හොල්මන්බ යිසිකලය

 "අනේ මෙන්න මේකට කථා කරලා දෙන්ඩකෝ රුවන් මාමේ.... "
"මොකද්ද බං ?"

අද ඉරිදා දවසක් හෙයින් සාලයට වී ඉරිදා පත්තරේ එලාගෙන හිටපු මා ලඟට වෙළඳ අතිරේක පත්තරෙත් හරි බරි ගහගෙන ඔතනට දුවගෙන ආපු ඉසුරු කොල්ලා, ඉවසීමක් නැතුවම තප්පු ලාන්නට විය.
ඉසුරු කියන්නේ අපේ ගෙදර පොඩි ඒකාය, පොඩි කිවුවට දැන් උසස් පෙළ කරලා ප්‍රථිපල එනකන් ඉන්නවා විශ්ව විද්‍යාල ජීවිතේට ඇතුලත් වෙන්ඩ කියලා හිතාගෙන... මගේ ඒකම සහෝදරියගේ දරු සම්පත තමයි මේ ඉලන්දාරියා!
තනිකඩ වෙච්ච මම, මගේ සහෝදරියගේ දෙපළත් එයාගේ එකම වස්තුව මේ ඉසුරු කොලුවත්, අපේ අම්මාවත් බලාගෙන කල් ගෙවනවා. මගේ සහෝදරිය සිටියේ විදේශ ගතවය. ඉසුරු උසස් පෙළ විභහගයෙන් ඉතා හොඳින් සමත් විය.

මේ දැන් මා ලඟට ඇවිත් කන්නලවු කරන්නේ වෙන මොකුත් නොව... උසස්පෙළ ප්‍රථිපලය සඳහා ඉසුරු කොලුවා තැබූ ඔට්ටුවට අනුව සහෝදරිය විසින් අල්ලසක් විදියට කොල්ලට අරං දෙනවා කියපු දඬු මොණරේ ගැන ගැන විය යුතුයි....!

"හ්ම්ම්... දැන් ඉතිං උඹට බයිසිකල් පදින්ඩ පුළුවනිද කියහන්කෝ ඔක්කොටම කලින්....???"
"ඔව් මාමේ ඇයි මං ට්‍රයල් දුන්නනේ ගිය සතියේ... අද ලර්නස් එකට යන්ඩත් ඕනි... ඒ ටික හරි...."
"අම්මා මොකද කිවුවේ...?"
"අම්මා කිවුවා ගාන බලලා මාමත් එක්කත් කතා කරගෙන කියන්ඩ කියලා මේ සතියේ සල්ලි දාන්නන් කියලා..."

කොල්ලා හොරෙන් හොරෙනුත්, සමහර වෙලාවට ඉල්ලගෙනත් මගේ බයිසිකලේ පදිද්දී වට්ටගෙන ආවත් කිසිම දොස් මුරයක් එල්ල කරලා නැත්තේ හිතේ උපන් දරුකමටය... කොල්ලා මට දීපු පත්තරේ දැන්වීම හෙමීට කියවන්ඩ වුණා...

+++++++++++
වාහන - යතුරු පැදි
මිළ රුපියල් 80,000/-, කළු පැහැති, ඇලෝ වීල්, CP- MP 0009 ඛාණ්ඩයේ, අවුරුද්ද 2010, Km 260 ධාවනය කල 150CC අළුත්ම පල්සර් බයිසිකලය මුදල් හදිස්සියකට විකිණීමට. දු.ක 0814556843
+++++++++++

" අලුත්ම වන්ඩියක් මාමේ... තව එකෙක් කොක්ක ගහන්ඩ කලින් කථා කරන්ඩකෝ...."

පොඩි එකා මා අසළම ඉඳ කන්කෙදිරි ගාන්නට විය.
හ්ම්ම්.. එත් ඇයි මෙච්චර අඩුවට...? පන්නපු එකක්වත්ද...? එහෙම නැත්තන් වෙන මගඩි වැඩක් දීපු එකක් වත් ද...? ප්‍රශ්ණ වැලකට උත්තර හොයන ගමන්....

"කෝ ගෙනෙන් එහෙනං ඔය ටෙලි ෆෝන් එක වයර් එකත් එක්කම ඇදගෙන මෙහාට...."
එහෙම කියූ සැනින් කොල්ලා උඩ පැනගෙන සාලේ තිබුණු ලෑන්ඩ් ෆෝන් ඒක උස්සගෙන ඇවිත් මගේ ඉස්සරහා තිබුණු ටීපෝව උඩින් තිබ්බේය...

" දැන් කියපන් නම්බරේ..."
"මාමා ගහන්ඩ බිංදුවයි.... අටයි......."

දුරකථනය සම්බන්ධ වීම ආරම්භ වූ නමුත් ඉන් මතු වුයේ කාර්ය බහුල යැයි පවසන නාදයකි....

"එන්ගේජ් බං ඒ මගුල...... රි ඩයල් ඔබපන් ඕක....."
"අප්පා... හරි ඔන්න දැන් නං හරි රිංග්ස් යනවා....."

විනාඩි 5-6ක් කල්ප කාලයක් වගේ නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු අපේ කොල්ලා දුරකථනය සම්බන්ධ වන හඬ ඇසෙනාවත් සමග සතුටෙන් ඉපිලී යනු පෙනුණි.
දුරකථනයේ එහා අන්තයෙන් මතු වුයේ බිඳුණු ස්වරයක් සහිත තරමක් වයෝ වෘද්ධ යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ ස්වරයක්ය.

"හෙලෝ...."
"හලෝ..... හලෝ..... "
"මහත්තයා මං කථා කරන්නේ බදුල්ලෙන්…. පත්තරේ ඇඩ් එකක්....."
"අහ්හ් ඔව් මහත්තයා මෙහෙ තමයි... බලන්ඩ එනවද...? අපි සතියේ දවස් හතේම ගෙදර කවුරු හරි ඉන්නවා..."
"ඔව් අනිවාර්යෙන් බයිසිකලේ බලන්ඩ එපැයි... කොහෙද තියෙන්නේ මහත්තයා...?"
''බයිසිකලේ තියෙන්නේ කොත්මලේ කොටබුලේ ඉස්කෝලේ ඉස්සරහ ගෙදර මහත්තයා"
''ටිකක් දුරයි නේද... වාහනේ තත්වේ හොඳයි නේද...? ඇයි දෙන්නේ....?"

"මහත්තයා එන්න පුළුවන්නම් වාහනේ බලලා ගන්න....... හොඳම තත්වේ තියෙනවා... ලියකියවිලි ඔක්කමත් තියෙනවා... අපි මෙහෙන් යන්න ඉන්නේ එකයි දෙන්නේ...." එන්න කලින් කෝල් එකක් දෙන්න.... බයිසිකලේ තියෙනවනන් තියෙනව කියන්නන් එතකොට, හෙට උදේටත් කට්ටියක් එනවා කිවුවා.... මෙතැනට ඇවිල්ලා ආයේ අඩු කරන ඒවා මේවා බෑ....

"හරි මහත්තයා අපි හෙට උදේ හත වෙනකොට එනවා කමක් නෑනේ...? බයිසිකලේ අපිට හරි නං අපි අරන් එනවා"

"ඕනි වෙලාවක එන්ඩ මත්තයා පාන්දර දෙකට හරි කමක් නැ අපි ඉන්නවා..."

යන්න එන්න ඕනි පාරවල් ටිකත් අහගෙන තවත් විස්තර ටිකකුත් කථා කරගෙනම අදාළ සංවාදය අහවර කර ගත්තා.... මනුස්සයා බයිසිකලේ ගැන බොහොම විශ්වාසයෙන් කතා කරපු නිසා මමත් ඒ වෙලාවේම තීරණය කලා කොල්ලවත් දාගෙන පාන්දරම කොත්මලේට යන්න....

"කොල්ලෝ එහෙනං යමං හෙට උදේට….. මගේ කබඩ් එකේ ඇති බැංකු පොතයි... ජැකට් අරවා මේවා ටික... ඔක්කම ලැහැස්ති කරපං.... ඔය කියන විදියට පාන්දර දෙකටවත් යන්ඩ වෙයි... ආච්චිටත් කියපන් විස්තරේ..."

හෙට පාන්දරම අපි කොත්මලේට පිටත් වන්නට සියල්ල ලක ලැහැස්ති කළේය.... ඉසුරු කොලුවත් මගේ ලඟම දැවටෙන්නට විය...

"කොල්ලෝ අපි හෙට පාන්දරම එතැනට ගිහිල්ලා ඉස්සෙල්ලා බයිසිකලේ බලලා තමයි ඔක්කම කරන්නේ හරිද....? ඔයිට ඉස්සෙල්ලත් උඹ මාව එක්කන් ගියානේ ලදරන් දෙක තුනක් බලන්ඩ... මතකනේ ඒ වගේ මේකත් මම එපා කිවුවොත් කන් කෙදිරි බෑ ඒ වෙලාවේම අවා හරි....?"

"හරි මාමේ මං දන්නවා... මන් යනවා එහෙනං නිදා ගන්ඩ, එලාම් එකත් තිබ්බා ඔන්න............."
ට්‍රිරිංග්ග්ග්ග්ග්ග්...........................................
පාන්දර එලාමය ක්‍රියාත්මක විය.... කොල්ලා නම් මටත් කලින් අවදි වී ලක ලැහැස්ති වෙන්නට විය...
දෙදෙනාම සුබ මොහතින් ගමන පිටත් වන්නට විය.... නුවරඑළිය මාර්ගය හරහා උදේ 6.30 පමණ වන විට කොත්මලේට පැමිණි අපි අදාළ ස්ථානය ගැන දෙතුන් දෙනෙකුගෙන් අසාගෙන හෙමින් හෙමින් ඉදිරියටම ඇදෙන්නට විය.

"ලොකු උන්නැහේ කෝටබුලේ පොඩි ඉස්කෝලේට යන්නේ මෙහෙන්ද....?"
"හරි සර්.... ඔහෙන් තමයි..... තව ටිකයි "
"ඉස්කෝලේ ඉස්සරහ ඉන්නවද රොජර් කියලා මහත්තයෙක්... දනන්වද....?"
"හරි....... සර් ඉන්නවා... පොඩි තේ කඩයක් අහු වෙනවා... එතනින් පහලට බහින්ඩ සර්...."
"හා ලොකු උන්නැහෙ.... අපි ගිහිං එන්නන්කෝ.."

කැඩුණු කුඩා තාර පාරක් ඔස්සේ දෙදෙනාම තවත් මීටර තුන්සීයක් පමණ ඉදිරියට පැමිණෙන විට පාරට මුහුණලා දුම් දමමින් තිබුණු පුංචි තේ කඩය හමුවිය... ගමනක කෙලවර ලග ලගම බව දැනෙද්දී පදවාගෙන ආ බයිසිකලය නවත්වා... දෙදෙනාම ඉන් බැස තේ කෝප්පයක රස බැලීමට සිත් පහදා ගත්තේය.
"මුදලාලි...... දාන්ඩකෝ හොඳ ටී දෙකක්..."

මෙහෙම කියාගෙනම දෙන්නත් එක්කම අතපය හකුලවාගෙන කෙලවරේ ලෑලි බංකුවට බර දුන්නේය. අපි පිට ගං කාරයෝය, එසේ කියන්නා වාගේ එතැන හිටපු ගමේ අයගේ බැල්ම බොහොම ආගන්තුක එකක් විය...
"අහ්හ්... මෙන්න මහත්තයා...."
සිතලින් ගල් ගැහි තිබුණු අතැගිලි කෙමෙන් තේ කෝප්පයේ උණුසුමින් ලිහිල් වන්නට විය....
"මුදලාලි අර රොජර් මහත්තයා.............."
"මෙතැනින් පහලට ගියාම තියෙන පලවෙනි ගෙදර.... මහත්තයලා කොහෙද....?"
"අපි බදුල්ලේ ඉඳලා අවේ... පොඩි වැඩකට...."

කෙනෙකු යමක් සඟවාගෙන යමක් අසයි නම් ඒ බව තේරුම් ගැනීමට එතරම් අසීරු නොවේ... ඒ බව පසක් කරමින් ව්‍යන්ගර්තය ස්වරයකින් හඬ නංවමින් සහ වයාකුල බැල්මක් ද හෙලු මුදලාලි......
"බයිසිකලේකටද මහත්තයා...........................?"
""අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ..... ඔව් ඔව් මුදාලී.... මුදලාලි දන්නවද ඒ බයිසිකලේ ගැන…..? ඇයි…? බයිසිකලේ හොඳයි නේද.....?"
"ඔව් මහත්තයා….…අහ්හ්… නෑ මහත්තයා එහෙමටම විස්තරයක් දන්නෙත් නෑ.... විකුනන්න තියෙනවා කියලා දන්නවා ……….. හොඳ ඇති.... ගිහින් බලන්නකෝ...."
එතරම් උනන්දුවකින් තොරව උත්තර දුන් ඔහු, මුදල් ලබා ගන්නා අතරේ තවත් එක්‌ කාරණයක් විමසනු ලැබිය...
"මහත්තයටද බයිසිකලේ....?"
"මට වගේ තමයි ඉතිං.... හි හි... නැ මේ අපේ කොල්ලට..."

මුදලාලි අපේ කොල්ලා දෙස නිහඩවම බලා හිඳ මොකුත්ම නොකියා කඩයට වැදුනේය..... ඒ ඔහුගේ සාමාන්‍ය හැසිරීම වෙතැයි සිතා එතැනින් අප රොජර් මහතාගේ නිවසට පා එසවිය... එත් ආපසු හැරී බලන විට මුදලාලිත් තවත් කෙනෙකුත් අප දෙස බලා කිසියම් කසු කුසු වක දී සිටියේය.

කඩේ ලඟින්ම පහළට වැටිලා තිබුණු පුංචි පස් පාරේ දෙන්නත් එක්කම අඩි දහයක් පහළොවක් වගේ යනකොට මධ්‍යම පන්තියේ යැයි කිව හැකි පුංචි තනි තට්ටුවේ ගෙදරක් වන්නට විය.... අවුරුදු පනහක වගේ පෙනුමක් ඇති ඔළුවේ සිට සීතලට රෙද්දක් පොරව ගත් කෙනෙක් ඒ නිවසේ මිදුලේ ඇති වතු සුද්ද ගහකින් මල් කඩමින් සිටියේය...

"ම්ම්ම්ම්.... මහත්තයා මේ අර රොජර් මහත්තයලාගේ ගෙදරද....?"
"ආ...... ඔයාලා කොහේ ඉඳලද...."
"අපි බදුල්ලේ ඉඳලා ආවේ.... ඔබ තුමාද රොජර් කියන්නේ එතකොට...?"
"ඔව් එන්ඩ ඇතුලට... කීයටද එහෙන් ආවේ...?"
"අපි පිටත් වුනේ පාන්දර 2 විතර.... හොයා ගන්න එතරම් අමාරුවුනේ නං නෑ.... එත් හෙමිට තමයි ආවේ..."
"අන්න හරි.... හරි හරියටම හරි..... හෙමින් යන්ඩ එන්ඩ ඕනි... හෙමින් තමයි යන්ඩ ඕනි... බොහොම හෙමින්... හ්ම්ම්ම්..... හෙමින්.... "

බොහොම අමුතු හැසිරීමක් නේ... මේ මනුස්සයා ඔහොම කියාගෙනම අපේ කොල්ලා දිහාත් උඩ ඉඳලම පහළට බලලා මඳ වෙලාවක් බිම බලාගෙන කල්පනා කර හෙමින් ගෙදරට ගොඩ වෙන්න විය. කොල්ලත් මාත් ඔහු පසු පසම හෙමින් සීරුවේ ගෙදර දොරටුව අසලට විත් නවතින්නට විය..

"එන්ඩ ඇතුලට, වාඩි වෙන්ඩ තේ එකක් එහෙම බීලම බයිසිකලේ බලමු...."
"අනේ මහත්තයා දැන් අපි මේ උඩ කඩෙන් තේ බිලා පහළට බැස්සේ.... කරදර වෙන්න එපා...."
"හ්ම්ම්ම් එකත් එහෙමද.... කමක් නෑ එහෙමනං... ඉන්ඩකෝ මං යතුරයි අනිත් ලිය කියවිලි අරං එන්නං...."

මල් වට්ටියත් රැගෙනම ඔහු සාලය වෙතින් ඉවත් වී ගියේය... ඉසුරු කොළුවා වේගයෙන් කකුල් සොලවමින් සිටියේ බයිසිකලය දකින තෙක් ඉවසීමක් නැ කියන්නාක් මෙන්ය. මං කොලුවත් එක්ක කථාවක මුල පුරන ගමන්ම ඔවුන්ගේ නිවසේ සාලයේ සිරි නරඹමින් සිටියේය... සාමාන්‍ය මධ්‍යම පාන්තික ගෙදරක ඇති සෑම ලක්ෂණයක්ම එහි ඇත.... අප ඉඳ සිටී තැනට බිතියේ ඉහළින් තරමක කාලයක සිට පාවිච්චි නොකලා යැයි සිතිය හැකි එක් අතක් පමණක් පැහැදිලිව ඉරි ඇති කළු පැහැති ජැකට්ටුවක් එල්ලා තිබුණි. සාමාන්‍යයෙන් ගෙදර අනිකුත් බඩු බාහිර පිළිවලකට තබා ඇති විටක ඒ දුවිලි මකුළු දැල් ඇති ඒ ජැකට්ටුව පමණක් එසේ තබා තිබීම ගැන මට පුදුම සහගත හැඟීමක් ඇති කලේය.

"හ්ම්ම් මෙන්න මහත්තයා බයිසිකලේ පොතයි ඉතුරු ලියකියවිලි ටිකයි ඔක්කම මේ මල්ලේ තියෙනවා.... ඉස්සෙල්ලා මේවා බලලාම බයිසිකලේ බලමු..."

ඔහු පොලිතින් බැගයක් මා දෙසට දිගු කරමින් අපි අසලින්ම සිට ගත් අතර ඔහුගේ බිරිඳ යැයි කිව හැකි මැදි වයසේ කාන්තාවක්ද අපහා මද සිනහවක් පා ඒ අසලම විත් රැඳී සිටියාය.... ඇයගේ විඩාබර ඇස් වටා කළු පැහැ ගැන්වී තිබුණු දැක ගත හැකි විය... නින්ද නොයන කෙනෙක් මෙන් බැලු බැල්මට පෙනෙන්නට විය. ඇයද හඬ අවධි කලේය...
"මහතයගේද මේ පුතා....."
"නෑ.... මෙයා මගේ අක්කාගේ පුතා.... මෙයාට තමයි ඉතින් මේ අරං දෙන්ඩ යන්නේ...."
"ආ එහෙමද.....????????????????????? "
මෙසේ ඇසු ඇය රොජර් මහතාගේ මුහුණ දෙස එක වර බලා වික්ෂිප්තව මෙන් එතැනින් ඉවත් වී ගියාය.

"මේක අපේ පුතාගේ බයිසිකලේ දැන් මිනිහා රට ඉන්නේ.... ඉතින් එයා නැති එකට අපේ නෝනාගේ හිත හරි නෑ... දන්නේ නැද්ද ඉතිං..."

"ආහ්..... මට දැන් තේරුණා..... අහ් ලියකිවිලි ප්‍රශ්නයක් නැ..... ඔක්කම තියෙනවා මෙතැන එහෙනං රොජර් මහත්තයා අපි යමුද වාහනේ බලන්න....."

" එළියේ ගැරජ් එකේ තියෙන්නේ යමු...."

බිත්තියේ එල්ලා තිබුණු යතුරු කැරැල්ලක් ගත් ඔහුත් ඊට පසු පසින් මාත් කොලුවත් ගොස් එළි මහනෙ තිබුණු අළුත් තකරන් මඩුවකට ඉදිරි පිට සිට ගත්තේ එහි ඉබි යතුරු අරින තෙක්ය.
තකරන් වලින් වට කොට සදා තිබුණු මඩුව එතරම් පැරණි එකක් නම් නොවේ...... ඉබි යතුර හැර එහි දොර පියන හැර දැමු පසු රෙද්දකින් වසා දැමු මෝටර් සයිකලය එහි දිස්වනන්ට විය...

"මේ තියෙන්නේ බයිසිකලේ.... "
රොජර් මහතා වසා තිබු රෙද්ද ඉවත් කරන ගමන් පවසන්නට විය.... රෙද්ද පසෙකින් තැබූ ඔහු මඩුව තුල යමක් සොයා අතට ගත්තේය.... ඒ ඇණ තද කරන නියනකි.

"මේක දුවන්නෙම නැනේ ඉතිං එක තැන තියලම බැටරි බහිනවා... එක නිසා මේ බැටරිය ගලවලයි තියෙන්නේ.... ඉන්ඩකෝ මං මේක තද කරන්නන්, අපි ස්ටාර්ට් කරලා බලමු..."

ටර්මිනල් කොකුවෙන් ගලවා දමා තිබු බැටරිය ඔහු නැවත ඊට අමුණා.... පසෙක තිබු පැට්රල් බෝතලයක් ද ගෙන ටැංකිය තුලට හලා එය වසා දමන ලද්දේය...
බයිසිකලය ඉතා හොඳ තත්වයේ පසු විය.... ඉදිරි පස ලාම්පු කොටස් වලත් මුහුණ ප්‍රදේශයේත් එකදු සිරීම් ලකුණක් වත් නොමැත.... ඒවා බැලු බැල්මට නැවුම් තත්වයේ ඒවාය... පවසා තිබු පරිදිම සීමිත කිලෝ මීටර ප්‍රමාණයක් ධාවනය කර තිබුනේය... බයිසිකලයක් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු ගුණාංග වලට යටත්ව, ඇත්තෙම්ම මේ බයිසිකලය මිලදී ගැනීම වාසි දායකය. බයිසිකලය දෙතුන් වරක් උත්සහ ගැන්වීමෙන් පසු එය පණ ගැන්විණි.... තවද කොලුවාට එහි රැඳී සිටින මෙන් දන්වා බයිසිකලය පදවා ධාවන පරීක්ෂාවක්ද සිදු කළේය.... වරදක් කීමට නොමැත, එය මගේ තක්සේරුව අනුව මිලදී ගත යුතුම එකකි.

"හරි රොජර් මහත්තයා අපි වැඩේ කරමු එහෙමනං.... අපි බැංකුවට ගිහිල්ලා සල්ලිත් අරගෙන එන්නම්.... බැංකුව ඇරපු ගමන් අපි වැඩේ කරගෙන එනවා..."

ඉසුරු කොලුවා සතුටින් ඉපිලී ගිය අතර අදාල ගණු දෙනුව සඳහා අප දෙදෙනා බැංකුවට ගොස් මුදල් රැගෙන නැවත පැමිණියේය.

"රොජර් මහත්තයා.... "

"ආහ්... ඔයාලා ගිහින් ආවද..... එන්න ඇතුලට.... වාඩි වෙන්න...."

අදාළ ලියකියවිලි සියල්ල නැවත පරික්ෂා කර මා ඔහු අතට මුදල් පාර්සලය ලබා දෙන ලදී.... හෙතෙම අප ඉදිරියේදීම මුදල් ගණන් කර බලා, බයිසිකලයේ යතුර අප වෙත ලබා දීමට කටයුතු කරන ලදී.

"එහෙනං මෙන්න යතුර.... වාහනේ හොඳින් බලා ගන්න... සුබ ගමන්... පරිස්සමින් යන්න..."

මා රොජර් මහතාටත් ඔහුගේ බිරිඳටත් සමු දී බයිසිකලයට නැග ගත් අතර ඉසුරු කොලුවාට මා විසින් ලබා දුන් උපදෙස් මාලාවකින් පසුව අලුත් බයිසිකලය ඔහුට පදවාගෙන යාමට ඉඩ සලසා දුනි.

ඉසුරු කොලුවා බොහොම පිනා යන සිතින් යුතුව ඉදිරියෙන් හෙමින් පැද යනන්ට වූ අතර මා ඔහුට පසු පසින් පේන මානයේ ගමන් කලේය. ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන පුරවා ගත් පසු අප නැවතත් සුපුරුදු ගමනේ යෙදෙන්නට විය.

"ඇයි බන් ඔය සිග්නල් එක දකුණට දාලා වමට හරවන්නේ.... යකෝ වම දකුණ දන්නේ නැද්ද තාම...??? යකෝ පිටිපස්සෙන් එන එකෙක් උඹව යට කරන් යයි"
''මන් දැම්මේ නැ මාමේ... මන් හරියට දැම්මා හොඳටම ෂුවර්...."
"ඔහෝම නවත්තපන්.... "

මා අළුත් බයිසිකලයේ සංඥා පරික්ෂා කරන්නට විය.... ඒවා නියමිත පරිදි හොඳින් ක්‍රියා කරයි....

"බොරු කියන්ඩ එපා බං මේ හරියට වැඩ කරන්නේ... හා හරි කමක් නැ දැන් නැගපන්, හරියට පැදපන් නැත්තන් දන්නවනේ...."

ඉසුරුගේ මුහුණේ ව්‍යාකුල භාවයකින් පිරි ගොස් තිබුණු අතර නොකළ වරදකට මොකට බනිනවා දැයි අසන්නාක් මෙන්, මාදෙස බලාගෙනම ඔහු යතුරු පැදියට නැග ගත්හ. නැවතත් ගමන ආරම්භ කෙරුනි. වංගු වලින් හැරී ගමන් කිරීමේදී නිවැරදිව සංඥා පහන් දල්වන ලදී. නමුත් වතාවකුත් කීප වතාවකුත් වැරදි සංඥා ඉසුරුගේ යතුරු පැදියෙන් ක්‍රියාත්මක විය... එහෙයින් නැවතත් ඒ ගැන පරික්ෂා කර බැලු අතර පෙර පරිදිම තමා නිවැරදි දේ කල බවට ඉසුරු කොලුවා දිවුරා පොරොන්දු විය.... එසේ නම් මෙහි යම් කාර්මික දෝෂයක් ඇතැයි අපි නිගමනයකට පැමිණියේය. මා කොලුවාට කිසිම සංඥාවක් ලබා නොදෙන ලෙසටත් අවශ්‍ය වුවහොත් අතින් සංඥා ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නේය.

කෙසේ හෝ එම ක්‍රියාවලිය විටින් විට ගමනාන්තය තෙක් සිදු විය... ඇතැම් වේලාවල් වලදී ප්‍රධාන ලාම්පුව පවා දැල්වී තිබුණි... මෙය සුළු කාර්මික දෝෂයක් නිසා විය හැක. අප දෙදෙනා කෙසේ හෝ හෙමින් හෙමින් සවස 3 පමණ වන විට නිවස වෙත සේන්දු වන්නට විය. තමන්ගේ ගමන් මහන්සිය හෝ නොතකා ඉසුරු කොලුවා බයිසිකලේ හැඩ බලන අතරතුරේ හෝස් බටෙත් අඩුම කුඩුමත් එකතු කරගෙන බයිසිකලේ කඩි මුඩියේ සෝදන්නට විය.

ඇඟ පත සෝදාගැනීමෙන් අනතුරුව දැනුනු දැඩි ගමන් මහන්සිය නිසා මව විසින් පිළියෙළ කර තිබුණු බත් පත ද හිස්කර ඇඳට වැටුනේ කෙටි නින්දක් සඳහාය.
"එපා.................... එපා කොල්ලෝ දාන්ඩ එපා............................"
"දෙයියනේ...... අපේ කොල්ලා....................."

දකුණට සංඥා දමා ඉසුරුගේ යතුරු පැදිය එක වරම වමට හැරවිය..... පසු පසින් පැමිණි ටිපර් රථය යතුරු පැදියේ ගැටී මෙන් ඉදිරියට විසිවී ගිය ඉසුරුගේ, දකුණු අතක් වෙන් කරගෙන ඔළු කට්ට කුඩු පට්ටම් කරගෙන ගොස් තිතිබුනේය...

මා දුවගෙන ගොස් ඉසුරුව දෑතින් ඔසවාගත්තේය……

"අපේ රත්තරං කොල්ලෝ උඹ මේ මොකද්ද කර ගත්තේ....... කතාකර......පාන් ????"

මා මාගේ දෑත දෙස බලයි.... මා ඔසවාගත් ඉසුරු කොලුවා නැත.... ඔහු ඇඳි ජැකට්ටුව පමණක් මගේ දෑත මත විය....

"දෙයියනේ මේ අර රොජර් මහත්තයාලගේ ගෙදර තිබුණු ජැකට් එකනේ....."

වට පිටවේ ඇති සියළු දේ රත්ත පැහැයක් ගෙන ගිනි ගන්නට විය....

එක වරම මා තිගැස්සී අවදි වුනෙමි...

තොල කට වේලි දහඩියෙන් නැවි ගොස් සිටියේය.... සැබවින්ම එය සිහිනයකි.... ඔව් එය සිහිනයකි.... නමුත් !!!!!!!! ආයාසයෙන් දෑස් විවර කල මා විලම්භීත වී ගියේ සිහිනයේ තිබු ආකාරයටම අවට විහිදී ඇති රතු ආලෝකය නිසාය... විටෙක ඒ ආලෝක ධාරාව වෙවුලන ස්වභාවයක් ගනී.......

ඒ ආලෝකය පැමිණෙන්නේ මගේ කාමරයට ඉදිරියෙන් ඇති කොලුවාගේ කමරයෙන්ය.... බිත්තියේ ඔරලෝසුව රාත්‍රී 12.30 ලෙස සටහන් තබා තිබුනේය.
මා සෙමෙන් ඇඳෙන් බැස ආලෝකය පැමිණෙන ඉසුරුගේ කාමරය දෙසට යන්නට විය.... කාමරයේ දොර රෙද්ද ඉවත් කර බැලු විට පසක් වුයේ කොලුවා අළුත් බයිසිකලය කාමරයටම රැගෙන ඇවිත් ඇති බවය...

එහි පසු පස රතු පැහැති ලාම්පුව දැල්වීමෙන් ආලෝකය නිකුත් වෙයි... මා කොලුවාගේ කාමරයේ විදුලි බල්බය දල්වාලු අතර කොල්ලා යමර නින්දක පසුවිය. මෙවන් ආකාරයෙන් බයිසිකලයේ පසු පස ලාම්පු දැල්වෙන්නේ බොහෝවිට තිරිංග තද කරන විටය...

මා යතුරු පැදියේ ප්‍රධාන ස්විචය පරික්ෂා කල අතර එය විසන්ධි කර යතුර මේසය මත විය..... තිරිංග පරික්ෂා කලත් එය නොකඩවා දැල්වේ.... යතුරු පැදියේ කුමන හෝ විදුලි දෝෂයක් ඇතැයි මා යළිත් නිගමනය කරන්නට වූ අතර නියනක් ගෙන බැටරිය විසන්ධි කර දමන ලදී.... නැවතත් මා නිදි යහන වෙත ඇදෙන්නට විය.

පසුදා උදැසන අවදි වී ඉසුරු කොලුවාට ලබා දුන් උපදෙස් පරිදි දක්ෂ මෝටර් බයිසිකල් කාර්මිකයෙකු වන මැල්කම් අයියලාගේ බයිසිකල් වැඩපළ වෙත බයිසිකලය යොමු කරන ලදී. පසුව මැල්කම් අයියා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් මා බයිසිකලයේ විදුලි පද්ධතියේ තිබුණු දෝෂ සියල්ල ඔහුට සැල කල සිටියේය. නමුත් බයිසිකලයේ සියළු ගුණාංග පරික්ෂා කල මැල්කම් අයියා මා හට පවසා සිටියේ එහි කිසිම විදුලි දෝෂයක් නොමැති බවත් සියල්ල ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත්ය. නමුත් මා ඔහුට පුන පුනා ඇවටිලි කර පැවසුයේ එය දෝෂ සහිත බවය... එහෙයින් මැල්කම් අයියා සතු අළුත්ම විදුලි පද්ධතියකුත් අළුත්ම බැටරියකුත් ඔහුගේ හිතවත් කම මත බයිසිකලයට යොදා දෙනු ලැබුයේ ධාවනයේ යොදා පරික්ෂාකර බලා තත්වය දැනුම් දෙන ලෙස පවසමිනි.

එදින සවස මා ඉසුරු කොලුවට මැල්කම් අයියලාගේ ගරාජයට පැමිණෙන ලෙස දන්වා සිටියේය. සවස කාර්යාල වේලාවෙන් පසුව මා ගරාජය වෙත පැමිණි අතර මාගේ යතුරු පැදිය එදින නිවසේ තබා ආවේය. මා එහි එන විටත් කොලුවා පැමිණ බයිසිකලය වටා දැවටෙමින් සිටියේය. මා මැල්කම් අයියාට වත ගොත පැවසීමෙන් අනතුරව කොලුවවත් නංවාගෙන නිවස වෙත යාමට පිටත් විය.

''කොල්ලෝ අද රෑට පාන් හොඳේ......"
මෙසේ පවසමින් මා කොලුවාගේ බයිසිකලය පදවන්නට වුයේ ගමේ කඩෙන් පාන් ගෙඩියක්ද රැගෙන යායුතු බව කොලුවාට ඒත්තු ගන්වමින්ය. නගරය පසු කරගෙන අපි නිවස බලා යන මාවතට පිවිසුණේය.

ටික දුරක් පැමිණීමෙන් පසු ගමේ කඩේ අඩි කීපයක් පසු කොට නවතා කොලුවාව කඩේට ගොස් පාන් ගෙඩියක් රැගෙන එන ලෙස කියා සිටියේය. වේලාව සවස 6.00 ට පමණ ඇත, අවට පරිසරය අඬ අඳුරේ ගිලෙමින් තිබේ. කාර්ය බහුල වෙළඳ සැල තුල සෙනග ගැවසෙන වේලාවක් බැවින් කොලුවාට පාන් ගෙඩිය රැගෙන පැමිණීමට මඳ වේලාවක් ගතවනු ඇත.

අද දිනයේදී කාර්යාලයේ සිදු වූ සිදුවීම් කීපයක් ආවර්ජනය කරමින් මා නිහඩවම රැදී සිටිනා අතරේ උරහිසට බර දී කිසිවක් නොකියා ඉසුරු කොලුවා බයිසිකලයට නැග ගන්නට විය. මා සුපුරුදු කල්පනාවට වැටෙමින්ම පුරුද්දට මෙන් සුළු වේලාවක් ගතවත්ම නිවස වෙත ධාවනය කර නිමා කරන්නට විය. නිවසේ මිදුලේ බයිසිකලය නවතාගෙන පාද දෙක හරි බරි ගස්වා ගෙන සැරසුනේ කොලුවා මගේ උරහිස අල්ලා දැන් බිමට බසිනු ඇතැයි සිතාය.

මඳ වේලාවක් එසේ සිටියත් කොලුවා බයිසිකලයෙන් බැස ගත්තේ නැත.

" බැහැපන් බන්......"
මා පිටුපස හැරෙන ගමන් ගෝරනාඩු කරන්නට විය..... හත්තිලවුවේ...... දෙලොව රත් වුනේ එවිටය... කෝ මේ සිට් එකේ හිටපු කොල්ලා......? යකෝ මු වැටුනවත්ද...?

ක්ෂණිකව බයිසිකලය හරවාගත් මා නැවත කඩමණ්ඩිය දෙසට යතුරු පැදිය ධාවනය කරන්නට විය.

නිවසේ සිට මීටර 200ක් පමණ ආපස්සට එන විට කොලුවා පාන් ගෙඩියත් දමා ගත් බැගයද රැගෙන පයින් ඇදෙන්නට විය....

"මොකද බන් වුනේ වැටුනාද ? එහෙම නැත්තන් බයිසිකලෙන් පැන්නා ද.....?"
"අහ්හ් ඉතිං මං කඩෙන් එළියට එනකොට ඔයා ගිහිල්ලනේ...."
"පලයන් යන්ඩ බොරු ගහන්නේ නැතුව.... තෝ වැටුනා නේද....?"
"අම්මාපල් මාමේ..... මං නැග්ගේ නැ බයිසිකලේට, මන් කඩෙන් එළියට එනකොට ඔයා ගිහිල්ලා...."

මා ඒ මොහොතේ වෙනත් කල්පනාවක සිටියත් යතුරු පැදියේ පසුපස හිඳගෙන කොලුවා මාත් සමඟ පැමිණි බවට මට ඒකාන්තයෙන්ම විශ්වාසය, හ්ම්ම්.... දැන් මා හට උගොතොකොටික ප්‍රශ්ණ රැසකි...... මෙසේ වීමට හැකිද....? මා පසු පසින් යතුරු පැදියේ නැගී ආවේ එසේනම් කවුරුන්ද...?

"ආහ්... හරි එහෙනං දැන් නැගපන්කෝ යමන්...."

පසුදා උදැසන කොලුවා බයිසිකලයේ නැගී රස්තියාදුවේ ගිය අතර සවස මා හට පැවසුයේ විදුලි පද්ධතියේ සුපුරුදු දෝෂයන්ම මතුවී ආ බවත්ය. එය කිසිසේත්ම වීමට නොහැකි සිදුවීමකි.... මැල්කම් අයියා එයට සවිකළේ අළුත්ම විදුලි පද්ධතියකි.... නමුත් එය එසේ වන්නේය. කිසිම දවසක නොහැගුනු කුමක් හෝ ගුප්ත හැගීමක් මේ කොලුවාගේ බයිසිකලය මගේ සිතේ ඇති කරන්නට විය.... පහුගිය සිදුවීම් මාලාවම එසේ හැගීමක් ඇති කිරීමට හේතු පාදක ඇති කලේය .
"කොල්ලෝ හෙට හවසට මැල්කම් මාමලාගේ ගරාජ් එකට ගිහිල්ලා තිබුණු බදු ටික දාගෙන ඔකේ තියෙන ටික දීලා වරෙන්"
"හා මාමේ "

විදුලි පද්ධතියේ කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි රෝගයට එකම විසදුම වුනේ බැටරිය විසන්ධි කර දැමීම පමණයි....

එදිනම හවස මා වැඩ නිම කර කොලුවා එන තුරු මඟ බලා සිටියේ පෙරදා මා දුටු භයානක සිහිනයද සිහි කැඳවමිනි... ඇඳීර වැටි තිබුණු දෙවට දිගේ කොලුවත් කොලුවාගේ යහළුවෙක් යැයි සිතිය හැකි කෙනෙකුත් බයිසිකලයේ නැගී ඇත සිටම එනු දැක මා සැනසුම් සුසුමක් හෙලන්නට විය...

කොලුවා ගෙදරට පැමිණෙන තෙක් මා නාන කාමරයට ගොඩ වී ටික වේලාවකින් පිටතට පැමිණ කොලුවා අමතන්නට විය....

"කොල්ලෝ......... කොල්ලෝ මොකද අද රෑ වෙනකන් කරේ....."
"මාමේ මැල්කම් මාමා සම්පුර්ණයෙන් ගලවලා ආයේ චෙක් කලා.... මුකුත් හොයාගන්න බැරි වුනා රුවන් මාමේ...."
"හ්ම්ම්... අපි දැන් මොකද්ද බන් ඕකට කරන්නේ.... මටත් හිතා ගන්ඩ බෑ..... මේක ලෙඩක්ද මන්දා බන්....."
"ඔව් මාමේ මාත් දන්න දෙතුන් දෙනෙකුගෙන් අහලා බැලුවා එයාලත් කියනවා එහෙමනං වෙන්න විදියක් නෑ කියලා...."
"කෝ උඹත් එක්ක ආව යාළුවා ගියාද....?"
"ඒ කවුද මාමේ.....?"
"ඇයි බන් දැන් උඹත් එක්ක ආවේ බයිසිකලේ නැගලා......???"
"හා... හා... මාමාට මේ දවස් වල මොකක් හරි අවුලක් තියෙනවා.... ඒක පාරක් මාව දාලා ආවා... අද කවුද ආවේ අහනවා.... කවුරුත් ආවේ නෑ...."

මා කොලුවට කිසිවක් නොකියම කාමරයට ගොස් ඇඳ මත ඇලවී කල්පනා කරන්නට විය.......
සැබවින්ම කොලුවත් සමඟ බයිසිකලයේ පිටුපස ඉඳගෙන කවුරුන් හෝ පැමිණෙනවා මා දුර තියාම හොඳින් දුටුවේය.... මගේ ඇස් මට විශ්වාසය... කොලුවාට මාත් සමඟ විහිළුවක් කිරීමට හෝ බොරුවක් කීමට කිසිදු අවශ්‍යතාවයක් ද නොමැත... මේ බයිසිකල් සෙල්ලම ක්‍රමයෙන් මගේ හිතට වදයක් වන්නට පටන් ගෙන ඇත..... මේ සිදු වන්නේ කුමක්ද... මා නොදන්නා හෝ මට නොවැටහෙන දෙයක් වත්ද.... ගුප්ත විද්‍යාවන් ගැන මගේ එතරම් තැකීමක් හෝ විශ්වාසයක් නොමැත... එහෙත් මාගේ කන්තෝරු මිත්‍රයෙකු සහ ජෝතිෂ්‍ය වේදියකු වන ආනන්ද මල්ලිට මේ සිදුවීම් පෙළ ගැන පසුදාම පැවසීමට මා තීරණය කලේය.

පසුදා උදැසනින්ම කාර්යාලයේදී මා මුල සිටම බයිසිකලය හා ඇදුනු සිදුවීම් පෙළ ආනන්ද මල්ලි වෙත පැවසිය. සාවදානව සියල්ල අසා සිටි ඔහු මගේ පිටට තට්ටුවක් දමා වැඩි යමක් නොකියාම කියා සිටියේ බයිසිකලය කුමන හෝ හේතුවක් පවසා නැවත ගෙන ගොස් භාර දෙන ලෙසත්, බයිසිකලයේ වත ගොත ගැන තවත් හොඳින් විපරම් කර බලන ලෙසත්ය....

බයිසිකලයේ මේ අත්භූත සිදුවීම් කිසිවක් මා ඉසුරු කොලුවාට පැවසුවේ නැත. නමුත් බයිසිකලයේ තිබුනු සොයා ගැනීමට නොහැකි කාර්මික දෝෂය මුලික කරගෙන බයිසිකලය කෙසේ හෝ නැවත භාරදීමට කොලුවාව කැමතිකරවා ගැනීමට මම සමත් වුනෙමි.

මා මේ බව පැවසීමට බයිසිකලයේ හිමිකරු වන කොත්මලේ රොජර් මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙන්නට විය.

"කණගාටුයි....! මෙම අංකය භාවිතයේ නොමැත...! අංකය පරික්ෂාකර නැවත අමතන්න... "

නැවත නැවත උත්සහ කලත් දුරකථනයෙන් කියවුනේ එවැනි පණිවිඩයකි.... මදක් කල්පනා කල මා කොත්මලේටම ගොස් රොජර් මහතා හමුවී කාරණාව පැහැදිලි කොට බයිසිකලය භාරදීමට තීරණය කළේය.

සතිඅන්තයේදී ක්‍රියාත්මක වූ මා සියළු ලිපි ලේඛන ද සමග කොත්මලේ බලා පිටත් විය. මේ ගමනට මා ඉසුරු කොලුවාව සම්බන්ධ කර නොගැනීමට වගබලා ගත්තේය.

ගිරිහෙල් පසු කරමින් දෙගිඩියාවෙන් පසු වන සිතත් සමගින් මා රොජර් මහතාගේ නිවස වෙත පැමිණියේය. නිවසට ඇතුළුවන විටම තිබුණු කඩුල්ල පන්නා දමා බයිසිකලය නිවසේ මිදුලට ඇතුළු කල මා ඉන් බැස ගත්තේය.... මහා පාළු මුසල හැඟීමක් මට අවට පරිසරයෙන් දිස් වෙයි. වතු සුද්ද මල් ගසේ මල් පිපි පරවී බිමට වැටි ඇත... ඉන් කියවෙන්නේ කාලයක් මල් ගසෙන් මල් කඩා නොමැති බව නොවේද...? එසේම මිදුල පුරා තිබුණු කොලරොඩු.... ජනෙල් දොරවල් සියල්ල වසා දමා ඇත... ඒ වගේම එදා බයිසිකලය නවතා තැබූ තාවකාලික තකරන් මඩුවද එහි නොමැත... මා නිවසේ දොරට ජනේලට තට්ටු කර හඬ නඟා කතා කලත් ප්‍රතිචාරයක් නොමැත.... නිවාස ඉදිරියෙන් ගමන් කල ඇතැම් ගමේ උදවිය මා දෙස නැවත හැරී හැරී බලමින් ගමන් කරන්නට විය... මා නිවසේ විදුරු ජනේලයකින් නිවසේ සාලයට එබී කම් කරන්නට විය.... එහි බඩු මුට්ටු කිසිවක් නොමැත.... එකවරම මාගේ දෑස සාලයේ බිත්තියක් මත නතර විය..... එක අතක් පමණක් නොමැති ඉරී තිබුනු ජැකට්ටුව.... ඔව් ඒ ජැකට්ටුව පමණක් සාලයේ එල්ලෙමින් පැවතුනි.

මේ දේවල් වලින් මා නිගමය කලේ රොජර් මහතා සහ බිරිඳ මේ නිවස අත හැර ගිය බවය... දැන් තවත් මෙතැන කල් මැරීමට අවශ්‍ය නැත... කඩේ මුදලාලි ඔවුන් ගැන තොරතුරක් දන්නවා නොවනුමානය.... මා ක්ෂණිකව තේ කඩය වෙත බයිසිකලය ධාවනය කරන්නට විය.

"මුදලාලි කොහමද ඉතිං.... අපිව මතකද බලන්ඩ...?"

"හ්ම්ම්... මට හරියටම මතක නෑ මහත්තයෝ... පොඩ්ඩක් කියනවද....?"

"මුදලාලි අපි රොජර් මහත්තයාගේ බයිසිකලේ ගන්න ආවේ...අපි එදා බයිසිකලේ අරං ගියානේ...."

"හරි...හරි... දැන් මතකයි මහත්තයාව, අර ළමයෙක් එක්ක ආවේ... දැන් ඒ ළමයා කෝ මහත්තයා...? කරදයක් නෑනේ... හදිස්සියකටද මේ පැත්තේ ආවේ?"

"හදිස්සියකට කියන්නේ මං මේ රොජර් මහත්තයාව හොයාගෙන ආවේ... ගෙදර කට්ටිය නැද්ද මුදලාලි එහේ...?"

"රොජර් මහත්යාලා කොහේට ගියාද කියලා අපිවත් දන්නේ නෑ මහත්තයෝ... මහ රැ දවසක බඩු පටවාගෙන ගිහිං තියෙන්නේ... කාටවත් කියන්නේ නැතුව..."

"ඔහ්හ්... එකත් එහෙමද....."

මම දැන් කුමක් කරන්නේද කල්පනා කරන්නට විය...

"මහත්තයා කරදරේක වැටිලා වගේ නේද....?"

"කරදරේක කිවුවේ මුදලාලි... මේ බයිසිකලේ හිටපු ගමන් ලෙඩ දෙනවා ඒවා හොයා ගන්න බෑ..... ඉතිං පොඩ්ඩක් රොජර් මහත්තයත් එක්ක කථා කරලා මේක භාර දෙන්ඩ කියලා...."

"මහත්තයෝ මෙහෙම කිවුවට තරහ වෙන්ඩ එපා.... දැන් මහත්තයා අමාරුවේ වැටිලා ඉවරයි, මට හිතෙන්නේ....."

"මුදලාලි මොනා හරි හංගනවා ද මට....? කමක් නෑ දන්න දෙයක් මට කියන්ඩ..."

"මෙන්න මේ තේ එක බොන්ඩකෝ මහත්තයෝ...."

මෙහෙම තේ එකකුත් මගේ අතට දෙන ගමන් කඩේ වැඩ ටික මුදලාලිගේ හාමිනේට භාර කරමින් ඉතා බැරෑරුම් දෙයක් පැවසීමට මෙන් මගේ අසළින්ම ඔහු වාඩි වන්නට විය.

"මීට කලින් ඔය බයිසිකලේ කීප දෙනෙක්ම අරගෙන ගිහිං ආපහු ගෙනැල්ලා දැම්මා මහත්තයෝ... රොජර් මහත්තයාලට ලොකු ප්‍රශ්ණයක් තිබුණා...."

"ඒ කිවුවේ...?"

"රොජර් මහත්තයා ඉගැන්නුවේ මේ ඉස්ස්කොලේ... එයාලා පදිංචි වෙලා හිටියේ ඉස්කොලේ නිළ නිවාසේ... එයාලට එකම පුතයි හිටියේ"

"අහ්හ් ඔව් මට කිවුවා... අර රට ඉන්නවා කියපු කෙනානේ...?"

"රට.....? මහත්තයලට කිවුවේ එහෙමද...? නෑ මහත්තයෝ....! ඒ බේබි රට යන්ඩ තමයි හිටියේ.. හුරු බුහුටි කොල්ලා..."

"ඉතිං ඇයි මොකෝ මුදලාලි...?

"මහත්තයෝ ඔය බේබිට තමයි රොජර් මහත්තයා බයිසිකලේ අරං දුන්නේ... බේබි බයිසිකලේට පණ ඇරලා හිටියේ... බයිසිකලෙන් එනකොට යනකොට අපිටත් කථා කරලයි යන්නේ.... අනේ ඉතිං දවසක් අපිටත් ඔහොම කථා කරගෙන ගියා ගියාමයි... පස්සේ ආවේ බේබි සීල් කරපු පෙට්ටියක "

"මොකක්....? මොනාද වුනේ ඒ ළමයාට...?"

"ඔව් මහත්තයෝ පිටිපස්සෙන් ආපු ලොරියක් බේබිව යට කරගෙන ගිහිං ඔළුවයි අතකුයි වෙන් වෙලාම ගිහිං කියලයි සමහරු කිවුවේ... අනේ ඉතිං අපිත් ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ... සංසාරේ හැටිනේ මහත්තයෝ.... හ්ම්ම් පස්සේ ටික කාලයක් යනකොට රොජර් මහත්තයයි නොනයි හිත හදා ගත්තා... රොජර් මහත්තයා කුඩු පට්ටන් වෙච්ච බයිසිකලෙත් හදලා ගෙදර ගෙනවා.... ඊට පස්සේ තමයි කෙළිය පටන් ගත්තේ....."

"ඒ කිවුවේ.... මොකද්ද මුදලාලි ඒ කතාවේ තේරුම....?"

''මහත්තයා මේවා විස්වාස කරයිද නැද්ද මං දන්නේ නැ එත් ඇත්ත මේකයි... රොජර් මහත්තයලාගේ බේබි ජිවිතේ අතහැරලා ගියාට ඔය බයිසිකලේ අතැරලා ගිහිං නෑ මහත්තයෝ....ඒ කියන්නේ ඒක එක කතා ගම පුරා පැතිරෙන්න ගත්තා.... එත් එක්කම රොජර් මහත්තයා ඔය බයිසිකලේ විකුණන තීරණේ කලෙත් එයාලට ඕකෙන් බලපෑම් වෙන්න පටන් ගත්ත නිසා තමයි..."

"මොනාද මුදලාලි ගමේ මිනිස්සු කියපු කතා...?"

"ඔය බේබි නැති වුනාට පස්සේ බයිකලේ ගෙනල්ලා දාල තිබුනේ රොජර් මහත්තයලාගේ කොරිඩෝවේ.... ඉතිං ඔතනින් ගිය කීප දෙනෙක්ම දැකලා තියෙනවා... බේබි අතකුත් නැතුව තැලිච්ච මුණකුත් එක්ක බයිසිකලේ උඩ වාඩි වෙලා ඉන්නවා..... ඕකට ගමේ අය බය වුනා ඒ අය ඕක රොජර් මහත්තයාට කිවුවා... පස්සේ එකෙන් මගහැරෙන්න කියලා රොජර් මහත්තයා බයිසිකලේ ගෙදර සාලේ තියා ගත්තා...."

"අම්මෝ මුදලාලි ඔය ඇත්තමද... ඊට පස්සේ...?"

"ඔව් මහත්තයෝ.... එහෙමයි කියලා වැඩේ වෙනසක් වෙලා නෑ... ගෙදර උදවුවට පදවුවට හිටපු ගැණු මනුස්සයා ඔය දේ කීප වතාවක් දැකලා අන්තිමට සැහෙන්න අසනීප වුණා.... රොජර් මහත්තයයි නෝනත් අසනීප වුනා... පස්සේ තමයි එළියේ තකරන් මඩුවක් ගහලා බයිසිකලේ එකට දාලා තියෙන්නේ.... ඒ විතරක් නෙවෙයි මහත්තයෝ, බයිසිකලේ ඉබේම ස්ටාර්ට් වෙනවලු... හොන් වදිනවලු.... ලයිට් වැඩ කරනවාලු... ඉතිං ගමේ අය කිවුවේම බේබි හොල්මනක් වෙලා බයිසිකලෙත් එක්ක හොල්මන් කරනවා කියලයි.... ඔය හිත් රිදවිමත් එක්ක රොජර් මහත්තයලා ගමේ කාගෙවත් එක්ක කතාවට ගියෙත් නෑ... එයාලට වුවමනා වුනා ඔය බයිසිකලේ කාට හරි විකුණන්න...''

"හපොයි එහෙනං ඒකයි මෙච්චර අඩුවට මේක විකුණලා තියෙන්නේ....."

"මහත්තයා විතරක් නෙවෙයි මේ බයිසිකලේ ආපහු අරගෙන ආවේ..... මේක අරං ගිහිං ආපහු ගෙනැල්ලා දාපු තුන් හතරදෙනෙක් මේ කඩේටත් ගොඩවෙලා ඔය විස්තරේත් කියලයි ගියේ..."

"එහෙමද... විස්තර කියලා කිවුවේ මුදලාලි....?"

2 comments:

Powered by Blogger.