අයියාව තමන්ගේ ලෝකයට ගත් නැගෙනිය























" අම්මේ... නංගි මට රිද්දනවා..."

මා ඉහල මාලයේ සිට පහත මාලය වෙත දුවමින් පැවසුවේ මවට ඇසෙන්නටය. නමුත් ඈ කිසි හාවක් හූවක් නැත. මම එ් පිම්මෙන්ම උද්‍යානය වෙත දිව ගියෙමි. ඔව්... ඈ එහි වල්පැල උදුරමින් සිටී.

" අම්මේ. නංගි ආයිත් මට රිද්දුවා. අද මගේ කොන්ඩෙන් ඇදන් හිටියා. ඒත් එයාට ගහන්නවත් බෑනේ... එයා මට රිද්දලා හිනාවෙනවා. "

මම දිගින් දිගටම කියාගෙන ගියද ඕ ඒ කෙරෙහි අවධානය යොමු නොකර මා දෙසත් නිවෙස දෙසත්
මාරුවෙන් මාරුවට ඇගේ විසල් කරගත් දෑස් හෙලන්නට විය.

" මාකස්. ඔය විහිලු කරන එක නවත්තන්න. ඔයා හැම⁣දාම ඔය මෝඩ කතාව කිය කිය මගේ ඔලුව විකාර කරනවා. ඔයා හොඳටම දන්නවනේ මොකද්ද පහුගිය දවස්වල වුනේ කියලා. ආයිත් ඔය...හ්... විකාර...හ්... ක..තා..."

අවසානය හැඬුම් අතරින් නිම නොකල මව ඕ අතැතිව වූ කුඩා අත් මුල්ලුව පසකට විසිකර නිවෙස වෙත දිවගියාය.

" මාකස්. ඇයි ඔයා අම්මව අඬවන්නේ?"

පුංචි ජොවානා... එනම් මගේ අවුරුදු තුනක් වයසැති පුංචි නැගෙනිය ම⁣ගේ අතේ එල්ලුනාය.

" ජොවානා.. ඔයා නිසා තමා හැමදේම. මං අර විකාර පරිසර කඳවුරට ගිහින් ආපු ටිකට ඔයා ගොඩක් නපුරු වෙලා. මම සතියයි මේ ගෙදරින් ගියේ. ඔයා අම්මගෙ හිත රිදෙන්න මොනව හරි කිව්වද?"

මම යන්තමින් පටලවා ගත් වචන ඈ වෙත විසි කලෙමි. මා ඈ වෙත විසිකල වචන එහෙන් මෙහෙන් ඇහිඳ ගනිමින් හිස ඇල කරගත් ඕ මා වෙත යලි පිළිතුරු ප්‍රහාර එල්ලකලාය.

" ඔයාට පිස්සුද ⁣මාකස්. මම මුකුත් කලේ නෑ. මං අර විලට වැටුන එක විතරයි කලේ. ඒකෙන් අම්ම බය වුනා. එයා මාව ආයිත් ගොඩට ගත්තා. ඉස්පිරිතාලෙත් ගෙනිච්චා. මට සනීප වුනා. එච්චරයි...."

" මන්දා ජොවානා. මොකක් වුනත් ඔයා අම්මගෙ හිත රිද්දුවා. මං ඔයා ඒක්ක තරහයි."

මා යලිත් ඇය වෙත එල්ල කල වදන් ඈගේ හිසට බර වැඩි වූ නිසාදෝ යලි කිසිඳු වදනක් මා වෙත නොපවසා දෑතින් දෑස් වසා ගෙන මා වෙතින් ඉවත්ව ලැහැබ වෙත දිව ගියාය. මම හුන් තැනම වාඩි වුනෙමි. ජොවානා ගිය දෙසට යම්ද , මව වෙත යම්ද යන පැනය මා තුල ඒමේ අත හොල්මන් කරන්නට විය. අවසනදී මම මව තෝරා ගතිමි.

නිසොල්මනේ නිවෙස වෙත පා තැබූ මම නිහඬවම නිවසට ඇතුලු වුනෙමි. මව...?. කොහිද ඇය. මම නිවස හාත්පස බැලුම් හෙලන්නට වීමි. ඇය ආලින්දයේ අසුනක අසුන් ගෙන දුරකථනට කෑ ගසමින් හුන්නාය.

" නෑ විලියම්. ( විලියම් මාගෙ පියාගේ නම විය.) දැන් එයා එයාගෙ නංගි ගැන කියවනව වැඩියි. මට තවත් මේවා අහන් ඉන්න බැහැ. ඔයාට.... අයියෝ... තේරෙන්නැද්ද මනුස්සයෝ... මං කියන්නේ... නැ නැ... මම කියන්නේ එයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නමු. එයා පිළිගන්නේ නැහැ එයාගෙ නංගි විලට වැටිලා මැරුනා කියලා. කොටින්ම. එයා මැරෙනවා කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැහැ. එයාගෙ අවුරුදු පහක මොලේට ඒක තේරුම් ගන්න අමාරුයි. ඔයාට තේරෙනවනේ..... ඔව්... ආහා... හ්ම්ම් ...."

' මොකද්ද මැරෙනවා කියන්නේ?.'

ඒ ව⁣චනයේ තේරුම විසඳීමේ අමාරු කාර්යය මාගේ මනසට භාර කරමින් මම අනෙක් පස හැරුනේ මාගේ නැගෙනිය වෙත යාමටය. නමුත් මා හැරෙන සුනංගුවෙන් ඕ මාගේ පසුපස සිටියාය. අහෝ! ඈ සම්පූර්නයෙන්ම ජලයෙන් තෙමී හුන්නනාය.

" ජොවානා. ඔයා... ඔයා හොඳටම තෙමිලා. ඇයි මේ. අම්ම දැක්කොත් ඔයාට බනීවි ආයිත් විලට බැස්ස කියලා."

ඈගේ මුහුන රත් පැහැ වී තිබුනේ බොහෝ වේලා හැඬූ බව කියන්නට මෙනි. ඒ පෙනුම මාගේ සිත තුල වූ තරහ නිමන්නට මා වෙත හෙලූ සීත සුලං රැල්ලක් මෙන් විය.

" මගේ... මගේ ටෙඩියා... එයා.. ආයිත් වතුරට වැටුනා. මාකස්. අනේ මං එයාව ගන්න හැදුවට ගන්න බෑ. මට එයාව අරන් දෙන්න පුලුවන්ද?"

මම මදක් කල්පනා කලෙමි. අනෙක් පස හැරී බැලූ විට මව තවමත් දුරකථන සංවාදයේ සිටිනු දුටිමි. ඇයට මේ මොහොතේ කරදර කිරීම යුතු නොවේ. මම මගේ නැගෙනියගේ සීතල වුනු අත අල්ලා ගත්තෙමි.

" හරි. යමු"

ලෑලි ඇතිරූ කුඩා පාලම දිගේ මම ඈ සමඟ විල වෙත ගියෙමි. මා සිටි තැනට ඔබ්බෙන් නැගෙනියගේ දුඹුරු පැහැ ටෙඩියා පා වෙමින් සිටිනු දුටිමි. මම ' ජබුං' හඬ නංවමින් විලට පැන්නෙමි. නමුත් විල ගැඹුරුය. මම යටට ගිලී ⁣ගියේ හුස්ම ගැනීමට මා සතුව තිබූ අයිතියද ජලය විසින් උදුරා ගන්නා අතරය. අවසන් වරට මා දුටුවේ ලී පාලම මත හිඳ මා දෙස බලා හුන් ⁣මාගේ කුඩා නැගෙනියවය. ඇය කිසිඳු හැලහොල්මනක් නැතිවම මා දෙස බලා හුන්නාය. මාගේ දෑස්වලට ගෝචර වූ අවසන් ආලෝකයද මට නොපෙනී යන්නට විය.



No comments:

Powered by Blogger.