ඌරුමසුත් තඩිගහලා මැදියමේ ගිය ගමන

























"ලොකූ ...පරෙස්සමින් මයෙ පුතේ මම ලෙඩ ඇඳේ ඉදියෙ නෑනං උඹට ඔය රෑට රෑට හේනෙ බඩගාන්ඩ දෙන්නෑ රත්තරනේ"හේනට යන්ඩ ගිය සිරිමල් ටිකකට නතර වුනේ අප්පච්චිගෙ දුර්වල කටහඬ නිසා.ඒ කටහඬේ රැඳිල තිබ්බ අසරණ කමට නං කොල්ලට හුඟක් දුක හිතුනා.මීට මාස හයකට කලින් හේනේ පැලෙන් පහලට බහිද්දි ඉණිමග පල්ලෙ වැටුන උන්දා මේ වෙද්දි යාන්තං පොලොවෙ පයගහල ඇවිදින මට්ටමක උන්නත් පැල් රකින්ඩ යන්න තරං උන්දැට තාමත් හයියක් හත්තියක් නෑ.

"මං පරෙස්සම් වෙන්නං අප්පච්චී , අප්පච්චියි පොඩ්ඩියි පරෙස්සමින්"බූරු ඇඳේ අමාරුවෙන් වැතිරීගෙන ඉන්න අප්පච්චියි පිල් කන්ඩියේ කුප්පි ලාම්පුවේ එලියෙන් පොතක රූපයක් පාට කර කර ඉන්න පුන්චි නංගියි දෙන්නම දිහා බලපු සිරිමල් එහෙම කිව්වේ නංගි උපන් ගමං මේ ලෝකෙන් එපිටට ගිය අම්මත් නැතිකොට තමන්ට තියෙන වටිනාම වස්තුව මේ දෙන්නා වෙච්චිකොටයි.වෙන වචනයක්වත් නොකියපු සිරිමල් බත් ගෙඩියයි,වතුර කැටෙයි එක අතකින් එල්ලගෙන අනික් අතින් ගත්ත හුලු අත්තත් වන වන කලුවරට මුහු වුණා.බූරු ඇඳේ දිගාවෙච්චි ගමං උන්නු හීන්බන්ඩෙට හීල්ලුනේ අම්මත් නැතිකොට තමනුත් ඔත්පල වෙලා අසරණ වෙච්චිකොට මේ කොල්ලා පව්ලෙ බර කරට අරං දුක් විඳින විඳිල්ලටයි.

ගොම්මන් කලුවරත් තුරල් වෙලා මේ වෙද්දි මුලු වනාන්තරේම ඝණ අද්ධකාරෙට වැහිල ගිහින්..කෑලි කපන්ඩ පුලුවන් මේ කලුවර අස්සෙන් යාන්තමට පාර හොයාගෙන බැද්ද මැද්දෙන් හේනට යාගන්ඩ සිරිමල්ට හුලු අතු එලියනං වැඩිත් එක්ක.තමන් හේනට පැල් රකින්ඩ ආපු අලුත මතක් වෙද්දි සිරිමල්ට හිනාවකුත් ගියේ මුලින් මුලින් හුලු අත්තත් වන වනා මේ බැද්ද මැද්දෙන් පැලටම දුවන්ඩ තමන් පුරුදු වෙලා උන්නු විදිහ මතක් වෙලයි.අප්පච්චි ඉනිමඟ පල්ලේ පත බෑවුන අලුත අප්පච්චිගෙ විරෝධතාවය මැදම තනියෙන් පැල් රකින්ඩ තමන් ගත්ත ඒ තීරණේ ගැන එක අතකට දැං සිරිමල්ට සතුටකුත් නැතුවාම නොවෙයි.තමන් නිසා නොවෙන්න මෙලහකට අප්පච්චියි පොඩි නංගියි හාමතේම මියැදිලා..ඉස්කෝලෙ ගමන නතර කරල පවුලෙ බර කරට අරං හේන් කොටන්ඩ ගත්ත තීරණේ සිරිමල්ගෙ හිතට දුකක් නොගෙනාවේ ඕං ඔය කාරණේ නිසාමයි.

බැද්ද මැද්දෙන් දහසකුත් එකක් දේ කල්පනා කර කර ඇවිදන් ගිය සිරිමල්ට ඊලඟට මතක් වුනේ පෙරේදා මේ බැද්දේ අතුරුදන් වුනයි කියපු පොඩි කොලු ගැටයව.ඉස්කෝලෙ ඇරිල බැද්දෙ කරක් ගහන්ඩ කොල්ලො කුරුට්ටො පුරුදු වෙලා...ඉතින් ඉස්කෝලෙ ඇරුණම කොල්ලො කාන්ඩ කාන්ඩ මේ බැද්දට රිංගන එක ගම්මුන්ට නං අරුමයක් නෙවේ.බැද්ද මැද්දෑවට වෙන්ඩ තිබ්බ සෝලෙ වැවේ බැහල පීනලා ගඩා ගෙඩිත් කඩාගෙන හවස් කොරේ ගෙවල් වල දුවන්ඩ මේ කොල්ලො කුරුට්ටො පුරුදු වෙලා..කඩේ පියසෝමගෙ පොඩි කොලුගැටයත් මේං මෙහෙම කාංඩ ගැහිලා කැලෑවදින එකෙක්..ඒත් ගිය පෙරේදා හැන්දෑ කොරේ වෙනකනුත් කොල්ල ගෙදර නාවාමනං පියසෝම මුදලාලිට දෙලොව රත්වුනේ මේ බැද්දේ මේ කාලේ තනියා හක්කලං කරන නිසා..ගම්මුත් එක්කහු කරං කොච්චර හෝදිසි කලත් කොලුපැටියා නෙවේ හම්බුනේ...එදායින් මෙදා කොයිතරං මේ කැලේ හෝදිසි කලත් පියසෝමෙගෙ කොල්ලා ආයිමත් හොයාගන්ඩ බැරුව ගියා අන්තිමට ගම්මු තීරනේ කලේ සෝලෙ වැවේ ගිලිලා මඩේ එරිල කොල්ල මැරිල යන්ඩැති කියලයි...

"සරස්ස්..සර..සරස්..."කල්පනා ලෝකෙම ගිලිල ආපු සිරිමල් ඩිංගකට නතරවුනා ඇහුන සද්දෙට.සද්දෙ නං වේලුන කොල උඩින් කවුරුම හරි අඩි තියන සද්දෙ වගේ..නැවතුන සිරිමල් හොඳට කං දුන්නේ සතෙක් වත්දෝයි කියලා..කොයිකටත් කියල එක අතක තිබුන කැත්ත තවත් ඩිංගක් තදට අල්ලගත්තු සිරිමල් එහෙම්මම වටපිටාව දිහා ඔලුව හරෝ හරෝ බැලුවා..ම්ම්හ්ම්..කිසිම දෙයක් නෑ..සැනසුම් සුසුමක් හෙලපු සිරිමල් ආයිමත් තමන්ගෙ ගමන පටංගත්තා..ඒත් ඒ ගමන කලින් තරංවත් දුරක් යාගන්ඩ හම්බුන්නෑ,

"බරාස්ස්ස්..."

කවුරුන්දෝ මංදා තමන්ට පිටිපස්සෙන් බොරලු පාරේ ලිස්සල ගිය හඬෙන් සිරිමල් වැල්ලෙ කැරකෙන බඹරයක් වගේ කැරකිලා පිටිපස්ස බැලුවා..ඒත් මනුස්ස පරාණයක් තියා තිරිසං සතෙක්වත් ඒ ඇස් දෙකට මුලිච්චි වුනේ නෑ..අතේ තියෙන බත් ගෙඩියේ මාලුවට තියෙන්නෙ ටවුමෙ කඩෙන් තමං දවල් ගෙනාපු ඌරුමස් නෙවෙන්නං කියල සිහියට එද්දි සිරිමල්ගෙ ඉහමොල රත් වුනේ ඌරුමස් කිලි නේදෑ කියල හිත අස්සෙන් කෑ ගහද්දි.කොයිකටත් අඩිය ඉක්මන් කරපු සිරිමල් හනි හනිකට හේන දිහාට දුවන්ඩ ගත්තෙ මුවට ආපු කුනුහබ්බත් පතුරු අරින ගමං...ඒ ගමන අතරතුරාවේ මුලු වෙලාවේම සිරිමල්ගෙ හිත කීවෙම මොකෙක්දෝ එකෙක් පස්සෙන් එලවම් එනවදෝ කියලයි.

එක පිම්මෙම හේනට දුවපු සිරිමල් ඒ පිම්මෙම ඉනිමග දිගේ උඩට බඩගාල පැල්කොටේට ගොඩ වැදුනට පස්සෙන් පහුයි හුස්මක් කටක් ගත්තේ...ගෙනාපු වතුර කැටෙන් බාගයක්ම එක හුස්මට හිස් කොරාපු සිරිමල් පැල මුදුනේ ගහේ කඳටම හයි කොරලා තිබුන කුප්පි ලාම්පුව පත්තු කලා..ඒ කල්ලා ඉවර වෙලා හිත නිදහස් වෙන්ඩත් එක්කලා පුන්චි සංදියේ අම්ම උගන්නාපු කරණීයමෙත්ත සූත්‍රේ ටිකක් සද්දෙට මිමිණුවේ හිත ඩිංගිත්තක් තිගැස්සිලා තිබුන නිසයි

ඒ කරලා හිත පොඩ්ඩක් හරි ගැස්සුනායින් පස්සෙන් පහු සීරුවට ඉණිමග පහලට බැස්ස සිරිමල් පැල හදාපු ගහට ඩිංගක් එහාට වෙන්ඩ ඇරලා වෙනද ගිනිමැලේ ගහන තැනම වෙනදටත් වඩා සරුවට ගිනිමැලේ ගැහැව්වේ හිතේ මේ වෙද්දිත් ඉතිරිවෙලා තිබුණ ඒ තිගැස්ම නිසාම වෙන්ඩැති...ඒ කරලා පන්දමකුත් පත්තු කොරගෙන හේන වටේ වටයක් ඇවිදාපු සිරිමල් ආයිමත් අඩ හෝරාවකින් විතර පැලට ගොඩවුනේ රෑට කාලම ඉන්නවා කියන හිතිවිල්ලෙන්...

බත් මුල ලිහාපු සිරිමල්ට සුවදටම බඩ පිරුණේ කාලෙකට පස්සෙ අතගහන සරුම බත් ගෙඩිය නිසා..රතු කැකුලු බතට වල් ඌරු මසුයි පොල් සම්බෝලෙයි..පොලොස් ගැට මාලුවයි..පොලොස් ගැට මාලුව ඇරුණාම අනික් ඒවා නං තමන් විහින්ම උයාපුවා නේදැයි කියල හිතෙද්දි නං සිරිමල්ට හීනියට හිනාවකුත් ගියා...

"අම්මෝ.....රස..."පලවෙනි ඌරු මස් කෑල්ල කටට වැටෙද්දිම සිරිමල්ට කියවුනා..හැබෑවටම අමුතුම රසක් ඒ මසේ...මෙච්චර කාලෙකට සිරිමල් කාපු රහම ඌරුමස ඒක වුනා..හැබැයි බත් ගෙඩියෙන් බාගයක් හිස් කරන්ඩත් කලිම්ම...

"සිරිමල් අයියේ...සිරිමල් අයියේ...."කාගේදෝ කෑගැහිල්ලකට පැලෙන් පහලට ඔලුව දාපු සිරිමල් විපරං කලේ මේ මහරෑ ජාමේ තමන්ගෙ නම කියල අඬගන්ඩ තරං එකෙක් එනවදෝයි කියන සැකයෙන්..

"හත්තිලව්වේ පොඩ්ඩෙ මල්ලියෙ...උඹ කවදද යකෝ ගමට ආවේ.."පැල පහල ඉදන් ඔලුව උඩට දික්කරගෙන ඉන්න පොඩි කොල්ල දැක්ක හැටියේ සිරිමල් දනිපනි ගාල ඉනිමග දිගේ පැල පහලට බහින්ඩ ගත්තා..

"උබලැයි අම්මයි අප්පච්චියි පොලොවෙ පස් කකා අඬනවා උඹ නැතිවුනාය වැවේ ගිලිලාය කියලා"

"මං බැද්දේ වල්මත් වුනා අයියේ..."සුදුමැලිවෙලා ඉදපු කොලුගැටයා සිරිමල්ට කියද්දි සිරිමල් හුස්මක් පාතට හෙලුවෙ යාන්තං මේ කොල්ල ආයිමත් හම්බුනානේ කියන හිතුවිල්ලෙන්..

"වරෙන් පැල් කොටේට ගොඩවෙයම්..,උඹ හරිහමං කෑමක් බීමක්වත් නොකානෙ ඇත්තේ..වරෙන් වරෙන් ඉතින් "සිරිමල් පැල්කොටේ උඩට පොඩි එකාව කතා කරන ගමං කියවන්ඩ උනා.."දැං මේ මහරෑ ගෙදර යාගනත් බෑ නොවෑ උබට..වරෙං මගෙ බත් පතෙන් කොටහක් කාලා ඇලවෙලා ඉදිම්..වල් ඌරුමසුත් තියේ අද "වල් ඌරුමස් කීයද්දී කොල්ලගෙ ඇස් දෙකට ආපු කෑදර බැල්මනං සිරිමල්ට පෙනුනෙ නැතුව ඇති..

"බෑ අයියේ..මට සිරිමල් අයියව එක්කං යන්ඩ ගමනක් තියේ..වරෙන්කො මං පස්සේ"

"මේ මහරෑ කොහේ යන්ඩද බං..මෙන්න මෙහෙ වරෙං"

"උඹට පින් අයියේ මං එක්ක වරෙං දැං,බැද්ද මැද්දෑවේ මගෙ යාලුවා කරදරේක වැටිලා..යමං අයියෙ..අනේ යමං සිරිමල් අයියේ.."කොල්ල එකදිගටම පින්සෙන්ඩු වෙද්දි නොගිහින් හිටින්ඩ බැරි වුනායින් සිරිමලුත් පොඩ්ඩෙගෙ පස්සෙන් වැටුණා.

කැත්ත එක අතකටත් හුලු අත්ත අනෙක් අතටත් ගත්ත සිරිමල් අදුරේම වේගයෙන් වේයගෙන් බැද්ද ඇතුලටම වදින පොඩ්ඩෙගෙ පස්සෙන් ඇදෙන්ඩ වුනා..

"පොඩ්ඩෙ මල්ලි ඔහොම ඉදින් බං මේ පන්දම් එලියෙන් යමං,සතෙක් සරුපයෙක් කෑවොත් "අදුරේම පස්සවත් නොබලා ඉදිරියටම ඇදෙන පොඩ්ඩෙට සිරිමල් හඬ ගෑවත් ඒ වචන ඇහුන්නැති ගාණටයි පොඩ්ඩෙ බැද්ද පීරගෙන පෙරමුණෙන්ම ගියේ.ඩිංග ඩිංග පොඩ්ඩෙ ඇවිදින වේගය එන්ඩ එන්ඩම වැඩිවුනේ සිරිමල්ට පොඩ්ඩෙ පස්සෙන් වැටි වැටීම දුවන්ඩ පාර හදමිනියි.

"පොඩ්ඩෙ මල්ලි ඔහොම ඉදින් බං පුක කැඩුන කඩිය වගේ දුවන්ඩේ කොහෙද..හිමීට යමං" මොකක් නිසා වුනත් සිරිමල්ගෙ කෑගැහිල්ල ඇහුන්නෑ වගේ පොඩ්ඩෙ බැද්දේ ඉස්සරහටම දුවල දුවල අන්තිමේ පදුරු අස්සෙන් නොපෙනිම ගියා..ඝණ කලුවරේ මහබැද්දේ තනිවුන සිරිමල්‍ට මුල්ම වතාවට තමං කැලේ යකෙක්ගෙ බැල්මට අහු උනාදෝ කියලහිතෙන්ඩ ගත්තා..වල් ඌරුමසුත් තඩිගහලා මැදියමේ මේ ආපු ගමන ගැන මේ වෙද්දි නං සිරිමල් ඉදියෙ තිගැස්සිලා..ඉහින් කනින් දාඩිය දාද්දි සිරිමල් ඒත් ඉස්සරහටම ඇදෙන්ඩ වුනේ පොඩ්ඩෙ ගියපාර දිගේ..

"හූඌඌඌඌඌඌඋ................."

උලමෙක්ගෙ මූසල ඇඬිල්ල බැද්දෙ ඈත කෙලවරකින් ඇහෙද්දි නං සිරිමල්ගෙ බය තව ඩිංගිත්තක් වැඩිවුනා..මොනව උනත් තමන්ගෙ දෑස් මානෙ මෙච්චර වෙලා ඉදිය පොඩ්ඩෙ මනුස්සයෙක් කියලම හිත කියපු නිසාදෝ පොඩ්ඩෙ දුවාපු පැත්තටම පය ඉක්මන් කොරාපු සිරිමල් නතර වුනේ බැද්ද මැද්දෑවටම වෙන්ඩ තිබ්බ සෝලෙ වැව ගාව....

"පොඩ්ඩේ..."එකපාරක් පොඩ්ඩෙගෙ නම අඬගාපු සිරිමල් විගහට අඬගෑම නතර කලේ දැක්ක දේ නිසා..මොකද්දෝ එලියක් පඳුරු අස්සෙන් වැවේ එක කෙලවරක දිලිහෙනවා...හිතට ආපු කුහුලෙ නිසාම කැත්තත් එක අතකින් තද කොරාගත්තු සිරිමල් මොකක්දෝ හේතුවක් නිසා කිසිම හඬක් නොනගාම හිමීට හිමීට එලිය දිහාට ඇදෙන්ඩ වුනා...ලං වෙද්දි ලංවෙද්දි වැව අයිනේ නුගේ ගාව ගහාපු ගිනිගොඩක එලිය නෙවෙන්නං මේ දිලිහුනේ කියල සිරිමල්ට වැටහුනා...පදුරු ගොඩට මුවා වුනු සිරිමල් පොඩ්ඩෙවත් අමතක කරලා ඇස්දෙකත් ලොකු කොරාන ගිනිමැලේ වටේ සිද්ද වෙන දේ දිහා බලාන් උන්නෙ කිසිම හැල හොල්මනක් නැතුව....

ගිනිගොඩ වටේට කලුම කලු සද්ධන්ත මිනිස්සු දෙන්නෙකුත් තව කව්දෝ මංදා මිනිහෙකුත් වටවෙලා මොන මොනවාදෝ කතාව..හොදට බලපුවාම මේ ඉන්නෙ ටවුමෙ මස් කඩේ සද්ධන්ත දෙමලු දෙන්නයි අයිතිකාරයයි නේද කියලා සිරිමල්ට ඒත්තු ගියා...

"ඒත් මුන් මොකද මේ මහරෑ බැද්දට රිංගලා...ඌරො එලන්ඩද.."

වැඩි වෙලාවක් නොගිහින්ම සිරිමල්ට කාරණේ ඔලුවට වැටුණේ දැක්ක ඇඟ කිලිපොලාගෙන යන ජවනිකාවෙන්..එක කලු මිනිහෙක් කාවදෝ මංදා පොඩි කොල්ලෙක්ව උස්සගෙන ඇවිත් නුග ගහටතියලා බඳින්ඩ ගත්තේ ඒ කොල්ලගෙ මරහඬ අස්සේ...කතා කරන්නෙ මොනවදෝ කියල අහගන්ඩ හැදුවත් වචනෙකට දෙකකට එහාට සිරිමල්ට ඇහුන්නෑ...හැබැයි එකපාරටම අර මස්කඩ මුදලාලියා මහසද්දෙට කෑගහපු එකක් නං සිරිමල්ට ඇහුනා...

"උඹ මොකටද #ත්තික කොල්ලෝ මන්ද ගලෝලා ඌරව නිදහස් කරේ...මස්කරපං ජයේ මේකව මස් කරපං "

ඒ විදිහට මහ සද්දෙට බැද්දම ගුගුරෝපු ගෝරනාඩුව එක්කම එක මිනිහෙක්ගෙ අතේ තිබ්බ මොකක්දෝ දෙයක් ඉහලට එසවෙනවා සිරිමල්ගෙ ඇස් දෙකටම දැක්කත් ඒ මොකක්දෝයි කියල ඒවෙලේ හැඟීමක් ආවෙ නෑ..ඒත් ඒක අර කොල්ලගෙ බෙල්ලටම පාත් වෙද්දියි සිරිමල්ට ඒ මොකක්දෝ කියල තේරුණේ...

"බුදුඅම්මෝ........" අර මිනිහා ගහපු පොරෝපාරෙන් කොල්ලගෙ කදෙන් බෙල්ල වෙන් වෙනවා දැක්ක හැටියේ සිරිමල් යටිගිරියෙන් මරලතෝනි දුන්නෙ දුවන්ඩ දණිපණි ගාල නැගිටින ගමං..ඒත් කොහේ දුවන්ඩද...තමන්ගෙ ඉස්සරා වුන්න එකා දැක්ක සිරිමල්ට ඇගේම සුලුදියත් පිටවුනා..

තමන්ගෙ ඉස්සරහ හිටං උන්න උණු ලේ උතුර උතුර යන ක්වන්ධ සිරුර අර කොල්ලගෙ නොවේදැයි සිරිමල්ට එකපාරටම වැටහුන හැටියේ ගිනිගොඩ දිහා බැලුවත් මේ වෙද්දි ඒ මුලු පරිසරයම අන්ධකාර වෙලා...ඝන අන්ධකාරය ඇරුණම එතන මිනිස්සුවත් ගිනිමැලේවත් නෑ..ආයිමත් ඉදිරිය බලාපු සිරිමල්ට පෙනුනේ ලේ උතුර උතුර ඔලුවක් නැති ක්වන්ධය හෙමීට හෙමීට තමන්ගෙ දිහාට ඇවිදන් එන දිහා..ඇස් දෙක පියවීගෙන මුලු ලෝකෙම අඳුරු වෙලා යද්දි ඒ අඳුරු වෙන ලෝකේ සිරිමල් අන්තිමට දැක්ක දේ හිස නැති කොලුගැටයගෙ මළකඳ තමන් දිහාට එන දිහාත් ඒ කදේ එක අතකින් කෙස් වැටියෙන් එල්ලගත්‍ත පොඩ්ඩෙගේ ඔලුව තමන් දිහා බලාගෙන හිනාවෙන බවත් විතරමයි...

"ලොකූ...ලොකූ...අනේ උඹට කොහොමද රතතරනේ..." "ලොකයියේ..අනේ ඇස් අරින්ඩ ලොකයියේ.."

අප්පච්චිගෙත් චූටි නංගිගෙත් කටහඬවල් මැද සිරිමල් ඇස් ඇරියේ පැලෙන්ඩ තරං රිදෙන ඔලුව දෑතින් බදාගෙන..යාන්තං අඩවන්ව ඇරපු ඇස් දෙකෙන් සිරිමල් දකින්ඩ බලාපොරොත්තු වුනේ මළකඳක් උනත්..ඒ බලාපොරොත්තුව නිසාම මරහඬ තිබ්බත් සිරිමල් දැක්කෙ තමන් වටේ වට වෙලා ඉන්න අප්පච්චියි චූටි නංගියි පොඩ්ඩෙගෙ අම්මයි අප්පච්චියි...ඒ හැමෝගෙම ඇස්වල කඳුලු පිරිලා..තවත් හොඳට වටපිට බලද්දි තමා ගමේ පන්සලේ නායකහාමුදුරුවෝ සුදු ඇතිරිල්ලකුත් දමාපු පුටුවක වාඩිවෙලා බූරු ඇදේ දිගෑදිලා ඉන්න තමන්ගෙ අතේ පිරිත් නූලක් ගැටගහන බව සිරිමල්ගෙ ඇස් දෙකට මුලිච්චි වුනේ...

"අප්පච්චි...පොඩ්ඩෙ මල්ලී....."සිරිමල් අමාරුවෙන් කටහඬ අවදි කලා..ඒ හඩ තාමත් ගැහෙනවා...

" ආ ඉලන්දාරියා ඒ දේවල් අපි පස්සෙන් පහු කතා කොරමු..එහෙනං මස් මාලු කටේ නොතියා දවස් හතක් පේවෙලා පන්සලට ඇවිත් බෝදි පූජාවට සහභාගී වෙන්ඩ ඕනා..තනියෙම ගමං බිමං බෑ...මහබැද්දෙ වැටිල ඉදපු උඹව යානතං පන්දලමක් බදින්ඩ කෝටු මිටියක් කපාගන්ඩ කැලේට ගිය සුවාරිස් අප්පු දැකල තමා කුදලං ඇවිත් තිබුනේ..පූරුවේ වාසනාවට උබ බේරුනා කොලුවෝ..පිරිත් නූල ඇගට වැටෙනකම්ම උබ යකා නැටුවා"ලොකු හාමුදුරුවෝ කියාගෙන යද්දි සිරිමල්ගෙ ඔලුවට ටිකෙන් ටික පෙරදා මැදියමේ වුන සිදුවීම් ගලාගෙන ආවා...ඇත්තටම ඒ මොකද වුනේ...සිරිමල්ට මේ දේවල් හරියටම පැහැදිලිවුනේ පහුවෙන්දා පොඩ්ඩෙගෙ තාත්ත වෙච්චි පියදාස කොරාපු විස්තරෙන්..

"සිරිමල් කොලුවෝ...,උබ වැටිල ඉදියෙ වැව් කන්ඩිය අයිනෙම පදුරු ගොන්නක..උබව හොයාගත්ත සුවාරිසා තමා ගමට ඇවිත් කීවෙ උබ සිහිනැතිවෙලා ඉදිය ඉසව්වේ මහම මහ මිනීකුනුගඳක් ගැහුව කියලා..පස්සෙන් පහු අපි කාන්ඩෙ ගොහින් බැලින්නම් බෙල්ල මුලින් කපල දාපු ඔලුවක් එක්ක ඇටකටු ගොඩක් විතරක් වැව අයිනේ මහ නුගේ ගාව කුනුපණුවෝ ගගහා තිබුනා..අනේ පුතේ....ඒ මගේ කොල්ලව පුතේ මරල දාල තියෙන්නේ..මගෙ කොල්ලව හංඳියෙ මස් කඩේ උන් මස් කරල පුතේ...ඒ මස් තමා ඒ ජඩයෝ පහුවෙනිදා විකුනල තියෙන්නේ..කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකරපු මගෙ පොඩි එකාව උන් ඌරෙක් මස් කරන්නැගෙ මස් කොරලා විකුණ්නලා පුතේ.."ඔලුවෙ අත්බැදං අඬ අඬාම පියසෝම හැමදේම කියද්දි සිරිමල් එහෙම්ම බිම ඇන තියාගත්තේ තමනුත් එහෙනං ඒ කෑවෙ පොඩෙගේ මස් නෙවෙන්නං කියන හිතුවිල්ල දරාගන්ඩ බැරිතැනයි...පොඩ්‍ඩෙ තමංව බය කලේ ඒ නිසාද?..තමංව එතනට ගෙනිච්චේ තමන්ට උන අසාදාරණේට යුක්තිය ඉශ්ඨ කරගන්ඩද...? මේ දේවල් සිරිමල්ට තවත් ප්‍රශ්න කන්දරාවක් වෙද්දිම එදා තමං දැක්ක මුදලාලියාගෙ ඒ ගෝරනාඩුව සිරිමල්ට ආයි ආයි ඇහෙන්නා වාගෙ වුනා...


No comments:

Powered by Blogger.