"ඔලුව නෑ...ඔලුව නෑ...ඔලුව නෑ යකෝ..." - හිස නැති අවතාරය
රත්මල්ගම ගම්මානයට අන්ධකාරය උදා වී ගත වූයේ හෝරා කිහිපයක් පමණි.පාලු ගුප්ත නිහැඬියාවක් ගම්මානය පුරාම පැතිර ගියේ අන් කවරදාකවත් නොවූ විරූ අයුරිනි.
මේ මොහොතේ ගම්මානයේ දැවැන්ත තුරුලතා මඬුල්ල මදින් වැටී තිබූ ගුරු පාරේ ඉදිරියට ඇඳුණේ ගමෙහි විසූ රෝහිත නම් වූ පුද්ගලයෙකි.ඔහු මඳක් සුරා පානයෙන් මත් වී, වැනි වැනි තම නිවස වෙත යමින් සිටියේය.
අඩ සඳ පායා තිබූ බැවින් අවට එතරම් අන්ධකාරයක් නොවීය.කෙස් නමුත් සිය විදුලි පන්දම ඒ මේ අත හරවමින් රෝහිත ඉදිරියට ඇඳුණේය.
මාවතේ බෝක්කු පාලම දෙසින් කිසියම් ආලෝකයක් දිස් වෙනු නුදුරේදීම රෝහිතට පෙනී ගියේය.බෝක්කු පාලම අසලට ලං වූ පසු එය ලංතෑරුම් ආලෝකයක් බැව් ඔහුට පෙනිණි.
බෝක්කු පාලම මත සිටි කිසිවෙක් ලංතෑරුමක් සුරතින් ඔසවාගෙන සිටියේය.එම ආලෝකයෙන් ඔහු කාලවර්ණ දිගු ලෝගුවක් හැඳ සිටි බැව් රෝහිතට පෙනිණි.
රෝහිත බීමතින් සිටියත් තමා ඉදිරිපිට සිටින පුද්ගලයාගේ මුහුණ දෙස ඍජුවම බැලුවේය.එවිට රෝහිතට ඇති වූයේ වචනයෙන් විස්තර කල නොහැකි වූ අසීමිත භීතියකි.රෝහිත ඉදිරිපිට සිටි පුද්ගලයාගේ හිසක් ඔහුට නොපෙනුණේය.හිසක් නොමැති වුවත් එම පුද්ගලයා රෝහිත දෙසට සමීප වන්නට වූවේය.
තමා ඉදිරිපිට සිටින්නේ අමනුෂ්‍යයෙකු බැව් ඔහුට වටහා ගැනීමට එතරම් වේලාවක් ගත නොවීය.රෝහිතගේ වෙරි සිදී ගියේ එක් ක්ෂණයකිනි.මර හඬ තැලූ ඔහු මාවතේ ඉදිරියට දිව ගියේ උමතු වූවෙකු විලසිනි.
එහෙත් රෝහිතට එසේ දිව යෑමට හැකි වූයේ සුළු මොහොතකට පමණි.පය පැකිලී ඔහු මිහිමත ඇද වැටුණේය.මෙසේ ඇද වැටුණු රෝහිතගේ හිස මිහිමත තදින් ගැටීම හේතුවෙන් ඔහු සිහි විසඥව ගියේය.
***
රාත්‍රි දහය පසු වුවත් රෝහිත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳ වූ සුමනා කලබල වී සිටියාය.වෙනදාට ද රෝහිත කඩමණ්ඩියට ගොස් රාත්‍රි දහයට පෙර නිවසට පැමිණෙන බැව් ඇය දැන සිටියාය.එබැවින් ඇය අසල්වැසියෙක් වූ සෙනරත්ගේ නිවස වෙතට ගියේ රෝහිතගේ නොපැමිණීම පිළිබඳව සැල කිරීම සඳහාය.
"සෙනරත් මල්ලියේ...රෝහිත තාම ගෙදර ආවේ නෑ...කවදාවත් මේ තරම් පරක්කු වෙලා නෑ මේ මනුස්සයා...අනේ ටිකක් විපරම් කරලා බලාපන්කෝ..."
සුමනා කීවේ සෙනරත්ගේ නිවසේ ඉස්තෝප්පුවේ සිටගෙනය.
"හොඳයි සුමනා අක්කේ...මං ගිහින් බලන්නම් අයියට මොකද වෙලා තියෙන්නේ කියලා..."
සෙනරත් කීවේ කමීසයක් හැඳ විදුලි පන්දම සුරතට ගනිමිනි.
ඔහු නොපෙනී යන තුරු සුමනා බලා සිටියේ කඳුලු පිරි දෙනෙතිනි.
ගුරු පාරට පිළිපන් සෙනරත් විදුලි පන්දම ඉදිරියට එල්ල කරමින්,විමසුම් සහගත බැල්මෙන් ඉදිරියට ඇඳුණේය.මෙසේ ඇවිද ගිය සෙනරත් හට මිහිමත ඇද වැටී සිටි රෝහිත හමු වූවේය.
ඒ වන විටත් රෝහිත හට පියවි සිහිය ලැබෙමින් තිබුණේය.
"රෝහිත අයියේ උඹට මොකද උනේ..?"
රෝහිත නෙත ගැටුණු වහාම සෙනරත් එසේ අසමින් ඔහු වෙත දිව ගියේය.
වැටී සිටි රෝහිත වෙත සමීප වූ සෙනරත් හට රෝහිතගේ නලලින් රුධිරය ගලායමින් තිබෙණු දක්නට ලැබිණි.
"අයියේ උඹ බීලා වැටුණා ද..? අරෙහේ සුමනා අක්කා හොඳටම කලබල වෙලා උඹව හොයනවා..."
සෙනරත් කීවේ රෝහිතගේ මුහුණට එබෙමිනි.
"ඔලුව නෑ...ඔලුව නෑ..."
රෝහිත එසේ තොල මතුලේය.එම වදන් ඇසූ සෙනරත් වික්ෂිප්ත වූවේය.
"මොකක්ද බන් ඒ හරුපේ තේරුම..?උඹට හොඳටම වැඩි වෙලා වගේ..?වරෙන් ගෙදර යන්න..."
සෙනරත් කීවේ රෝහිතගේ සුරතින් අදිමිනි.
"ඔලුව නෑ...ඔලුව නෑ...ඔලුව නෑ යකෝ..."
රෝහිත උමතුවෙන් මෙන් කෑ ගැසුවේය.
රෝහිත කුමකට හෝ බිය වී ඇති බැව් සෙනරත් හට සිතිණි.ඔහු විදුලි පන්දම ඒ මේ අතට එල්ල කරමින් අවට සෝදිසි කලේ සිතට නැඟුණු සැක සංකාව හේතුවෙනි.එහෙත් කිසිවක් දැකගැනීමට සෙනරත් හට නොහැකි විය.
රෝහිත දිගින් දිගටම හිසක් නොමැති බැව් පවසමින් ලතෝනි නැඟුවේය.එම වදන් කන වැකුණු සෙනරත්ගේ සිතට ද නුහුරු භීතියක් ගලා ආවේ නිරායාසයෙනි.හැකි ඉක්මනින් රෝහිත රැගෙන ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ වෙත යෑමට ඔහු සිතා ගත්තේය.
රෝහිතව ඉතා අපහසුවෙන් නැගිටුවා ගත් සෙනරත් ඔහුව වත්තම් කර ගනිමින් ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේගේ නිවස වෙත ගියේය.
***
ගුරුකම මෙන්ම වෙදකමද හොඳ හැටි දැන සිටි ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ රෝහිතගේ තුවාල වී තිබූ නලලට බෙහෙත් දමා වෙලුම් පටියකින් බැඳ දැමුවේය.ඉන්පසු තෙල් ස්වල්පයක් ගෙන මතුරා රෝහිතගේ හිසේ ගැල්වීය.
රෝහිත ඒ මොහොත වන විටත් දිගින් දිගටම හිසක් නොමැති බැව් පවසමින් ලතෝනි නැගුවේය.අවසානයේ නූලක් මතුරා එය රෝහිතගේ ගෙලෙහි පැළඳ වූ පසු ඔහු සංසුන් වූවේය.
"මොකක්ද ගුරුන්නාන්සේ මාමේ රෝහිත කියන්නේ ඔලුවක් නෑ...ඔලුවක් නෑ කියලා..?"
සෙනරත් ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේගෙන් ඇසුවේ ඔහුට ඇති වූ කුහුල හේතුවෙනි.
"ඊට කලින් කියමු බලන්න සෙනරත් ළමයෝ රෝහිත කොහේද වැටිලා හිටියේ කියලා..?"
ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ ඇසුවේය.
"ගුරු පාරේ බෝක්කු පාලම කිට්ටුව..."
එය ඇසූ ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ යමක් වැටහුණු කලෙක මෙන් හිස ඉහල පහල සැලුවේය.
"සෙනරත් ළමයෝ වෙලා තියෙන්නේ මෙන්න මේකයි.මේ සිද්ධිය සිද්ධ උනේ බොහෝම ඈතක.ඔය ළමයි ඉපදිලාවත් නෑ ඒ වෙද්දී..."
ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ කතාවකට මුල පුරමින් ඉස්තෝප්පුවේ තිබූ වේවැල් පුටුවේ දිගැදුණේය.
"ඔය ගුරු පාරේ බෝක්කු පාලම උඩ කාගෙදෝ මිනියක් තිබිලා ගමේ උන්ට හම්බ උනා.ඒ මනුස්සයාගේ ඔලුව තිබුණේ නෑ...ඇඟ විතරයි.මැරුණු කෙනා මේ ගමේ කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කර ගන්න පුලුවන් උනා.ඒත් මැරුණේ කවුද..? කාගේ කවුද..? මැරුවේ කවුද..? කියලා අදටත් පොලීසියට හොයා ගන්න බැරි උනා.ඔහොම සුමානයක් විතර යද්දී මහ රෑ ගමේ වැඩිහිටියෙක් ඔය ගුරු පාරේ එද්දී බෝක්කු පාලම උඩ ලංතෑරුමක් අතින් ගත්තු ඔලුව නැති අවතාරයක් දැකලා තියෙනවා...
ඒ මනුස්සයා හොඳටම බය වෙලා.ඔහොම කිහිප දෙනෙක්ම ඔය ඔලුව නැති අවතාරය බෝක්කු පාලම උඩ ඉන්නවා දැකලා තියෙනවා.ඒත් ඒ අවතාරයෙන් කාටවත් කරදරයක් සිද්ධ උනේ නෑ.ගම්මු නම් කියන්නේ ඔය අවතාරය අර මැරුණු මනුස්සයාගේ කියලා.ඒ මනුස්සයා අවතාරයක් වෙලා ලංතෑරුමකුත් අතින් අරන් තමන්ගේ නැති වෙච්ච ඔලුව හොය හොයා යනවා කියලා කට කතා පැතිරුනා...
බොහෝ දෙනා රෑට ඔය ගුරු පාරේ ගමන් බිමන් යෑම පවා නතර කරා.කොහොම උනත් ඔය අවතාරය ගැන කට කතාව එහෙම්ම නැති වෙලා ගියා.මට හිතෙන්නේ ආයේ ඒ අවතාරය ඇවිත්.තමන්ගේ නැති උන ඔලුව හොය හොයා යනවා ඇති.අපි ඒකට බාධා කරන්න හොඳ නෑ ළමයෝ.ඔහොම ඉදලා ඔය අවතාරය ආයේ යන්න යාවි..."
ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ සිය දීර්ඝ කතාව අවසන් කලේය.
සමාප්තයි.
No comments: