සරදියෙල්ගේ අවතාරය අවිස්සාවේල්ලට ඇවිත්

බූතයෝ කියල පිරිසක් ඉන්නවා කියන අයට , එහෙම පිරිසක් නැහැ කියල අදහසක් මේ පොස්ට් එක කියවපුවම තේරෙයි , මේ කියන්න යන්නේ එක සිදු වීමක තත්වයක් පැහැදිලි කිරීමක් මිස , වෙන කිසිවක් නොවේ ....
බූතයෝ ඉන්නවා කියන යටත් එහෙම නැහැ කියන යටත් තමන්ගේ මතය එලෙසම පවත්වා ගැනීමට කිසිදු බලපෑමක් කිරීම මෙම පොස්ට් එක
මගින් බලාපොරොත්තු නොවේ ...
( උපුටා ගැනීමකි , සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබ සතුයි ....)
අදහාගත නොහැකි අද්භූත ක්‍රියා රැසක් සිදුවන බවට ඇතැමුන් විශ්වාස කරන නිවෙසක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ තිබෙන බවට ලැබුණු ආරංචියක් අනුව පසුගිය සඳුදා මහ රෑ අපි ඒ නිවෙස සොයාගෙන ගියෙමු.
අපිත් එක්ක ගිය මේ ගමනට මෙවැනි අත්භූත සිද්ධීන් ගැන ගවේෂණය කිරීමේ නිරතව සිටින විද්වතකුවන මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාද සහභාගි විය.

දවල් රෑ කියා වෙනසක් නැතිව නිවෙසට ගල් ගසන බවත්, බත් මුට්ටිවලට වැලි දමන බවත් ගෙදර තිබෙන එළවළු පමණක් නොව ලූනුගෙඩිය සල්ලි පවා එළියට විසිකරන බවත් නිවෙස් හිමියා හා ඔහුගේ බිරිය අප සමඟ කියා සිටියේ මේනිසා තමන් ඇතුළු පවුලේ අය මාසයක පමණ කාලයක් තිස්සේ සිට මහත්සේ පීඩා විඳිමින් සිටින බව පවසමිනි.
ගමේ සමහරුන්ද මේ භූතයා නිසා බියට පත්ව සිටින බව කියති.

මේ අද්භූත සිදුවීම් බැලීමට ඒ නිවෙසට යන සමහරුන් පවා ගල් ප්‍රහාරවලට ලක්වූ අවස්ථා තිබෙන බව එහි ගිය අපට දැන ගැනීමට ලැබිණි. නිවසේ තොවිලයක් කිරීමට මාතර සිට පැමිණි කට්ටඬියෙක් නිවෙස් හිමියා සමඟ පවසා ඇත්තේ මීට අවුරුදු 157කට පමණ ඉහතදී මියගිය අයකුගේ භූතාත්මයක් විසින් මෙවැනි දේවල් කරන ලද බවය.
ගෙදර අය හොඳටම බයවී ඇත්තේ කට්ටඬියා කී මේ කතාව අසාය.
“මාසයක විතර කාලයක ඉඳලා තමා දොස්තර මහත්තයෝ මේ කරදරේ පටන්ගත්තේ. එදා ඉඳන් අදටත් රෑට අපිට නින්දක් නැහැ. දවල් රෑ කියා වෙනසක් නැහැ. වහලයට උන්නු ගමන් ගල් කැට වැටෙනවා. කොහෙන් ඒ ගල් කැට වැටෙනවද කියා අපිට හිතා ගන්න බැහැ. මේ සිද්ධිය ආරංචිවෙලා ගෙදරට බලන්න එන අහල පහළ උදවිය ළඟටත් එක පාරටම ගල් වැටෙන අවස්ථා තිබෙනවා. ඒ ගොල්ලොත් එතකොට බය වෙනවා. මේ භූත කරදරේ හින්දා මට රස්සාවට යන්න විදිහකුත් නැහැ.” යැයි ගෙදර සිදුවන බව කියන අද්භූත සිද්ධීන් ගැන එකිනෙක අපිත් එක්ක කියන්නට පටන් ගත්තේය.
ගෙදර තවත් අද්භූත දේවල් සිදුවෙනවා කිව්වනේ. ඒ විස්තරත් අපිත් එක්ක කියන්න යැයි වෛද්‍යදවරයා කීවිට නිවෙස් හිමියා ඒ විස්තරද කියන්නට විය.

බත් උයලා තියන මුට්ටියට වැලිදාලා තියෙනවා. කුස්සියේ තියන එළවළු හා ලූනු ගෙඩිය මිරිස්කරල් ටික පවා උන්නු ගමන් එළියට විසිවෙනවා. මගේ ඩ්‍රයිවින් ලයිසන් එක සල්ලි කොළ පවා මේ විදිහට එළියට විසිවෙලා තිබිලා පස්සෙ හොයා ගන්නවා. සමහර දවස්වලට බත් හැළියේ පැත්තක තියෙන බත් ඉදිලා. අනෙක් පැත්තේ තියෙන බත් ඉදිලා නැහැ. මේවා කොහොම වෙනවාද කියා අපට හිතාගන්න බැහැ. අපි බලාගෙන ඉද්දි ලූනු ගෙඩි මිරිස් කරල් උඩින් පාවෙලා ගිහින් බිම වැටෙනවා. ගෝවා ගෙඩි ලීක්ස් ගස් වගේ එළවළු වර්ග දෙහි ගෙඩි පවා මේ විදිහට එකපාරටම කුස්සියේ තිබිලා එළියට විසි වෙනවා.
මගේ යහළුවෝ කට්ටියකට මේ අද්භූත දේවල් ගැන දැන ගන්න ලැබිලා. පසුගිය දවසක අපේ ගෙදර ආවා. රෑ 12.00 විතර පහුවෙනකම් හිටියා. ඒත් එදා වෙනදාට සිද්ධවෙන කිසිම දෙයක් වුණේ නැහැ.
“මචාං උඹලා බොරුවක් කරන්නේ. කෝ ඉතිං භූතයෝ කරනවා කියාපු කිසිම දෙයක් අපි දැක්කේ නැහැනේ කියා බැණ වදිමින් මහ පාරට යන්න අපේ ගෙදර ඉඳලා පඩි පෙළ දිගේ කන්ද පහළට බැහැගෙන ගියා. එක පාරටම ඒ බැහැ බැහැ ගිය මගේ යහළුවෝ ඉන්න පැත්තට ගල් කැට කිහිපයක් වැටිලා. ඒ විතරක් නෙමේ මහත්තයෝ ඒ ගොල්ලෝ ආපු එක ත්‍රීවිල් එකක වහලයේ උඩ තරමක ලොකු ගලක් පතිත වෙලා තිබුණා. අපේ ගෙදර ආපු මගේ මිත්‍රයෝ හොඳටම බයවෙලා තමා යන්න ගියේ. මේ සිද්ධියෙන් පස්සෙ කිසිම කෙනෙක් ගල් ගහන්නේ නැහැනේ කියා බනින්න යන්නේ නැහැ.

ගෙදරට ගල් ගහන්න පටන් ගත්තු මුල් දවස්වලම ඉවසාගෙන ඉන්න බැරිම තැන මමත් ගහපිය යකෝ ගල් කියා බැන්නා. එහෙම බැනලා ටික වෙලාවයි ගියේ මෙන්න වහලයට එක දිගට ගල් වැටෙන්න පටන් ගත්තා. මම බැගෑපත් වුණාට පස්සෙ තමා ගල් වහලයට වැටෙන එක නතර වුණේ. අදටත් මම ගල් වැටෙන්නේ නැහැනේ කියා කිව්වාම ගල් වැටෙන්න පටන් ගන්නවා.” යැයි නිවෙසේ අයිතිකරු කීය.
මේ කතාව අසා අපිත් සමඟ සිටි ඔහුගේ පවුලේ සාමාජිකයින්ද කිසියම් බියකට පත්ව ඇති බවත් තැති ගැන්මකට ලක්වූ බවත් දැන ගැන්මට ලැබුණේ ඔවුන් කළ කතා බහෙන්ය.
වහලය මතට ගල් වැටෙන්න කියා භූතයාගෙන් ඉල්ලීමක් කරන ලෙස වෛද්‍යවරයා ද මාත් අපේ ඡායාරූප ශිල්පියාත් නිවසේ අයිතිකරුගෙන් ඉල්ලීමක් කළේ එහෙම දෙයක් සත්‍යවශයෙන්ම සිදුවෙත්ද කියා ඇස්පනාපිටම දැක බලා ගැනීමට අපේක්ෂාවෙනි.

අපේ ඉල්ලීම පිළිගත් නිවෙසේ අයිතිකරු මේ මහත්වරු කට්ටියක් ඇවිත් ඉන්නවා භූත බලවේගයේ ඇත්ත නැත්ත බලාගන්නයි. ඒ මහත්වරු ඇවිත් ඉන්නේ. ඒ හින්දා දැන් ගල් ගසා පෙන්වන්න යැයි කියා ඔහු කිහිපවරක්ම ඉල්ලා සිටියේ අහසට දෑත්ද දිගු කරමින්ය.
අප පමණක් නොව අපත් සමඟ සිටි නිවෙස් හිමියාගේ සමීපතමයින් පිරිසද දෑස් අයා බලාගෙන හිටියේ දැන් ගල් වැටෙයි යැයි කියා නිවෙසේ වහලය දෙස බලාගෙනය.
ඒත් ගල් කැටයක් තියා වැලි කැටයක්වත් වැටෙන හඬ අප කිසිම කෙනෙකුට නම් ඇසුනේ හෝ දක්නට ලැබුණේ නම් නැති බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නෙමු.
ගල්ගසා පෙන්වන ලෙස ඉල්ලමින් නිවෙස් හිමියා ගේ වටේ දෙතුන්වරක් ගියත් කිසිම වැඩක් නම් වුණේ නැත.
හරිම පුදුම වැඩක්නේ අද සිද්ධ වුණේ වෙනදාට මෙච්චර කිය කියා ඉන්න ඕනෑ නැහැනේ. මගේ කටෙන් වචනය පිටවුණු ගමන් ගල් වහලයට වැටෙන්න පටන් ගන්නවා. පිට කට්ටියක් ආපු නිසා භූතයා බයවෙලාද දන්නේ නැහැ. යැයි කියමින් නිවෙස් හිමියාද සිනා සුනේය.
ඔරලෝසුවේ වේලාව බැලුවෙමි. එතකොට වේලාව මධ්‍යම රාත්‍රි 12.00 පසුවී ගතවී තිබුණේ විනාඩි දහයක පමණ කාලයකි.

මහත්තයෝ සමහර දවස්වලට ගේ ළඟට වවුලෙක් දෙන්නෙක් එනවා. උන් ගේ ළඟට ඇවිත් ගියාට පස්සෙත් ගල්වැදුණු අවස්ථා පසුගිය දවස්වල තිබුණා. යනුවෙන්ද නිවෙසේ අයිතිකරු අපිත් එක්ක කියා සිටියේය.
අප නිවෙසට පැමිණි පසු අවස්ථා ගණනාවකදීම නිවෙස වටා වවුලන් දෙතුන් දෙනෙක් ඉගිල ගියත් ගල් වැටීමක් නම් සිද්ධ වුණේ නැත.
ඒ බවට අපිත් එක්ක සිටි ඒ පළාතේ පිහිටි ප්‍රාදේශීය සභාවක රාජකාරි කර විශ්‍රාම ලබා සිටි නිලධාරි මහත්තයා ඇතුළු අසල්වාසීන් පිරිසද සාක්කි දරනවා ඇත.
ගෙවත්තේ රඹුටන් ගස් කිහිපයක් තිබෙන අතර වවුලන් ඒවායේ ටික වේලාවක් වසා ඉඳ ආපසු ඉගිල යන අන්දම දුටු මම ඒ ගැන නිවසේ අයිතිකරුගේ අවධානයට යොමු කළෙමි.
අද නම් පුදුම වැඩක් සිද්ධ වුණේ වවුලෝ ගේ ළඟට ඇවිත් ගියත් ගෙදර වහලයට ගල් වැටුණේ නැහැනේ කියා නිවෙස් හිමිකරු කිව්වේ ඒ ගැනද විමතිය පළ කරමිනි.

මහත්තයලා ගෙදරට එන්න පැය 1/2 කට විතර කලිනුත් වහලය උඩට ගල් වැටුණා. ඒ විතරක් නෙමේ අද උදේත් ගල් කැට කිහිපයක් වැටුණා. බොරුනම් මේ බලන්න එහෙම වැටුණු ගල් කිහිපයක් කියා නිවෙස් අයිතිකරු එකතු කරගෙන සිටි ගල්කැට කිහිපයක්ද අපට පෙන්නුවේය. දැන් දවස් දෙක තුනකට විතර ඉස්සරවෙලා දවසක රෑක 7.30 ඉඳලා පැයක් විතර එක දිගට ගල් වහලය මතට පතිතවූ බව පවසමින්ය.
නිවසේ වහලයට සෙවිලිකර තිබුණේ ටකරන් තහඩුය. තහඩු උඩ තිබූ කුඩා ප්‍රමාණයේ ගල් කැට කිහිපයක්ම ඔහු වහලයේ මතට නැග ඒවා අතට අරගෙන පෙන්වීය.

සිමෙන්තියෙන් තැනූ තරමක් ලොකු බ්ලොක් ගල් තොගයක් නිවසේ ඉස්තෝප්පුවේ පැත්තක ගොඩකර තිබෙනු දුටු මම මේ ගල් කැට වලින් භූතයා කාටවත් එහෙම ගසා නැත්දැයි කියා විමසුවෙමි.
නැහැ මහත්තයා ඔය ගල්කැට උස්සලා ගහලා තියා ඒවා පාවෙලා යනවාවත් අපේ ගෙදර කිසිම කෙනෙක් අද වෙනකම් දැකලා නැහැ යැයි නිවෙසේ අයිතිකරු කියා සිටියේය.
ගෙදර තියෙන රූපවාහිනිය, පුටු මේස වාගේ කෙනෙකුට ලෙහෙසියෙන් පහසුවෙන් උස්සන්න අමාරු බඩු මුට්ටුත් ඔය ගොල්ලෝ කියන විදිහට එකපාරටම ගෙයින් එළියට විසිවෙලා ගිහින් නැත්දැයි කියා විමසා සිටි අවස්ථාවේදී නිවෙසේ අයිතිකරු කිව්වේ ඒ වාගේ බඩු මුට්ටුත් කිසිම දවසක මේ වෙනකම් එළියට විසිවී ගොස් නොතිබූ බවය.
නිවෙස්වල අරක්ගෙන ඉන්නවා යැයි ඇතැමුන් විශ්වාස කරන භූතයින්ට කෙනෙකුට පමණක් ලෙහෙසියෙන් පහසුවෙන් ඉස්සීමට හැකියාවක් නොමැති බව අප මේතාක් කල් කළ ගවේෂණවලදී හෙළිවී තිබෙන බවත් මෙයින්ම පැහැදිලිවම පෙනී යන්නේ මේවා භූතයන්ගේ ක්‍රියාකාරකම් නොවන බවත් වෛද්‍ය ජනක ජයසූරිය මහතා රැස්ව සිටි අයට පැහැදිලි කර දුන්නේය.
මේ වගේ දේවල් හැම දෙයක් පසුපසම මිනිස් ක්‍රියාකාරිත්වයක් තිබෙන බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මේ වගේ දේවල් සිදුවන නිවාසවලට ගොස් කරන ලද ගවේෂණවලදී හෙළිකරගත් තොරතුරු කිහිපයක් ගැනද උදාහරණ වශයෙන් ගෙනහැර දක්වමින්ය.

භූතයන්ට පුළුවන්කම තියෙන්නේ පොඩි පොඩි සැහැල්ලු දේවල් වලින් දමා ගහන්න විතරයි. ඇයි භූතයන්ට බැරි කෙනෙකුට පමණක් පහසුවෙන් ඉස්සීමට බැරි බර බඩු මුට්ටු විසිකරන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන්ම තේරෙනවා මේවා භූතයන්ගේ වැඩනොවන බව ද වෛද්‍යවරයා රැස්ව සිටි අය සමග කියා සිටියේ සිහි නුවනින් යුතුව මේ ගැන පොඞ්ඩක් සිතා බලන ලෙස ද ඉල්ලීමක් කරන අතරවාරයේය.
දිගින් දිගටම සිද්ධවෙන මේ දේවල් නිසා අපි බැරිම තැන කට්ටඬියෙක් මාතරින් ගෙන්වා ලොකු තොවිලයක් කළා. තොවිලය කරන්න කලින් කට්ටඬියා අපේ ගෙදර දෝෂ පරික්ෂා කර බලන්න ආවා. මේ ගෙදර පදිංචියට ආවට පස්සේ ගෙදර හිටිය කෙනෙක් මියපරලොව ගියාද කියා ඇසුවා. අපි නැහැ කියා කිව්වා. ඊට පස්සේ අඳුනක් බලා කිව්වා මීට අවුරුදු 157කට විතර කලින් මේ ගමේ සරදියෙල් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ සරදියෙල් මළ පෙරේතයෙක් වෙලා ඇවිත් තමා මේ විදිහට අපේ ගෙදරට කරදර කරන්නේ කියා.

සරදියෙල් කියන්නේ අපේ කවුද කියා මම ඇහුව්වම කිව්වා අපි පදිංචි ඉඩම් කෑල්ලත් එක්ක අනිත් ඉඩම් කෑලි සේරම ඒ කාලේ මේ විදිහට බෙදලා වෙන් කරලා තිබිලා නැහැ. මේ ඉඩම බලාගන්න අයිතිකාර මහත්තයා පත්කරලා හිටිය කෙනා තමා සරදියෙල් කියන්නේ. මේ මනුස්සය ඉඩම්වලට ආශාවෙන් මැරිලා තියෙන්නේ. ඒ නිසා තමා මේ විදිහේ කරදර වෙන්නේ කියා අඳුන බලා කිව්වා. සරදියෙල්ගේ භූතාත්මය විතරක් නෙමේ එයා වගේ තවත් භූතයෝ 27ක් මේ ගෙදරට බැල්ම හෙළා ගෙන ඉන්නා බවත් කට්ටඬියා කිව්වා. අපි හොඳටම මේ කතාව අහලා බයවුණා. ඊට පස්සේ තොවිලයක් කරලා ගෙදර හිටිය භූතයෝ අල්ලා ගැටගසා බෝතලයකට දැම්මා. ඒ බෝතලය අපේ ගමේ ඉඳලා කිලෝ මීටර් 15ක් විතර ඈතින් තියන කුඹුරකට ගෙනගොස් වළ දැම්මා.

තොවිල් තුනක්ම අපේ ගෙදර කළා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ. පෙර පරිදිම අපේ ගෙදර තිබුණ කරදර පැවතුණා. තොවිල්වලට ලක්ෂ 2ක් විතර වියදම්වෙලා තියෙන්නේ. ඒ නිසා ණය තුරුස් වෙලා ඉන්නේ. ගෙදර හතර වටේ මන්තර මතුරපු නූල් ඇද තියෙනවා. මහත්තයලත් ඒවා දැක්කානේ. අවස්ථා කිහිපයකදීම ඒ නූල්පවා භූතයා කඩා දමා තිබුණා.
එකතොවිලයක් කරන දවසේ වෙච්ච අද්භූත සිද්ධියක්ද නිවසේ අයිතිකරු අපිත් එක්ක කියා සිටියේ මේ අන්දමින්ය.

තොවිලය බලන්න ආපු මගේ යහළුවෝ කට්ටියක් අරක්කු බෝතල් සෝඩා බෝතල් කිහිපයක් ගෙනත් බිව්වා. ඉතිරි වෙච්ච එක අරක්කු බෝතලයකුයි සෝඩා බෝතලයකුයි ගෙවත්තේ තිබුණු වැලි ගොඩක් අස්සේ පස්සේ බොන්න කියා හංගලා. ඒ අරක්කු බෝතලයයි සෝඩා බෝතලයයි පස්සේ බලද්දි මිදුලේ වැටිලා තිබිලා හම්බ වුණා. පුදුම වැඬේ කියන්නේ ඒ බෝතල් දෙකම හිස් වෙලා. කට්ටඬියා කිව්වේ මේකත් භූතයාගේ වැඩක් කියා.
මේ වත්තේ තියන අනිත් ගෙවල්වලට මේ වගේ දේවල් සිද්ධ නොවන බව නිවෙසේ අයිතිකරු කියා සිටියේ වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සරදියෙල් කියා කෙනෙක් මීට අවුරුදු 157කට විතර කළින් මේ මුළු වත්තම බලාගත්තානම් මේ ගෙදරට විතරක් භූතයෙක් වෙලා ඇවිත් කරදර කරන්නේ මොකද කියන එකෙන්ම මෙහි කිසිසේත්ම ගුප්තමය නොවන සැඟවුණු රහසක් තිබෙන බවට කදිම සාධකයක් බව වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මම මේ උත්සාහ කරන්නේ ඒ සැඟවුණු රහස සොයාගන්න තමායැයි වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසුවේය.

බත් ඉව්වාම පැත්තක් ඉදෙනවා. අනිත් පැත්ත ඉදෙන්නේ නැහැ කියා කිව්වානේ. අපි හාල් ටිකක් ලිපේ තියලා බලමුද එහෙම දෙයක් ඇත්තටම වෙනවද කියා යැයි වෛද්‍යවරයා නිවසේ අයිතිකරුගෙන් ඉල්ලීමක් කළේය.
නිවෙස්හිමියා එක්වරම කියා සිටියේ දොස්තර මහත්තයා තොවිලේ කළාට පස්සේ බත් හොඳට ඉදෙනවා. දැන් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ යැයි කියාය.
මේ නිසා අපට ඒ පරීක්ෂණය කර බැලීමට නොහැකි විය.
ගමේ කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොමැතිව ජීවත්වන මේ උදවියට සිදුව ඇති කරදරය ගැන අසල්වාසීහුද කම්පාවට පත්ව සිටිති.

ගමේ සමහරුන්ගේ මතයවී ඇත්තේද මෙය අත්භූත ක්‍රියා නොවන බවය.
නිවෙස් හිමියා හා ඔහුගේ ගෙදරට පැමිණ සිටි අසල්වාසීන් කිහිපදෙනා එක්ක අප නිවෙස ඉදිරිපස කතාබහ කරමින් සිටිය අතරවාරයේ ගලක් වහලය මත පතිත විය.
මම ඒ එක්කම වෙලාව බැලූ අතර රාත්‍රී 11.00 පසුවී ගතවී තිබුණේ විනාඩි පහක තරම් කාලයකි.
ඊට පස්සේ හෝරා දෙකකට කාලයක් අපි ඒ නිවෙසේ ගත කළත් කිසිම ගලක් වහලය මතට පතිතවූයේ නැති අතර කුස්සියේ හෝ ගෙයි ඇතුළේ තිබුණ කිසිම දෙයක් එළියට විසිවුණේද නැත.

නිවසේ අයිතිකරු ඔහුගේ බිරිය හා අවුරුදු 13ක තරම් වයසේ පසුවන දරුවාද එක්ක වෛද්‍යවරයා වෙන වෙනමත් ඔවුන් තිදෙනා සමඟ එකටත් සෑහෙන වෙලාවක් කතා බහ කළේ අවශ්‍ය විස්තර දැන ගැනීමටය.
පුතා හරිම දඩබ්බරයි. මම කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. කුණුහරුප කියා බනිනවා. හරියට තරහා යනවා. තරහ ගිය සමහර අවස්ථාවලට ඉගෙන ගන්න පොත් පත් පවා ඉරලා විසිකරනවා. එයාගේ තාත්තා කියනදේ විතරයි අහන්නේ. හරිම ඇට්ටර කොල්ලා. හැබැයි ගෙදරට භුතයෙක් ඇවිත් මේ වගේ දේවල් කරන්න පටන් ගත්තාට පස්සෙ පුතා මට හරිම ලෙන්ගතුයි. ආදරෙයි. මට ගහන්න බනින්න යන්නේ නැහැ. දැන් පුතාට මාව නැතිව ඉන්නට බැහැ. මම හැම තිස්සෙම පුතා ළඟටවෙලා ඉන්න ඕනෑ. මේ වැඩෙන් පුතා හොඳ යහපත් ළමයෙක් වුණා. ඒ ගැන නම් මට හරිම සතුටුයි කියා නිවසේ අයිතිකරුගේ බිරිය වෛද්‍යවරයා එක්ක කීවාය.

හෝරා කිහිපයක් තිස්සේ වෛද්‍යවරයා නිවසේ ගතකර අවසානයේ ගෙදරට ගල් ගසන සමහර දේවල් එක්වරම එළියට විසිකරන භූතයා කවුද කියන එක හෙළිදරව් කර ගන්නත් ගෙදර අයට ඒ කවුද කියන එක එක්වරම කියන්නට ගියේ නැත්තේ බොහෝ දුර දිග සිතා බැලීමෙන් පසුවය.
එකම එක්කෙනෙකුට පමණක් වෛද්‍යවරයා ඒ ගැන පවසා සිටීමට අමතක කළේ නැත.
වෛද්‍යවරයාගේ විග්‍රහය ද මේ සමගම පළකර ඇති නිසා ඒහා සම්බන්ධ කරුණු කාරණා ගැන මීට වඩා කියන්න අවශ්‍ය ද නොවේ.
භූතයා කවුරුන්දැයි අප සොයා ගත්තා

භූතයින් විසින් කරනවා යැයි කියන නිවෙස්වලට ගල් ගැසීම්, වැලි විසිකිරීම්, බත්මුට්ටියට වැලි දැමීම, රෙදි ඉරා දැමීම, කපා දැමීම හෝ පුළුස්සා දැමීම නිවෙස් තුළ ඇති භාණ්ඩ එහා මෙහා කිරීම ආදී ක්‍රියාවන් සිදුවූ අවස්ථා ගණනාවක් අප විසින් අධ්‍යනයකොට තිබෙනවා.

මේ සෑම අවස්ථාවකම මේ සිදුවීම් කරන්නේ කවුරුන් හෝ ජීවමාන අයකු විසින්මය. යන්නද අප විසින් තහවුරු කරගෙන තිබෙනවා. කිසියම් ආර්ථික හෝ මානසික හෝ සමාජයීය ගැටලුවක් හමුවේ විශාල වශයෙන් තෙරපුමකට ලක්වූ අයෙක් තමයි බොහෝවිට මෙවැනි දේවල් කර තිබුණේ. කලාතුරකින් තවත් කෙනෙකුගේ ඉගැන්නුම් බහට අවනත වී මෙවැනි දේවල් සිදුකළ අවස්ථාද තිබුණා.
එහෙත් තමන්ගේ ගෙදර කෙනෙක් තමන්ව මේ තරම් ප්‍රශ්න රැසකට මැදි කරවමින් මෙවැනි “භූත ක්‍රියා” කරනවා යැයි කියා පිළිගන්නට කෙනෙක් මැළිවන්නට පුළුවන්. මේ නිවසේ ද සිදුවූ සිදුවීම් පෙළ පරෙස්සමින් විශ්ලේෂණය කළවිට මේ ක්‍රියාවන් පසුපස ඇත්තේ කාගේ ජීවමාන හස්තය දැයි අපට වැටහී ගියත් එය එකවරම හෙළි කිරීම තුළ පවුල් ආරවුලක් ඇතිවිය හැකි බව අපට පෙනී ගියහ.

මෙසේ භූත ක්‍රියා සිදුකරන අය ඉතා සූක්ෂම ආකාරයට ඒවා කිරීම නිසා බොහෝවිට ගෙදර අනෙක් අයට එය එකවර ග්‍රහණය කරගන්නට බැහැ. මෙවැනි සිදුවීමක් සිදුවූ වහාම බොහෝ දෙනෙකු ඒවා භූතයන්ගේ (මියගිය කෙනෙකුගේ) ගිණුමකට බැර කරනවා. අනතුරුව ඒ අදහස තහවුරු වන තුරුම ශාස්ත්‍රකරුවන් පසුපස යනවා. ශාස්ත්‍රකරුවන්ද මෙවැනි අසරණයන්ගේ එම අසරණකම යොදාගෙන ඔවුන්ගේ හිතට තවත් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුළු කරනවා. අවසානයේ ඒ මිනිසුන් තොවිල් පවිල් ඇතුළු විවිධ යාගහෝම සඳහා තමන්ගේ ධනය හා කාලය නිකරුණේ වියදම් කරනවා. සාමාන්‍යයෙන් මෙවැනි භූත ක්‍රියා සිදුවන නිවෙස්වල නිවැසියන්ට අත්වන ඉරණම එයයි.

ඒ නිසා ගෙහිමියාට වෙනමම කරුණු පැහැදිලි කරදී ඔහුට මෙවැනි ගුප්ත දේ පසුපස ගොස් තවදුරටත් මුදල් නාස්ති නොකර බුද්ධියෙන් මේ ප්‍රශ්නයට මුහුණ දීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර ඔහු ඉතා තදින්ම මේ අදෘෂ්‍යමාන බලවේග විශ්වාස කරන්නෙක් බව අපට පෙනී ගියා.

මෙවැනි සිදුවීමක් ගමේ නිවෙසක සිදුවන විට අහළ පහළ බොහෝ දෙනකු එම ගෙදරට එක්රැස් වුවත් ඔවුන්ගේ අවධානය බොහෝවිට යොමු වන්නේ නිවස අවට වටපිටාව දෙසටයි. මේ නිවස අසල ද ඇතැමුන් රැකවල්ලා සිටියත් වහලයට ගල් වැටීම නොකඩවා සිදුවුණේ ඒ දේ කළේ නිවසේම අයකුවීම නිසායි. මමත් ශ්‍රීනාත් මහතාත් කමල් මහතාත් “භූතයාට” ගලක් අහුලා ගැනීමට ඉඩක් නොතබා රැකවල්ලා ගෙන සිටියත්, අප විසින් ලබාදුන් ඉතා සුළු ඉඩක් තුළ එකම එක ගලක් වහලයට විසි කරන්නට “භූතයා” සමත් වුණා. භූතයා කවුරුන්දැයි අප ඔවුන්ගේ පවුලේ ඉතාම සමීපතම අයකුට පැවසුවේ මේ ක්‍රියාව නවතාගැනීමට එය පිටිවහලක් වනු ඇතැයි සිතූ නිසයි.

මේ වැනි අවස්ථාවක් බැලීමට යන අය ඇතැම් විට මුදල් ආධාරද, ගෙවැසියන්ට ලබා දෙනවා. ඇතැම්විට මේවා නිසාද “භූතයා” දිගින් දිගටම මේ වැඬේ කරන්නට ඉඩ තිබෙනවා.
මේ නිවෙසේ වැඩිමහළු දරුවා තරමක් දඩබ්බර ගති ඇති අයකු බව මව මා සමග පැවසුවා. එහෙත් භූතයා ගල් ගැසීමට පටන් ගැනීමත් සමගම ඔහු තමන් සමඟ වෙනදාට වඩා කුළුපග බවත් තමන් නැතිව තනියෙන් නිවසේ සිටින්නේ නැති බවත් ඇය පැවසුවා. එම මව සමග මා බොහෝ වෙලාවක් කතා කරමින් (නිවස තුළ මෙන්ම එළියේදීත්) සිටි අතර ඒ කාලය තුළ එකදු ගලක් හෝ නොවැටීම විශේෂ කරුණක්. ..


No comments:

Powered by Blogger.