී කන තරම් දරුණු වුන කිඹුල්ලුන්ට ඒක කරන්න බැරි වෙන්න මැතිරීම.

කොහෙහරි ගඟක, ඔයක මිනී කන කිඹුලෙක් ඉන්නවා නම් ඌ ඉන්න සීමාව බලලා ඒකට මතුරපු ගල් කැට කීපයක් වීසි කරනවා. එතකොට ඒ කිඹුල්ලු ආයෙ මිනී කන්නෙ නෑ ඒ සීමාවෙදි.

මේක ඉතිහාසගතවෙන විදියට කරපු කෙනෙක් තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. උන්වහන්සේ කිඹුල්ලුන්ගෙන් කරදර සිද්දවුනු ඇළවල් හා ගංගා හතකට මේ මන්ත්‍රය කොටවලා මතුරපු ගල් පුවරු දම්මනවා. ඒ කිඹුල් කරදර නතර වුනා. හැබැයි පහුකාලීනව වැලි ගොඩදාද්දි එහෙම ඒ ගල් පුවරු ඉවත් වෙනවා. මේ කතාව මිත්‍යාවක් කියලා හිතුවත් මේ ලඟකදි තෙල්වත්ත, කහදූව, අම්බන අම්බොං ඇලේ තිබිලා ආරක්ෂා වෙලා තිබුනු අවසාන කිඹුල් බන්ධන පුවරුව හම්බවෙනවා පරීක්ෂණවල ප්‍රථිපලයක් විදියට.
ඕන්නම් ඕනෙ කෙනෙකුට පුලුවන් අද වුනත් මාපලගම කහදූව හැඩිදෙමළකන්ද දුටුගැමුනු විහාරයේ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන ඒ පුවරුව ඇස් දෙකෙන් බලාගන්න..

මීටත්,වඩා ගොඩාක් ගුප්ත මායා කර්ම බොහෝමයක් තියෙනවා අනිවාර්‍යෙන්ම. ඒකෙ සැකයක් නෑ. මුලු ලංකාව පුරාම. අප්‍රකට සමහර ඒ වගේ තවත් ගුප්ත ක්‍රම කියන්න බැරිතරම් අමානුෂිකයි. ඒ නිසයි ඒවා නොකියන්නෙ. මේ ඒවගේ ඒවායින් කීපයක් විතරයි දක්වලා තියෙන්නේ. අදහස් දෙන්න. විවේචනය කරන්න. විමසන්න.

කැමති කෙනෙක් ඕනෙ දෙයක් අහන්න මේ සම්බන්ධව. දන්න තරමින් උත්තර දෙන්නම්.
ඊළඟ ලිපියෙන් දෙන්න පුලුවන් ලංකාවෙ හිටපු දක්ෂම මන්ත්‍රධාරියෙක් වෙන තොටගමුවෙ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන තොරතුරු හොයන්න ගිහින් රැයක් කැලෑවක මංම වින්ද අත්දැකීම්. ඒ වගේම උන්වහන්සේ ගැන අප්‍රකට තොරතුරු, යක්කු බැඳ වැඩ ගත්තු හැටි, උන්වහන්සේගෙ අදටත් පවතින නොදිරන සිරුර හා තවත් අද්භූත තොරතුරු ඒ සම්බන්ධව. සාක්ෂිත් එක්කම. ඒ හැමදේම මං මගේ පර්‍යේෂණ ග්‍රන්ථයට කරුණු හොයද්දි මටම හම්බවුණු දේවල්..

(චන්දික මදුශාන් අබේවික්‍රම)


2 comments:

Powered by Blogger.