පියාගේ අවතාරය ලක්‍ෂ 25ක සල්ලිත් අරගෙන මහ රෑ ගෙදරට එයි

‘කුමාරි මං රට යන්න තීරණය කළා. පුළුවන් හැටියට වැඩක් කළා නම් ලක්ෂ 25ක් හොයාගෙන දරුවගෙ සැත්කම කරන එක අපට මහා දෙයක් නෙවෙයි…’

සිය සැමියා වන පියල් එසේ කියා විදෙස්ගත වෙන්නට ගත් තීරණය තමාට දැන්වූ මොහොත කුමාරිගේ සිතේ අද ඊයේ මෙන් තැන්පත්ව තිබුණා. ඇය ඒ සිදුවීම් එකින් එක නිතර නිතර සිහිපත් කළේ සිතේ උපන් සිතුවිලි සමුදාය සඟවාගනිමිනි. පුංචි දරුවාද තුරුලට ගෙන ඇය පියල් ගැන මතකය අවදි කරන්නේ සඟවාගත් වේදනාවකිනි. ඔහු විදෙස්ගත වූයේ මීට වසර එකහමාරකට පෙරාතුවය. මැදපෙරදිග ගෘහ සේවකයකු ලෙසින් සේවය සැපයීමේ අරමුණ පෙරදැරිව පිටව ගිය පියල් මෙරටින් පිටවූ දා සිට සෑම දිනෙකම රාත්‍රියේ කුමාරිට ඇමතුම් ගත්තේය. දරුවාගේත් ඇගේත් සුවදුක් විචාලේය. කුමාරිද එම ඇමතුම් ලැබෙන තුරු මඟ බලාගෙන උන්නාය. තරුණ වයසේ හොඳම අවදියේ උන් ඇයට බොහෝ අවශ්‍යතා තිබුණද ඇය ඒ සියල්ල යටපත් කරගෙන සිටියේ තම දරුවා වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවන සැමියා ගැන සිතමිනි.

‘ඔහොම තනියෙන් ඉන්න පුළුවන්ද? ඔන්න පියල් අයියා නම් එහෙ ගෑනියෙක් සෙට් කරගෙන ජොලියෙ ඇති…’

අසල්වැසි නිවෙසක තරුණයකු නිතරම කීවේය. එහෙත් කුමාරි ඒ කිසිවකට ඇහුන්කන් දුන්නේවත්, හූමිටි තිබ්බේවත් නැත. ඇයට පියල් ගැන තිබුණේ අසීමිත විශ්වාසයකි. එනිසාම ඇය ගමේ අය කියනා දේ පියල් සමග කියන්නට ගියේ නැත.

වසරකුත් මාස කිහිපයක් ගතවන තුරු පියල්ගෙන් සුපුරුදු ලෙස ඇමතුම් ලැබිණි. ඒ කාලයේ නිවෙසේ වියදමට අවශ්‍ය වියදම් මුදල්ද ඔහුගෙන් ලැබුණේය. එහෙත් ඔහු එවන සියලු මුදල් වියදම් කරන්නට නොසිතූ ඇය එම මුදල් ඉතිරි කරගත්තේ අරපිරිමැස්මෙනි. ඒ, දරුවාගේ සැත්කම වෙනුවෙන් මුදල් එකතුර කරගන්නා අදහස ඇතිවය.

එහෙත් වසරකුත් මාස කිහිපයක් ගතවූ තැන ඔහුගෙන් දුරකතන ඇමතුම් ලැබීම නතර විය. ඔහු ගැන විමසීමක් කරන්නට හෝ වෙනත් දුරකතන අංකයක් නොවූ කුමාරි ඉන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්විය. ඇය පියල් ඇමතුම් ලබාගත් දුරකතන අංකයට සෑම දිනෙකම දහ දොළොස් වතාවකට වඩා ඇමතුම් ලබාගත්තද එම අංකය ක්‍රියා විරහිතව තිබිණි. මේ සම්බන්ධව කුමාරිට කළ හැකිව තිබූ අනෙක් ක්‍රියාව වූයේ ඔහු එවා තිබූ එරට ලිපිනයට ලිපියක් යැවීම පමණකි.

මේ අතර පියල්ගේ නිහඬ බව වටින් ගොඩින් දැනගත් අසල්වැසි තරුණයන් කුමාරිට අයුතු යෝජනා කළේ පියල් ගැන වැරැදි අර්ථකථන ලබාදෙමිනි. එහෙත් ඇය තවදුරටත් පියල්ව විශ්වාස කරගෙන ඉවසා සිටියේ දරුවාගේ අසනීපය ගැන සිතමිනි.
‘පියල් අයියාට එහෙ ගෑනියෙක් සෙට් වෙලා. කුමාරි අක්කව මතකවත් නැතිව ඇති. මං දන්නෙ නැද්ද රට ගියාම සෙට්වෙන ඒවා. අවුරුදු ගානක් කවුරුවත් නැතිව හිටපු ගෑනියෙකුට එහෙම පියල් අයියා සෙට් වුණා නම්, ආයෙ උන්දැට කුමාරි අක්කව මතක් වෙන්නවත් ඉඩක් දෙන්නෙ නැතිවෙයි…’

තරුණයකු කතාව හරි අපූරුවට ගළපා කීවේය. එහෙත් කුමාරි ඒ කිසිවකින් සැලුණේ නැත. ඇය මාස කිහිපයක්ම ඔහුගෙන් ඇමතුමක් එතැයි බලා සිටියාය. ඒ අතරේ දරුවාගේ සැත්කම පිළිබඳ මතකය ඇගේ සිතට වද දුන්නාය. ඇතැම් රාත්‍රීන්වල නිදි නොලබාම ඇය ඒ ගැන සිතුවාය.

ඔය අතරේ දිනක් රාත්‍රියේ කවුදෝ දොරට ගසන හඬ ඇයට ඇසුණේ නින්දත් නොනින්දත් අතර සිටියදීය. ඇය සිතුවේ කවුරුන් හෝ තරුණයකු අයුතු හැඟීමකින් පැමිණ ඇතැයි කියාය.

‘කුමාරි කුමාරි මං පියල්….’

කුමාරි කලබලයෙන් නැඟිට ගත්තාය. දොර ළඟට යනවාත් ඇයට මතක නැත. දොර විවර කර පිටතට එබුණේ මුහුණේ සිනා පුරවාගෙනමය. දොරකඩ සිටගෙන සිටි පියල් සිනාසීගෙනම නිවෙසට ඇතුළුවී අත රැඳි කුඩා බෑගය මේසය මත තබා ඇය දෙස බැලුවේය.

‘හදිසියෙ ආවේ. ඉක්මනට ආයෙ යන්නත් ඕනෙ. හෙටම හරි දරුවගෙ සැත්කම කරන්න සල්ලි බඳින්න ඔයාට පුළුවන් නේද?
පියල් මේසය මත ඇති බෑගය දෙස බලමින් අසයි. කිසිවක් සිතාගත නොහැකිව සිටි කුමාරි හිස සලා ඊට කැමැත්ත පළකර මුළුතැන්ගෙට ගියේ තේ කෝප්පයක් සකසන අදහසිනි.

‘තේ එපා, අපි නිදාගමු. මං කඩේකින් කාලා ආවේ. අපි හෙට කතා කරමුකෝ. සමහර විට පාන්දරම මට යන්න වෙයි. එහෙම වුණොත් ඔයා හෙටම සල්ල බඳින්න. මෙතන ලක්ෂ තිහක්ම තියෙනවා…’

ඔහු වෙහෙසකර තත්ත්වයක සිටිනවා යැයි සිතූ ඇයද ඊට එකඟව නින්දට වැටුණාය. කුමාරි සරමක් දුන්නද එයවත් හැඳ නොගත් පියල් හැඳ සිටි ඇඳුම පිටින්ම නින්දට වැටුණේය.

පසුදා පාන්දර කුමාරි අවදිවී බලද්දී පියල් සිටියේ නැත. ඔහු ගෙන ආ මුදල් බෑගය පමණක් මේසය මත තිබිණි. දරුවා ගැන සිතා මුදල් රැගෙන ආවාට ඔහුට අනියම් සම්බන්ධයක් ඇතැයි ඇයට මුල් වරට එදා සිතිණි. එනිසා ඔහු ආපසු නොකියාම යන්නට ඇතැයි සිතා ඇය හිත හදාගත්තාය.

පසුදාම ගොස් රෝහලට මුදල් බැඳ සැත්කමට දින වෙන්කර ගත් කුමාරි, අදාළ දිනයේ සිය දරුවා රෝහලට රැගෙන ගොස් සැත්කම කරවාගෙන දින කිහිපයක් රෝහලේ නතරව සිටියාය. ඒ කාලය අතර තුර දෙවතාවක්ම දරුවා පවසා සිටියේ සිය පියා තමා බලන්නට පැමිණි බවයි. එහෙත් ඒ දෙවතාවේම තමාට ඔහු හමු නොවීම ගැන ඇය පුදුම වූවාය.

සතියකට පමණ පසු කුමාරි දරුවාත් රැගෙන නිවෙසට ආවේ දරුවා සුවවීමේ සතුටිනි. ඉදිරිපස දොර හරින විටම ඇයට දොර යටින් දමාගිය ලිපියක් නෙත ගැටිණි. දරුවා කාමරයට ඇරලූ ඇය කලබලයෙන් ලිපිය කඩා බැලුවාය. එහි සටහන්ව තිබූ දේ දැක ඇගේ හිස කරකැවෙන්නට පටන් ගත්තාය.

‘එයා මැරිලා… මාස හතරක්ලු… දෙයියනේ එතකොට ඒකයි එයා කතා කරලා නැත්තේ. ඒත්… නෑ… නෑ… ඒක වෙන්න බැහැ. එතකොට එදා ආවේ කවුද…? එයා මැරිලා නෑ… එයා ගෙනාපු සල්ලිවලින් දරුවවත් සනීප කරගත්තනෙ…’

ඇගේ මනස අවුල් වූ ස්වභාවයක් දිගින් දිගටම දැකගන්නට ලැබීම නිසා අසල්වැසියන් ඇගේ මවුපියන්ට දන්වා යවා ඇයව ඔවුන්ට භාර කළේය. පියල් සමග රහසේ පැන ඒම ගැන විරසකව සිටියදී ඔවුහු ඇයව භාරගන්නට පසුබට නොවීය. පියල්ගේ දේහය ගෙන්වා ගෙන අවසන් කටයුතුද ඇගේ මවුපියන්ගේ මැදිහත් වීමෙන් සිදුකෙරිණි.

අවසානයේ කුමාරිව බණ්ඩා කපු මහතා වෙත කැඳවාගෙන ආවේ ඇයට සෙත් ශාන්තියක් කරගන්නා අදහසිනි. කරුණු කාරණා විමසා බලා ඇගේ තත්ත්වය පැහැදිලි කරගත් කපු මහතා ඇයව සුවපත් කළේ අසාමාන්‍ය සිදුවීම් සිදුවිය හැකි බවට පැහැදිලි කර දෙමිනි.

සත්‍ය කතාවකි. නම් ගම් මනඃකල්පිතයි.
සැකසුම : කුමාර රත්නායක

No comments:

Powered by Blogger.