රූමත් ගුවන් සේවිකාවගේ පවුල කඩාකපල්කරමින් ප්‍රේතියක් කරපු දේ

යම් යම් දෙයට යම් යම් ස්ථානවලට හා යම් යම් පුද්ගලයන් කෙරෙහි සිත එල්බ ගැනීම කාමාවචර ලෝකයේ ස්වභාවයයි. ලෝභයක් (රාගයක්) හෝ ද්වේෂයක් සිතේ හටගන්නේ ආස්වාදයේ ආදීනවය නොදන්නාකම හෙවත් ඇත්ත ඇති සැටියෙන් නොදන්නා මෝහය නිසා ය.

එසේ තන් තන්හි හා වුණ සම්බන්ධ වුණු (තණ්හා) සිත එහි දැඩි සේ අල්ලා ගැනීම උපාදානයයි. තණ්හා පච්චයා උපාදානං තණ්හාව හේතු කොට ගෙන උපාදානය හට ගනී. උපාදානය නිසා මතු වන ලෝභ බව හෝ ද්වේෂ බව මරණාසන්න චුති සිතට ශක්තියක් ඇති කරයි. උපාදාන පච්චයා භව - ඒ ලෝබ බව හෝ ද්වේෂ බව ඊට ගැළපෙන ජාතියක් ලබාදෙයි. භව පච්චයා ජාති, ඒ අනුව උපතක් සිදුවෙයි. මේ හේතු ඵල දහමයි.
ආර්යයන් වහන්සේ නමකගෙන් සිරි සද්ධර්මය අසා දැන අවබෝධ කැර නොගත් පුද්ගලයා මේ නිසා ඉපදි ඉපදි මැරි මැරී සංසාර ගමනේ දුකට පත්වෙයි. මෙය අවබෝධ කැර ගත් පුද්ගලයා ධර්මයේ හැසිරී පිළිපැද යටත් පිරිසෙයින් සෝවාන් මාර්ගයටවත් එළඹ මරණයෙන් පසු සතර අපා දුකින් මිදෙයි‍. එය ඉතා දුර්ලභ ය. මේ පෘථිවියෙහි ඇති සම්පූර්ණ පස් ප්‍රමාණය මුළු මිනිස් ගහනයට සමාන කළොත් සතර අපා දුකෙන් මිදෙන්නේ මෙපමණකැයි නිය පිටින් පස් ටිකක් ගෙන පෙන්වා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසා ය.

අශ්‍රැතවත් පෘථග්ජනයා මරණාසන්න මොහොතේ එසේ තදින් අල්ලා ගත් අරමුණක් සිතට මතු­වීම නිසා තමන් කැමැති දෙයක් හෝ ස්ථානයක් හෝ පුද්ගලයෙකු ඇසුරු කරමින් ඉපදීම අනිවාර්ය වේ‍.

කොළඹට ආසන්න ප්‍රදේශයක උපන් රශ්මිකා තිස් හතර හැවිරිදි රූමත් ගුවන් සේවිකාවකි. ඇය සමඟ පෙම් බැඳ විවාහ වූ කාංචන ඇගෙන් වෙන්වී ඇය සමඟ සමඟි සමාදානයට වසර ගණනක් ම උත්සාහ කොට දැන් දික්කසාදවීමට අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත. ඊට හේතුව වූයේ විවාහ වූ මධුසමය ගෙවූ දිනෙන් පසු ඇය ඔහුට ඇගේ අතින්වත් අල්ලන්නට ඉඩ නොදී ප්‍රතික්ෂේප කිරීම නිසා ය. ඊට හේතුව වශයෙන් කියන්නට කාංචනගේ ඇති වරදක් හෝ අඩුපාඩුවක් නැති බව රශ්මිකා ද පිළිගනී‍.

කෙසේ නමුත් ඒ මුල් දිනයේ ම පිළිසිඳ ගත් දරුවා දැන් හතර හැවිරිදි පුතෙකි. ඒ පුතා ඉසුරු ය‍. මේ මවත් පුතාත් නිතර හීනෙන් බියට පත් වෙන්නට වූහ. නි‍ෙවසේ ඡායාවක් එහා මෙහා ගමන් කරනු පෙනෙන්නට විය. ළදරුවා අහසට දෑත් දිගු කොට මොන මොනවාදෝ මුමුනන්නට විය. වයස අවුරුදු දෙක පමණ වනවිට දෑත් විදහා “අම්මා... අම්මා...” යි අඬන්නට විය. බහ තෝරන විට ඇඟිල්ල දිගු කොට “ඒ අම්මා....” යැයි පෙන්වන්නට විය. මේ අසාමාන්‍ය තත්ත්වය වළක්වන්නට විවිධ වත් පිළිවෙත් කළත් ගැටලුව විසඳුණේ නැත. දැන් ඉසුරු සිවු හැවිරිදි ය.

බැරිම තැන රශ්මිකා සිය සහෝදරිය සමඟ ඉසුරු ද රැගෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියාය. එහිදී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී දරුවාට පවතින තත්ත්වයත්, දෙදෙනාම හීනෙන් බියට පත්වීම හා නිවෙසේ පවතින අසාමාන්‍යතාවත් පැහැදිලි කළාය.‍

පළමු රෝග පරීක්ෂාවේදී දී ම ඉසුරු පුතා වෙව්ලන්නට වී වැටුණේ ය. ඊළඟට රශ්මිකා වේගයෙන් වෙව්ල වෙව්ලා හූ කියන්නටත් කෑගසන්නටත් වූවාය. සුරූපී රශ්මිකා ඊට හාත්පසින් වෙනස් වූ ස්වරූපයකට පත් වූවාය.

“මට මගේ දරුවා දීපල්ලා. නැත්නම් මම කොලුවා මරලා අරගෙන යනවා” යි කෑගසන්නට වූවාය.

ගවේෂකවරයා ඒ භූතාත්මය පාලනය කොට ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ” යි ඇසීය.

“මම මේ දරුවගෙ අම්මා” යි ප්‍රේතිය කීවාය.‍

“නම මොකක්ද?” නිමාලි.

“ගම කොහේද?” “ හොරණ”

“මේ අයට කරදර කරන්නේ මොකද?”

“මේ මගේ පුතා... රශ්මිකා බලෙන් තියාගෙන ඉන්නවා. මට මගේ පුතා ඕනෑ.”

“මේ පුතා විතරද හිටියේ?”

“නෑ... මේ වැඩිමහල් පුතා නිමන්ත. තව තුන් දෙනෙක් හිටියා. උන් මට මතක නැහැ. නිමන්ත පුතාට තමයි මම වැඩියම ආදරේ.”

“එහෙනම් අවුරුද්දට ළමයා ගණනෙ ලැබිලා නේද?”

“ඔව්”

“තමුන් කොහෙද හිටියේ?”

“හොරණ. මමයි පුතයි දියේ ගිලී මැරුණා. ඊට පස්සේ හොරණ පැත්තේ අහසේ පාවි පාවී හිටියා‍. පුතා හිටි‍ හැටියේ මේ රශ්මිකා ළඟට ඇදිලා ගියා... මමත් ආවා. ඒත් මට රශ්මිකාගෙ බඩට රිංගන්න බැරි වුණා.”

“ඒ මොකද?”

“මම දන්නේ නෑ. ඊට පස්සෙ මම රශ්මිකාගෙ ගෙදරට වෙලා හිටියා. රශ්මිකා මගේ පුතාව බලෙන් තියාගෙන ඉන්නවා. මම මගේ පුතා අරගෙන යනවා.”

“ඇයි මෙච්චර කල් අරගෙන යන්න බැරි වුණේ?”

“‍රශ්මිකා දන් පින් කරනවා‍. ගෙදර මල් පහන් පූජා කරනවා‍. පිරිත් කියනවා. මට තවම බැරි වුණේ ඒකයි. ඒත් කවදා හරි මම මගේ පුතා අරගෙන යනවා. මම දැන් යක්ෂණියක් වගෙයි.”


රශ්මිකා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා ඇයට තත්ත්වය පැහැදිලි කළේ ය. සමහර විට මේ යක්ෂණිය රාත්‍රියක ආවිෂ්ට වී රශ්මිකාගේ දෑතින් ම ගෙල මිරිකා දරුවා මරා දැමිය හැකි බැවින් ඉසුරු වෙන් කර තැබීම හොඳ බව වටහා දුන්නේ ය. ඒ අනුව රශ්මිකාගේ මෑණියන්ගේ නිවෙසේ දරුවා නතර කරන්නට පිළියෙල කොට ඒ නිවෙසටත් දරුවාටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා දුන්නේ ය. එහෙත් දරුවාත් ආච්චිත් සමඟ ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය. ඊළඟට‍ පැමිණෙන දින මේ තත්ත්වය පැහැදිලි කොට කාංචන ද කැඳවා ගෙන එන ලෙස ද උපදෙස් දුන්නේ ය.

බෝධි පූජා අවසන් කළ ඔවුහු නැවත පැමිණියහ. එදින දරුවාගේ පියා කාංචන ද පැමිණ සිටියේ ය. එදින ද ගවේෂකවරයා රශ්මිකා දිෂ්ටි ගන්වා කතා කළේ ය.

“දැන් මොකද අදහස?” යැයි භූතාත්මයෙන් ඇසීය.

“පුතා බෝධි පූජාවලට යන කොට මමත් ගියා. ඒත් පුතාව මරලා මගේ ළඟට අරගෙන යන්නමයි හිත” යැයි ප්‍රේතිය කීවාය‍.

“ඔබට පුළුවන්ද එහෙම මරලා අරගෙන යන්න?”

“පුළුවන්.”

“බැහැ. ඔබ මැරුවොත් දරුවා කෙළින් ම දිව්‍ය ලෝකයකට ඇදිලා යනවා‍. මේ දරුවා පින්වන්තයි. ඔබ පවුකාරයි. පවුලක් කඩා කප්පල් කළා. දැනුත් ප්‍රාණඝාත චේතනාවකින් ඉන්නේ.‍ දරුවා දිව්‍ය ලෝකයකට ගියාම ඔබට කිසි දිනක පුතා දැක ගන්නවත් ලැබෙන්නේ නෑ.

ප්‍රේතිය මහ හඬින් හඬන්නට වූවාය. “අනේ, මහත්මයා, මම ඉතින් මොනවද කරන්න ඕනෑ” මට දැන් නවතින්න තැනක්වත් නෑ.”

“ඔයා මා ළඟ නතර වෙන්න. මම ඔයාට උදව් කරන්නම්” යැයි ගවේෂකවරයා කීවේය.

“අනේ, ඇත්තමද? ඔයා හරිම හොඳයි” කියමින් ප්‍රේතිය ගවේෂකවරයාගේ අතින් ද අල්ලා ගත්තාය. “ඉතින් මම කොහොමද දරුවා මරන්නේ?” යි නැවතත් ඇසුවාය.

“දරුවා මරන්න එපා. ඒක මහා පාපයක්. මැරුවත් දරුවා ඔබ ළඟට එන්නේ නෑ. මම ඔබට උපායක් කියන්නම්. ඔබ ඔබේ පුතාට ආදරේ නම් පුතාට උදව් කරන්න.”

“ඒ කොහොමද?”

“අපි ඔබට පින් අනුමෝදන් කරන්නම්. ඒ පින් අරගෙන මිනිස් ජාතියේ නැවත උපදින්න. මේ රශ්මිකාගෙ බඩේම පුතා ගෙ සහෝදරයෙක් වෙලා උපදින්න.”

“අනේ... හොඳයි. ඒක හොඳයි” ප්‍රේතිය එකඟ වූවාය.


ගමේ පන්සලට දානයක් පිරිනමා හොරණ නිමාලිගේ ප්‍රාණකාරියට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

දානය පිරිනමා පින් අනුමෝදන් කොට ආපසු පැමිණි දිනයේ පලතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

දැන් කාංචනාත්, රශ්මිකාත් දික්කසාද නඩුව ඉවත් කරගෙන දරුවා සමඟ නැවතත් එක වහලක් යට සමඟියෙන් සතුටින් ජීවත් වෙති.

මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ

No comments:

Powered by Blogger.