ගුරුන්වහන්සේට වැරදුනු ගුරුකම

 " යකැදුරා එසේත් නැත්නම් ගුරුන්වහන්සේ යනු තමාගේ සියලුම බලපැවත්මවල් තමාගේ ශක්තිය යන සියල්ල තමුන් දන්නා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මත පවත්වාගෙන ජීවත්වන පිරිසකි. ඔවුනගේ සියලුම හැකියාවන් රදාපවතින්නේ තමන් ආරක්ෂාකරගෙන පවතින යන්ත්‍ර මන්ත්‍ර මතය. සාස්තරේ හරියෑමෙන් තමාගේ සියලු දේ ආරක්ෂාවන්නා සේම ඒ සාස්තරේ වැරදෙන වෙලාවල් ද නැතුවාම නොවේ. නමුත් එවැන්නක් සිදුවුවහොත් බොහෝවිට එයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ ද ගුරුන්වහන්සේටම ය.... "
සත්‍ය කතාවක් ඇසුරිනි...

ගුරුන්නාන්සේ.... කරෝලිස් උන්නැහේ... ඉන්නවදෝ....?

පිලේ තිබුණු ඇදේ දිගාවී නින්ද නොනින්ද අතර සිටි කරෝලිස් උඩ ගොස් ඇහැරුනේ මේ හඩිනි.. " කවුද බන් පොඩ්ඩක් ඇහැක් පියාගන්න දෙන්නෙ නැතුව මරහඩ ගහන්නේ " කියගෙන කරෝලිස් මිදුලට බැස්සේය..

කඩුල්ල අසල සිටගෙන උන්නේ නොදන්නා කෙනෙකි..
" මොකෝ.. මාව හොයන්නේ ? "

අනේ ගුරුන්නාන්සේ.. අපේ ගෙදර පොඩි ඇබැද්දියක් වෙලා. පොඩි එකීට.. ඒකිට මලපෙරේත බැල්මක් වැටිලද කොහෙද. උදේ ඉදන් යටිගිරියෙන් කෑගානව.. නවත්තගන්න බැරිම තැන තමයි මේ ගුරුන්නාන්සේව හොයාගෙන ආවෙ.. " හෙතෙම එක හුස්මෙන් කියාගෙන ගියේය.

හා හා නවත්තගනින් ඕක. අපි ගොහින්ම බලමු මොකක්ද මෙ පෙරේත දිස්ටිය කියල බොලව්.. හිටහන්කො ඩින්ගිත්තක් මන් කමිසයක් කාරිය දාගෙන එනකන්.. එසේ පවසා කරෝලිස් හෙතෙම නිවසට වැදුනේය..

කරෝලිස් වූ කලී කැලෑගෙදර ග්‍රාමයේ ජීවත් වූ එකම යකැදුරා ය. ගමේ සියලු වෙද හෙදකන් මෙන්ම ගුරුකම් වලදී ද කැපීපෙනෙන තැනක් ඉසිලුයේ මොහු ය. වෙල අද්දරට වන්න අටවාගත් පොඩි පැලක බිරින්දෑ සහ දරු දෙදෙනා සමගින් විසූ මොහු වැඩක් පලක් නැති බොහෝවිට පිලේ තිබූ ගෝනි ඇදට වී කල් මරන්නට පුරුදුවී සිටියේය...

යටකී නිවසට ලගාවෙත්ම ගොම්මන් අදුරින් පරිසරය වසාගෙන තිබිණි. කඩුල්ලකින් වටවූ කුඩා නිවසක් වූ එහි ඉදිරිපස දල්වා තිබූ ලාම්පුවෙන් නික්මූයේ මලානික එළියකි.
ගුරුන්නාන්සේ ගෙට ගොඩවෙත්ම ඇතුලතින් ඇසුනේ දැරිවියක් යටිගිරියෙන් මරහඩ නගන ශබ්දයකි.

නිවසේ මැද සාලයෙ කොණකට වෙන්න බිම වාඩිවී ගුලිවී සිටිනා දැරියකි. එක් පසකින් ඇයගේ මව යැයි සිතාගැනීමට පුලුවන් පුද්ගලයෙකු වාඩිවී සිටි අතර අනිත් පසින් ඇයගේ මිත්තනිය සිටී. දැරිවිය විටෙන් විට කෑගැසුවද එතනින් ඉවතට යාමට බැරිවන ලෙස ඇයගේ අත අසල වූ පුටුවකට තදින් බැද තිබිණි..

කරොලිස් ලගට එත්ම එතෙක් වෙල දපස සිටි පිරිස ඉවත්වන්නට විය.

" කෝ බලමු මේ කෙරුම කවුද කියල " කියාගනිමින් කරෝලිස් දැරිවිය අසලට පැමිණ ඇයගේ කෙස් වැටියෙන් අල්ල ගත්තේය.

" කියපන් තෝ කවුද? මොන මගුලකටද මේ ඇත්තිගේ පරාණෙට රින්ගුවේ ? කියාපිය මට... "

කෙල්ලගෙන් කිසිදු ශබ්දයක් නැත..
මෙවර කරොලිස් තවත් තදින් ඇයගෙන් අල්ල ඉහලට ඔසවා අනිත් අතින් යමක් මතුරා ඇගේ කම්මුලට වැරෙන් පහරක් ගැසීය.

" කෙල්ල එකවරම කරෝලිස් ගේ මුහුණ දෙස බැල්මක් හෙලා අමුතු හිනාවක් පෙන්වී ය.

ඉන්පසු සෙමින් ඔහුගේ කණ අසලට ඇගේ මුව ගෙනගියේය..

" ... මම තොගෙ ගෙදර පැත්තේ පොඩ්ඩක් ගිහින් එන්න ගියා බොලව්... මම දැක්ක හොද රන් තැඹිලි ගෙඩි තුනක් තියෙන්ව.. බොන්නත් හදල ඉතින් ආයේත් ආව තෝ බලන්න ... "

කෙල්ලගේ වදන් වලට කරෝලිස්ට හීන් දාඩිය දැම්මේය. ගමන ඒමට තිබුනු හදිසිය නිසා හැමදාව වගෙ ගෙදරින් එලියට එද්දි ගෙදර ආරක්ෂාකර ඒමට මෙවර ඔහුට අමතක වී තිබිණි. ඒ සුලුමොහොතට මේ ආත්මය ඔහුගේ ගෙදරට බැල්ම හෙලා ඇත.

කරෝලිස් කෙල්ල අතහැර මිදුලට බැස්සේය.

" පුතේ මේ වැඩේ නම් ටිකක් බරපතලයි. කෙල්ලට වැහිල ඉන්නෙ එසේ මෙසේ එකෙක් නම් නෙවේ ඕන්. බිල්ලක් දෙන්න වෙයි මූව එලවන්න නම්...

එසේ පවසත්ම ගෙහිමියාගෙ මුහුණ ඇකිලී ගියේ ය.

" එහෙන්ම් ගුරුන්නාන්සේ අපි අද හෙටම මේක ඉවරයක් කරමු. මට කියන්නකො ඕනිකරන අඩුම කුඩුම ටික.. "

ඔනිකරන ටික පවසා කරෝලිස් හනි හනිකට ගෙදරට දිවගියේ ය..

නිවසට යන විට කිසිදු වෙනස්කමක් හෝ ආරවුලක් දක්නට නොලැබිණි. හෙතෙම කඩුල්ල පැන ඇතුලට ගිය ගමන් කලේ වැලි ටිකක් ගෙන මතුරා නිවසෙ සීමාවට ඉසීමය. දැන් බයවීමට කිසිදු කාරණයක් නැත.හෙතෙම සතුටින් නිවසට වැදුනේ පොඩි උන් දෙදෙනාට අමතමිනි....

එදින රාත්‍රියේ තමාගේ අඩුම කුඩුම ටික ලකලැහැස්ති කරගත්තේ පසුදින උදේම කාරණාවට පිටත්වීමට උවමනා බැවිනි. එදින රාත්‍රියේ කරෝලිස් උන්නේ නින්ද නොනින්ද අතරේ ය. එක එක විකාර සිහින දකිමින් ඇදේ ඒ මේ අත පෙරලෙමින් ඔහු උදෑසන වන තුරු උන්නේය..

පාන්දරම කුකුළා හඩලන විටම තමාගේ මල්ල සහ යක් බෙරය බැදගෙන නිවසෙන් එලියට බැස්සේ ලමුන් දෙදෙනාට සහ බිරිදට නිවස තුලටම වී ප්‍රවේශමෙන් සිටින ලෙස පවසමිනි. කුමන හේතුවක් නිසා වත් කිසිම කෙනෙකුට කඩුල්ලෙන් ඇතුලට ඒමට ඉඩ නොදෙනා ලෙසට ද තරවටු කලේ තමා හැප්පෙන්න යන පුද්ගලයාගේ කෙරුවාවේ තරම කරෝලිස් හොද හැටි දන්න බැවිනි.

නිවසට ලගාවන විට නිවැසියන් කෙල්ල සූදානම් කර සුදු ඇදුමක් අන්දා අවශ්‍ය කරන අනිකුත් සියලුම අඩුම කුඩුම සපයා දී තිබිණි..

මිදුලට වී බුලත් විටක් සපා අවසන් කල හෙතෙම තමා ආ කාරණාවට බැස්සේ ගෙහිමියන්ට ද තරවටුවක් කරමිනි.

" කෙල්ලගෙ ඇගේ රිංගන් ඉන්න එකා ලේසියෙන් කුකුල් බිල්ලක් අරන් යන ජාතියෙ එකක් නෙවෙයි. ඒක නිස මේ වැඩේ සෑහෙන්න අමාරුයි. වැඩේ පටන්ගත්තට පස්සෙ ඔන්න එකෙක් වත් මෙතනින් හෙල්ලෙන්න්ව එහෙම නෙවෙයි පුතේ... "

කරෝලිස් තට්ටුව සූදානම් කර බෙර පදයක් අල්ලා වැඩේ පටන්ගත්තේ ය...

හෝරාවක් දෙකක් ගතවිය. කෙල්ල බිම ඉන්දවු තැනටම වී නොසෙල්වී සිටී. කරෝලිස් දුම්මල අල්ලමින් තට්ටුව අසල බිම වාඩිවී මන්තර ජපකරමින් සිටී..
ගෙහිමියෝ ද කෙල්ල අසලින් වාඩිවී බියෙන් ඒ දෙස බලාගෙන සිටී..

තවත් හෝරා කිහිපයක් ගතවිය.. කරොලිස් එකවරම නැගිට තට්ටුව මත තබා උන් කුකුලා ගෙන කෙල්ල අසලට පැමිණියේය..

" තෝ... මෙ කුකුල් බිල්ල අරන් මේ මනුස්ස පරානෙන් අයින්වෙල පලයන්.. කැමතිද ඒකට... කියපන්.."
කෙල්ලගෙන් කිසිදු හැල හොල්මනක් නැත..

මෙවර තවත් ලන්වී තදින් ඒ පැණයම කෙල්ලගෙන් ඇසීය..

එකවරම කෙල්ල තරහින් මුහුණ ඔසවා කරෝලිස් දෙස බැලීය...
" යකෝ... මං යන්නෙ මේකිවත් අරගෙන බොලව්. තොට ඕනි හුලව්වක් කරපන්. ම්ං ඕවට බය නෑ... "

කෙල්ල එසේ පවසත්ම කරෝලිස්ට ද යක්ශවේෂ විය. එකවරම තට්ටුව මත තිබූ බෝතලයක් රැගෙන එහි මූඩිය ගලව කෙල්ලගේ මුහුණට ලංකර කෑගැසීය.

" තෝ එහෙන්ම් යන්නෙ නෑනෙ බොල. හිටපන් තොට මම හොද වැඩක් කරන්න. .. " පවසා වෙනස් හඩකින් මන්තර කිහිපයක් පවසන්නට විය.

කෙල්ල එකවරම යටිගිරියෙන් කෑ ගසා කරෝලිස්ගේ බෙල්ලේ එල්ලෙන්නට විය. එ අතර තට්ටුව උඩ සිටි කුකුලා ද කෑගසන්නට වූ අතර තට්ටුව දෙදරා ගියේ ය.

කාරණාව තේරුම්ගත් කරෝලිස් එකවරම පැනපු ගමන් බෝතලයේ මුඩිය ගෙන තදින් හිර කලේය..

කෙල්ල එකවරම කපා හෙලූ ගසක් මෙන් බිම ඇද වැටිණි. ඇයගෙ මව හා පියා පැමිණ ඇයව වත්තම් කර කාමරයකට ගෙන ගියේ ය..

" ඔන්න මහත්තයෝ ඒ කාරණෙත් අහවරයි.. එහෙනම් මේ බෝතලේ මම අරන් යන්නම් කියා බුලත් විටක් සපමින් කරෝලිස් සූදානම් වුයේ පිටත්වීමට ය. ලැබුණ ගතමනාව ද සතුටින් තමාගේ මල්ලට දමාගත් ඔහු ඉතාම පරිස්සමින් ඒ කුඩා වීදුරු බෝතලය ද මල්ලෙ රුවාගත්තේ ය.

නිවැසියන්ට යන්නම් පවසා තවත් බුලත්විටක් ද සපමින් හෙතෙම ඉක්මනින් අඩිය තබා එලියට ආවේ ගොම්මන් වීමට කලියෙන් තමගේ නිවසට යාමට සිතා ය. වටපිට මහ මූසල ගතියක් තිබුණේ කඩුල්ල අසල තිබූ විසල් කොස් ගස නිසාවෙනි.කරෝලිස් තමාටම මුමුණමින් නිවසෙන් එලියට ගොස් කඩුල්ල ඉවත් කලේ පාරට පිවිසීමට ය. එකවරම ඔහුගෙ කන අසලින් ඇසුණු ඒ මූසල හිනාවත් සමගම පිටුපසින් වැදුණු පහරකින් ඔහු කඩුල්ල පෙරලාගෙම බිම ඇද වැටිනි.

නිවැසියන් ඒ හඩින් කඩුල්ල අසලට දුවගෙන එනවිටත් කරොලිස් මුනින්තලා වී ඇස් උඩ බලගෙන සිටිනු දක්නට ලැබිණි. ඔවුන් එකතුවී ගුරුන්නාන්සේ වත්තම් කරගෙන යලිත් නිවසට ගෙන ගියේය. සාලයේ බිමින් තබනවාත් සමග ම එකවරම ගුරුන්නාන්සේ මහ හයියෙන් හඩ නැගුවේ වටේ සිටි අය බියට පත්කරමිනි.

" යකුනේ... මාව ඉක්මනට ඉස්සරහ කාමරේට දාපියව්. මට තව කාරණා කීපයක් තියෙන්ව මෙහෙන්ම කරල යන්න. මට සද්ද බද්ද නැති තැනක් ඕනි ඒකට. ඒක නිස මාව අරන් ගිහින් ඉස්සරහ කාමරේට දාල දොරවල් වහපියවි. ආයෙ උදේ මම කියනකන් තොපිල එකෙක් වත් ඇතුලට එන්ව එහෙම නෙවෙයි .. "

ගුරුන්නාන්සෙගේ අණින් ගෙහිමියන් ඔහුව ගෙන ගොස් ඉදිරිපස කාමරයට දමා පිටතින් අගුල් ලෑවෝය. ඔහු කී ලෙසට පහුවදා උදේ වනතුරු කාමරය අසලට නොයෑමට වගබලාගත්තේ ගුරුන්නාන්සේ කියූ පරිදි ඔහුගේ ඉතුරු මන්ත්‍ර මන්ත්‍ර දේවල් ටික ඔහුට නිදහසේ කිරීමට ඉඩහරිමිනි..

රාත්‍රියේ ඉස්සරහ කාමරය දෙසින් නොයෙක් ශබ්ද ඇසුනද ගෙදර අයවලුන් ඒ ගැන වැඩි තැකීමක් නොකලෝය.

පසුවදා උදෑසන විය... ගුරුන්නාන්සේ ගෙන් කිසිදු හැලහොල්මනක් නැත..

ගෙහිමියා දොර අසලට ගොස් තට්ටු කලේ ගුරුන්නාන්සේ ට නින්ද ගොස් ඇතැයි සිතා ඇහැරවීමට සිතා ය.

" ගුරුන්නාන්සේ.... ගුරුන්නාන්න්සේ.... " හෙතෙම දොරට තට්ටුකරත්ම නිකන් අඩවල් කර තිබූ දොර එකවර විවෘත විය.. කාමරයේ ඇතුලත දුටු දසුනින් ගෙහිමියාට යටිගිරියෙන් කෑගැසිනි..

ගුරුන්නාන්සේගේ යක් බෙරය කැබලි වලට කැඩී කෑලි කාමරය පුරා විසිරී තිබිණි.. එ අසල බිම වැටී තිබුනේ පෙර දිනයේ ආරක්ෂාකරගත් වීදුරු බෝතලය යි. එහි ඇබය ගැලවී තිබිණි..
ගෙහිමියාගේ කෑගැසීමට හේතු කාරණා වුයේ මේ කිසිවක් නොවෙ... කාමරය මැද වැටී තිබූ කරෝලිස් ගුරුන්නාන්සේගේ හිස සුන් මලකඳයි........... හිස කවුරුන් හො විසින් හපයක් වනලෙසට කා දමා තිබිණි....

" කෙල්ලගෙ ඇගේ ඉන්නෙ එසේ මෙසේ එකෙක් නෙවෙයො බොලවු. කුකුල් බිල්ල අරන් යන්න කැමතිවෙයිද කියල තමා මට බය ... "
කෙසේ හෝ ඒ ආත්මය හෝ පුද්ගලයා තමාගේ බිල්ල ගෙන අවසානය....

2 comments:

Powered by Blogger.