ලාංකිකයන් දෙදෙනකුත් සමඟ අට දෙනකු මරා ගෙවත්තේ වළ දැමූ කැනඩා ඝාතකයා

ගුප්ත, අබිරහස් හේතූන් මත හෝ මානසික විකෘතීන් මත හෝ වරින් වර, එක පෙළට මිනිස් ඝාතන සිදු කරන ඝාතකයන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘සීරියල් කිලර්ස්’

යනුවෙනි. සිංහලෙන් මෙවැනි අපරාධකරුවන් ‘දාම ඝාතකයන්’ යන වදනින් හැඳින්විය හැකිය.  ලෝකයේ බොහෝ රටවලින් වරින් වර මෙවැනි බිහිසුණු අපරාධකාරයන් ගැන අසන්නට ලැබෙන අතර මේ දිනවල කැනඩාවෙන් ද එවැනි මිනීමරුවකුගේ වැඩක් විය හැකි බවට සැක කෙරෙන ඝාතන පෙළක් ගැන වාර්තා වෙයි. මේ වනවිට ඔහු විසින් කරන ලද බවට සැක කරන මිනිස් ඝාතන 8ක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන අතර මෙම අට දෙනා අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද සිටීම විශේෂත්වයකි.

මෙම සිදුවීම් දාමය පිළිබඳව මුල් වරට කැනඩාවේ ටොරොන්ටෝ හි පොලිසියට සැකයක් ඇති වී ඇත්තේ 2010 වසරේය. ඒ, එක දිගටම පුද්ගලයන් කිහිප දෙනකුගේ අතුරුදන් වීම් ගැන වාර්තා වූ බැවිනි. ඔවුන් මේ ආකාරයෙන් අතුරුදන්ව තිබුණේ ටොරොන්ටෝ හි එකම ප්‍රදේශයකදීය. මෙම තත්ත්වය තුළ මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කළේය. පුද්ගලයන් තිදෙනකුගේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබූ අතර ඔවුන් තිදෙනාම පිරිමි පුද්ගලයන් විය.

නමුත් මෙම පුද්ගලයන්ගේ අතුරුදන් වීම් එකිනෙකට සම්බන්ධ ද යන්න ගැනවත්, ඔවුන් ඒ වනවිට ඝාතනය කර තිබුණාද යන්න ගැනවත් කිසිදු හෝඩුවාවක් පොලිසියට දැනගන්නට තිබුණේ නැත. 2010 වසරේ මේ ආකාරයෙන් අතුරුදන්ව සිටි බවට මුලින්ම දැනගන්නට ලැබුණු පුද්ගලයා ද ශ්‍රී ලාංකිකයකු බව සඳහන් වේ. ඔහු මෙරට සිට කැනඩාවට ගිය සරණාගතයකු බව පැවසේ. ඉහත කී තිදෙනාම අතුරුදන්ව තිබුණේ 2010 සහ 2012 අතර කාලයේ ය. මොවුන් ඝාතනය කෙරෙන්නට ඇතැයි යන සැකයක් පොලිසිය තුළ ඇති වුවත් එය සනාථ කළ හැකි වැදගත් සාක්ෂි කිසිවක් සොයා ගන්නට හැකිව තිබුණේ නැත. මෙම තත්ත්වය තුළ වසර කිහිපයක විමර්ශනවලින් පසු මෙම මෙහෙයුම අත්හැර දමනු ලැබිණි. කෙසේ නමුත් 2017 වසරේ නැවතත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු හිටිහැටියේ අතුරුදන් වීමත් සමඟ නැවතත් මෙම ආන්දෝලනය කරළියට පැමිණි අතර කිසියම් අබිරහස් ඝාතකයකු පිරිමින් ගොදුරු කරගනිමින් සිටින බවට ප්‍රදේශවාසීන් තුළ භීතියක් පැතිරෙන්නට පටන් ගත්තේය. මෙම ප්‍රදේශය සම්බන්ධ තවත් විශේෂ කාරණයක් තිබිණි.

එනම් එය සමරිසි පුද්ගලයන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් ලෙස සැලකීමයි. පොලිසිය යළිත් වරක් මේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා දෙවැනි වරටත් මෙහෙයුමක් ආරම්භ කළේය. අතුරුදන් වූ පුද්ගලයන් අතරින් වැඩි දෙනකු සමරිසි ප්‍රජාවට අයත් වූවන් ය යන සැකයක් ද මේ සමඟ පැතිරෙන්නට විය. සමාජයෙන් කොන් කරනු ලබන මෙවැනි පුද්ගලයන් සහ ගණිකාවන් වැනි අය නිතර මෙවැනි දාම ඝාතකයන්ගේ ගොදුරු බවට පත්වන බව ද රහසක් නොවේ.

කෙසේ හෝ වේවා, දීර්ඝ විමර්ශනයකින් පසු ලැබුණු යම් යම් හෝඩුවාවන් මත, අවසන් වරට අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එකකුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එක්තරා පුද්ගලයකු පිළිබඳව ටොරොන්ටෝ පොලිසියට සැකයක් ඇති විය. බෘෘස් මැක්ආතර් නම් වූ ඔහු 66 වැනි වියෙහි පසු වූවෙකි. ඔහු ගෙවතු අලංකරණ ශිල්පියකු ලෙස කටයුතු කර ඇති බව ද අනාවරණය විය. මැක්ආතර් විසින් පාවිච්චි කරන ලද වාහනයක මිනිස් රුධිරය තැවරී තිබූ බවට හෝඩුවාවක් ද පොලිසියට ලැබී තිබිණි. මෙම තත්ත්වය තුළ මැක්ආතර් පිළිබඳව දැඩි සෝදිසියෙන් සිටීමට පොලිසිය තීරණය කළේය. වරක් ඔහුගේ නිවෙස අසල රැකගෙන සිටියදී, එක්තරා තරුණයකු ඔහුගේ නිවෙසට ඇතුළු වන අන්දම දුටු පොලිසිය එයින් සුළු වේලාවකට පසු ‍ෙදාර කඩා දමමින් නිවෙසට ඇතුළු වීමට පියවර ගත් බව සඳහන් වෙයි. එහි දී ඔවුන්ට දැක ගන්නට ලැබී ඇත්තේ අර තරුණයා ඇඳකට තබා බැඳ දමා සිටින අන්දම ය.

මෙම සිද්ධියත් සමගම බෘෘස් මැක්ආතර් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේය. අනතුරුව සෝදිසි වරෙන්තුවක් මත මැක්ආතර්ගේ නිවෙස පරීක්ෂා කිරීමට ද විමර්ශකයන් කටයුතු කළ අතර එහිදී ඔහුගේ පරිගණක, දුරකතන, දත්ත ගබඩා කිරීමේ ‘පෙන්ඩ්‍රයිව්’ උපකරණ රැසක් පරීක්ෂා කිරීමට පියවර ගැනිණි. මෙම පරීක්ෂාවන්ගෙන් පසු පොලිස් විමර්ශකයන් අනාවරණය කර සිටියේ අතුරුදන්ව සිටි අය අතරින් දෙදෙනකුගේ ඝාතන සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි හමුවී ඇති බවයි. මේ ආකාරයෙන් සඳහන් වූයේ අතුරුදන්ව සිටි අවසන් දෙදෙනා සම්බන්ධයෙනි.

මොවුන්ගේ මළ සිරුරු ඒ වනවිට සොයාගෙන නොතිබුණත් ඔවුන් ඝාතනය කර ඇති බව විශ්වාස කිරීමට තරම් කාරණා ඇති බැව් විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබිණි. අතුරුදන්ව සිටි අනෙක් අයද මැක්ආතර් විසින් මරා දමනු ලැබ තිබෙන්නට ඉඩ ඇති බව පොලිසියේ විශ්වාසය විය. කෙසේ හෝ වේවා පසුව මැක්ආතර් සමඟ සබඳතා තිබූ නිවාස සහ ගොඩනැඟිලි කිහිපයක් පරීක්‍ෂා කිරීමට විමර්ශන කණ්ඩායම් පියවර ගත්තේ ය. මෙම පරීක්‍ෂා කිරීම්වලදී පොලිස් සුනඛයන්ගෙන් ලැබුණු සහාය ද විශාල වශයෙන් විමර්ශන නිලධාරීන්ට උපකාරී වී තිබිණි.

මෙහිදී මැක්ආතර් විසින් පාවිච්චි කරන ලද නිවෙසක ගෙවත්ත පරීක්ෂා කිරීමේදී පොලිස් සුනඛයන් විශාල උනන්දුවකින් හැසිරෙනු දැකගන්නට ලැබී ඇත. පසුව එහි විශාල පෝච්චි වගයක වළ දමා සඟවා තිබූ මිනිස් ඇටසැකිලි කොටස් සොයා ගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබිණි. ඒ මෙම වසරේ ජනවාරි සහ අප්‍රේල් මාස අතර කාලයේ බව සඳහන් වෙයි.

මෙහිදී මළ සිරුරු හතක කොටස් සොයා ගැනීමට විමර්ශකයන්ට හැකියාව ලැබී තිබූ අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට හඳුනා ගනු ලැබ තිබේ. මෙයට අමතරව වෙනත් ස්ථානයකින් තවත් මළ සිරුරක කොටස් සොයා ගැනීමට හැකි වී තිබිණි. මේ අනුව මළ සිරුරු අටක කොටස් සොයා ගැනීමට හැකි වී ඇත. මේ අතරින් වැඩි දෙනකු දකුණු ආසියානු සහ මැද පෙරදිග රටවල සිට කැනඩාවට සංක්‍රමණය වූවන් බව ද පැවසේ. මේ අනුව බෘෘස් මැක්ආතර්ට එරෙහිව මිනිස් ඝාතන අටක් සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා ගොනු කර තිබේ. මෙම චෝදනාවලට අදාළ නඩු විභාගය 2020 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මැක්ආතර්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් බොහෝ ගැටලු පැවති බව ද වාර්තා වෙයි. කාලයක් ඔහු කාන්තාවක සමඟ විවාහ වී සිටියත් සමලිංගික ජීවිතයකට යොමුව සිටි බවට ද සැක පළවෙයි. පසුව ඔහු බිරියගෙන් දික්කසාද වී තිබේ. ඔහුගේ පුතකු සම්බන්ධයෙන් ද යම් යම් ගැටලු තිබී ඇති බවක් අනාවරණය වෙයි. එමෙන්ම එම කාලයේ බොහෝ ආර්ථික ප්‍රශ්නවලින් ද මැක්ආතර් පීඩාවට පත්ව සිට ඇතැයි සඳහන් වේ. මේ අතර යම් යම් මානසික අසමතුලිතතාවන්ගෙන් ඔහු

පෙළෙමින් සිට ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගනිමින් සිට ඇති බවත් අනාවරණය වී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම ඝාතන පිළිබඳ නඩු විභාගය ආරම්භ වීමෙන් පසුව මැක්ආතර් සම්බන්ධයෙන් මෙන්ම මෙම අපරාධ සිදු කළ ආකාරය සම්බන්ධයෙන් ද තව බොහෝ රහස් අනාවරණය වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. යම් හෙයකින් මෙම ඝාතනවලට බෘෘස් මැක්ආතර් වරදකරු බව ඔප්පු වුවහොත් ඔහු කැනඩාව තුළ මෑත කාලයේ වාර්තා වූ දරුණුම දාම ඝාතකයකු බවට පත් වනු ඇතැයි සැලකේ. මේ අතර 1975 සහ 1997 යන කාලය අතර සිදු වී ඇතැයි කියන තවත් ඝාතන 15ක් සම්බන්ධයෙන්ද විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබිණි. මෙම ඝාතන සහ මැක්ආතර් අතර යම් සම්බන්ධයක් තිබේ ද යන්න සොයා බැලීම එහි අරමුණ විය.

උපුටා ගැනිම – මවිබිම

No comments:

Powered by Blogger.