දිව නැති කතගේ ශාපේ බංගලාවෙම හොල්මන් කරයි


























"ටොක් ටොක් ටොක්... ගෙදර කවුද .... "

"කවුද...."

" මං මේ දොස්තර මහත්තයා "

" දෙයි හාමුදුරුවනේ... මහත්තයෝ මේ රෑ මොකේද ආවේ.. "

" ගෙදරින් එද්දී පරක්කු උනා.. බස් එක මග ඇරුනා ඉතින් පයින් ම ආවා.. මෙච්චර දුරයි කියලා දන්නෙ නෑනේ... "

" දුරදත් අහනවා.. හැතැප්ම 12ක්..... හා හා යමු ඇතුලට... "

එය සුන්දර නමුත් තරමක් අදුරු බංගලාවක් විය.. පැරැණි පෝරනුවක්... විශාල බට්ටා සහිත ඔරලෝසුවක්.. ජීවමාන ප්‍රමාණයේ චිත්‍ර රාශියක් එහි සාලයේ විය.. බංගලාව බලා ගත් අංශභාග සෑදී තරමක් සුව වී ඇතැයි සිතිය හැකි " සන්දනම් " නැමැත්තා කොර ගසමින් මා මාගේ කාමරය වෙත කැදවාගෙන ගියේය.

සම්පූර්ණ දැවයෙන් නිමවා තිබු තරප්පු පෙල සම්බන්ධ බිත්තිය පුරා රටාවකට චායාරූප අමුණා තිබිණ .. ඒවා ඉතාමත් නපුරු ලෙස මා දෙස බලා සිටින අයුරු මහා බියකරු බවක් ගෙන ආවේය.. ඉහල මාලයේ තිබු කාමර 2න් 1ක් මගේ නවාතැන විය.. එහි තිබූ එකම ජනේලය කුඩා දිය ඇල්ලක දර්ශනය වන ලෙස සකසා තිබිණ .. ඉපැරණි වියන් ඇදක් සහ මේසයක් පමනක් එහි ගෘහ භාණ්ඩ ලෙස දක්නට ලැබුනි..

" එහෙනම් සර් ලයිට් නිවලා නිදා ගන්න.. රෑ එලි පහලියෙ ඇවිදින්න යන්න එපා..."

රොග තත්වයක් නිසා කොර ගසමින් ඇවිදින ඔහු තරප්පු පෙල බහින හඩ ඇසුනේ තනි කකුලක පුද්ගලයෙකුගේ අඩි ශබ්දයක් ලෙසය.. ගමන් විඩාව නිසාම ඉක්මනින් ඇදට වැටුනත් ඈතින් ඇසෙන දිය ඇල්ලේ ශබ්දයත් කාමරයේ වූ ඉපැරණි බවත් පහල සාලයේ වූ විශාල ඔරලෝසුවේ කටු වදින හඩත් හිතට අමිහිරි සිතුවිලි ම රැගෙන ආවේය .. අධික සීතල මේ ගතිය වැඩි කිරීමට මනාව රුකුල් දුනි...මෙයට හුරු වීමට කොතරම් කාලයක් ගතවේද නොදනිමි

"ටොක් ටොක් ටොක්....
මහත්තයෝ තේ කාමරේට ගේන්නද පහලට එනවාද... ලොකු මහත්තයත් පහල ඉන්නවා"

"මං පහලට එන්නම්.."

නොදැනීම රැය පහන් වී තිබිණ ... ලොකු මහත්තයා යනු ප්‍රධාන වෛද්‍ය නිලධාරි තුමාය.. මා රාජකාරි කල යුත්තේ එතුමා යටතේය ..

"ගුඩ් මෝර්නින්ග් සර් මං dr ස්ටැන්ලි "

"මෝනිං මෝනිං වාඩි වෙන්න... මෙහෙ වැඩ හිතන තරම් ලේසි නෑ... මං ඉතින් වැඩිය මෙහෙ නෑ දවල් ලෙඩ්ඩු බලල මං යනවා... "

ඔහු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප්‍රදේශය ගැනත් අනෙක් වැදගත් කරුණුත් ගලපා ගැනීමට මට හැකි විය...

රාගල ප්‍රදේශයේ සුන්දර තේ වත්තක සහය වෛද්‍ය වරයා ලෙස මා සේවය කරන බවත් මෙහි කිසි අඩුවක් නැතත් පාලුව තනිකම ට හුරු වන්නට කල් ගත වනු ඇති බවත් මා ලිපියක් මගින් නිවසට ලියා යැවීමටත් අතපසු නොකලෙමි.. මෙසේ සාමාන්‍ය ලෙස සතියක් හෝ දෙකක් ගත වන්නට ඇත..

එදින චුරු චුරු හඩින් මද වැසි දිනයක් විය..
මහා හඩින් ඔරලෝසුවේ 9 කණිසම වදින විටත් සන්දනම් හා මා නැපොලියන් බ්‍රැන්ඩි බෝතලයේ බාගයක් ම ඉවර කර ඇත... මෙහි ඇති සීතලට එකම බෙහෙත මෙය බව සන්දනම් ගේ අදහස සත්‍ය බව මටද මේ වන විට පසක් වී ඇත.. නිතර දේශීය අරක්කු වර්ග පවිච්චි කරන සන්දනම් මේවා ට තරමක් වේගයෙන් වෙරි වී ඇති බව ඔහුගේ වචන භාවිතයෙන් මනාව පැහැදිලි විය.. නමුත් ඔහුගෙ කටින් මෙතෙක් නොකියූ දේවල් එලිදරවු වූයේ මා ගතේ ලොමු ඩැහැ ගන්වමිනි

" ෂෑර් මේ බංගලාවෙ රෑ ඇවිදින්න කොරන්න යන්න ඕනෙ නෑ.... ෂෑර් දෙන දෙයක් කාල බීල පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න... ෂෑර් ට රෑට මොනා ඇහුනත් ඇහුනෙ නෑ වගේ ඉන්ට.. මං මේකෙ හිටිය ෂුඩු මහත්තයාටත් වැඩ කොරපු එකා.. ඒකා මහ යස්සයා... වත්තෙ ගෑනු කීයක් නම් ඕකට ෂාප කරනවද... ඒව බලං ඉන්ට බැරිව..... ( තව වීදුරුවක් උගුරේ හලා ගනිමින්....) තුහ් තුහ් තුහ්... ෂමාවෙන්න ෂෑර් ... සුදු නෝනා අන්න අර පේන ඇල්ලෙන් පැනලා හොයා ගත්තෙ ඕජස් ගලන ශරීරෙ... මීට කලින් ආපු මහත්තෙල ඔක්කොම ගියා ඔක්කොම ගියා රාත්‍රියට පඩිපෙළ නගින බහින ශඩ්ඩ ඇහෙනවා කියල හික්... හික්... මාත්තියා බය වෙන්ඩ එපා මං යකෙකුටවත් බය නෑ මං ඉන්නවනේ... මාත්තයට කියන්න ඔය ඉශ්කෝලෙ ලගින් උඩාට ගියාම හද්ද පරණ දේවාලයක් තියනවා ගොම්මනෙ යකෙක් වත් ඔය අහලකවත් ඉන්නෙ නෑ ඒ තරම් බයංකාරයි.. මං ඔකෙ අස්සෙත් ගෑනියෙක් එක්ක බුඩියපු එකෙක් අම්මපා. ඒත් ඉතින් ඒකේ සාපෙන් මගේ පැත්තක් කොර වෙලාම ගියා..හික්.. හික්.. "

ඔහු තව මොනාදෝ දොඩවමින් එතැනම පතබෑවී ඇත නමුත් මට එතැන් පටන් කිසිවක් ඇසුනේ නැත.. සියලු රූප මාගේ ඇස් උගුල්ලා ගැනීමට මෙන් මා දෙස බලා සිටී... මගේ හද ගැස්ම සමග තරගයට මෙන් බිත්ති ඔරලෝසුවේ බට්ටා මහා හයියෙන් නාද වේ.. ගැහැනියක ගේ ඉකිබිදීමක් ලෙස ඈතින් ඇසෙන දිය ඇල්ල නොකඩවා කඩා වැටෙයි.... සන්දනම් කියූ සුද්දියගේ චායාරූප මෙතෙක් දැක නොතිබූ තරම් දුක්බර ලෙස මට පෙනෙයි... කාමරයට යනවාද මෙතන සිටිනවාද.. දෙගිඩියාවෙන් සිටි මා එක හුස්මට තව බ්‍රැන්ඩි වීදුරු 2ක් හිස් කලේ සුව නින්දක් බලාපොරොත්තු වෙමිනි...

"ඩොග් ඩොඩ් ඩොග් ඩොග්...
ඩොහ් ඩොග් ඩොග්..."

මා උඩ විසි වී ඇහැරුනෙමි

"සන්දනම්.... සන්දනම් .... බලනව කවුද දොර කඩන්න හදනවා..."

මගේ දෙපා අසල වැතිර සිටි මුරකරුවාට පයින් අනිමින් මා කතා කලෙමි...
ඔහු දෙමලෙන් මොනවදෝ දොඩවා නැවත ගුලිවී නිදා ගත්තේය.

" ඩොහ් ඩොග් ඩොග්.."

"ඉන්න ඉන්න එනවා.... "

කීරි කිරි හඩ නංවමින් දොර ඇරුනි

"අනේ සර් ඉක්මනට යමු ... කෙල්ලට අමාරුයි.. "

" අයිසේ ඔය ටෝර්ච් එක අහකට අරන් කතා කරනවා..."
ඔහු අත තිබූ විදුලි පන්දම කෙලින්ම මගෙ මුහුණ ට එල්ල වී තිබූ ආලොකය දරා ගැනීමට බැරු තැන මම කීවෙමි

" අනේ මහත්තයෝ මගේ කෙල්ලට අමාරුයි ඉක්මනට යමු..."

" හරි හරි මොකේද අවේ... ඉන්න මං බෙහෙත් ටික අරන් එන්නම්.."

"අනේ මං පයින්ම දුවගෙන ආවේ මහත්තයෝ "

ඉක්මනින් සූදානම් වූ මා යතුරු පුවරුවේ එල්ලා තිබූ ජීප් රථයේ යතුරත්.. අත්‍යාවශ්‍ය බෙහෙත් බෑගයත් අතට ගෙන පනිවිඩකරුවකත් සමග ගමන පිටත් විය...

හැතැප්ම 3ක් පමණ වාහනයෙන් ගමන් කල පසු....

" සර් අර ලොකු ගහ ලගින් වාහනය නතර කරන්න මෙතන ඉදන් පයින් තමා යන්න වෙන්නේ....."

ඔහු කී ලෙසම වාහනය නතර කල මා ඔහු පසුපසම ගමන් කලෙමි ... එය මිනිසුන් දෙදෙනකුටවත් මාරු විය නොහැකි තරම් කුඩා ගුරු පාරකි.. දෙපසින්ම තේ ගස් හා ඇතැම් තැන් වල ඉතා විශාල ෆයිනස් ගස් වලින් ආවරණය වී ඇත.. ඔහු අත තිබූ පන්දම නොවන්න මෙය අඩියක් වත් යා නොහැකි තරම් අදුරු පාරක් වනු ඇත...

තවත් පැය බාගයක පමණ ගමනකින් පසු පුංචි ගම්මානයකට ලං වීමු.. නමුත් එහි ගෙවල් 10ක් වත් තිබුනාදැයි සැක සහිතය.. එ අතරින් එක් කුඩා නිවසක මිනිසුන් වටවී සිටි නිසා මගේ ගමනාන්තය එය බව වටහා ගතිමි..

බිම දමා තිබූ කොහු මෙට්ටයක් මත මැදි වියට ආසන්න තරුනියක් වැතිරී සිටියහ. දෑස් විවරව කණිණිකාව විශාලව තිබූ අතර ඇය හුස්ම ගත්තේ ඉතාමත් අපහසුවෙනි.. ශරීරය ද දණ්ඩ ක් මෙන් දරදඬු වී තිබුන හෙයින් විශක් ශරීර ගතවීමෙන් ඇතිවූ තත්වයක් බව මම තේරුම් ගත්තෙමි... බෙහෙත් මල්ලේ තිබූ සීමිත බෙහෙත් ප්‍රමාණයෙන් කුමක් කරමිදැයි සිතා ආසන්නම ප්‍රතිවිශක් ලබා දී මදක් රැදී සිටියෙමි..

ඇය කතා කලේ නැත බලා සිටි අතම බලා සිටී ඇගේ කම්මුල් වලට පහර කිහිපයක් එල්ල කලත් ඈ කතා කලේ නැත.. මා වැරයෙන් ඇගේ මුඛය විවෘත කලෙමි ඒ දුටු දෙය බියක් පිලිකුලක් දුකක් එක වර මා මනසට ගෙනෙන්නට සමත් විය.. ඇගේ දිව තිබුනේ නැත.. එය කපාදමා තිබූ සේයාවක් දක්නට ලැබිණි ... ඇගේ රෝගී තත්වය මගේ මට්ටමින් එහා ගොස් ඇත..

" මේ ලමය ක්ලිනික් එකට අරන් යන්න වෙනවා.. "
" අනේ මේ රෑ කොහොමද මහත්තයෝ උස්සගෙන යන්නෙ"
" හරි එහෙනම් මං ඉක්මනට ගිහින් බෙහෙත් ටික අරන් එන්නම්. නිදා ගන්න දෙන්න එපා සිහියෙන් තියා ගන්න.."

දෙවතාවක් නොසිතාම මා පාරට පැන දිවුවෙමි ... පන්දමක් ඉල්ලා නොගත් මෝඩ කම තේරුනේ තේ වත්ත මැදින් දුවගෙන එන විටය.. හැකි වේගයෙන් පල්ලම බැස ආවත් මාර්ගයේ නුපුරුදු බවක් දැනුනි ... පෙර ආ මාර්ගයට වඩා විශාල රූස්ස ගස් මා වටා කැරකෙන්නාක් මෙන් විය.. එම ගස් වට කර රතු පාට කොඩි වැල් එල්ලා තිබුනි...
" දෙයි හාමුදුරුවනේ.... මේ අර කියපු දේවාලේ..."
ඇත්තෙන්ම එය ඉතා පැරණි මූසල විය.. තැනින් තැන පලුදු වී තිබූ දේව රූප ඒ මූසල භයංකාර බව දෙගුණ තෙගුණ කරන්නට පසුබට නොවීය.. දිව දිග දත් උල් ලේ පෙරා ගත් ඒ රූප මට ඔච්චම් කලේ මා අතරමං වී ඇති බව අගවන්නට මෙනි... කන් බිහිරි කරවන රැහැයියන් ගේ උදවුවට වවුලන් ද එකතු වී මා බිය ගැන්වීම අති සාර්තකව සිදු කරයි....එතැන නතර වී සංසුන්ව කල්පනා කලෙමි.. මේ පාර දිගේ කෙලින්ම ගිය විට ඉස්කෝලෙ ලගට වැටෙන බව සන්දනම් කියූ දේ මට සිහි විය..

හැකි ඉක්මනින් නැවත පල්ලම් බැසීමි.. සිතට සහනයක් අවේ පාසල් ගොඩනැගිල්ල දැකීමෙනි.. ගුරු පාරෙන් ප්‍රධාන පාරට වැටී ඉදිරියට දිව ආවෙමි.. විනාඩි 10ක පමණ ගමනකින් මා විසින් නතර කල ජීප් රිය හමුවිය .. ඉක්මනින් රතයට නැග හැකි වේගයෙන් පැදවුයෙමි .... නමුත් ඒ වැඩි දුරකට නොවේ...

හිටි හැටියේ රථයෙ පිටුපස අසුනින් ළදරුවකු ගේ හැඩීමක් ඇසී මා හදවත නතරවිය... පාර අයිනට කර වාහනය නතර කර පරීක්ෂා කර බැලුවේ වාහනය නතර කර තිබූ මොහොතේ කවුරුන් හෝ දරුවෙක් වාහනයෙන් තැබුවාදැයි සැකය ඇතිවයි.. නමුත් කිසිවක් නොවීය.. මා කෙතරම් බියවූවාදැයි වචන වලින් විස්තර කල නොහැකිය .....නැවත ගමන් ඇරබුවෙමි.. නමුත් නැවත නොකඩවා එ හැඩුම් හඩ ඇහෙද්දී මුලු ගතම බයෙන් වෙලී ගෙයේය.. රතය පදවන ගමන්ම පසුපස පරික්ෂා කලෙමි.. හ්ම්ම්ම්ම්ම් දිගු හුස්මක් ගෙන නැවත ඉදිරියට හැරෙද්දී.. මා ප්‍රමාද වැඩිය පාලනය කල නොහැකි තරම් රතය පාරෙන් පිට පැන ඇත නිමේෂයක් ගත වන්නට පෙර රථය ගසක වැදුනි.. මා හිසද සුක්කානම මත වැදුණු බව මතකයක් ඇත...

විනාඩි කිහිපයක් ගතවිය.. මුලු පරිසරයම නිහඩය.. වාහනයේ ලාම්පු නිවි නිවි දැල්වේ.. ඉදිරිපස විශාල දුමක්ද නගී.. අමාරුවෙන් වාහනයෙන් බැසගත් මා කොර ගසමින් ඉදිරියට ඇදුනෙමි.. වේදනාවක් නොදැනුනත් නලල දිගේ ලේ ගලා යන බව මට දැනුනි ... රථයේ ලාම්පු එලියෙන් මැවූ මාගේ දිගටි සෙවනැල්ල අවසානයේ කවුරුන් හෝ සිටගෙන සිටිනු දැක මා නතර වුනෙමි..

අයියෝ දෙවියනී.... ඒ අර දිව නැති ගැහැණු දරුවා ය.. බියෙන් තැතිගත් මා එතැනම දණ ගසා ගත්තෙමි.. හිස පැත්තකට ඇලවී තිබු ඇය කොර ගසමින් මාවෙත ඇදෙනු දුටුවෙමි.. මේ මාගේ අවසානයයි... දෑස් වසා ගතිමි...

"මහත්තයා ....."

මට කිසිවක් කියා ගැනීමට නොහැකි විය.. ඒ සන්දනම් ය.. ඔහු මා ඔසවා වත්තම් කරගෙන රැගෙන ආ බව යාන්තමින් මතකයක් ඇත..

" දිව නැති කෙල්ල... එයාට බෙහෙත්.. යන්න ඔනේ .. පරක්කු වෙන්න බෑ..." මම දෙඩෙවුවෙමි..

" දෙයි හාමුදුරුවනේ මහත්තයා මේ රෑ එහෙ ගියාද...." ඔහු මාව ඇදක තබමින් ඇසුවේය..

" ඔය කෙල්ල යාන්තමින් තේරෙන කාලෙ ඕකිගේ අම්මා බඩ වෙලා හිටියේ.. දරුවා හම්බුනාම ඒකා තනිකර සුදු ම සුදු පැටියෙක්... හිටි හැටියේ ගෑනි දරුවයි අතුරුදහන් වුනා.. ටික දොහක් යද්දි පොඩි කෙල්ල මහ ගෑනි වගේ දොඩවන්න ගත්තා.. ආවේසෙන් වගේ සුද්ද ගෑනිව මරපු හැටි කියවද්දි සුද්දා බය වෙලා ඔය කෙල්ලගෙ දිව කැපුවා.. ඔකුන්ගේ සාපෙ මුලු බංගලාවෙම හොල්මන් කරනවා මහත්තයෝ ...."

" ඒ කියන්නෙ අර අඩපු දරුවා....... " මම මටම කියා ගතිමි..

නිමි...

No comments:

Powered by Blogger.