පසුගිය සියවසේ හොඳම පේනකාරිය

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක්‌ වාණිජ මට්‌ටමෙන් මුල් වරට ප්‍රංශයට යන්නේ 1930 ඔක්‌තෝබර් 05 වැනිදාය. R 101 නමැති මෙය යානය ප්‍රංශයේ උතුරු කොටසේ පිහිටි බීවොයි නමැති ගම්මානයට ගිනිගෙන කඩා වැටෙයි. මංගල ගමනේ නියමුවා වූ පියසර ලුතිනන් කටිතෙල් අර්වින්, බ්‍රිතාන්‍යයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ සෙෆ්ටන් බ්‍රැන්කර්ද සියලු මගීහුද ගුවන් යානා කාර්ය මණ්‌ඩලයද මේ අනතුරින් කැබලි වී මිය යති. අදාළ පාර්ශ්වවලට වන්දි ගෙවීමෙන් ඒ කතාව එතැනින් නිම කිරීමට බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය තීන්දු කරයි.

ඊට දින දෙකකට පසු එනම් 1930 ඔක්‌තෝබර් 07 වැනිදා ලන්ඩනයේ ජාතික
අධිමානසික පර්යේෂණාගාර රැස්‌වීමක්‌ කැඳවනු ලැබීය. භූතාත්ම සමග කතා කිරීමට හැකි අයලින් ගැරත් නමැති කාන්තාව හරහා ඊට ස්‌වල්ප කලකට පෙර මියගිය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ භූතාත්මය සමඟ සාකච්ඡාවක යෙදීම ඔවුන්ගේ අරමුණයි. තමා කතා කරන්නට යන්නේ කා සමගද යන්න එහි එන තුරුත් අයලින් ගැරත් දැන සිටියේ නැත. මෙය බ්‍රිතාන්‍යයේ අධිමානසික පර්යේෂණ විද්‍යාගාරයේ සම්ප්‍රදායයකි. භූතාත්මය සමග කතා කිරීමට එන තැනැත්තා හෝ තැනැත්තිය කලින් සූදානම් වීම වැළැක්‌වීම සඳහා මෙය අනුගමනය කෙරේ. සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ අදාළ තැනැත්තා හෝ තැනැත්තිය (මාධ්‍යය) කාමරයට පැමිණි පසු ඇයට ආවේශ වීමට ඉඩදී ඇය සම්බන්ධ විය යුත්තේ කා සමගද යන්න රැස්‌ව සිටින අය සිතා ගැනීමයි. අනතුරුව ඇය ඒ පුද්ගලයා සමග අදහස්‌ හුවමාරු කර ගැනීමට පටන් ගනී. රැස්‌ව සිටින අය ඒ අදහස්‌ මගින් දෙන තොරතුරුවල නිර්වද්‍යතාව සළකා බලා ඇය හරියටම තමන්ට අවශ්‍ය පුද්ගලයා සමග කතා කරන්නේද යන තක්‌සේරුව ලබාගෙන ප්‍රශ්න අසන්නට පටන් ගනී. එදා අයිලින් ගැරත් සම්බන්ධයෙන් අනුගමනය කෙරුණේද එයමය. ඇය ආතර් කොනන් ඩොයිල් සමග කතා කරන බව දැන සිටියේ එදා රැස්‌ව සිටි අයගෙනුන් හැරී ප්‍රයිස්‌ නමැත්තා පමණි. ඔහු මෙම පර්යේෂණාගාරයේ ආරම්භකයාය.

කොනන් ඩොයිල් යනු සතුන් ප්‍රේතයන් සහ භූතාත්ම ගැන ඉමහත් විශ්වාසයක්‌ තිබූ කෙනෙකි. ඔහු ෂර්ලොක්‌ හේම්ස්‌ගේ හේතු ඵලවාදී අපරාධ පරීක්‍ෂණ ගැන ලියන අතර රහසින් මළ පෙරේතයන් සමග කතා කළේය. මේ නිසා ඔහු මේ කාමරයට ගෙන්වා ගැනීම පහසු බව හැරී ප්‍රයිස්‌ දැන සිටියේය. ඊටත් කොනන් ඩොයිල්ගේ මිතුරියක වූ අයිලින් ගැරත්ද කොනන් ඩොයිල් මරණින් මතු ජීවිතය ගැන විශ්වාස කළ බව දැන සිටියාය. මේ අනුව සියලු සුදුසුකම් එක තැනකට කැටිවී තිබිණ. පෙරේත සංවාදය පටන් ගැනිණි.

සවස තුනට වැඩේ ඇරඹිණ. දිගු ඈනුම් කිහිපයක්‌ මුදාහල අයලින් ගැරත් ක්‍රමයෙන් ගැඹුරු ආවේගයකට අවතීර්ණ වූවාය. මුලින්ම ඇය උවානි නමැති ඉන්දියානු භූතයාද සමග කතා කළාය. ඇය පිවිසීමට අදහස්‌ කරන භූත ලෝකයේ දොරටු පාලකයා ඔහුය. ඔහු හරහා භූත ලෝකය පුරාම පණිවුඩ යවන ලද නමුත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අල්ලා ගැනීමට බැරි විය. එක්‌කෝ ඔහු වෙතත් මානයක (Other Dimentions) භූත ලෝකයකට මාරුවී තිබිණ. එහෙමත් නැත්නම් ගන්ධබ්බ කාලය නිමවී වෙනත් මවු කුසකට ඔහු අන්තර්ග්‍රහණය වී තිබිණ.

ගැරත් හරහා කතා කරන උවානි භූතයාගේ ස්‌වරය හිටි හැටියේම වෙනස්‌ විය. බෙහෙවින් කලබල වූ ඔහු අර්වින් හෝ අර්විගේ යන නම දිගටම කියවන්නට පටන් ගත්ත්ය. ක්‍රමයෙන් උවානිගේ හඬ හරහා තවත් හඬක්‌ මතුවිය. ඒ හඬ මහත් භීතියෙන් හා සංත්‍රාසයෙන් මෙසේ කෑ ගසන්නට පටන් ගත්තේය. යානය බර වැඩියි... එන්ජිමේ ධාරිතාවට මේ බර දරන්න බෑ... එන්ජින් දෙකත් බර වැඩියි. මේ වගේ දුර ගමන්වලට මේ කාලගුණය හරියන්නේ නෑ... අපි ප්ලේන් එකේ ඉස්‌සරහ කොටස බිමට හරවමුද... ඒකත් කරන්න බෑ වගේ.... යානය කඩා වැටෙන්නටයි යන්නේ...

කාමරයේ සිටි සියලු දෙනාම සන්ත්‍රාසයට පත් කරමින් ඒ කතා කළේ ඊට දෙදිනකට පෙර ප්‍රංශයට කඩා වැටුණු බ්‍රිතාන්‍ය ගුවන් යානයේ නියමු කටිතෙල් අර්වින්ය. ඔහු සිය අවසාන මොහොත ප්‍රනරාම්වාරණය කරමින් යානය කඩා වැටීමට හේතුව ඕනෑවට වඩා බර පැටවීම සහ එන්ජින්වල දුර්වලකම බව කියා දුන්නේය. මේ කියන කාලයේදී ගුවන් යානාවල කලු පෙට්‌ටි නැත. යානයක්‌ වැටුණොත් ඒ ගැන තොරතුරු සෙවීමට නර ලොවට ගොස්‌ මියගිය අය හමුවිය යුතුමය.

අයිලින් ගැරත් යනු ගතවූ ශත වර්ෂයේ බිහිවූ විශිෂ්ටතම පේන කාරිය බව විශ්වාස කෙරේ. විද්‍යාඥයන් විසින් ඇය තරම් පර්යේෂණයට ලක්‌ කෙරුණු වෙනත් පේන කාරියක්‌ ද නොවූ බව කියනු ලැබේ. ඇය සිය ජීවිතයේ වැඩි හරියක්‌ ගත කළේ අන් අය වෙනුවෙන් භූතාත්ම සමග කථෝපකථනයෙහි යෙදීමේ මාධ්‍යයක්‌ ලෙසය.

1893 මාර්තු 17 වැනිදා අයිලින් ගැරත් අයර්ලන්තයේදී උපන්නේය. කතෝලික බිස්‌කූන් වහන්සේ නමකට දාව ප්‍රොතෙස්‌තන්ත ආගමික කාන්තාවකට උපන් අයිලින්ගේ ළමා විය අඳුරුය. ඇය ඉපදී දෙසතියකට පසු මව ගංගාවක ගසාගෙන ගියාය. තවත් සති කිහිපයකින් පියා දිවි නසා ගත්තේය. ඇය හදා වඩා ගන්නා ලද්දේ ඇගේ මාමා සහ නැන්දා විසිනි. නව යොවුන් වියට පත් වෙද්දීම ඇය තම ආගම ප්‍රතික්‌ෂේප කරමින් ප්‍රේතයන් සහ භූතාත්ම සමග ගනුදෙනු කරන යකැදුරන් සමග ඇසුරට වැටුණාය.

අයිලින්ගේ ළමා කාලයේදී ඇයට මිතුරු මිතුරියෝ රැසක්‌ වූහ. ඒ සියල්ල භූතාත්ම වූ අතර ඒවා පෙනුණේ ඇයටම පමණි. ඇය නිවාඩු දිනවල ඔවුන් සමග වරු ගණන් ගත කළාය. ඒ අතර හදිසියේම ඇගේ මාමා මළේය. මෙය ඇයට දැඩි පහරක්‌ විය. මන්ද යත් ඇගේ මාමා එතරම්ම කාරුණික මිනිසෙක්‌ විය. මාමාගේ අවසන් කටයුතුවලින් සති දෙකකට පසු ඔහු ඇයට දර්ශනය විය. "මාමා වෙනදාට වඩා තරුණ පෙනුමෙන් හිටියා. ඔහු කිව්වා මම ලන්ඩනයට යා යුතුයි කියලා..."

මරණින් මතු ලෝකය ගැන අයිලින් මහත්සේ උනන්දු වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. ඇය ලන්ඩනයට යයි. අනතුරුව නව යොවුන් වියේදීම ගෘහ නිර්මාණ ශිල්පියකු සමග විවාහ වෙයි. ඇය දරුවන් දෙදෙනකුට උපත දෙන අතර මොළේ උණ රෝගයෙන් ඒ දෙදෙනාම මිය යති. තමා කාර්ය බහුල ජීවිතයක්‌ ගත කළ යුතු බවට තීරණය කරන ඇය ලන්ඩනයේ ගීත් වීදියේ තේ කඩයක්‌ අරඹයි. මේ තේ කඩයට ඒ යුගයට අයත් විශිෂ්ටතම මිනිසෙක්‌ නිතර එයි. ඔහු ලේඩි eටලිස්‌ ලවර්ස්‌ ලියූ මහා ලේඛක ඩී. එච්. ලෝරන්සය.

ඒ අතර සිය සැමියාගෙන් වෙන් වෙන ඇය පළමුවන ලෝක සංග්‍රාමයේ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් ලැගුම් හලක්‌ පටන් ගනී. මේ අතර ඇයට සිය දෙවන සැමියා මුණ ගැසෙයි. ඔහු යුද පෙරමුණේ සිටින සොල්දාදුවෙකි. තමා ළඟදීම මැරෙන්නේය යන අදහසින් ඔහු නිතර කැළඹෙයි. ඔහු යුද පෙරමුණේ සිටින දිනක ඇය සිය මිතුරු මිතුරියන් සමග ලන්ඩනයේ සැවෝයි හෝටලයේ භෝජන සංග්‍රහයකට සභාගි වෙයි. එසේ සිටින අතර යුද පෙරමුණේ සිටින සැමියා හදිසි පිපිරීමකින් මිය යන අයුරු ඇය මනසින් දකී. ඇය ක්‌ලාන්ත වෙයි. දින කිහිපයකට පසු ලන්ඩනයේ යුද කටයුතු කාර්යාලය ඇයට දන්වන්නේ ඇගේ සැමියා යුද පෙරමුණේදී අතුරුදන් වූ බවය. ඔහු කිසි කලෙකත් ආපසු එන්නේද නැත.

පළමුවන ලෝක යුද්ධයෙන් පසු හෙවන් මැනැන්සි නමැත්තෙක්‌ ඇයට මුණ ගැසුණේය. ඔහු බ්‍රිතාන්‍ය අධි මානසික පර්යේෂණ විද්‍යාලයේ අධ්‍යක්‍ෂවරයාය. මෙහිදී ඇය "ෂර්ලොක්‌ හෝම්ස්‌" රහස්‌ පරීක්‍ෂක කතා ලියූ ශ්‍රීමත් ආතර් ෆෙතන්ඩොයිල් හඳුනා ගනී. ෆෙතන්ඩොයිල්ගේ මනස සමග චිත්ත තරංග මගින් කතා කිරීමට ඇය පුරුදු වෙයි. මේ අතර සුප්‍රකට ඉංගී්‍රසි කවියකු වන ඩබ්ලිව්. බී. ගේට්‌ස්‌ සුරදූතයන්ගේ භූතාත්ම සමග සංවාදයක යෙදීම සඳහා මාධ්‍යයන් ලෙස ඇගේ චිත්ත තරංග යොදා ගැනීමට සැරසෙයි. මේ අතර ශත වර්ෂ ගණනාවකට පෙර ඉන්දියාවේ ජීවත් වූ සොල්දාදුවකු වන උමානිගේ භූතාත්මයත්, දොළොස්‌වන ශත වර්ෂයේ ජීවත් වූ ඉස්‌ලාමීය රජකු වන සලාවීන්ගේ මාළිගයේ සේවය කළ අබ්දුල් ලතිෆ් නමැති වෛද්‍යවරයාගේ භූතාත්මයක්‌ ඇයට මුණගැසෙයි.

අයිලින් ගැරන්ගේ මතයට අනුව භූතාත්ම දෙවර්ගයක්‌ තිබේ. පළමුවැන්න තම උප විඥ්ඥනය තුළ තමන් විසින්ම ඇතිකරගනු ලබන කල්පිත භූතාත්මයන්ය. තමන්ටම ගල් ගසා ගනිමින් තමන්ගේම නිවසේ ඇති බඩු බාහිරාදිය විනාශ කරමින් ඒවායේ වගකීම භූතාත්මවලට පැවැරීම එකී කල්පිත භූතාත්ම අයිති අයගේ සිරිතය. එය මානසික රෝගයකි. ඒ අතර මේ සංසාර සාගරයෙහි සැරිසරන සැබෑ භූතාත්මද වෙයි. මානසික රෝගී තත්ත්වයන් බහුල දෙවන ලෝකයක්‌ තුළ පෙරකී ප්‍රබල පාර්ශ්වය හඳුනා ගැනීම දුෂ්කරය. එහෙත් ප්‍රවේශමෙන් ප්‍රගුණ කළ ඉවක්‌ ඇති කෙනකුට අධි මානසික තරංග යොදා එම සැබෑ භූතාත්ම හඳුනාගත හැකිය.

1950 ට පෙර ලෝක සිනමාවෙහි සිටි විශිෂ්ටතම අධ්‍යක්‍ෂවරයා සිසිල් බී. ද මෙල්ය. 1933-35 අතර කාලයේදී හොලිවුඩ් නගරයේ චිත්‍රාගාරවල සංචාරය කරන ඇය සිසිල් බී. ද මෙල් චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන හැටි දකී. ඔහු පසෙකින් සිටින මහලු ස්‌ත්‍රියක්‌ද ඇයට නිතර පෙනෙන්නේය. ඇය සිසිල්ගේ මියගිය මවගේ භූතාත්මය බව අයිලින් ගැරත්ට වැටහෙයි. ඒ බව සිසිල්ට පැහැදිලි කරදෙන ඇය පසුකාලයේදී ඔහුගේ හොඳම බ්‍රිතාන්‍ය මිතුරිය බවට පත්වෙයි.

භූතාත්මයට විද්‍යාත්මක කියෑවීමක්‌ ඇත. මානසික තරංගවලට විද්‍යාත්මක පදනමක්‌ තිබේ නම් සහ මානසික තරංගවලට භූතාත්ම සමග ගනුදෙනු කළ හැකි නම් භූතාත්මයටද විද්‍යාත්මක පදනමක්‌ තිබිය යුතුමය. අයිලින් ගැරත් ජීවත් වූ යුගයේදී නොකළ හැකි වුවත් පුද්ගලයකුගෙන් නිකුත්වන චිත්ත තරංගවල පින්තූර ගැනීමට පවා කැමරාවලට මෙකල හැකිය. භූතාත්මයක්‌ යනු අප සමග වෙසෙන පියවි ඇසට නොපෙනෙන ප්‍රජාවක්‌ යෑයි තේරුම් ගත් විට ඕනෑම සොහොන් පිට්‌ටනියක්‌ මැදින් රෑ දොළහට ගමන් කළ හැකිය. භූතයා යනු බොහෝ විට කිසිවක්‌ කරකියාගත නොහැකි සිතුවිලි මාත්‍රයකි. එහෙත් පාලනය නොකරන සිතකට රිංගා ඒ සිත අයිති පුද්ගලයා ලවා මිනී මැරවීමට වුවද භූතාත්මවලට පුළුවන.

අනුර සොලමන්ස්‌
(The worlds gratest Psychics and Mystics පොතෙනි)


No comments:

Powered by Blogger.