මැරුම් කෑ ජෝන් පුතා සොයා එයි
































රාත්‍රිය වැසි සහිත විය. මහ සුළඟට ගස්‌ වැල් ඇඹරෙන හඬ ද වැසි දියෙන් ප්‍රමෝදයට පත් ගෙම්බන්ගේ තොරතෝංචියක්‌ නැති කරච්චලය ද හිතට එක්‌ කළේ තරමක චකිතයකි. "ගේ ඉස්‌සරහ අඹ ගහ ගෙට හොඳටම ළගයි. කඩා වැටෙයිද මන්දා. ඔය කෙහෙල් මල කපලා දාන්න ඕනෙ." ඒ මා සිත ඇති වූ සිතුවිල්ලකි. මධ්‍යම රාත්‍රිය වීත් මා මෙතෙක්‌ වෙලා නිදි වර්ජිතව සිටින්නට සිදු වූයේ අසල් වැසියකු විසින් අලුත්වැඩියාවක්‌ සඳහා
මා වෙත ලබා දුන් පරණ ගුවන් විදුලි යන්ත්‍රයක්‌ සාදා නිම කිරීම සඳහාය. දැඩි ප්‍රයත්නයකින් පසුව එය යථා තත්ත්වයට පත් කර ගත්තද මේ අකුණු සහිත රාත්‍රියේ ගුවන් විදුලි යන්ත්‍රය අත්හදා බැලීමට නොගියේ එය මරුවාට අත වැනීමක්‌ වූ නිසාය. රාජකාරියට අමතරව නිවාඩු අවස්‌ථාවන්වලදී මම මෙවැනි දේ කිරීමෙන් තෘප්තියක්‌ ලැබුවෙමි.

ගාමිනී මාමා මාගේ පියාගේ සමකාලිනයෙකි. එකල ඔහු සේවය කළේ දිවුලපිටියේ ලංගම බස්‌ ඩිපෝවේ ගබඩා පාලකයකු ලෙසිනි. තරමක මානසික රෝගයකින් පෙළුණු ජෝන් අපූරු මිනිසකු විය. මා ඔහු හඳුනන්නේ මාගේ පියාගේ හැඳුනුම්කමටත් වඩා ජෝන් මාමාගේ දෙවෙනි පුත්‍රයා වූ රෂින්ත නිසාය. පාසල් සමයේ සිට සැපට දුකට මා සමඟ එකට සිටියේ රෂින්ත වූ නිසාම ජෝන් මාමා මා හට අනිකුත් තරුණයන්ට වඩා බෙහෙවින් කුළුපග විය. මහ රෑ තිස්‌සේ පිස්‌සුවෙන් මිනිසුන්ට බැණ අඬ ගහන ජෝන් මාමා උදැසන කිසිවක්‌ නොවූවා සේ හොඳින් හැඳ පැළඳගෙන බස්‌ ඩිපෝවේ රාජකාරියට යාම පුරුද්දක්‌ කරගෙන සිටියේය. අමතර ආදායමක්‌ ලෙස කුකුළන් ඇති කිරීමද කළ ජෝන් මාමා මේ නිසාම අසල් වැසියන් සමඟ ඇති කර ගත් ගැටුම්ද කෙළවරක්‌ නොවීය.

මීට දින කීපයකට පෙරද රෂින්තලාගේ නිවස ඉදිරිපිට ගුණසිරිලා සමඟ ජෝන් මාමා ගැටුමක්‌ ඇති කර ගත්තේය. ප්‍රතිඵලය වූයේ ගුණසිරිලා නෑදැයන් සමඟ එක්‌ වී ජෝන් මාමාට හොඳහැටි සැලකීමය. ජෝන් මාමාටත් නිවසටත් මෙම ගැටුමෙන් බරපතළ හානි සිදුවී තිබිණි. එය ජෝන් මාමාට ඉහිලුම් නොදෙන්නක්‌ විය. පසුගිය දිනෙක රෙදි බෑගයක්‌ අතින් ගත් ජෝන් මාමා වතුපිටිවල බස්‌ නැවතුමේදී මට හමුවූයේ තරමක කලබල අවස්‌ථාවකදීය. මාමේ මම යනවා. ඔහු මට දුර සිට අත වැනුවේය. කතාව එතනින් නිම විය. දැන් මට ඔහු මතකයට නැගුණේ ගුවන්a විදුලි යන්ත්‍රය නිසා යෑයි සිතේ. රාත්‍රියේ වැසි කෝඩයේ හඬ බිඳිමින් ගුවන් හමුදාවට අයත් ජෙට්‌ යානා දෙකක්‌ උතුර දෙසට ඉගිල ගියේ මුළු ප්‍රදේශයම දෙදරවමිනි. අදත් රෑ කොටින්ට ගහනවා වගේ. මගේ සිත කෙඳිරුවේය. අනිත් සෑම දිනකම මෙම වෙලාවට ඉලක්‌ක වෙත පහරදීමට යානා මේ ප්‍රදේශයෙන් ඉගිල යයි. නිවසේ කිසිවකුත් ඒ හඬින් අවදි වූ බවක්‌ පෙනෙන්නට නොවුණි.

ටක්‌. ටක්‌. ටක්‌. දොරට කිසිවකු තට්‌ටු කරන හඬින් මා සිතුවිලි ලෝකයෙන් මිදුනෙමි. මොකාද යකෝ මේ රෑ. දැන් එකත් පහු වෙලා. කවුද? මංජු පොඩ්ඩක්‌ දොර අරිනවද? මට මේ ඉටි පන්දමක්‌ ඉල්ල ගන්න. පුදුමයකි ඒ ජෝන් මාමාගේ හඬමය. මම විගසින් දොර විවර කළෙමි. හිසෙහි ලේ ගලන තුවාලයක්‌ සහිතව සිටි ජෝන් මාමාගේ සිරුර පුරා රත්පැහැ රුධිරයෙන් නැහැවෙමින් තිබිණි.

දෙයියනේ මේ මොකදවෙලා තියෙන්නේ? එදා මම පානම ගියා. එහෙදි පොඩි රණ්‌ඩුවක්‌ වෙලා ඔලුව ටිකක්‌ තුවාල වුණා. ඒක ලොකුවට අමාරුවක්‌ නෑ. ඒ ජෝන් මාමාගේ හඬයි. ඉටිපන්දමක්‌ මා නිවස තුළ නොවූ හෙයින් මා පියා සතු විදුලි පන්දමක්‌ සොයාදීමට නිවස තුළ ගොස්‌ පැමිණෙන නිමේෂයට ජෝන් මාමා එහි නොවීය. මේ මනුස්‌සයා කොහේ ගියාද. මට හොඳටම නිදිත්මතයි. මා දොරවසා දැමුවේය. ඔන්නන් ආයේ එන්නැතෑ ඒ මාගේ සිතුවිල්ලයි. නිදි දෙව්දුව වැළඳගත් මට වැඩි වේලාවක්‌ සුවසේ සිටීමට නොහැකි විය. නිවසේ දුරකථනය තොර තෝන්චියක්‌ නැතුව නාද වන්නට වූයෙන් නැවත මට අවදි වන්නට සිදු විය. මළ කරදරයක්‌ ද මන්දා. දුරකථනය අතට ගත් මා මොහොතකට ගල් ගැසී සිටියේ දුරකථනයේ අනිත් කෙළවරෙන් ලැබුණු ඇමතුමෙන් ලත් තොරතුරටයි.

අපි පල්ලම පොලිසියෙන් කතා කරන්නේ මහත්තයා ජෝන් කියලා කෙනෙක්‌ අඳුරනවාද. ඔව් මම දන්නවා, මහත්තයට පුළුවන්ද ජෝන් මහත්තයලාගේ ගෙදරට පොඩි පණිවිඩයක්‌ අරින්න. මොකක්‌ද? ජෝන් මාමා මොකක්‌ හරි ලෙඩක්‌ දාගෙනද. මේ දැන් ටිකක්‌ කලින් අපේ ගෙදරටත් ඇවිත් ගියා. මොනවා ඒක වෙන්න බෑනේ. අද හවස හතරට විතර පල්ලම පැත්තේ වෙච්ච කෝලහලයකදී ජෝන් මැරුණනේ මමයි ඕඅයිසී මහත්තයයි බොඩි එක රෝහලට අරන් ගියෙත්. මා සිහින ලෝකයක සැරිසරන්aනෙක්‌ බඳු විය. එකල දුරකථන බොහෝ බහුල නොවීය. මුළු ගමටම දුරකථනයක්‌ තිබුණා නම් තිබුණේ අප නිවසේය. හදිසියක්‌ වුණොත් මේකට කෝල් එකක්‌ දෙන්න. ඔහු අත නිතර තිබෙන එක්‌සයිස්‌ පොතෙහි කෙළවරක අප නිවසේ දුරකථන අංකය ලියා තැබුවේ මාමය.

මහත්තයා කරුණාකර ජෝන් මහත්තයලාගේ ගෙදරට පණිවිඩය කියනවද?

ඒ පල්ලම පොලිසියේ නිලධාරියාගේ හඬයි. දඩස්‌ ගා රිසිවරය තබා රෂින්තගේ නිවසට දිවගියේ පොලිස්‌ නිලධාරියා දුන් පණිවිඩය ලබාදීමටය. එතකොට ගෙදරට ඇවිත් මාත් එක්‌ක කතා කළේ කවුද? පඹ ගාල ලෙහා ගැනීමට කඩිනමින් රෂින්තගේ නිවසට යා යුතුය. ඔවුන්ගේ නිවසට ළංවත්ම මහත් කලබල ගතියක්‌ පෙනෙන්නට විය. මේ මිනිස්‌සු මේ මහ රෑත් නිදියන්නේ නැද්ද දෙයියනේ.

රෂින්ත පොඩි ප්‍රශ්නයක්‌. ඔයාගේ තාත්තා අද හවස පල්ලමදි ආන්ත්‍රා වුණා කියලා පල්ලම පොලිසියෙන් දැන් ටිකකට කලින් කෝල් කළා. මොන බොරුද තාත්තා දැන් ගෙදර ඇවිත් පැයකට වැඩියි. ඔලුවේ ලොකු තුවාලයක්‌ තියෙනවා. මල්ලී වාහනයක්‌ හොයන්න ගියා. ඉස්‌පිරිතාලේ අරන් යන්න. ඔයාටත් තාත්තා බැණ බැණ හිටියා ඉටි පන්දමක්‌ ඉල්ලලා දුන්නේ නෑ කියලා.

හරි අපි ගෙට ගිහින් බලමු. රෂින්තත් මාත් වේගයෙන් නිවස තුළට දිව ගියෙමු. කාමරය තුළ කිසිවකු නොවීය. ඒ සියලු දෙනා මුහුණින් මුහුණ බලා වික්‌ෂිප්ත වූහ. මුළු ප්‍රදේශයම පිරිස්‌සූ අසල්වාසීන්ට ජෝන් මාමා පැමිණි බවට ලකුණක්‌වත් සොයා ගැනීමට නොහැකි විය. මාගේ ඉල්ලීම මත රෂින්ත පල්ලම පොලිසියට නැවත දුරකථන ඇමතුමක්‌ ලබා ගත්තේය. එදිනම හවස හතරට පමණ ජෝන් මාමාගේම නෑයකුගේ පොරෝ පහරට ලක්‌ව ඔහු මියගිය බවත් මරණ පරීක්‍ෂණය අවසන්ව ඇති හෙයින් මළ සිරුර රැගෙන යාමට පල්ලම පොලිසියට පැමිණෙන ලෙසත් පොලිස්‌ නිලධාරියා රෂින්තට දැනුම් දුන්නේය.



No comments:

Powered by Blogger.