ඉඩමේ සැබෑ හිමිකරුවන් වූ වෛරී භූත ආත්ම





















ගම්මුලාදෑනිකම යනු එකල අසීමිත බලයක් සහිත තනතුරකි. නීතිය ක‍්‍රියාත්මක කරවීම ගම්මුලාදෑනිවරයාගේ කාර්යය වුවත් බොහෝ අය අතින් සිදු වූයේ අහිංසක ගැමියන් පිඩාවට පත් කිරීමයි. ෆෙඞ්රික් ගම්පහට ආසන්න දිළිඳු ග‍්‍රාමයක සිටි ගම්මුලාදෑනිවරයෙකි. තම නිලය බලය කර ගනිමින් ඔහුගේ අතින් සිදු වූ බොහෝ අපරාධ කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. ගමෙන් වැඩි හරියක් ඉඩම්වල හිමිකරුවා වූයේ ෆෙඞ්රික්ගේ පියා ය.

ෆෙඞ්රික්ට ගම්මුලාදෑනිකම හිමිවන විට පියා විසින් ඉඩම් බෙදා නොතිබුණි. තම පියාට අයත් ඉඩකඩම් තම
සහෝදරයන් දෙදෙනාටත් බෙදීයනවාට ෆෙඞ්රික් කැමැති වූයේ නැත. ඔහුට අව්‍යශ්‍ය වූයේ සියලූ ඉඩම් තනිව භුක්ති විඳීමටය. ඔහු ඒ සඳහා කදිම උපායක් සැකසීය. ඒ ගම්මුලාදෑනිකම ලැබෙන අවස්ථාවේ ඉඩම් අක්කර විශාල ප‍්‍රමාණයක් පෙන්විය යුතු බව පවසා තමාගේ නමට ඉඩම් හරවන ලෙස පියාගෙන් ඉල්ලා සිටීමයි.

පියා එයට කැමැති වූයේ නැත. එහෙත් ගම්මුලාදෑනිකම ලැබුණු. සැණින් සහෝදරයන්ට යළි ඉඩම් පවරණ බව පවසා සහෝදරයන් කැමැති කර ගැනීමට අපහසුවකින් තොරව ෆෙඞ්රික්ට හැකි විය. එහෙත් තම පුත‍්‍රයාගේ හැටි දත්් පියා එයට කැමැති වූයේ නැත.

ෆෙඞ්රික් තම අදහස අතහැරියේ නැත. ඔප්පු තිරප්පු සියල්ල සකස් කළේය. නිවසේ පියා පමණක් සිටි අවස්ථාවක ෆෙඞ්රික් කානු දෙකේ තුවක්කුවක් ගෙන පියා හමුවට ගියේය.

ජීවිතය හෝ ඉඩකඩම් යන දෙකෙන් රැුකගත යුත්තේ කුමක්ද යනුවෙන් තෝරාගැනීමක් පියාට ඉදිරි පත් කළේය. ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටි පියාට හැඟී ගියේ ජීවිතය රැුක ගැනීම වඩා සුදුසු බවය. ෆෙඞ්රික් තමාගෙන ආ ඔප්පු තිරප්පුවලට පියා සිය අත්සන් යෙදීය. ගම්මුදාලදෑනිිකම ලැබුණ ද තමා පැවැසූ ලෙස තම යුතුකම ඉටුකළේ නැත. තම සහෝදරයන් දෙදෙනාට කිසිදු ඉඩමක් යළි ලබා දුන්නේ නැත.

කාලය කෙමෙන් ගෙවී ගියේය. ෆෙඞ්රික්ගේ බාල සහෝදරයා වූ එඞ්වින් දිගින් දිගටම තම අයිතිය වෙනුවෙන් ක‍්‍රියා කරන්නට විය. ඔහු බලහත්කාරයෙන් ඉඩම් කොටසක් අල්ලා ගෙන කොටු කර ගත්තේය. ගෙවීගියේ ටික දිනකි. පොලූවලින් පහර දී මරාදමන ලද බාල සොහොයුරු එඞ්වින්ගේ සිරුර රබර් යායක් මැද වැටී තිබී හමුවිය. එය කළ පුද්ගලයකු හෝ සොයාගත නොහැකි විය.

මේ අතරතුර ෆෙඞ්රික්ගේ පියා මිය ගියේය. තම ඉඩම් බලහත්කාරයෙන් ලියා ගැනීමෙන් පසු ඔහුත් ගමෙන් පිටව ගිය අතර පියාගේ නැඟණියකගේ නිවසේ නතර වී සිටියේය. පියා මියයන කාලය වන විට ෆෙඞ්රික්ට වයස 20කට ආසන්න පුතකු සිටියේය. ඔහු කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා හමුදාවට සම්බන්ධ වී සිටියේය. ෆෙඞ්රික්ගේ පියා මියයෑමෙන් වසර 3 – 4ක් ගෙවී ගියේය.

හමුදාවේ සේවය අතහැර ගමට පැමිණි ෆෙඞ්රික්ගේ පුත් මහින්ද පිස්සකු ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය. මුලින්ම බීමතින් ගමවටා කරක් ගහන්න පටන් ගත්තේය. ඉන්පසු සිදු වූයේ ගමේ ගැහැනු ළමයි කිහිපදෙනකුම ඔහුගේ අතින් සල්ලන් වීමයි. මේ මහින්දගේ සැබෑ ගති නොවීය. ඔහු හොඳ හැදියාවක් සහිත තරුණයෙකි. මේ අතරතුර මහින්ද සිය නිවසට තරුණියක බලෙන් රැුගෙන ආවේය. ෆෙඞ්රික් සුපුරුදු ලෙස තම කටයුතු කරගෙන ගියේය.

දිනක් ඔහු රාත‍්‍රී ගමනක් ගොස් නිවසට පැමිණෙමින් සිටියේය. ඔහු පැමිණියේ තම සොයුරාගේ ඝාතනය සිදු වූ රබර්වත්ත අසලිනි. සොයුරා මරා දැමූ හැටි ඔහුට මැවී පෙනෙන්නට විය. පොලූ පහර වැදී මුහුණ පුරා ලේ පෙරෙන සහෝදරයා තමා දෙසට දුව එන්නා සේ පෙනෙන්නට විය. බියට පත් ෆෙඞ්රික් වේගයෙන් නිවස දෙසට දුව ආවේය. ගේට්ටුව ළඟට විත් ගේට්ටුව ඇරියේය. ගේට්ටුව ඇරීමත් සමඟ ම ජීවිතයේ ඔහු එතෙක් දුටු භයංකාර ම දර්ශනය දුටුවේය. ගේට්ටුවට යාර කිහිපයක් ඉදිරියෙන් නිය, දත් විහිදා ගෙන තමා දෙසට අත් දිගු කරගෙන සිටින යකෙක් සිටගෙන සිටියි. පසුපසින් ලේ පෙරාගත් සහෝදරයා දිව එයි. ඔහුට මතක එපමණය ඔහු සිහිසුන්ව ඇද වැටුණේය.

යළි කිසිදිනක ෆෙඞ්රික් දෙපයින් සිට ගත්තේ නැත. ඔහු අංශභාගයට ගොදුරුවිය. අත පය පණ නැතිව බලාගත් වනම ඇද මත වැතිර සිටීම විනා ඔහුට කළ හැකි දෙයක් නොවීය. අංශභාගය වැළඳුන පියාට පුත‍්‍රයා වූ මහින්දගෙන් අනේක කරදර විඳින්ට සිදු විය. සමහර දිනවල පිස්සුවෙන් මෙන් නිවසට පැමිණෙන මහින්ද එක් තැන්වී සිටින පියාට පහර දුන්නේය. සම්පූර්ණයෙන් ම මහින්දගේ ශරීරය කිසියම් වූ ආත්මයක් විසින් පාලනය කරමින් පැවැතුණි.

ගෙවී ගියේ ටික දිනකි. එක් දිනක් රාත‍්‍රියේ තමා සිටි කාමරයේ දොර වේගයෙන් වැසෙන හඬින් ෆෙඞ්රික් අවදි විය. අමාරුවෙන් හිස මදක් හරවා දොර දෙස බැලූ ඔහු තිගැස්සී ගියේ දොර ළඟ එදා ගේට්ටුව ළඟ දී දුටු භයංකාර පෙනුමක් සහිත යක්ෂ රුව දත් විරිත්තමින් තමා දෙස බලා සිටිනු දැකීමෙනි.

ටිකින් ටික ඔහු තමා දෙසට එන්නට විය. අත පය පණ නැති ෆෙඞ්රික්ට දිවීමට හෝ කෑ ගැසීමට අවස්ථාවක් නැත. ඔහු ඇඳ දිගේ අතපය ගසමින් ඉහළට ඇදෙන්නට විය. උගුරෙන් අමාරුවෙන් කෑ ගැසුවේය. ෆෙඞ්රික්ගේ ඉහළ ඇඳ විට්ටමට ආසන්නයේ ම ජනේලයක් වෙයි. ඔහු විට්ටම අසලට ම ඇදි ඇදී ගියේය. එක් වනම ඇරුණ ජනේලය අසල හිසින් ලේ පෙරමින් සිටින සහෝදරයාය. ජනේලයෙන් ඇතුළට දෑත් යොමු කළ මළගිය ආත්මය ෆෙඞ්රික් ඇඳ සිටි සරම ගෙලවටා දමා ජනේලයේ කුරූ දිගේ ඉහළට එසෙව්වේය.

ෆෙඞ්රික්ට කළ හැකි කිසිවක් නැත. ගෙල සිරවීමෙන් ඔහු අවසන් ගමන් ගියේය.

කාමරයෙන් ඇසුණු ශබ්දයට නිවසේ අය පැමිණෙන විට දොර ඇතුළතින් අගුළු ලා ඇත. කිසිම දිනක සිදු නොවූ දෙයින් තැනිගත් ඔවුන් දොර කඩගෙන ඇතුළට ගියේය. ඔවුන් දුටුවේ නිරුවතින් ජනේලයේ එල්ලී මිය ගොස් සිටින ෆෙඞ්රික් ය.

පියාගේ මරණය සම්බන්ධයෙන් මහින්ද ව පොලීසිය සැක කළ නමුත් එය මිනීමැරුමක් ලෙසින් ඔප්පු කරන්නට පොලීසියට නොහැකි විය. මහින්ද මාස කිහිපයකින් නිදහස් වී නිවසට පැමිණියේය. පිස්සකු ලෙස නිවසේ සියලූ බඩු මුට්ටු විකුණමින් අරක්කු බීම දවස පුරා ඔහුගේ කාර්යය විය. සියලූ ඉඩකඩම් ද කැබැල්ලෙන් කැබැල්ල විකුණා දමන්නට විය. ඒ ඉඩම් මිල දී ගත් කිසිවකුට හෝ හොඳින් දියුණු වී ජීවත් විය නොහැකි තත්ත්වයක් පවතියි. මහින්දට අවසානයේ ඉතිරි වූයේ විකුණ ගත නොහැකි පර්චස් තුනක බිම්කඩක් පමණි. එම බිම්කඬේ බාගෙට හැ¥ කුඩා නිවසක කුලී වැඩකින් ලැබෙන මුදලින් වැඩි හරියක් බීමටම වැය කරමින් ජීවත් වෙයි.

ඉඩම් උදෙසා මරා දැමුණු ෆෙඞ්රික්ගේ සහෝදරයාගේ ආත්මය පියාගේ මරණයත් සමඟම ශක්තිමත් ව පලිගැනීමට පැමිණියා විය හැකිය. පියා දරුණු මළ යකෙක් බවට පත් වන්නට ඇත. ඔහුගේ ශක්තියෙන් මරා දැමුණ තම බාල පුත‍්‍රයාට සාධාරණය ඉටු කරන්නට ඇත. නැතහොත් තම ඉඩම් බලෙන් පැහැර ගැනීමේ වෛරය පිරිමසා ගන්නට ඇත.

ෆෙඞ්රික්ගේ මරණයෙන් හෝ මහින්දගේ ජීවිතය විනාශ වීමෙන් පලිගැනීම් හෝ මළගිය ආත්මවල ආශාව නිම වී නැත. මහින්ද විසින් අලෙවි කළ ඉඩම්වල නිවස හදාගෙන පැමිණි කිසිවකුවත් වසර 2 – 3කට වඩා එම නිවාසවල විසීමට නොහැකි විය. අනෙකවිද ප‍්‍රශ්න මත සෑම අයකු ම එම නිවෙස් විකුණා දමා යති. නිවෙස් කිහිපයක් වසා දමා ඇති අතර තිදෙනකු සියදිවි නසාගෙන ඇත. ඉඩම්වල සැබෑ හිමිකරුවන් වූ වෛරී භූත ආත්ම විසින් ඔවුනට අයත් ඉඩම් භූක්ති විඳින්නන්ගෙන් ද පලිගනිමින් සිටිති.


No comments:

Powered by Blogger.