අම්මා පසුපස ආ උස යන මිනිසා




























මේක මීට වසර ගණනකට කලින්, 2013දී විතර අපේ පළාතෙ පාන්දරින්ම කම්කරු රැකියාවට ගිය අම්මා කෙනෙකුගෙ සත්‍ය අත්දැකීමක්.

අද ඊයෙක නෙවෙයි, ඒ අම්මා උදේ පාන්දර වැඩට යන්නෙ කාලාන්තරයක සිටයි. අළුයම 3.30ට විතර අවදිවෙලා පවුලෙ අය වෙනුවෙන් මොනවාහෝ රත්කරල තියල තමන්ටත් කෑම පාර්සල් දෙකක් බැඳගෙන
වෙලේ නියරෙන් අඩි පාරට ගොඩවෙලා ඊළඟට බස් පාරට ඇවිත්, පාන්දර ඒ මාර්ගයේ බස් ධාවනය නොවන නිසා ඈ කිලෝ මීටර් තුනක් විතර බසයට නඟින්න කරුවලේ පාගමනින් එනවා.

මේ කියන දවසෙ පාන්දරම පොද වැහි වැටුණා. අම්ම වෙල් නියරෙන් ගොඩවෙලා අඩි පාරට එද්දිත් පොද වැස්ස එහෙමමයි. සමහර දාට නම් මේ පාරෙ ඉඳල දුර ඈත ආයතනවල වැඩ කරන මහත්තයෙක් දෙන්නෙක් ඈට මුණ ගැහෙනවා. සමහරක් දාට ඒ දෙන්න නැතත් උදේ ගමන්වාර ආරම්භ කරන බස් රිය නවතා ඇති තැනට පයින් යන රියදුරු මහතෙක් බස් පාරට ඈ හැරෙන හංදිය කිට්ටුවදි මුණ ගැහෙනවා. කොහොම වුණත් අම්මා පාරට එන වෙලාවට හන්දියෙන් බසයට නඟින්න යන කවුරුහෝ නිතරම මුණගැහෙන නිසා ඈට තනියක් දැණෙන්නෙ නෑ.

ඉතිං මේ දවසෙත් අම්මා අඩිපාරෙන් හැරිල බස් පාරට ආවෙ කවුරුන් හෝ සමඟ කතාබහෙන් හන්දියට යා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒත් ටිකක් දුර යනතුරු ඈට කවුරුත් මුණ ගැහුණෙ නෑ.

" මං අද වෙනද වෙලාවට වඩා පරක්කුයි වගේ..ඔක්කොමල ගිහින්.."

එසේ සිතමින් අඩිය ඉක්මණ් කල අම්මට ටිකක් දුර යද්දි තමන්ට පිටුපසින් කිසිවෙකු එන බවක් දැණෙන්නට වුණා. පසුපස බැලූ ඈ දුටුවෙ වැඩිහිටි වියේ සිටින පිරිමියෙක්. අඩක් තට්ටය පෑදුණු හිස මත ඇති හොඳින් පීරූ පැසුණු හිසකේ, සුදු අත්කොට කමිසය හා කළු හෝ වෙනත් තද පැහැයකින් කොටු රටා ඇඳි සුදු සරම හා අත ඇති කුඩා ගමන් මල්ල ඔහු කිසියම් වැදගත් ගමනක් යන බවට ලකුණක්. ඉක්මණ් ගමනින් ආ වැඩිහිටියා අම්මාව පසුකරමින් ඉදිරියට ගමන් කලා.

" අයියා මාබෝපිටිය හන්දියටද යන්නෙ?"

අම්මා ඇහුවෙ ඔහු තමන්ව නොදුටුවාසේ ගිය බැවින්. යන්තම් හිස හරවා ඈ කී දේ ඇසුණු බව පෙන්වූ මිනිසා "ඔව්" යැයි පැවසුවා. ඉන් අම්මට ඇතිවුණේ සතුටක්. ඈ මේ කිලෝ මීටර් තුනකට ආසන්න දුර තනිව යාමට බියක් දැක්වූවා. ඊටත් එම මාර්ගය අතරමැද හමුවන එක් ස්ථානයක් හොල්මන් අවතාර වලට ප්‍රසිද්ධියක් උසුලනවා.

" එහෙමනම් මාත් එක්කම යමු.. අද වෙනද යන කවුරුත් නෑ වගේ"

එයට වැඩිහිටියාගෙන් නිහඬ අනුමැතිය ලැබුණා. අනතුරුව ඔවුන් දෙදෙනා කතා බහ කරමින් ගමනේ යෙදුණා. අම්මාගේ කතාවලට බොහෝවිට "හුම්" හඬින් හො තනි වචනයෙන් පිළිතුරු දුන් ඔහු තමන් යන්නේ පේරාදෙණිය රෝහලේ වෛද්‍ය සායනයෙන් බෙහෙත් ගැනීමට බව පැවසූ බවයි අම්මාට වැටහුණේ.

මෙසේ සැතපුම් එකහමාරක් පමණ ගෙවූ විට ඔවුන් ඇතුළු වන්නේ නිවාස අඩු රබර් වතු යායටයි. යම්කිසි හැඟීමකින් පොළඹවනු ලැබ අම්මා එක්වරම තමන්ගෙ පසෙකින් ගමන් කරන ම්නිසා දෙස බැලුවා. ඔහු නිහඬව හිස බිමට නැඹුරු කරගෙන ගමන් කළත් කලින් දුටුවාට වඩා ඔහු උසට පෙණීම ගැන අම්මා පුදුම වුණා.

"මටත් විකාර"

එසේ සිතූ ඈ යළිත් ඉදිරිය බලාගෙන ගමන් කරන්නට වුණා. නමුත් පාරට ආලෝකය සැපයූ පහණ් කණුවක් පාසු කරද්දි ඈ තිගැස්සී ගියේ ඇගේ නෙත් කොණට හසුවූ ඔහුගේ චායාව නොනැවතී දිගුවෙමින් පවතින අයුරු දැකීමෙන්. ඒ හාම හිස හරවා මිනිසා දෙස බැලූ ඇගේ සියොළඟ වෙවුලා ගියා. ඇයට ඔහුගේ මුහුණ දකින්නට ලැබුණෙ අඩි දහයකටත් වඩා ඉහළින්. මිනිසා තවත් උස යමින් සිටියා. ඒත් බියට උගුර හිරවීමත්, මුව වියළී යෑමත් නිසා අම්මාට කෑගැසීමට තබා කෙඳිරියක් පිට කිරීමට ලැබුණෙ නෑ. යන්ත්‍රාණුසාරයෙන් මෙන් ඈ පය ඉක්මන්කොට මිනිසාගෙන් වෙන්ව ඉදිරියට ඇදුණා.

ඊළඟ පහණ් කණුවටත් ළඟයි. මිනිසා පසුකොට සෑහෙන දුරක් ඉදිරියට ආ අම්මා යළි පසුපස බැලුවෙ මිනිසාගෙන් තමා දුරස් වී ඇති බැව් සැකහැර දැණගන්නයි. ඒත් ඈ දුටුවෙ බිය උපදවන දසුණක්.

කලින් පුවක් ගසක් මෙන් උස යමින් සිටි මිනිසා දැන් වයස හය හතක කුඩා දරුවෙකු තරම් මිටිවී සිය කුඩා දෙපා වේගයෙන් තබමින් අම්මාගේ ළඟින්ම ඈ පසුපසින්ම එමින් සිටියා.

" දෙයියනේ.."

බියෙන් වෙවුලන හඬක් පිටකල ඈ දුවන්නට පටන් ගත්තා. ඒත් වරක මිටි වෙමින් හා වරෙක ඉතා උස් වෙමින් ඒ මිනිසාත් ඇගේ වෙගයෙන්ම ඈ අසළින් ගමන් කළා. දෙපාවලට හැකි උපරිම වේගයෙන් බෑවුම් පාර දිගේ අම්මා දිව ගියේ ඉදිරියේ නිවාස දෙකක් ඇති බව සිහිවීමෙන්.

එක්වරම ඈ පසුපසින් බල්ලෙකු හති ලන්නාක් වැනි හඬක් ඇසෙන්නට වූවේ අම්මාගේ දිවිල්ල නවතමින්. ඒ ස්මඟම ඉතා උස හා දැවැන්ත රුවක් කුණු මාළු ගඳක් වැනි ගඳක් පිටකරමින් ඈ පසුකොට වේගයෙන් ඉදිරියට ඇදී ගියා. ඒ අර පුද්ගලයායි. කලින් තිබු පිරිසිදුකම වෙනුවට ඔහුගේ ඇඳුම් වැරහැලිව ගොස් තිබූ අතර මුහුණෙහි හා දෑත්වල ඉහඳ පණුවන් නලියෑ බව අඳුර කපාගෙන යාන්තමට ගලා එන හිමිදිරි හිරුඑළියෙන් ඈ දුටුවා. අම්මාව පසුකොට ඉදිරියට ඇදුණ මිනිසා එක්වරම යළි මිටි වෙමින් පාළු පෙදෙසකට දිවෙන මඟකින් හැරී නොපෙණී ගියේ අම්මාගේ සිරුර පුරා ඩහදිය වැගිරෙද්දි.

ඈ වැටෙමින් , නැඟිටිමින් ආසන්නයේ තිබූ නිවසක් වෙත දිවගියා. මේ සිදුවීම ප්‍රසිද්ධ වීමෙන් අනතුරුව තවත් අයට මේ අද්භූත උස යන හා මිටි වෙන මිනිසා හමුවූ බවට කණින් කොණින් කතා ඇසුනත් ඒවා එතරම් ප්‍රසිද්ධියට පත්වුණේ නෑ. ඒ අම්මා ඒ සිද්ධියෙන් පසුව සිය රැකියාව පවා අතැර තමන්ගෙ විවාහක දුවකගෙ ගෙදරකට පදිංචියට ගිය බව දැනගන්න ලැබුණා.



No comments:

Powered by Blogger.