බාල්කේ උඩට වෙලා ඉදගෙන හිටි මිටි මිනිහා




















අපිට ඕන වුනේ වෙනස් විදිහේ දෙයක් කරන්න. අදුශ්‍යමාන කියන දේවල සත්‍ය තාවය, නොපෙනෙන බලවේග කියන දේවල ඇත්ත නැත්ත මේ වගේ දේවල පර්යේෂණාත්මකව ඇත්ත නැත්ත හොයන්න අපිට ගොඩක් ලොකු උවමනාවක් තිබුනා. අපේ සෙට් එකේ මූලික පරමාර්ථය වුනේ ඇත්තටම හොල්මන් කියන දේ සාක්ෂි සහිතව ඔප්පු කරන්න ක්‍රමයක් හොයාගන්න එක...

අපේ ටීම් එක පටන් ගැම්මෙදි හිටියෙ මමත් එක්ක 3න් දෙනෙක් වගේ බොහොම සුලු පිරිසක්. ඒ දවස් වල අපි තුන් දෙනාගේ ලොකුම රාජකාරිය වුනේ "කෙම්මුර දවස්" වල රෑ 12ත් 1ත් අතර හොල්මන් ගැවසෙනවයි කියන ස්තාන අවට පොටෝස් ගහන එක...

හැබැයි මාස ගානක් ඔට්ටු උනත් අපේ ප්‍රතිඵල කිසිම සාර්ථකත්වයකට ලගා වුනේ නැහැ.

මේ අතරෙදි තමයි අපේ ටීම් එකට මේ කතාංගයට මුල් වෙන මේ මාමාව මුන ගැහෙන්නේ. අපි ඔහුට සිරිසෝම ලෙස මෙතැන් සිට ආමන්ත්‍රණය කරමු..

සති අන්තයේ එක් දිනයකදි අපිට මේ සුවිශේශි පුද්ගලයව මුන ගැහෙන්නේ යහලුවෙක්ගේ උපන්දින උත්සවයකට මත්පැන් රැගෙන එන අවස්ථාවේදීයි. තනි සුදු සරමක් ඇද එයටම සරිලන සුදු අත් දිග කමිසයක් ඇද හිසකේ මනාව පීරා සිටි ඔහු ඇත්තෙන්ම හොද උපාසක මහතෙකුගේ ගතිගුන පෙන්නුම් කලා. ඔව් ඔහුට "උපාසක මහතා" යැයි නම් කිරීම 100%න්ම සිදුකළ හැක්කක්. ඔහුව මගේ මිතුරා තරමක් දුරට දැන හැදින තිබුනත් මා නම් මේ ඔහුව දුටු පලමු වතාවයි..

"ආ සිරිසෝම මාමේ... ගොඩක් කාලෙකින් දැක්කේ මොකද මේ පැත්තේ" මගෙ යහලුවා හොද කතාවකට මුල පුරමින් ඔහුත් සමග කතාව පටන් ගත්තා

"ආ දරුවෝ.. මුකුත් විශේෂ දෙයකට නෙමෙයි මේ ලග පාතකට ආව ගමන් මම මේ කඩේට ගොඩවුනා.." සිරිසෝම මාමා කතාව පටන් ගත්තේ ප්‍රසන්න සිනහවකින් අපි දෙදෙනාට සංග්‍රහ කරමිනුයි..

තරමක් "ගමේ ගොඩේ" විස්තර කතා කිරීමෙන් අනතුරුව මගෙ යහලුවා විසින් මාව ඔහුට හදුන්වා දුන්නේ මගේ ටීම් එක ගැනත් අප සිදු කරනා කාර්යය ගැනත් ඔහුට කෙටියෙන් පහදා දෙමිනුයි..

ඔහු පියවර කිහිපයක් මා ඉදිරියට පැමින මා දෙස බලා සිටියේ විනිවිද යන බැල්මකිනුයි.

"හොල්මන් විශ්වාස කරනවද?" සිරිසෝම මාමාගේ පලමු පැනය එයයි.

"නැහැ මාමේ බලන්න ආසයි... ඒත් තාම දැක්කේ නැහැ" මාගේ පිලිතුර ඉදිරිපත් කල ආකාරයට ඔහු එතරම් සෑහිමකට පත් වුනේ නැති බව මට හොදින්ම දර්ශනය වුනා.

"පුතා මන්තර දන්නවද?" සිරිසෝම මාමාගේ ඊලග පැනයටත් මගෙ ලග තිබුන එකම උත්තරේ වුනේ නැහැ කියන දේ විතරයි..

"බුදු බන දන්නවද? ගුරුකම් දන්නවද? ආරක්ෂා වෙන්න දන්නවද?" සිරිසෝම මාමාගේ ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් මම ලග තිබුනේ නැහැ.

" මොනවද පුතේ ඔය මල්ලේ තියෙන්නේ"සිරිසෝම මාමා මා අත තිබූ මත්පැන් බෝතල් සහිත උරයට ඇගිල්ල දිගු කරමින් විමසා සිටියා. මා කිසිත් කීමටත් කලියෙන් මගෙ මිතුරා විසින් මත්පැන් සහ මිතුරාගේ උපන්දින උත්සවය ගැන සියලු විස්තර සිරිසෝම මාමා ඉදිරියේ දිග හැර අවසානයි..

සිරිසෝම මාමාගේ මුහුන ක්ශනයෙන් වෙනස් වුන අයුරු මට අද වගේ මතකයි. හුන් තැනින් පියවර කිහිපයක් යලිත් මා ඉදිරිපිටට ඔහු පැමිනියා

"තොපි මැරෙන්නද හදන්නේ වේ** පුතාලා දෙන්න" සිරිසෝම මාමාගෙන් මෙවැනි වාග් ප්‍රහාරයක් අපි කිසිසේත් බලාපොරොත්තු වුනේ නැහැ. එතැන් පටන් ඔහුට සිදුවූ එක්තරා සුවිශේෂී සිදුවීමක් අප ඉදිරියේ දිග හරින්නට පටන් ගත්තා..

"කොල්ලෝ මාත් උබලා වගේ තමයි. මටත් ඕන උනා උබල ඔය කරන්න දගලන පිස්සු වැඩේ කරල බලන්න. ඒත් මගෙ වැඩේට එකතු වෙන්න ගමේ එකෙක්වත් කැමති වුනේ නෑ...
ඉතිං මම තීරනය කෙරුව ඔය වැඩේ තනියම කරන්න..

උබල වගේ තමයි මාත් රෑ දෙගොඩ හරියේ කනතු වලයි තුන්මන් හන්දි ගානෙයි මාස ගානක් කරක් ගැහුවා වැඩක් වුනේ නෑ.. වැඩක් වුනානම් වැඩක් වුනේ එකම එක දවසක එකම එක පොටෝ එකක් විතරයි.ඒක වුනේ මෙහෙමයි,

දවසක් මට ආරංචි වුනා මල යකෙක්ව එලවන තොවිලයක් ගැන. ඒ ගෙදර උන්දලව මම ටිකක් අදුනනවත් එක්ක. ඉතිං මමත් ටිකක් රෑ වෙන්න බලල ගෙදරින් 10:30ට විතර තොවිලය කරන තැනට කිට්ටු කරලා හතර අතේ පොටෝ ගත්තා. කිසි වැඩක් වුනේ නෑ. මට ඇත්තටම මේ වැඩේ ගැන එපා වෙලා තිබුනේ.

කොහොමින් කොහොම හරි රෑ 12 පහු වුනාට පස්සේ මට වතුර තිබහක් අල්ලල මම ගියා මේ ගෙදර කුස්සියට. කුස්සිය ඇතුලෙ බලු බල්ලෙක් නෑ. ඔක්කොම ඉස්සරහ තොවිලෙ ගාව. වතුර එකත් බීලා ඉවර වෙලා ඉස්සරහට එන්න ලැහැස්ති වෙද්දි මට නිකමට වගේ හිතුනා යකා වැහුන හාදයා නවත්තලා හිටපු කාමරේට චුට්ටක් එබිලා බලන්න. හිතේ පොඩි බයකුත් තිබුනා දොර රෙද්ද ඈත් කරලා ටිකක් කාමරේට එබෙද්දි හැබැයි.

කාමරේ හොල්මනක් තියා මැස්සෙක්වත් නෑ. නිකමටවගේ මම මගෙ පොඩි කැමරාවෙන් කාමරේ හැම තැනම පොටෝ ගත්තා ඇදන් යටයි පුටුයි වහලෙයි හැමදේම. හැබැයි පොටෝ එකක්වත් එවෙලෙනම් බැලුවේ නැ.

ඊටපස්සේ තොවිලේ කරන ඉස්සරහට ගිහින් සෙනග ඉන්න තැනින් චුට්ටක් ඉඩපාඩු ඇති තැනකට ගිහින් බිම ඉදගෙන මම ගත්ත පොටෝ එකෙන් එක බලන්න ගත්ත.
එලියේ ගහපු පොටෝ එකකවත් මොන මලපෙරේතයෙක්වත් නැ. ගේ ඇතුලේ ගහපුවගෙත් නෑ..

ඒ වුනාට ගෙයි අරූ හිටපු කාමරේ වහලෙ ගත්ත පොටෝ එකේ පොඩි අමුත්තක් තියෙනවා... මම ආයෙත් ඒක අරගෙන බැලුවා. වහලේ දාලා තියෙනවා බාල්කයක්

මොනව බලන්නද බලන්න දෙයක් නැහැ බාල්කේ උඩ ඉද්ගෙන ඉන්නවා මිටි මිනිහෙක්.

මට පුදුම සතුටක් දැනුනේ. පලවෙනි වතාවට මගෙ වැඩේ සාර්තක වුනේ. ඊට පස්සේ මම ගියා ගෙදර. හැබැයි ගියේ තනියම නම් නෙමෙයි. ගෙවල් ලග කොල්ලෙක් ඇවිත් හිටියා ඌවත් අඩගහගෙන තමයි මම ගෙදර ගියේ..

කිසිම කරදරයක් මට උනේ නෑ දෙයියන්ගේ පිහිටෙන්.. පහුවදා වෙද්දි ආරංචි වුනා තොවිලෙත් සාර්ථක වෙලා කියලා.. ඊටපස්සේ මාසෙකට විතර පස්සේ මම පොටෝ එක ගැන මගෙ හිතවත්තු දෙතුන් දෙනෙක්ට පෙන්නුවා.. උන් ඔක්කොම බය වුනා. උන් කිව්වේ ඕක අයින් කරලා දාපන් කියලා. හැබැයි තාමත් ඒක මම ලග තියෙනවා මම අයින් කලේ නෑ..

ටික දවසකින් මාව අසනීප වෙන්න පටන් ගත්තා. මට හිතුනෙම අර පොටෝ එක අරුන්ට පෙන්නුවට පස්සෙමයි කියලා. ඒත් මම වැඩිය ගනන් ගත්තේ නෑ. එක දවසක් මට හොදටම උන ගත්තා... දවසම ඇදට වෙලා නිදාගෙන හිටියේ.. එක පාරටම මට මතක් වුනා ගොඩක් දවසකින් අර පොටෝ එක දැක්කෙත් නෑ කියල. එහෙමම කැමරාව අරන් මම ඇදේ නිදියගෙනම පොටෝ බලන්න ගත්තා.. උන හින්දද මන්දා මගේ හිතත් ටිකක් ගැස්සුනා එවෙලේ.

පොටෝ බලලා ඉවර වෙලා වහලෙ දිහා බලන් ඉද්දි මම දැක්කේ යකෝ මගෙ කාමරෙත් අර වගේම බාල්කයක් තියෙනවනේ කියලා. ඇදේ නිදියගෙනම මගේ කාමරේ බාල්කේ නිකමට එකම එක පොටෝ එකක් මම ගත්තා....

මොනවා බලන්නද මාස ගානකට පස්සේ ගත්ත පලවෙනි පොටෝ එකේ බාල්කේ උඩට වෙලා ඉදගෙන මිටි මිනිහෙක් මම දිහා බලන් ඉන්නවා...

උබ කියන්නේ මට ඇදේම මරබෙටිත් ගියා බොල"සිරිසෝම මාමා කතාව අවසන් කෙරුවා. ඒ අවසන් කරද්දිත් ඔහුගේ දෑතේ රෝම කූප කෙලින්වී ඇති අයුරු අප දෙදෙනාට හොදින්ම දිස් වුනා...

සමාප්තයි....


1 comment:

Powered by Blogger.