තනි වූ සමන්මලීගේ ඇගට වැහුණු කවිදුගේ ආත්මය

























මලහිරු බැසගොස් මලානික අදුර වටපිටාව වෙලා ගද්දී ඈතින් පේන නිසොල්මනේ රැලි නගින කරඔ වැව දිහා පුංචි සමන්මලී බලා සිටියේ දෑසේ කදුලු පුරවන්. විටින් විට අසල නිවසෙන් ඇසෙන කුසුමා නැන්දාගේ
අදෝනාව ඇගේ පපුව කීරී ගැසීමට සමත් වුණා. දිගු සුසුමක් අරන් පිටකර ලය සැහැල්ලු කරගත්
සමන්මලී හිදගෙන හුන් තැනින් නැගිට නිවසදෙසට පියමැන්නේ දෑසේ කදුලු පිසදමමින්..

"දුව අද මලගෙදර පැත්තේ යන්නැද්ද...?"

ගෙට ගොඩ වු තම දියණියගෙන් නන්දා ඇසුවේ මලගෙදරයාමට ලෑස්ති වෙන ගමන්. තම සහෝදරයෙකු මෙන් තමා සමගම එකට සිටි කවිදු ගේ වියෝව ඇගේ කුඩා සිතට දරා ගැනීමට නොහැකි තරම් වුණා. නැවතත් හිතේ ඇති වී අලුත් වු දුක ඈ තම මව බදා වැලදගනිමින් පිට කර ගත්තා.

"අනේ පුතේ දැන් අඩලා වැඩක් නෑ.. ඒ දරුවා ගෙනාපු ආයුෂ ඔච්චරයි"

"මං දැන් කාත් එක්කද අම්මේ සෙල්ලම් කරන්නේ. මට කෝ දැන් මල්ලි කෙනෙක්..අනේ කවිදු මල්ලී..!!"

නන්දා තම දියණියව ලයට තුරුලු කර ගත්තේ දෑසේ කදුලුද සමගින්. තමාගේම දරුවෙක් මෙන් ආදරේ දැක්වූ කවිදුගේ වියෝව ඈටත් විශාල දුකක් උනා.

සමන්මලී කවිදුගේ අවසන් කටයුතු සිදු කරන දවසේ උදේ සිට හවස් වන තුරු ඔහුගේ නිසල සිරුර සතපවා තිබූ පෙට්ටිය අසලටම වෙලා කාලය ගත කරා. සසර බැදි සහෝදර ප්‍රේමයක් සේ ඔවුන් දෙදෙනාගේ එකමුතු කම හා ආදරය ගැන ඔවුන් දෙදෙනා දිහා බලා ගම්මුන් කතා කරේ බොහෝ කණගාටුවෙන්..

"ඔය ලමයි දෙන්නා හරියට එක කුස උපන් සහෝදරයෝ වගේ උන්නේ.."

"ඔව් ඔය කවිදු දරුවා බත් කන්නෙත් සමන්මලී කැව්වොත් විතරලු.."

"පොඩි කාලේ ඉදන්ම ඔය දරුවට මොලේ ගෙඩියක් තිබ්බේ. අවුරුදු 10ක් වත් ජීවත් වෙච්ච එක ගැන දොස්තර මහත්තුරුන්ටත් පුදුමයි.."

"අනේ අප්පේ වෙච්ච දෙයක්.."

කවිදු ගැන ගමේ බවලත් උදවියගේ කතා සියල්ල සමන්මලීගේ කණ වැකුණා. ඈ ඒ සියල්ල අසා සිටියේ ඊයම් බරු හදවතට කිදා බසිනවා සේ වේදනාවෙන්..

"අම්මේ මාත් කනත්තට යන්නද.."

කවිදුගේ නිසල දේහය රැගත් අවමගුල් පෙරහැර තම පසු කර පිටත් වෙද්දී සමන්මලී කෙලින්ම දිවගියේ තම මව සොයාගෙන.

" එපා පුතේ ඔයා ඔහොම ඉන්න.."

වැඩිවියට පැමිණ තවමත් තුන් මසක් වත් ගත නොවුණු තම දියණිය තනිවම කනත්තට යැවීමට නන්දාගේ හිත ඉඩ නොදුන්නා. තම මවගේ කීමට අවනත වූ සමන්මලී තම අත රැදි ලේන්සුවෙන් දෑස් පිසදා කවිදුගේ රුව සහිත මරණ දැන්වීම් පත ලයට තුරුල් කර ගත්තේ තමාට පිටුපා යන අවමගුල් පෙරහැර දෙස බලාගෙන.

"ඔයාට යන්නම ඕන නම් යමු.."
එසේ පවසමින් නන්දා වේගවත් අඩි තබමින් සුසාන භූමියට යන ලදු කැලෑ පාරට හැරුණා.

සමන්මලීද වහා ඉදගෙන හිටපු තැනින් නැගිට තම මව පසු පස දුවන්නට උනා. ඒ වන විට අවමගුල් පෙරහැර සුසාන භූමිය වෙත ලං වී තිබූ අතර එයට යාම සදහා තිබූ දොලපාර හා කැලෑපාර පසුකරමින් ඈ තම මව පසු පස දිව්වා..

තමාට පෙනි පෙනීම සෙනග අතර නන්දා නොපෙනී යද්දී පුංචි සමන්මලී ඈ සෙව්වේ දෙගිඩියාවෙන්. අවසන් වරට භූමදානය කිරීමට පෙර කවිදුගේ දේහය රැදි පෙට්ටිය විවෘත කරද්දී සමන්මලී ඒ දෙසට ඇදුණේ නිරායාසයෙන්. හදවත යලිත් වේදනාවෙන් බරවෙද්දී ඈ සෙස්සන් සමග කෑගසමින් හඩන්නට ගත්තේ තම මව සෙවීමද පසෙකලමින්..

කවිදුගේ අවසන් කටයුතු නිමාවෙද්දී සමන්මලීට යලිත් තම මව සිහියට නැගුණා. ඈ සුසානභූමිය පුරාම දෑස් යැව්වේ ඈ සොයා ගැනීමට.
සුසාන භූමියට ඉදිරියෙන් තිබූ දොලපාර පසුකරන් නැවත යන තම මව දුටු සමන්මලී තවත් එක් වරක් කවිදුගේ සොහොන් ගැබ දෙස බලා මව පසු පස දුවන්නට උනා.

"කලබල නැතුව ටිකක් හොයමු නන්දා අක්කේ කෙල්ල ඔය කොහේහරි ඇති.."

පැය දෙකකට ආසන්න කාලයක් තම දියණිය සෙව් නන්දාගේ හද අනියත බියකින් වෙලී ගියා..

"මං ඔහේට කී පාරක් කියලා තියෙනවද කෙල්ලව තනියෙන් එහෙමෙහෙ යවන්න එපා කියලා.."

සිරිදාස තම බිරිදට කෑ ගැසුවේ ඔහුගේ සිතද සමන්මලී වෙනුවෙන් බියෙන් ගැහුණු නිසා..

"මගෙන් කනත්තට යන්නද ඇහුවා මං එපා කිව්වම කෙල්ල ඕන් ඔතන වාඩි වෙලා හිටියා.. පස්සේ මං ගෙට ගියා.."

"කෙල්ල කනත්තට ඇවිත් හිටියනේ නන්දා අක්කේ.. හැබැයි මං ආපහු එද්දි නම් දැක්කේ නෑ.."

අසල නිවසක කාන්තාවක් එසේ පවසද්දී සිරිදාස තවත් කිහිපදෙනෙක් සමග කනත්ත පැත්තට දිව්වේ කෙලෙස හෝ තම දියණිය හොයා ගැනීමේ අදහසින්..

"හොදට බලපල්ලා.."

සමන්මලීගේ නම කියා කෑගසමින් ඔවුන් කැලය පීරා ඇයව සෙව්වත් ඇගේ හෝඩුවාවක් හොයාගැනීමට අපොහොසත් වුණා. දරු සෙනෙහස අභියස වෙඩුරු පිඩක් මෙන් උණුවුණු සිරිදාසගේ හද කදුලු වරුසාවක් වී නෙත් වලින් කඩා හැලුණා.

"සිරිදාස අයියේ..!! සිරිදාස අයියේ.."

තමා සමග පැමිණි සගයෙකුගේ හඩ කණවැකෙත්ම කටු අකුල් ගල් මුල් වල හැපෙමින් සිරිදාස ඒ දෙසට දිව ගියේ එක හුස්මට.. දොල පාර අසල කැලයට වෙන්න වැටී තිබූ සමන්මලිගේ සිරුර දුටු ඔහු වියරුවෙන් කෑ ගසමින් සිහිසුන් වී ඇද වැටීසිටි තම දියණිය දෝතට ගනිමින් විදුලි වේගෙන් දිව ගියා. අසල්වැසි කාන්තාවන් කිහිපදෙනෙකු සමග කනත්ත දෙසට එමින් සිටි නන්දා තම දියණිය ඔසවා වේගෙන් දිව යන සිරිදාස දකිද්දී විලාප තබමින් ඔහු පසු පස දිව ගියා..

"අනේ වෙදමහත්තයෝ මගේ රත්තරං කෙල්ල.."

"ම්ම්ම්.. බයවෙන්න කාරියක් නෑ. කෙල්ලට කලන්තයක් අල්ලලා.."

වෙදමහතාගේ පිලිතුරෙන් නන්දාත් සිරිදාසත් රැස්වෙලා හිටපු කීපදෙනාත් සැනසුම් සුසුම් හෙලුවා..

"සිරිමලියෝ අනේ රත්තරනේ උඔට මොකෝ උනේ.."
ඇයට සිහිය ලද සැණින් නන්දා ඈ බදා ගන්නා ගමන් අසුවා. කිසිවක් නොපැවසූ සමන්මලී තම මහපටගිල්ල මුවේ හොවා ගනිමින් නන්දාට තුරුල් වුණා..

"සිරිදාස...!!"

ආපසු පිටත් වීමට හැරුණු සිරිදාසට ඇමතුවේ වෙදමහත්තයා.. නන්දාත් සමන්මලීවත් පිටත් කර හැර ඔහු ආපසු හැරුණා.

"වෙදමහත්තයෝ.."

"මං මේ සැකේට වගේ අහන්නේ කෙල්ල තනිපංගලමේ මේ හවස් කොරේ කොහෙවත් ගියැයි.."

"අද අර දොලේ ගෙදර පොඩි එකාගේ භූමදානේ නේ වෙද මහත්තයෝ.. අපේ හාමිනේ එපා කියද්දී තනියම කනත්තට ගිහින්. උන් දෙන්නා හිටියේ එකටම නොවෑ"

සිරිදාසගෙන් ලද පිලිතුරු තමාගේ සැකේ වැඩි කරන්නට හේතු වුවත් වෙදමහතා ඒ පිලිබඳ කිසිවක් සිරිදාස සමග පැවසීමට ගියේ නෑ..

"ඇයි වෙදමහත්තයෝ .."

"නෑ බයවෙන්න කාරියක් නෑ.. කෙල්ල ගැන හොද සෙවිල්ලෙන් ඉන්න. මොකක් හරි වෙනසක් දැක්කොත් ඒ ගමන්ම මට කියන්න ඕන.

"ඒ කිව්වේ වෙදමහත්තයෝ .."

"ඒ කිව්වේ කෙල්ල කලින් හිටියට වඩා කෙල්ලගේ හැසිරීමේ වෙනසක්.."

"හොදමයි.."

සිරිදාස ආපසු නිවසට ගොස් මේ පිලිබඳව නන්දාත් දැනුවත් කරා. වෙනදාටත් වඩා නන්දා සමන්මලී ගැනම ඇහැගහගෙන හිටියේ නිවසෙහි වැඩත් පසෙකලා..දවස් හතරක් පහක් කිසිදු විශේෂයකින් තොරව ගත වෙලා ගියා.

"අම්මේ.. මට කුක්කු පිටි එකක් හදලා.."

දිනක් උදෑසන නිදිබර දෑස් අතින් පොඩි කරමින් කුස්සියට ආ සමන්මලීගේ කතා විලාසෙන් නන්දා වික්ශිප්ත වුණා. ලිය ලියා සිටි මැල්ලුම් මිටිය පසෙකට දැමූ ඈ අඩියට දෙකට තම දියණිය අසලට ගියා.

"මොකක්ද පුතේ ඔයා කිව්වේ..!!"

"මගේ කුක්කු පිටි එක"

කිසිදවසක තම දියණිය එසේ කතා නොකරන බව හා ඈ පිටි වර්ග නොබොන බව මතක් වු නන්දාගේ ඉහමොල රත් වුණා. ගෙදරට පිටි නොගෙනෙන්නේ සිරිදාසද වඩා ප්‍රිය කරේ ද කහට කෝප්පයට නිසා. මද වේලාවක් බලා සිට තමාට අවශ්‍ය දේ නොලැබුණු සමන්මලී අඩාගෙන කෙලින්ම දිවගියේ කවිදුගේ ගෙදරට.
නන්දාද ඈ පසු පස දිවගියා.

කවිදුගේ නිවසේ මුලුතැන්ගෙටකෙලින්ම දිවගිය සමන්මලී කුසුමාගෙන් එලෙසම හුරතල් වෙවී කිරි වීදුරුවක් සාදා ගැනීමට ඇවිටිලි කරා. සාදා දුන් කිරි විදුරුව අතට ගත් සමන්මලී එය නැවත හලා ගත්තේ තවත් කෝප්පයකට. ඒදෙස බලා සිටි කුසුමා දෑස් විසල් කර ගනිමින් නන්දා දෙස බැලුවේ ඒ කෝප්පය කවිදුගේ නිසා.

කිරි වීදුරුව එක හුස්මට බී ඈ කෙලින්ම දිව ගියේ කවිදුගේ කාමරයට. නන්දාත් කුසුමාත් ඒ පසුපස ගොස් කාමරයේ දොර රෙද්ද මදක් මෑත් කර බැලුවේ ඇයගේ හැසිරීම තනිකරම කවිදුගේ මෙන් වූ නිසා.

ඇද මත වාඩි වී කාමරයේ තිබූ සෙල්ලම් බඩු වලින් සමන්මලී සෙල්ලම්කරමින් හිටියා. කුසුමාගේ දෑසින් කදුලු වැටෙද්දී නන්දා බියෙන් ත්‍රස්ත වී සිටියා.

නන්දා කෙතරම් ඇවිටිලි කරත් සමන්මලී කුසුමාගේ නිවසින් ඒම ප්‍රතික්ෂේප කරා. ඒ නිමේෂයේම නන්දා දිව ගියේ සිරිදාස හොයාගෙන. දියණියගේ අමුතු හැසිරීම් පිලිබඳව සිරිදාස සමග නන්දා පැවසුවේ හැඩූ කදුලින්. යමක් මතක් වු කලෙක මෙන් අත රැදි උදළු මිටිය පසෙකට විසිකර දමා ඔහු කෙලින්ම දිවගියේ වෙදමහතා සොයාගෙන.

ඈත තියාම ගුරු පාර දිගේ කඩිමුඩියේ දිව එන සිරිදාස දුටු වෙදමහතා කාරණේ නුවණින්ම අවබෝධ කර ගත්තා. හප හපා සිටි බුලත් හපය මිදුලට විසිකර දමා ගෙට වැදී කමිසයක් ඇගලා ගත් හෙතෙම සිරිදාස දිව එන ඉදිරියට පියමැන්නා..

"වෙදමහත්තයෝ..."

" යමං යමං මන් දන්නවා කාරණය.."

හති දමමින් දුව ආ සිරිදාසට කාරණය කියන්නටත් පෙර වෙදමහතාගේ ලැබුණු පිලිතුරෙන් මදක් පුදුමයට පත් වුණා. වචනයක් වත් නොදොඩාම ඔහු පය ඉක්මන් කරමින් කුසුමාගේ නිවසට ලගා වුණා..

"කෝ කෙල්ල.."

කුසුමාගේ නිවසට ගොඩවී හිදගත් වෙදමහතා ගෙට එබෙමින් ඇසුවා..

"කාමරේ වෙද මහත්තයෝ ..."

"අඩන්න තරම් දෙයක් මෙතන වෙලා නෑ නන්දාවතියෝ.. කට්ටියම ටිකක් මෙහෙට ආවනම්.."

වෙදමහතා අසල සිටි නන්දාත් කුසුමාත් සිරිදාසත් තමාගේ ලගට කැදවුවා..

"කලබල වෙන්නඩ දෙයක් නෑ. දැන් ඔය සමන්මලී කෙල්ලගේ ඇගේ ඉන්නේ නැතිවෙච්ච කවිදු දරුවගේ ආත්මේ.."'

වෙදමහතා එසේ පවසද්දීම නන්දා ශබ්ද නගා වේගෙන් ඉහල ගත් හුස්ම එලෙසම රදවා සිටියේ දෑස් විසල් කරගෙන..

"මගේ දරුවා!!!"

"ඔව් කුසුමාවතී උඹේ දරුවා.."

"ඇයි වෙදමහත්තයෝ එහෙම මගේ කොල්ලට පිං මදි වෙලාද "
එසේ අසමින් කුසුමා හඩාවැටෙන්නට වුණා..

"මං කිව්වනේ කලබල වෙන්න කාරියක් නෑ කියලා . කෙනෙක් මනුෂ්‍ය ශරීරය අත අරිද්දිම තව ප්‍රාණයකට ඇතුල් වෙනවා. සමහරු තමන්ගේ පිං පව් අනුව සැරිසරනවා. තවත් සමහරු ඒ කිව්වේ හදිසි මරණවලදි ඒ ආත්ම එක පාරටම තමන් හිටි තැන් තමන් ආස දේවල් අතඅරින්නෑ. කවිදු දරුවත් ආන්න ඒ වගේ සමන්මලිගේ ඇගට වෙලා කරන්නේ..

උඔලා බය වෙන්න එපා හත්දොහේ දානෙත් එක්ක ඔය ඔක්කොම අහවර වෙයි පිං අරන් ඒ දරුවගේ ආත්මේ සුදුසු තැනකට යයි. එතකන් ඔය දරුවා ඉල්ලන ඉල්ලන දේවල් දීලා සතුටෙන් තියපල්ලා..

වෙද ශාස්ත්‍රයේ මෙන්ම ගුරුකම් ශාස්ත්‍රයේ හසල බුද්ධියක් තිබූ වෙද මහතා පැවසූ ලෙසම ඔවුන් සමන්මලීගේ ඇගට ඇතුල් වී සිටි කවිදුගේ ආසාවල් ඉෂ්ට කරා.. හත්දවසේ බණ කියා පසුදා දානයද දී පිං අනුමෝදන් කල පසු සමන්මලි සිහිසුන් වී ඇද වැටුණා. ඈ යලිත් පියවි සිහිය ලැබුවේ අවසානෙට තම මව පසු පස කනත්තට ගිය මතකයත් සමග පමණයි..

නමුත් එදා නන්දා කනත්තට නොගිය බව ඈ දැනසිටියේ නෑ. කිසිවෙකුත් සිදු වු කිසිවක් ඈ හට නොපවසා සිටීමට අවසානයේ තීරණය කරා..


No comments:

Powered by Blogger.