මහනුවර නගරයේ සැරිසරන කාන්තා අවතාරය

 ‘හොල්මන්? මොන බොරු දේවල් ද ඕවා’ යන්න නූතන අපට වැඩියෙන් අසන්නට ලැබෙන වදන් පෙළකි. තාක්ෂණික දියුණුව, ගෝලීයකරණය, ජනගහන වර්ධනය වැනි කාරණා නිසා හොල්මන් අද්භූත අවතාර ආදිය සමාජයෙන් බැහැර වෙමින් පවතින අතර අතීතයේ මේවා විශ්වාස කරන්නන් සිටිය ද දැන් ඇත්තේ අතලොස්සකි.
ලාංකේය රාජාවලියේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේ සිදු වූ විශේෂ සිද්ධීන් රාශියකි. මෙම කථාව මට අසන්නට ලැබෙන්නේ කලකට ඉහතදී අසල්වාසී වැඩිහිටියෙක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් වශයෙන් ය.

ඔහු නමින් අමරදාස ය. ඔහු මේ අත්දැකීමට මුහුණ දෙන්නේ 2002 වර්ෂයේදී. වෘත්තියෙන් රොහල් සේවකයෙකු ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළේය. රාත්‍රී වැඩමුරය නිමවී ඔහුට අයත් සුසුකි වර්ගයේ මෝටර් සයිකලෙන් තම නිවෙස බලා ගමන් ගනිමින් සිටි ඔහු, මහනුවර පේරාදෙණිය අලුත් පාර ඔස්සේ නගරයට ළගා වන අතර බෝගම්බර පිට්ටනියත් බන්ධනාගාරයක් මැදින් දිවෙන මාර්ගයේ රාත්‍රී 11.30 ට පමණ ගමන් ගනිමින් සිටි.

මාර්ගය පසෙකින් උඩරට පන්නයට සැරසුණු වැදගත් පෙනුමැති ස්ත්‍රියක් කොණ්ඩය කඩා දා විකෘති ස්වරූපෙන් මාර්ගය ගමන් ගනිමින් සිටින්නී. අමරදාස ඇය අසලට ළං ව බයිසිකලේ නවත්වන්නට විය.

' මේ මහ රෑ තනියම කොහෙද යන්නෙ? පාර වැරදුණාවත් ද?'
'නෑ. මට මගෙ ළමයි හොයල දෙන්න'

යනුවෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහුට බැණ වදින්නට වූවාය. ඉන්පසු ඈ මාර්ගය දිගේ කඩිනමින් දුවමින් අතුරුදහන් වූවාය. මේ සිද්ධියෙන් අධික ලෙස බියට පත්වූ අමරදාස පසුදින වැව රවුමේ වැටී සිටියදී උදෑසන මාලිගාවේ වන්දනාවේ යන අයෙකුට මුණගැසී ඇති අතර ඔහු විසින් නැගිට්ටවා යථා තත්ත්වයට පත් කරන්නට විය.

ඉන්පසු මේ අලුත් කතාව අසන්නට ලැබුණේ මට මෑතකදී ය. මගේ මිතුරෙකුට හා ඇයගේ බිරිඳ මහනුවර නගරයේ දී මුහුණ දෙන්නට සිදුවූ මෙවැනිම සිද්ධියක් දැනගන්නට හැකිවිය. මහනුවර නගරයේ රාත්‍රී වෙළද සැණකෙළිය වාර්ෂිකව පවත්වන්නකි. මේ සඳහා මා මිත්‍ර කළන ඔහුගේ බිරිඳ සමගින් පැමිණෙන්නට වූහ.

නගරයේ ඒ මේ අත මිනිසුන් සැරිසරන අතර ඔවුන්ගේ වාහනය නගරයේ පසෙකට වන්නට ඇති රජ වීදියේ ඉහළ කෙළවර නවත්වා ඔවුන් වෙළද සැණකෙළියට ගියහ. රාත්‍රීය ගතවෙද්දි මධ්‍යම රාත්‍රිය එළඹෙමින් පැවතිණි. නගරයේ මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් අඩුවන ආකාරයක් දක්නට ලැබුණි. කළන හා ඇය ඒ සමගින් සාප්පු සවාරිය අවසන් කොට නිවසට යාම සඳහා වාහනය නවතා තිබූ ස්ථානයට යන්නට වූහ.

'ඒ ඕෂී. අර බලන්නකෝ. කවුද ගෑනු කෙනෙක් අපේ කාර් එක උඩ බොනට් එක උඩ වාඩිවෙලා ඉන්නව.'

' කවුද ඒ? මේ මහ රෑ පිස්සියක් ද කොහෙද. කොණ්ඩෙත් අවුල් වෙලා හොඳටම. ඔසරියක් ඇඳගෙන.'

තම වාහනය උඩ හිඳ ගෙන සිටින මේ ආගන්තුක කාන්තාව හඬමින් සිටින බව වාහනයට ළං වනවා සමග දැකගන්නට ලැබුණි.

'ඔයා මොනවද මෙතන කරන්නේ?'

ඇයගේ කිසි පිළිතුරක් නොවීය.

'කාර් එකෙන් බැහැලා යනවද? අපිට ගෙදර යන්න තියෙනවා. අතරමං වුණා ද? අද ඕන්නං ගෙදරට ගිහින් දාන්නම්.'

ඔවුන් දෙස මදක් බලා සිටි ඈ හඬ අවදි කරන්නට වූවාය.

'මගේ ගෙදර මෙහෙ තමයි තියෙන්නේ. අර අපේ වලව්ව. මට මගේ ළමයි හොයල දෙන්න'

යනුවෙන් පවසා ඇය වාහනයෙන් බැස රජ වීදිය දිගේ ඉහළට ගමන් කරන්නට වූවාය. එහි ඉහළට වන්නට ජනාධිපති මැදුර ඉදිරි පසින් පිහිටා ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයයි. පෙර රජ දවස ඇහැලේපොල වලව්ව එයයි. එවිට ඔවුන් දැක තිබුණේ ඇහැලේපොළ කුමාරිහාමිගේ ආත්මය ද?

මෙයින් බියට පත් වූ ඔවුන් දෙපළ රෝහල් ගත කිරීමෙන් පසු සුවය ලද අතර පසුව දැනගන්නට ලැබී ඇත්තේ ඒ ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය බවයි. කාමලෝලී රජුගේ ග්‍රහණයට හසු නොවී තම පතිවෘතා ධර්මය රකිමින් මේ කාන්තාව තම දරුවන් මළ ශෝකයෙන් පෙළෙමින් මරණයට පත්ව, අවතාරයක් ව මහනුවර නගරයේ සැරිසරණු කිහිපදෙනෙකුට මුණගැසී ඇත.

ඇයගෙන් කිසිවෙකුට කරදරයක් නොවීය. දැනට මාර්තු අප්‍රේල් මාසවලදී අමාවක දිනයන්හී ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය මහනුවර නගරය පුරා සැරිසරන බව ජනප්‍රවාදයේ පැවැතගෙන එයි. මෙවන් උතුම් කාන්තාවක් මෙලෙස ආත්මයක් නොලබා සැරිසරන බවට සමහරුන් පිළිනොගන්නා බව මා දනිමි. බෞද්ධ ධර්මයට අනුව සියල්ල සිදුවන්නේ කරමයට අනුව බව ද මා මතක්කර සිටිමි. කෙතරම් උත්තරීතර ලෙස සිටියද මරණ මංචකයේ ඇතිවන සිතුවිලි අනුව පුනර්භවය සිදුවන බවද අප දනිමු. කෙසේ වෙතත් මේවායේ සත්‍යාසත්‍යතාව කෙසේ වේ දැයි අප නොදනිමු.

මහේෂ ද අල්විස්

1 comment:

Powered by Blogger.