චිකන් කොත්තු කන්න ආ රාළහාමිගේ ආත්මය

























මෙය අතුරුගිරිය ප්‍රදේශයේ මිතුරෙකු විසින් මාහට එවා තිබූ කතාවක් අනුසාරයෙන් ලියන ලද්දකි.

එම ප්‍රදේශයේ 'නයිට් කඩ' අතරින් ඉතාම ජනප්‍රිය මෙන්ම රාත්‍රී කාලය පුරා ඉතාම කාර්‍යය බහුල එක්තරා 'නයිට්' කඩයක් ඇත. එහි සෑදෙන ආහාර වල රසය පිළිබඳව අතුරුගිරියේ පමණක් නොව එම මාර්ගය ඔස්සේ දුරගමන් ධාවනය වන බස් රථවල නිතර ගමන් ගන්නා පුද්ගලයින් මඟින් රටේ බොහෝ දෙනෙක් අතර පරසිදුය.

එක්තරා මඳ වැහිබර දිනක වෙනදා මෙන්ම සෙනඟ පිරී ඉතිරී ගොස් මහත් කලබලකාරී ස්වභාවයක් ඉසිලූ
නයිට් කඩයට ගොඩවූවේ රාජකාරිය නිසා වැහි වතුරෙන් තෙතබරි වුණු රථවාහන පොලිසියේ රාළහාමි කෙනෙකි.

" ආ.. මුදලාලි ..හොඳටම තෙමුණා.. මට හොඳවැයින් චිකන් කොත්තුවක් දාමුකො.."

රාළහාමිගේ මුහුණුවර මුදලාලිට මතකය. තිස්ස දෙවේලේ මහපාර සමඟ සම්බන්ධව සිටින කඩේ ඇත්තන් හා ට්‍රැෆික් පොලිස් රාළහාමි මේ කඩයේදීම මීට කලින් හමුවී ඇතුවාට මුදලාලිට සැකයක් නොවීය.

" සුනිලො... දාපං අපේ රාළහාමිට නියම චිකන් කොත්තුවක්... රාළහාමි ඇතුළෙන් වාඩි වෙන්ඩකො..උණු කෝපි එකකුත් එවන්ඩද?"

එයට පිළිතුරක් නොදුන් පොලිස් රාළහාමි කඩය තුළට ගියේ තෙත නිල ඇඳුම දෑතින් පිස දැමීමට උත්සහ ගනිමිනි. කොත්තු සාදන සුනිල් කොළුවාද පොලිසියේ රාළහාමි වෙනුවෙන් අනෙක්වාට වඩා ළූණු, කුකුළුමස් හා රසකාරක එක් කරමින් සියළු ශිල්ප මනාව යොදා කොත්තුව සෑදුවේය.

" මුදලාලි... රාළහාමිගේ කොත්තුව...හරී.."

"ආ... යවපං ඔය ඉන්නෙ චූටිය.. ඌ අතේ.."

කොත්තුව ගත් චූටියා කඩය තුළට වැදුණද ගිය පමාවෙන්ම ආපසු මුදලාලි වෙත ආවේය.

"කඩේ ඇතුළෙ රාළහාමි කෙනෙක් නෑ මුදලාලි... ගුණේ අයියත් කිව්ව එහාටනම් රාළහාමි කෙනෙක් ආවෙ නෑ.. එහෙනම් මුදලාලි ළඟ බලන්ඩ කියල.."

"මොනව බං? ඇයි මුදලාලි දැන් ටිකකට කලින් නෙවැ ඇතුළට ගියේ... මේ සුනිලත් දැක්කනෙවැ.. එහෙමනං වැසිකිලිය දිහාවට යන්ඩ ඇති.. හිටහංකො ටිකක්.."

තවත් මිනිත්තු කිහිපයක් ඇතුළත වරින් වර කඩය තුළට කොත්ටූව රැගෙන ගිය චූටියා ආපසු ආවේද එය රැගෙනමය.

" කෝ බං මේ රාළහාමි ? මුදලාලිට ඔල්මාදෙද? මං දැං කී පාරක් ගිහිං බැලුවද ? වැසිකිලියෙ කොයි වැඩේ කරත් දැං එන්ඩ කල්නෙ.."

චූටියා එය පැවසුවේ කොත්තුබාස් සුනිල් සමඟිනි. සුනිල් ඉන් පුදුමයට පත් වූවේය. රාළහාමි කඩය තුළට යන අයුරු ඔහුද දුටුවේය. දැන් කොත්තුවද නිවී ඇතුවාට සැකයක් නැත. මේ ගැන මුදලාලිට කියූ සුනිල් හා චූටි කඩය පුරාමත්, වැසිකිලි, මිදුල් හා පිළිකනු අවටත් රාළහාමි සොයා වෙහෙසුණොය. ඔහු බීමත්ව පැමිණ කොහේහෝ වැටී ඇතැයි මුදලාලි සැක කලේය. එහෙත් රාළහාමි ඒ කොහේවත් සිටියේ නැත. එසේම මුදලාලි හා සුනිල් විසින් දුටු රාළහාමිව කඩයේ ඒ වේලාවෙහි සේවයේ යෙදී සිටි හෝ ආහාර ගනිමින් සිටි කිසිවෙකුත් දැක තිබුණේ නැති බවද එවිටම අණාවරණය වූවේය.

සිදුවූ දෙය පිළිබඳව නිනව්වක් නැති මුදලාලිගේ සිතට එක්වරම පොලිස් රාළහාමිගේ හැඩරුව සිහිවූවේ ඔහුගේ මුළු සිරුරම ඩහදියෙන් තෙත්ව භීතියෙන් වෙවුලද්දීය.

එදින ඔහුගේ නයිට් කඩයට ගොඩවූ පොලිස් රාළහාමිව මුදලාලි දුටුවේ ඊට දින කිහිපයකට පෙර ඔහුගේ කඩයට ටිකක් දුරින් මහමඟ දරුණු රිය අනතුරක් සිදුවූ ස්ථානයකදීය. අද වැනිම මඳක් වැහිබර අඳුරු දිනයක බර වාහනයකට හසුවී එතැනම මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් එහි පාර මැද තිබුණේය. විවරවී එළියට පැන තිබූ ඇසින් යුතුව තමා දෙස බලා ඉන්නාසේ තිබූ මළ සිරුරේ හැඩහුරුකම හා තෙත්ව තිබූ පොලිස් නිල ඇඳුම ඔහුගේ මතකයට ආවේය. අද ඒ තෙතබරිත නිල ඇඳුම පිටින්ම පණ ඇති පුද්ගලයෙකුසේ තම කඩයට ගොඩවූ රාළහාමිත් සිහිවීමෙන් මුදලාලි සිහි මූර්ජාවී ගියේය.


No comments:

Powered by Blogger.