අතරමගදී හමුවූ සිසුවා

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මා රචනාකළ මෙම කතාවේ නම් පමණක් මන කල්පිත ය. ආරියපාල යනු වෘත්තියෙන් විදුහල්පති වරයෙකි. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටිය ද මාතර තරම් ඉතා දුරබැහැර ප්‍රදේශයක පිහිටි පාසලක සේවය කිරීමට ඔහුට සිදුවූයේ දේශපාලනික පලිගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි. නිවස ඉතා ඈත නිසාත් අද තරම් ක්‍රමවත් මෙන්ම වේගවත් ප්‍රවාහන සේවයක් එකල නොතිබුන නිසාත් ඔහු තම නිවසට පැමිණියේ පාසල් නිවාඩුවට පමණි. ඒ අතර කාලයේ නිවස සමග සියලු සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමට ඔහු තෝරාගත්තේ ලිපි හුවමාරුව යි.
මේ 1985 අගෝස්තු පාසල් නිවාඩුවෙ මුල් දිනය යි. උදෑසනින්ම අවධිවූ විදුහල්පති වරයා කඩිමුඩියෙන් ලකලෑස්ති වූයේ තම නිවසට යෑමට යි. ජාතික ඇඳුමෙන් සැරසුණු ආරියපාල මහතා පාසල වටා රවුමක් ගොස් ගුරු නිවාසයට පැමිණියේ සිය ගමන් මල්ල ගැනීමට ය. එය කරෙහි එල්ලාගත් ඔහු ගුරු නිවාසයේ දොර ද වසාගෙන මිදුලට බැස්සේ මහපාරට ඉක්මනින් යා ගැනීමට ය. ඔහු මහපාරට එනවාත් සමග බස් නැවතුම්පොළ අසල නතර කළ බස් රථයේ හිස් ආසන කීපයක්ම තිබීම ආරියපාල මහතාගේ සැනසීමට හේතුවක් විය. අසුනකට භරදුන් ඔහුට හිරු මුදුන්ව හෝරා එකහමාරක් පමණ ගත වන විට කොළඹට ළගාවීමට හැකි විය. කොළඹින් බැසගත් විදුහල්පති වරයා එතැනින් අනුරාධපුරය දක්වා ගමන් ගන්නා බසයකට ගොඩව සිය අත් ඔරලෝසුව දෙස බලා [අද නම් ගොඩක් රෑවෙයි වගේ] යි තමන්ටම කියා ගත්තේ ය. ඔහුගේ සිරුරට දැනෙමින් තිබුන විඩාවට තවත් සුලු මොහොතක් යන විට ඔහුව නින්දකට ඇද දැමීමට හැකි විය. තමන් අවධි වන විට බසය බොහෝ දුරක් පැමිණ ඇති බව ආරියපාල මහතාට අවබෝධවන්නට තරමක් වෙලා ගත විය. කුරුණෑගල, වාරියපොළ, තඹුත්තේගම පසුකරමින් බස් රථය අනුරාධපුරයට පැමිණෙන විට රාත්‍රී 9 ද පසුව තිබුණි. හනිහනිකට බසයෙන් බැස ගත් විදුහල්පති වරයා අසල තිබූ කඩයකට ගොඩවූයේ දරුවන්ට රසකැවිලි කිහිපයක් මිලදී ගැනීමට ය. අනතුරුව ගම දක්වා යෑමට ක්‍රමයක් සොයමින් සිටි ආරියපාල මහතාට තම ගමේ ජීවත් වන ගැමියෙකු හමු විය. එතැන් සිට නිවස තෙක් දිවෙන පාරේ හන්දිය දක්වා එම ගැමියාගේ කරත්තයෙන් ගමන් පහසුව සලසා ගැනීමට ඔහුට හැකි විය. හන්දියෙන් බැස ගත් ආරියපාල මහතාට පරිසරය පුරා අමුතුම සීතලක් පැතිර ඇති බවක් දැනුනි. නිවස දක්වා තවත් සැතපුම් 2ක් පමණ පාගමණින් යාමට ඇති හෙයින් ඔහු සිය පය ඉක්මන් කළේය. මද දුරක් යන විට තමන්ට යාර කිහිපයක් ඉදිරියෙන් ඇති කුඹුක් ගස අසලින් යමෙක් ගමන් කරන බවක් ඔහු දුටුවේ ය. පය ඉක්මන් කර ඔහුට කිට්ටු කළ පසු ඒ සිරිමල් බව ආරියපාල මහතාට දැකගත හැකි විය. විදුහල්පති වරයා දුටු සිරිමල් තම ගුරුවරයාට සිනාවක් පා ඉදිරියටම ගමන් කළේය. [අද ගමට එන්න රෑ උනානෙ දරුවො] යැයි විදුහල්පති වරයා කිවූ විට ද සිසුවා සිනාවක් පෑවේ ය. තමන් ගමේ පාසලේ සේවය කරන විට එහි සිටි දක්ෂ, විනීතම සිසුවාගේ මේ නිහඬ බව ගණන් නොගත් ආරියපාල මහතා ද ඉදිරියටම ගියේය. ක්‍රමයෙන් තම නිවස අසලට පැමිණි පසු [එහෙනම් මං නවතිනවා දරුවෝ] යැයි කියමින් සිරිමල්ගෙ උරහිසට දයාබර තට්ටුවක් දැම්මේ ය. එවිට තම අතට දැනුන සීතල ගතියෙන් විදුහල්පති වරයාගේ මුලු සිරුරම හිරි වැටුනි. එවිට ද සිනාවක් පෑ සිරිමල් ඉදිරියටම ඇවිද ගියේ ය. හන්දියෙන් බැස ගත් අවස්ථාවේ සිට සිදුවූ සිදුවීම් ගැන හිතමින්ම නිවසට ගොඩවූ ආරියපාල මහතා [හාමිනේ හාමිනේ] යැයි කියා තම බිරිඳට කතා කළේ ය. [අද එන බවක් කල් ඇතුව කීවා නම් මලයාවත් හන්දියට එවනවානෙ] යැයි කියමින් ඉදිරියට පැමිණි ස්වර්ණා මහත්මිය තම සැමියාගේ ගමන් මල්ල අතට ගත්තා ය. එවිට [මට මහ කුඹුක් ගහ ළඟදී සිරිමල් දරුවා මුණගැහුණා හාමිනේ] යැයි කියමින් තම බිරිඳ දෙස බැලූ විට විදුහල්පති වරයා දුටුවේ තම බිරිඳගේ මුහුණ බියකින් පිරී ඇති බව යි. [මොන සිරිමල් ද ඒ දරුවා ආන්ත්‍රා වෙලා අදට දවස් 6ක් වෙනවා] යැයි බිරිඳ කිවූ විට ආරියපාල මහතා වෙවුලා ගියේ ය. පසු දින ආරියපාල මහතාටත් ඔහුගේ බිරිඳටත් සිරිමල්ගෙ මිණීමරුවන් දෙදෙනාගෙ මලසිරුරු මහ කුඹුක් ගහ ළඟ තිබී සොයාගෙන ඇති බව ආරන්චි විය.

No comments:

Powered by Blogger.