මහකැළේ අවතාරේ





















වැලියාව ගමට හිරු පායන්නට ප්‍රථම පාන්දරින්ම අවදි වන්නේ ගමේ මැගිලින් ආච්චිය...61 වන වියේ පසූවූවත් ඇගේ ගතෙන් නම් කියා පෑවේ අවුරුදු පනහකට ආසන්න ගැහැණියකගෙ පෙනුමයි...
ඇය ඉතා කඩිසර ගමේ කාගෙත් හිත් දිනා සිටි අයෙකි... වැලියාව ගම ඉතාමත් කැලෑබද ප්‍රදේශයක පිහිටි ගමකි.. ඇතැම් විට වල් අලින්ගේ කරදරයන්ටද ලක් වන මොවුන් ජීවත් වූයේ ගොවිතැන් බතිනි...කාගේත් හිත් දිනා සිටි මැගිලින් හැමදෙනාටම හැම මොහොතකම තමන්ට හැකි
පමණින් උදව් කළ අයෙකි...
එමෙන්ම යකාටවත් බය නැති ඕනෑම තැනකට තනියෙන් වුවද යා හැකි තරමේ ශක්තියක් ඇයට තිබුණි..රේණු යනු ඇගේ ලේලියයි...තම පුතා මේසන් වැඩ සඳහා ගමෙන් පිටව ගිය පසු රේණුට ඇති ශක්තියද තම නැන්දණියයි...
ඒ..1986 මාර්තු 03 වෙනිදාය...රේණු දහවල් කෑම සඳහා බතල අල කීපයක් තම්බා කොච්චි සම්බෝලයක් පිලියෙල කොට තිබුණි.. එයද කා වතුර බිව් මැගිලින් ගැබ්බරව උන් තම ලේලිය ඇමතුවාය...
"දුවේ...අද මං උඩහ කැලේට ගිහින් දර ටිකක් ඇහිදාගෙන එන්නම්...හෙටවත් වැස්ස විශ්වාස කොරන්ඩ බෑ...දිගටම වැස්ස ඇල්ලුවොත් ලිපලන්න එක දර කෑල්ලක්වත් නැති වෙනව.."
"මාත් එන්නද අම්මේ..."
"කොහාටද...මේ ඉර මුදුන් වෙන ජාමේ බඩ දරු අම්මලට කැලෑවලට යන්ඩ හොඳනෑ.. දුව ගෙදර නවතින්න...එහා ගෙදර කෙල්ලට මං යද්දි කියල යන්නම් මෙහෙ පොඩ්ඩක් ඇවිත් ඉන්න කියල "
"හොඳයි අම්මේ..."
මැගිලින් පොහොර උරයක් හතර්ට නවා කිහිල්ලේ ගසාගෙන බුලත් විටක්ද හපමින් සෙමෙන් සෙමෙන් ඉදිරියට යනු රේණු බලා උන්නාය...
ඇය මහ කැළය ඇතුලට ගොස් දර ඇහිදින්නට වුයේ වෙනදා පුරුද්දටය...එහෙත් ඈ අද කැළයට ඇතුලු වූයේ වෙනදා ඇතුලු වන තැනින් නම් නොවේ.. ඊට වඩා දුර තැනකිනි...ඒ පැත්තේ දර ගොඩක් වැටී ඇතැයි ගමේ ගෑණියක කීවා මැගිලින්ට මතකය..එය සනාථ කරමින් කෙටි කාලයක් තුලදී මැගිලින්ට විශාල දර ගොඩක් ඒ ගිය ඉසව්වෙන් සොයා ගත හැකි විය..
මහත් සතුටට පත් වූ ඈ ඒවා එකින් එක පොහොර උරේ තබා පිලිවෙලට සැකසීය...
"මේක බැඳගන්න මොකක් හරි තිබ්බ නම් හොඳයි..."
මැගිලින් වටපිට බැලිය..වෙනදා නම් මැගිලින් දර ටික එක්කාසු කොට හිසේ හෝ උකුලේ තබාගෙන ගෙනියන්නේය.. ඒත් අද දර ගොඩ විශාල ය...
මැගිලින් අවට බැලූවත් එය බැඳගැනීම සඳහා සුදුසු යමක් ඇස ගැටුණේ නැත..ඒ නිසා දර ගොඩ එහෙමම තබා ඈ යළි පාර දිගේ මඳ දුරක් පැමිණියේ ඒ පැත්ත මඳක් නුපුරුදු නිසා ගහක වැලක් වත් ඇද්දෝයි වටපිට බලමිනි...එක්වරම ඇය දුටුවේ කැලේ සිට පාර දෙසට ඇදුණු කිරි වැල් ජාතියකි..
බොහෝ සතුටට පත් වූ ඇය නැවී බිම තිබූ කිරි වැලක් පාරට ඇද්දා පමණි .. එක්වරම ඒ වැල යමෙකු විසින් කැලේ දෙසට අදිනු මැගිලින්ට දැණුනි..
කිසියම් චකිතයක් දැණුනද ඇය ඒ ගැන ඒ තරම් නොතකා යළිත් වේගයෙන් කිරි වැල තමාගේ දෙසට ඇද්දේය...ඒ වෙලේම යමෙකු කැලේ පැත්තට වැල ඇද ගනු ලැබුවේ ඊටත් වඩා වේගයකිනි..එය හොඳටම දැණුනු නිසා මැගිලින්ගේ හද ගැස්ම වැඩිවිය...ඉර දෙස බැලූ ඇය දැන්නම් දවල් 12 ට ආසන්න බව සනිටුහන් කර ගත්තාය...
කෙසේ නමුත් ඈ හිතට දිරි ගෙන වැල ඇදි පැත්තේ තිබූ පඳුරු කීපයක් මෑත් කොට හිස දමා බැලීය.. දුටු දර්ශනයෙන් ඇගේ ඇඟ කිලිපොළා ගියේය..
කිරි වැල එතී තිබුණේ පරණ කැඩී ගිය සොහොනකය..එය කැලෙන් වැසී තිබු නිසා පාරට නොපෙනෙයි...
එහෙමම පාරට පැන්න මැගිලින් පසුපස නොබලාම මහ පාරේ වේගයෙන් දිව ආවාය.. දර ඇහිදීමට ගිය නැන්දණිය දර නැතුවම ආව එකම දවස නිසාදෝ රේණු පුදුමයෙන් ඈ එන දෙස බලා උන්නාය...
"මොකෝ අම්මේ...දර ඇහිදින්ඩ නේද ගියේ... දාඩියත් දාලා..බය වෙලා වගේ..මොකෝ මේ...සනීප නැද්ද.."
මැගිලින් ගෙපිල මත වාඩිවිය...
"මට කවදාවත් නැතුව යස වැඩක් වුණානෙ..."
"මොකද්ද ඒ..."
"හා හා ...ඒව කාරි නෑ...මට තේ ඩිංගක් රත් කොරපංකො..හරිම මහන්සියි ."
රේණු ගෙට ගියපසු මැගිලින් අල්ලපු ගෙදර ගියේ තමන්ට වූ සිදුවීම ගැන බණ්ඩාර මැණිකේ හා පවසන්නටය...
"අපොයි දෙයියනේ ....මොකට උඹ කැලේ ඔය තරම් දුර ඇවිද්දද.. පුරුදු තැනින් දර ටිකක් එකතු කරගෙන ආවනම් ඉවරයිනෙ...."
එදා රෑ මැගිලින්ට හොඳටම උණ හැදුණේය...රෑ ඉස්පිරිතාලෙ ගෙනියන්නට කෙනෙක් හෝ වාහනයක් නොතිබූ නිසාම රේණු ඇයට කොත්තමල්ලි සාදා පෙව්වාය...
අසනීප ගණනකට වත් නොගන්නා මැගිලින් එදා හිසේ සිට මුලු ගතම පොරවන් නිදාගත්තේ වෙව්ලමිනි...
"ගෙට ජිනදාස එනවනෙ...බේත් ටිකක් අරගමු... එතකන් මේ කසාය ටිකවත් බොන්න"
රේණු ඇයට වෙනදා උණට දෙට බෙහෙත් සාදා ඇයට පෙව්වාය...
එලිවීමට තිබුණේ තව හෝරා කීපයකි... මැගිලින් හයියෙන් කෑ ගැසුවාය..
"එපා.......මාව අරන් යන්න එපා..... පලයා......ං....මාව ගෙනියන්න එපා..."
බියවූ රේණු එලියට බැස අඳුරේම බණ්ඩාර මැණිකේ ළඟට දුව ගියේය..
එහෙත් ඈ පැමිණ බලන විටත් මැගිලින්ගේ ඇස් සදහටම පියවී තිබුණි....

No comments:

Powered by Blogger.