පුහුල කපපු අඩා ගුරුන්නාන්සේගේ අවසන් කැපිල්ල


























ධනසිරි මුදලාලි යනු අදින් වසර පනහකට හැටකට පෙර කොළඹ-රත්නපුර ප‍්‍රදේශය පතල නමකි. අවිස්සාවේල්ලේ පිහිටි ධනසිරි වලව්ව අසලින් හිස කෙළින් තබා ගෙන මනුස්සයෙක් ගමන් කළේ නම් ඒ කොළඹ රටින් ගිය අයකු පමණි. පාරම්පරික රදළ වලව්කරුවකු වූ ඔහු, ධනසිරි මුදලාලි නමින් ප‍්‍රසිද්ධ වන්නේ එවකට කොළඹ-රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ලට ආසන්නයේ ඉදි කළ හෝටලයත් සමඟ ය.
ධනසිරිට ¥වරු තිදෙනකු සහ පුතකු විය. පවුලේ දෙවැනියා වූයේ පුතා ය. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලබා එහි ම විවාපත් ව එංගලන්තයේ ම වාසය කිරීමට සිත පොළඹවන්නා වූ සිදුවීම් දාමයක් ඒ වනවිටත් ලංකාවේ
සිදු වෙමින් පැවැතුණි. හැටේ දශකය අවසන් කාලය ධනසිරි මුදලාලිට සුබ කාලයක් නොවී ය. ව්‍යාපාර ක‍්‍රමයෙන් විනාශ වී යන්නට විය. ඉඩකඩම් ටිකින් ටික විකුණා දමමින් ඉන් ලැබෙන මුදලින් ජීවිතය ගැටගසාගන්නට සිදු වූයේ ධනසිරි මුදලාලි යන නමට පැවැති ගෞරවය ද අහිමි කරමිනි. ඔහු මුහුණදුන් ප‍්‍රධානත ම ගැටලූව වූයේ ගැහැනු දරුවන් තිදෙනා ම තනිකඩ ව විසීමයි.

එකල ධනයෙන්, බලයෙන් සිටි ධනසිරි මුදලාලිගේ වැටීමට මෙන් ම ¥වරුන්ගේ විවාහයන්වලට ද බලපෑවේ එකම එක සිදුවීමක් බව අවිස්සාවේල්ලේ ප‍්‍රසිද්ධ රහසකි.
හැටේ දශකයේ මැද භාගයේ දිනක ධනසිරි මුදලාලි මහතා හදිසියේ අල්ලපු ගමේ පිහිටි තමාගේ රබර්වත්ත පිළිබඳ සොයා බැලීමට ගියේ ය. මුදලාලි මහතා සමඟ සෑම විට ම රත්නපුරේ මාටින් අයියා නමින් හැඳින්වූ චණ්ඩියකු හා ඔහුගේ ගෝලයකු ගමන් කළේ ය.
රබර්වත්තට පැමිණි ධනසිරි මුදලාලි වත්තේ ඇවිදින විට වැට මායිමේ කොවුල් කපමින් සිටි මිනිසකු දුටුවේ ය. ධනසිරිට තම වලව් මාන්නය ඉහටගැහුවේ ය. ධනසිරි සිදු කළේ ඒ මිනිසා දෙසට ඇඟිල්ල දික් කිරීම පමණි. මාටින් අයියා ඒ වන විටත් ක‍්‍රියාත්මක වී හමාර ය.
”අනේ බුදු හාමු මහත්තයෝ මේ පූජාවකට පහන් පැලක් හදන්ඩ කොවුල් ටිකක් කපාගත්තා විතරයි මහත්තයෝ. ගහන්ඩ එපා මහත්තයෝ...”
මැදි වියේ වූ කෙසඩෑරි පුද්ගලයා පින්සෙණ්ඩු වුව ද හොඳ හැටි නෙළා මිස මාටින් අයියා අත හැරියේ නැත. ධනසිරි මුදලාලි තම හ`ඩ අවදි කළේ ය.

”ආ... යකෝ තොපි කොහොමද අපේ ඉඩම්වල පස් පාගන්නේ. තොපිට කවද ඉඳන් ද ඒ තරං හයියක්........”
සිදුවීම එතැනින් නිමා විය. ගුටි කෑ පුද්ගලයා අඩු කුල අයෙකි. ධනසිරි මුදලාලිට තරහ යෑමට හේතු වූයේ ද එයයි. එකල අඩුකුල මිනිසුන් ප‍්‍රභූ ඉඩම්වලට වැද්ද නොගනී.
සිදුවීමෙන් දින තුනක් ගත විය. හිමිදිරි උදයේ ම පහර කෑ මිනිසා සහ තරුණයකු ධනසිරි වලව්වට පැමිණියේ ය. පැමිණ කිසිවකුගේ හෝ ඇරයුමකින් තොර ව අසුන් ගත්තේ ය. මුදලාලි මහතා තම හාන්සි පුටුවේ දිග ඇදී තුෂ්ණිම්භූත ව බලා සිටීම විනා කිසිවක් නොකීවේ ය. නිවසේ අයට මෙය දැඩි ගැටලූවක් විය. නිවසට පැමිණෙනු තියා ඉඩමට පය තැබීමටවත් අවසර නැති අඩු කුලයේ දෙදෙනකු නිවසට ම පැමිණ අමුත්තෝ අසුන් ගන්නා පුටුවල වාඩි වී ඇත. මෙය කෙසේ පිළිගත හැකි සිද්ධියක් ද?

සියල්ලෝ නිහ`ඩ ව සිටිය දී පැමිණි පුද්ගලයා ම නිහ`ඩ බව බින්දේ ය. ”මේ මගේ පුතා. මෙයාට හිරයක් කතා කරන්ඩයි ආවේ. ටිකිරි මැණිකේට අපි කැමැතියි.” යනුවෙන් කිසිදු ගරු සැලකිල්ලකින් තොර ව පැවැසී ය. ටිකිරි මැණිකේ යනු පවුලේ බාල ම දුවයි. ඒ වන විට ඇයගේ වයස 14 පසු කළා පමණි. අක්කලා දෙදෙනා හා අයියා ද ඒ වන විටත් විවාහ වී නැත. වෙනදා නයා මෙන් කිපෙන ධනසිරි හාමු මහතා ඉතා ආයාසයෙන් නැඟිට බොහෝ දේ හිතේ තෙරපුණත් කටින් පිටවූයේ ”තොපිට වලව්වෙන් හිරයක්...” යන්න පමණි.
යළිත් මැදි වියේ පුද්ගලයා කතා කළේ ය. ”හදිස්සියක් නෑ මුදලාලි මහත්තයෝ දවස් හතකින් මට උත්තරයක් ලැබුණොත් ඇති.” කිසිදු ගරු සරුවකින් තොර ව පවසා යෑමට නැඟී සිටියේ ය. පිටව යෑමට දොර අසලට පැමිණ පැවැසූ දෙයින් සියල්ලෝ ම තුෂ්ණිම්භූත විය.

”කළත් නොකළත් මේ වලව්වේ කන අන්තිම මඟුල මේකයි. මේක හරි කමු නැත්නම් නොකා ම ඉමු”
ඔවුන් දෙදෙනා නිවසෙන් පිට ව ගියේ ය. වෙනදා සැණෙන් අතට එන තුවක්කුව ධනසිරිගේ මතකයට නැඟුණේ නැත. පෙරදින රාත‍්‍රියේ සිට මාටින් අයියා ද පැමිණියේ නැත. පැය කිහිපයක් නිහ`ඩ ව සිටි ධනසිරි නින්දෙන් පිබිදුනකු සේ නැඟිට වාහනය ගෙන අවිස්සාවේල්ලේ තම හෝටලයට පැමිණියේ එහි කාමරයක සිටින මාටින් නොපැමිණීමට හේතුව සෙවීමට ය. මාටින්ගේ කාමරය වසා ඇත. දොර කඩා ඇතුළට යන විට දුටුවේ පැදුරේ ලේ විලක් මැද මැරී වැටී සිටිනා මාටින් ය. ඔහු විසින් ම ඔළුව කුඩු වන තුරු හිස බිම ගසාගෙන ඇත. ඇතුළෙන් අගුළු දමා තිබූ හෙයින් මෙය මිනීමැරුමක් ද විය නොහැකි ය. තමා ම හිස පොළොවේ ගසා ගත්තේ ඇයි? මාටින් ව එයට පෙළඹූයේ කුමන බලවේගයක් ද? ධනසිරි මුදලාලි තව තවත් අවුලෙන් අවුලට පත් විය.

ධනසිරි මුදලාලිට සියල්ල වැටහෙන්නට විය. එදා පහර කෑ පුද්ගලයා තමාගෙත් පලි ගැනීම අරඹා ඇති බව දැන් පැහැදිලි ය. එහෙත් දුව දෙන්නට ද බැරි ය. ධනසිරි අවසන් තීරණයකට එළැඹියේ ය. ඒ ඔහුව මරා දැමීම ය. කාලය ටිකෙන් ටික ගත විය. හත්වැනි දවස උදාවිය. එදාත් උදයේ ම ධනසිරි වලව්වට අමුත්තන් දෙදෙනකු පැමිණියේ ය. ධනසිරි ද සූදානමින් සිටියේ ය. ඔවුන් වත්තට ඇතුළු වෙද්දී ම ධනසිරි තුවක්කුව අතට ගත්තේ ය. ඔවුන් නිවසට ඇතුළු විය. ඔවුන් මෙවර අසුන් ගත්තේ නැත. මැදිවියේ පුද්ගලයා කෙලින් ම මුදලාලි මහතා අසලට ගියේ ය. ”මුදලාලි මහත්තයෝ, ඔහොමද ඥාතීන් ව පිළිගන්නේ..” කියා දෙමළෙන් ‘වනක්කම්’ කීවේ ය.

මුදලාලි මහතා ද තම අත තිබූ තුවක්කුව පසෙකින් තබා ‘වනක්කම්’ කියා කීවේ ය. කිසිදු දවසක දෙමළ වචනයක් භාවිත නොකළ ධනසිරි දෙමළ කථා කළේ ය. ”මුදලාලි මහත්තයෝ එහෙනම් විවාහය හරිනේ” මුදලාලි නිහ`ඩ ය. ඔවුන් පිට ව යන්නට එළියට බැස්සේ ය. ටිකිරි මැණිකේ ඔවුන් පසුපස දිව යන්නට විය. ධනසිරි නිහ`ඩ ය. අක්කලා දෙදෙනා නංගිව අල්ලා ගැනීමට උත්සහ කළ ද පලක් නොවී ය. ටිකිරි මැණිකේ ඔවුන් පසුපස ම ගියේ ය.

යළි දින දෙක තුනකට පසු ටිකිරි මැණිකේ වළව්වට පැමිණියේ ය. ඒ වන විට සිදු විය යුතු සියලූ දේ සිදු වී හමාර ය. දින තුනක් එම තරුණයා සමඟ ඇය ජීවත් වී ඇත. ධනසිරි රෝගාතුර විය. ඉඩකඩම් පරිහානියට පත් විය. හෝටලය වසා දැමුණි. පුතා එංගලන්තයේ ම නතර විය. ධනසිරි ඉවත් කළ නොහැකි කොඩිවිනයකට මැදි වී තිබුණි. ටිකිරි මැණිකා දරුවා සමඟ වලව්වේ ජීවත් වූයේ ය. ධනසිරි මුදලාලි මහතා රටේ දක්ෂ ඇදුරන් ගෙන්වා අවස්ථා බොහොමයක දී කොඩිවිනය කපා දැමීමට උත්සහ කළ ද සාර්ථක නොවුණි. ¥වරු තිදෙනා ම වලව්වට නාකි වූ අතර ධනසිරි ද බොහෝසෙයින් රෝගාතුර වන්නට විය. එදා පහරකෑමට ලක් වූ පුද්ගලයා පාරම්පරික මලයාල පවුලකින් පැවැත ආ පුද්ගලයෙකි. ඔහු ද යහමින් ඒ ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ අයෙකි. එදා කොවුල් කපමින් සිටියේ ද පූජාවක් තැබීමට ය. පහරකෑමෙන් පසු තැබීමට ගිය පූජාව වෙනුවට මුදලාලිගෙන්
පලිගැනීමේ පූජාව ඇරැුඹී ය. තමා ම පැමිණ කපා ඉවත් කරන තුරු කිසිදු ඇදුරකුට කපා ඉවත් කළ නොහැකි බන්ධනයක් මැතිරී ය. එදින ම රාත‍්‍රී දොළහට වලව් ඉඩමට ඇතුළු වී මතුරන ලද බිත්තර තුනක් වලව්වේ මුදුන් වහලයට ගැසුවේ ය.

මලයාලි කාලි තුන්කට්ටුවට ධනසිරි වලව්ව කැප කළේ ය. එතැනින් එහාට සිදු වූ දේ අපි කලින් පැවැසුවෙමු.
වරින් වර පැමිණි කට්ටඩියෝ තම දැනුම මත මෙය කපා ඉවත් කළ නොහැක්කක් බව අවබෝධ කරගත්හ. එහෙත් තමා ශාස්ත‍්‍රය නොදන්නා බව පෙන්වීමට අකැමැති නිසා ප‍්‍රදර්ශනාත්මක කැපිල්ලක් පමණක් සිදු කළේ ය. හැත්තෑව දශකයේ මැද භාගයේ දී ධනසිරි අවසන් කැපිල්ලටත් අත ගැසුවේ ය. එකල ලංකාව හොල්ලාගෙන සිටි බෙලිඅත්තේ අඩා ගුරුන්නාන්සේ මෙවර කතා නායකයා විය.
අවිස්සාවේල්ලේ ගරා වැටුණු ධනසිරි වලව්වට පැමිණි අඩා ගුරුන්නාන්සේ ඇතුළු පිරිස දින තුනක් තිස්සේ අවශ්‍ය දේ සම්පාදනය කර ගනිමින් පූජාවේ කටයුතු සූදානම් කර ගත්තේ ය. ඒ දින තුන පුරා මැතිරීම්, දොළ පූජා වරින්වර සිදු කෙරුණි. අඩා ගුරුන්නාන්සේ දරුණු ම හා කපු මහතකු කිසිදා නොකරන ජල තීන්දුවකින් මෙය කැපිය යුතු බව තීරණය කළේ ය. ජල තීන්දුවක් යනු ගුප්ත මන්ත‍්‍ර දොළසකින් මතුරන ලද පුහුලක් ජලය යට සිට කැපීම ය. මෙය ලේසියෙන් කළ නොහැක්කකි. මෙය වැරැුදී ගියහොත් ජීවිත ගණනකින් වන්දි ගෙවීමට සිදු වන බව කපු මහතුන් දනියි.

යොදාගත් දිනයේ සියලූ පූජා කටයුතු සිදුවෙමින් පැවැතුණි. යකුන් එළවීම්, මන්ත‍්‍ර මැතිරීම්, දොළ තටු, ලේ බිලි මේ සියල්ල අවසන් විය. රාත‍්‍රි දොළහ ආසන්න වෙමින් පැවැතුණි. අඩා ගුරුන්නාන්සේ තම ගෝලයන් දෙදෙනකු හා ධනසිරිගේ හිතවතුන් කිහිපදෙනකු සමඟ ආසන්නයේ වූ දොළ පහර වෙත ගියේ ය. ධනසිරි පවුලේ සියලූ අය පූජාව කළ ස්ථානයෙන් නොනැඟිටින ලෙස පවසා, ආරක්ෂා කොටුවක් දැම්මේ ය.
අඩා ගුරුන්නාන්සේ පපුව මට්ටමට දොළ පාරට බැස්සේ ය. මතුරන ලද පුහුල හිමින් සීරුවේ ගෙන වතුර යටට ඔබා ඔයේ යට වැලි පොළවේ තබා කකුල් දෙකෙන් සිර කර ගත්තේ ය. අඩා ගුරුන්නාන්සේ අතට කඩුව ගත්තේ ය. විනාඩි කිහිපයක් එක දිගට මතුරන්නට විය. දීර්ඝ හුස්මක් ගෙන ජලය තුළට එබුනේ ය. විනාඩියක් පමණ කාලයක් තුළ සියල්ල සිදු විය යුතු බව ගෝලයෝ දෙදෙනා දනිති. ජල තීන්දුවක් කැපීමේ දී පුහුල දිය යට දී කැපීමෙන් පසු බෑ දෙක ජලය මතට ඒමට පෙර ගුරුන්නාන්සේගේ හිස ජලයෙන් උඩට ගත යුතු ය.
නැතහොත් ගුරුන්නාන්සේගේ මෙන් ම ආතුරයාගේ ජීවිතය ද අහිමි වෙයි.

ගුරුන්නාන්සේ පුහුල කැපුවේ ය. සිදුවූයේ නොසිතූ දෙයකි. ගුරුන්නාන්සේ ඉදිරියට ලිස්සා ගියේය. පුහුල් පළු දෙක ජල මතුපිටට පැමිණියේ ය. සියල්ල වැරදුණු බව සිතීමටවත් අවස්ථාවක් අඩා ගුරුන්නාන්සේට නොවී ය. ගෝලයන්ට ජලයෙන් උඩට ගත හැකි වූයේ නහයෙන් කටින් ලේ දමමින් තිබූ අඩා ගුරුන්නාන්සේගේ මළ කඳ ය. ධනසිරි ද පැදුරේ ම තුෂ්ණිම්භූත ව මිය ගොස් සිටියේ ය. ඒ ඔවුන් සිදු කළ අවසන් කැපිල්ලයි.
ධනසිරි වලව්ව අතහැර සහෝදරියන් පිටව ගියේ ය. වලව්ව පොළවට පස් විය. පුතා තවමත් එංගලන්තයේ ය. පසු කාලයේ වැඩිහිටි සහෝදරියන් දෙදෙනා තනිකඩ ව සිට මිය ගියේ ය. වයෝවෘද්ධ ටිකිරි මැණිකා හා ඇගේ පුතාගේ බිරිඳ සහ දරුවෝ අද ද ජීවත් වෙති. ඔවුන් ඔවුන්ගේ ඉඩකඩම් සියල්ල අතහැර දැමුවේ ය.


No comments:

Powered by Blogger.