සුමනෝ මගේ බඩ පපුව දනෝ...

ඔය මාලෙත් මං හොරකම් කරපු එකක් “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” චේතනාව කර්‍මය යැයි වදාරමි යි දහමේ සඳහන් වේ. අකුසල් සිතක් හෝ කුසල් සිතක් පහළ වී, එය කර්මයක් බවට පරිවර්තනය වෙයි. එය විපාක සිතක් බවට පත්ව චිත්තා සන්තානයේ ගැඹුරෙහි තැන්පත්ව පසු පසින් එයි. විපාක දෙයි.

සිල්වා නුගේගොඩ පදිංචි තිස් පස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිය යමුනාය. පුතා තවමත් පාසල් යයි. ඔවුන් ගේ නිවසේ රාත්‍රියට සද්දබද්ද ඇහෙන්නට විය. පවුලේ අය නින්දෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වෙන්නට විය. ගෙදර උයන කෑම ඉතා ඉක්මනින් නරක් වෙයි. බත් හැළිය නිවුණු හැටියේ කූඹි වසා ගනී. ඊට අමතරව සිල්වා ‍ගේ ඇඟ කසන්නට විය. එයට වෛද්‍ය ප්‍රතිකාර ගනු ලැබුවද සුවයක් නොවුණි. ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත සැමියා කැඳවාගෙන ගොස් ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තම පවුලේ අය පත්ව ඇති තත්ත්වය කීවාය. ගවේෂකවරයා සිල්වා වෙත ශක්ති කිරණ එල්ල කරන විට සිල්වා ප්‍රලය වී අඬන්නට වූයේය. ඇඬිල්ලම මිසක වෙනත් කිසිවක් මතු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් ලැබුණි. බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සිල්වා දිෂ්ටි ගැන්වී ප්‍රලය වූයේය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ කතා කළේය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම සිඩ්නි” යි භූතාත්මය කීවේය.

“කවුද මේ සිඩ්නි කියන්නේ?”

“මේ පුතාගෙ තාත්තා.”

“ඇයි තාත්තා කෙනෙක් වෙලත් මේ පුතාට හිරිහැර කරදර කරන්නේ?” භූතාත්මය අඬන්නට වූයේය.

“අනේ මහත්තයා මම අසරණයි. මට කියන්න හුඟක් දේවල් තියෙනවා.”

“මොනවද ඔය තරම් කියන්න තියෙන දේවල්. කියන්න බලන්නැයි ගවේෂකවරයා කීවේය.

“මහත්තයා මම ලොකු වරදක් කළා. ඒ ගැන පසුතැවෙනවා.”

“මොකක්ද කරපු වරද?”

“මහත්තයා මම රස්සාව කළේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක. ගබඩා භාරකාරයෙක් විදිහට. එතැන ප්‍රධාන ගබඩාවේ. එතැන හොඳට හොරකම් කරන්න පුළුවන් තැනක්. සිමෙන්ති ලොරි ගණන් ගෙනෙන තැනක්. වැලි, ගඩොල්, යකඩත් එහෙමයි. ගබඩාව ඇතුළෙත් පිටතත් දෙකේ ම බඩු. මම මගේ ගෙවල් දොරවල් හැදුවේ දරුවන්ට වියදම් කළේ එතැනින් වැරදි විදිහට හම්බ කරලා. මම අවුරුදු විස්සක් එතැන රස්සාව කළා. දවසක් රෑ වැඩ කරද්දි පපුව හිර වෙලා මැරුණා. අනිත් අය දන්නේ උදේ. මැරෙන වෙලාවෙ මට හිත හදාගන්න බැරි වුණා.” යි නැවතත් අඬන්නට විය.

තවත් දින හතක් බෝධි පූජා පවත්වන ලෙස ද ඒ බෝධි පූජාවට සිල්වා ගේ මව ද සහභාගි කැර ගන්නා ලෙස ද උපදෙස් දුන්නෝය. සතියකට පසු අම්මාත්. බිරියත්, සිල්වාත් නැවත පැමිණියහ. එදින ද සිල්වා ප්‍රලය වූයේය.

“අනේ මගේ සුමනා” යි සිඩ්නිගේ බිරිය බදාගෙන භූතාත්මය අඬන්නට වූයේය.

“ඇයි මේ අඬන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.

“අනේ මහත්තයා මේ සුමනාගේ කරේ තියෙන චේන් එකත් ඒ වගේ වැඩ බිමක තිබුණු යකඩ පළංචි වගයක් හොරෙන් විකුණලා ගත්ත සල්ලිවලින් අරගෙන දීපු එකක්. අය්යෝ... මගෙ බඩ පපුව දනවා. බඩ ඇතුළෙන් මහා ගින්නක් ඇවිළෙනවා” යි නැවතත් අඬන්නට විය.

“ඕක තමයි කර්ම විපාකය කියන්නේ. කරන කලට පව් මීරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ, කියන්නේ ඕකට තමයි.

“අනේ මහත්තයෝ බඩේ ඉඳලා උගුර දක්වා ම දැවිල්ලයි. ආහාරවලට හරිම ආසයි. උග්‍ර බඩගින්නක් තියෙනවා. කුසගින්න උපරිමයි. කෑම කන්න හිතුණු බඩයි පපුවයි ගිනි ගන්නවා. අනේ මහත්තයා මට මේ දුකෙන් මිදෙන්න මගක් කියා දෙන්න.”

“හොඳයි දැන් වෙච්ච වැරදි ගැන පසුතැවෙන්න එපා. සංසා‍රේ යළි උපදනා තාක් කල් ඒ වගේ වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. අධිෂ්ඨාන කරන්න. සිඩ්නි මැරිලා ඉපදුණා කියන්නේ ඇඳුමක් මාරු කළා වගේ දෙයක්. මේ නාම - රූප පරම්පරාව ඉපද ඉපද මැරෙනවා. මැරි මැරි උපදිනවා. සිඩ්නි මැරුණා. දැන් ඉන්නේ වෙන කෙනෙක්. සිඩ්නි කියන නාමය දැන් අතහරින්න. මනසින් සිඩ්නි කියන නාමය අතහරින්න.”

“අනේ මහත්තයා මම සිඩ්නිනෙ.”

“සිඩ්නි මළා. එදා රෑ ගබඩාවෙදි මළා කියලා තමුන්මනෙ කිව්වේ. ඉතින් සිඩ්නි කෙනෙක් කොයින්ද?” සිඩ්නි කියන්නේ මේ සංසාර ගමනෙ එක් භූමිකාවක් විතරයි. සිඩ්නි මැරුණා. සිඩ්නි මළාය කියලා හිතාගෙන මනසින් ඒ සිතුවිල්ල අතහරින්න. මේ ඔක්කොම අතහැරලා ඉවත් වෙලා යන්න.”

“අපොයි මහත්තයා මේවා දාලා යන්නේ කොහොමද?”

“එහෙම නම් තව දුරටත් දුක් විඳ විඳ ඉන්න. අපට කමක් නෑ.”

“අය්යෝ බඩ පපුව දනවා. මහත්තයා මෙන්න ආයෙත් කුස තුළින් ගින්නක් ඇවිළෙනවා. උගුර ළගට ම දැවෙනවා. සිඩ්නි කියන නමෙන් ඉවත් වෙන්න බෑ මහත්තයා.”

“ඒ ඔබේ චිත්ත සන්තානයේ මම ය මගේ ය කියන ගතිය තියෙන නිසා. හොරකම් කළේ මමය. ඒ හොරකම් වලින් ගන්න දේවල් මගේ ය. බිරිය මගේ ය. දරුවො මගේය කියලා මෝහයෙන් අන්ධවෙලා හිතාගෙන ඉන්නවා. ඔබ දැන් ඔබේ බිරියට, ඔබේ දරුවන්ට අඬ ගහන්න ඔබ සිටින තැනට එන්න කියලා. ඒ අය එන්නේ නෑ. ඒ අය දන්නවා සැමියා මැරිලා. තාත්තා මැරිලා කියලා. දැන් ඔය බදා ගෙන ඉන්න දේවල් අතහරින්න.”

“ඒ කොහොමද මහත්තයා අතහරින්නේ?”

“ඔය අතීතය ගැන හිත හිතා ඉන්න වෙලාවෙ යහපත් අරමුණක් අරගෙන හිතන්න. බුද්ධ රූපයක් හිතින් මවා ගන්න. බුදු ගුණ සිහි කරන්න. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. ඒ බුදුගුණ බලයෙන් මම සුවපත් වෙම්වා. මම සුවපත් වෙම්වා. මම සුවපත් වෙම්වා කියලා දිගින් දිගට ම හිතන්න. අතීතයේ සිතුවිලි මතු වෙන්න! ඉඩ නොදී බුදු පිළිමය දිහා බලාගෙන දිගටම හිතන්න. ඒ වෙලාවට බඩ පපුවේ ගින්දර මතුවෙන්නේ නෑ. හිතට සිසිලක් මතුවේවි.”

“ඉතින් එහෙම පිළිමයක් කොහේද තියෙන්නේ?”

“මම ආයෙත් දවස් දහහතරක් මේ අයට බෝධි පූජා නියම කරනවා. ඔබත් ඒ අය සමඟ යන්න. ඒ අය ගාථා කියන කොට ඔබත් කියන්න. ඔබට සතුටක් දැනේවි. ඒ සතුට තුළම ඉන්න. ඊට පස්සෙ බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන බුදු ගුණ අනන්තයි කියන භාවනාව දිගට ම කරන්න. ගෙදර එන්න එපා. දවස් දාහතරම එතැන ඉඳගෙන ඒකම දිගට ම කරන්න. මිනිස්සු බෝධි පූජාවලට ආවාම ඒවටත් සහභාගි වෙන්න. ඒ අය ගියා ම දිගටම පිළිම වහන්සේ දිහා බලාගෙන අර ටිකම දිගින් දිගට ම කියන්න. ඊට පස්සේ ගෙදර සාංඝික දානයක් දීලා ඔබට පින් දෙන්න නියම කරනවා. ඒපින් අරගෙන අනුරාධපුරයට යන්න. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ ඉඳගෙන පුද පූජා වලට අත හිත දෙන්නැ” යි කියා සිල්වා පියවි සිහියට ගත්තේය. පියාණන්ගේ යහපත ගැනත් සලකා තවත් බෝධි පූජා දහ හතරක් පවත්වා නිවසේ දහ නමකට සාඝික දානයක් පිරිනමන ලෙසත් පියාගේ නම සඳහන් කොට පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසත් උපදෙස් දුන්නේය. බෝධි පූජාත්, සාංඝික දානයත් අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. දැන් නිවසේ පැවති සද්ද බද්ද, හිතෙන් බය වීම්, කෑම නරක්වීම් සියල්ල නතර වී ඇති බව ගවේෂකවරයා සමඟ පැවසූහ. පලතුරු වට්ටියක් ගෙන්වා සිඩ්නිගේ ප්‍රාණකාරයා එයට සම්බන්ධකොට අනුරාධපුරයට යැවීය.

මතුගම මහින්ද විජේතිලක

උපුටා ගැනිම සිළුමිණ

No comments:

Powered by Blogger.