කුලී නිවසේ අවතාරය






















මෙය මගේ ජීවිතයේදී මුහුණ දුන් සත්‍යම අත්දැකීමක්. බය හිතේවියි කියන්නත් බෑ..නමුත් සැබෑ ජීවිතේ මම මුහුණ දුන් පළමු හොල්මන් පිළිබඳව අත්දැකීම කාලයකට පස්සෙ ආවර්ජනය කිරීමක් මේ.

ඒ කාලෙ වෙනකොට මම පාසලේ දෙවැනි ශ්‍රේණියෙ ඉගෙනගත්ත පුංචි දැරියක්. අපි, ඒ කියන්නෙ අම්මා, තාත්තා සහ මම ඒ කාලෙ පදිංචි වෙලා හිටියෙ රත්නපුරේ. මගෙ දෙමව්පියන් රැකියාව කලේ රත්නපුරේ. ඒ නිසා අපි කෑගල්ලේ සිට රත්නපුරයට පදිංචිය මාරු කරන අපි ජීවත් වුණේ කුලී නිවාසවල. මම ඒ වෙද්දි ඉගෙන ගත්තෙ ර/ජේසු බිළිඳුගේ කන්‍යාරාමයේ.

ඒ වෙද්දී බලංගොඩ පාරෙ හුණුවල කියන ගමේ පදිංචිවෙලා හිටිය අපිට රත්නපුර නගරයට ආසන්න ප්‍රදේශයකට එන්න වෙන්නෙ මගෙ අම්මාට හුණුවල ධර්මරාජ විදුහලේ සිට ජේසු බිළිඳුගේ කන්‍යාරාමයට
මාරුවක් ලැබෙන නිසයි. ඉතිං අපේ ආර්ථික තත්වය සහ කුලී නිවාස සෙවීමෙදි අපිට සහය වූ අයගෙ දැණහැඳුනුම්කම් මත අපිට සරිලන නිවසක් ලැබෙන්නෙ කරංගොඩ ප්‍රදේශයෙන්. එය දෙමහල් ගොඩනැගිල්ලක උඩු මහල ලෙස ඉදිවුණු ලස්සන නිවසක්. පහළ මාලයෙ තවත් පවුලක් පදිංචිවෙලා සිටියා. අපි පදිංචියට ගත් නිවහන අපි ගෙවූ කුලියට වඩා බොහොම වටින බව මගේ තාත්තා කියන අයුරු මට තවම් මතකයි.

ඒ නිවසෙ විශාල ප්‍රමාණයේ නිදන කාමර 3ක්, සාලයක්, විසිත්ත කාමරයක්, නාන කාමරයක් හා මුළුතැන් ගෙයක් තිබුණා. කොහොම වුණත් ඒ නිවසට ජල පහසුකම් තිබුණෙ නෑ. හිමිකරුගේ දැණුම් දීම අනුව ඉතා ඉක්මණින් අපහට ජලනල පද්ධතිය අළුත්වැඩියා කර දීමට නියමිතයි. නිවස තුළට ජලනල පද්ධතිය ක්‍රියාත්මක නොවන හෙයින් නිවසේ නාන කාමරය පාවිච්චි කිරීමට නොහැකි වුණා. මගෙ දෙමව්පියන්ට ඒ නිවස පිහිටි වත්තේ තිබූ ළිඳකින් නිවසේ අවශ්‍යතා වලට ජලය ගෙනැත් පුරවා තබාගන්නට සිදුවුණා.

අපි ඒ නිවසේ පදිංචියට ගිය අළුත මගෙ දෙමව්පියන් නිතරම ළිඳ දෙසින් මහරෑට ඇසෙන ශබ්ද ගැන කතා බහ කරපු බව මට මතකයි. මහරෑට ඉන් කිසිවෙකු වතුර අදින බව හඟවමින් එක දිගට බොලොක්කයේ 'කිරි කිරි' හඬත්, ජලය බාල්දිවලින් වත්කරන හඬත් ඔවුන්ට නිතරම ඇසී තිබුණා. එක දිනක් මගේ පියා නිවසට ඒමට මඳක් ප්‍රමාදවූ නිසා පහළට ගොස් මඟ බලමින් සිටි අම්මාටත් , මටත් පහළ මාලයේ ඇති නිවසෙහි පදිංචිව සිටි කාන්තාව සමඟ කතාබහ කිරීමට අවස්ථාවක් පෑදුණා. ඇය උසස් රැකියාවක නියුතු උගත් කාන්තාවක්. ඈ අම්මා සමඟ ඉතාම කුළුපග වුණා. ඒ අතර ඔවුන් සිටින්නේ පහළ මාලයෙ බැවින් හා අප එහි ඒමට පෙර සිට එහි ජීවත්වූ අය නිසා මගේ අම්මා රෑට ළිඳෙන් වතුර ගන්නා උදවිය පිළිබඳව ඇයගෙන් ඇසූ බවත් ' රෑට ඒ ලිඳ දෙසින් ඇහෙන ශබ්ද පිළිබඳව සොයා බැලීමට කිසිවිටෙක එහි නොයන ලෙසත්, ඒවා නෑසුණාසේ සිටින ලෙසත්' අවවාදාත්මක ස්වරයකින් පැවසූ බව මට මතකයි.

එම හමුවෙන් කිහිප දිනකට පසු ඒ පවුල එම නිවස අතැර වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගියා.

ඉන් අනතුරුව එක් ට්දිනක් අපි තිදෙනා සාලයෙහි කෑම මේසය වටා හිඳ රාත්‍රී ආහාර ගනිමින් සිටිද්දි දොරක් ඇරෙන ශබ්දය අපි තිදෙනාටම හොඳින් ඇසුණා. ශබ්දය ආවේ නාන කාමරය හා මුළුතැන්ගේ ඇති දෙසින්. තාත්තාගේ උපදෙස් අනුව මම දොර නැවත වැසීමට එහි ගියත්, පුදුමයකට ඒ දොර වසා ඇති පරිදිම තිබුණා. මා නැවත කෑම මේසයට පැමිණ ටික වෙලාවකින් නැවත ඒ ශබ්දයම ඇසෙන්නට වුණා. එදින ඒ වෙලාවෙ එම සිදුවීම කිහිප වතාවක් වුණ අතර තාත්තාම එහි ගොස් දොර හොඳින් අගුළු ලා වසා ඇති බව සනාථ කර ගත්තා.

එදිනට පසු එම නිවසේ නාන කාමරය හා මුළුතැන්ගෙයින් නිතරම විවිධ ශබ්ද ඇසෙන්නට වුණා. කුස්සියේ උපකරණ බිම වැටෙන ශබ්ද, දොරවල් ඇරෙන වැහෙන ශබ්ද, නාන කාමරය තුළ කරාම හැර දමා වතුර ගලන ශබ්ද වැනි දේ. එය අපිට මහත් අපහසුවක් වුණා. නමුත් ශබ්ද ඇසෙනවාට වඩා බරපතළ තත්වයක් එකල තිබුණෙ නෑ.

එහෙත් මගේ මව්පියන් වහ වහා වෙනත් නිවසක් සොයන්නට පටන් ගත්තා. විවිධ කරුණු කාරණා යෙදීමෙන් හා කුලී නිවාසවල ජීවත්වීමේ අපහසුතාවයත් නිසා මගේ මව්පියන් නැවත් කෑගල්ලට පදිංචිය මාරු කරන්නට හදිසි තීරණයක් ගත්තේ ඔය අතරයි.

පසුව මා දැණගත් පරිදි ඒ නිවසේ ශබ්ද ඇසීම පිටුපස බිහිසුණු සිදුවීමක් ඇති බව මගේ පියාට දැණගන්නට ලැබී තිබුණා.

එම නිවසේ කලකට පෙර එක්දරු තරුණ යුවලක් පදිංචිව සිට තිබුණා. එකල ළමා මෙහෙකාර සේවයට තහංචි නොතිබුණ නිසා බොහෝ අය දිළිඳු පවුල් වල කුඩා ළමුන් තමන්ගෙ නිවසෙ මෙහෙකාර සේවයට යොදවා ගත්තා. මෙම නිවසේත් එවැනි වයස 10-12ක පමණ දැරියක් සේවය කොට තිබුණා. බිළිඳු දරුවෙක් ඇති තරුණ ගෘහණිය මෙම දැරියට කිසිවිටෙකත් අනුකම්පාවක් දක්වා නැහැ. නිවසේ ජලය තිබියදීත් ඇය වෙත විශාල කිළිටු රෙදි බේසමක් දී දිනපතා ඇය අසල තිබූ කළුගඟ වෙත රෙදි සේදීමට යැවීම ඇය පුරුද්දක් කොට ගෙන තිබුණා. එවන් එක දිනක රෙදි සෝදාගෙන ඒමට ප්‍රමාදවී යැයි පවසමින් ගෘහණිය මෙහෙකාර දැරියට තදින් පහර දෙනුත්, දැරිය මහ හඬින් හඬනුත් අසල් වැසියන්ට ඇසී තිබුණා. ඒ පහර දීම හා ගෝරනාඩු ඒ අසල්වැසියන්ට අළුත් ශබ්ද නොවන බවත්, ඔවුන් එම දැරිය කෙරෙහි මහත් අනුකම්පා කළ බවත් පියා සමඟ මෙම කතාව කී පුද්ගලයා පවසා තිබුණා.

නමුත් එදා සිදුවීම අති දරුණුයි. ගෘහණියගේ දරුණු පහරක් හිසට වැදුණු දැරිය සිහි මූර්ජාවී ඇද වැටී තිබුණා. මෙම සිදුවීම සිදුව තිබුණෙ මුළුතැන්ගෙයි. කලබලවු ගෘහණිය හිසෙන් ලේ ගලමින් වැටී සිටි දැරිය බිම දිගේ ඇදගෙන විත් නාන කාමරයෙහි නාන බේසම තුළට දමා නාන කාමරය අගුළු ලා තිබුණා. සිය සැමියා ආ විගස ඔවුන් කාටත් රහසින් නිවස හැරගොස් තිබුණා. නිවසෙහි පදිංචිකරුවන් පෙණෙන්නට නොමැති බව සැලවූ නිවස හිමිකරුවා දින දෙකකට පමණ පසු පැමිණ පරික්ෂා කරන විටයි ඔවුන් මියගිය දැරිය දකින්නෙ.

සිහි මූර්ජාවී සිටි ඈ පසුව සිහි ලබා අධික දුක් ව්ඳ , අසරණව අධික රුධිර වහනය හේතුවෙන් මරණය වැළඳ ගෙන ඇති බවත්, ටික කලකට පසු අපරාධකරුවන් නීතියට කොටු වූවද ඉන් අනතුරුව ඔවුන් වරදට දඬුවම් ලැබුවේදැයි ඔහු නොදන්නා බවත් ඒ පුද්ගලයා පවසා තිබුණා. එම සිදුවීමෙන් පසු ඒ දැරියගේ අවතාරය එම නිවසේ සැරිසරන බව හා ඒ හේතුව නිසා නිවස කුලියට දීමේ අපහසුවක්ද ඇතිවී තිබෙන බව ඔහු වැඩි දුරටත් කියා තිබුණා. එම සිදුවීම මා දැණගත්තේ අපි එම නිවස අතහැර කෑගල්ලේ පදිංචියට ආවාට පසුවයි.

නමුත් තවමත් මගේ සිතේ ඒ අසරණ කුඩා දැරිය පිළිබඳව ලොකු දුකක් තිබෙනවා. ඇගේ ආත්මය එම භවයෙන් මුදවා යවන්නට කිසිවෙකු හෝ ඉදිරිපත් වූවාදැයි මම තවමත් කල්පණා කරනවා.





1 comment:

Powered by Blogger.