සැලීගේ සොහොන




























කුඩා කල සිටම මම දෙවියන්ට ආදරය නොකළා මෙන්ම යක්ෂයාට බිය නොවූ වෙමි. හොඳට හෝ නරකට සිදුවූ එයට හුදෙක් ම බලපෑවේ මගේ පියාගේ ආභාෂයයි. වාමාංශිකයෙකු වූ මගේ පියා දෙවියන් වහන්සේට වඩා කාල් මාක්ස්ට ආදරය කරන්නට ඇත. යක්ෂයාට වඩා ධනවාදයට වෛර කරන්නට ඇත. ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයට සෘජුව දායක වූ අප පවුල තුළ මා ලැබූ ගුරුහරුකම් අත්දැකීම් මගපෙන්වීම් සියල්ල ද ගතානුගතික සමාජ රටාවෙන් මා වියුක්ත වීමට බොහෝ සෙයින් බලපෑවේය.

සම වයසේ අනෙක් දරුවන් රජවරුන් සිටුවරුන් සුරංගනාවියන් හා යක්ෂයන් පිරී ඉතිරී ගිය කතන්දර පොත් කියවද්දි මගේ පියා මට ගෙනැවිත් දුන්නේ රුසියානු විප්ලවයෙන් පසු එරට ලියවුනු ළමා කෘතිය. ඒවායෙහි
යක්ෂයන් හෝ දේව දූතයන් නොවීය. එම කතා තුළ සිටි කුඩා හාවෙකු ඉත්තෑවෙකු පවා යෙදී සිටියේ අර්බුද වලට සාර්ථකව මුහුණ දීම ස්වෝත්සාහයෙන් නැඟී සිටීමට වැනි කටයුතුවල ය.

බාල වියෙන් තරුණ වියට ගොඩවදින මා, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදී ඒබ‍්‍රහම් ටී කොවුර් යනු මම අතිශයින් ප්‍රිය කළ චරිතයකි. භූතයන් කුම්භාණ්ඩයන් පිරිවරාගත් සාම්ප්‍රදායික සමාජ විශ්වාසයන්ට පහර පිට පහර එල්ල වූ ඔහුගේ කෘතීන් මා ඉතා අභිරුචියෙන් කියවූවා මෙන්ම විටෙක තරුණ කොවුරුවෙකු ලෙසද මම හැසිරුනෙමි.

සරසවියේ මගේ සමීපතම මිතුරා වූ නන්දන සමග අතැම් රාත්‍රී කාලවල සොහොන්පිටිවල ගත කළෙමි. ඒවායෙහි සිට කට ගැසුම් සමග මධුවිත තොලගෑ වෙමි. හොල්මන් ගැවසෙතැයි ආරංචි වූ බොහෝ ස්ථානවල සිට මස් බැද කමින් මධුවිතින් මත් ව හොල්මන් වලට අඩ ගැසුවෙමි. එහෙත් අපට මුණ ගැසුණු හොල්මන් අවතාරයක් නැත. “ හොල්මන් සොයා ගොස් හිස් අතින් ආවෙමි” මගේ අත්දැකීම් අළලා මා විසින් ලියන ලද ලිපි පෙල එදවස රිවිරැස පුවත්පතේ පළවූ අතර බොහෝ පාඨක පිරිසකගේ ජනාදරයට ද පත් විය.

අප විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටින අතර මීගමුව ප්‍රදේශයේ සිටි නන්දනගේ දුර ඥාති සොහොයුරකු ගෙන් ලිපියක් ලැබුණි. දීර්ඝ වූ එම ලිපියේ සඳහන් කර ඇති දේ ඔබට කෙටි කොට පවසන්නේ නම් ඔවුහු සඳහන් කර තිබුනේ එම ගම් ප්‍රදේශයේ ඇති සොහොන් කොතක් අසල ගැවසෙන අවතාරය සම්බන්ධයෙන්ද අපට සොයා බලන ලෙසයි.

ලිපිය ලැබී ටික දිනකින් මමත් නන්දනත් එම ගම් පියසට ගියෙමු. අප පිළිගත්තේ නන්දනගේ ඥාති සොහොයුරා වූ රුවන් සහ ඔහුගේ පියා වූ හේමදාස මාමායි. ආ ගිය තොරතුරු කතාබස් කිරීමෙන් පසු හේමදාස මාමා අපට කිව්වේ මෙවැනි කතාවකි.

“ පුතේ අපේ ගෙදර ඉදන් හැතැක්මක් විතර ගිහාම තියෙනවා ලොකු පොල්වත්තක් එක්ක බංගලාවක්. ඒ බංගලාවේ ජීවත්වුනේ ටිකක් තරුණ පහේ ජෝඩුවක්. මනුස්සයකෙ නම වික්ටර් අත්තනායක. ගෑණූ මනුස්සයගේ නම සැලීනා. මනුස්සය වැඩකලේ නැවක. ඒ නිසා නිතර ගෙදර නෑ. මාස ගානකින් තමයි ගෙදර එන්නේ. ඔය සැලීනා කියන ගෑණීගෙ චරිතෙනම් අන්තිමයි. වයිවාරන මිනිස්සු එනව මිනිහ නැති කාලෙට ඔය බංගලාවට. කොටින්ම බංගලාවෙ පොල්වත්තෙ පොල්කඩපු කොල්ල එක්කත් ඔය ගැනිගෙ පැටලැවිල්ලක් තිබුණා. වික්ටර් කියන මනුස්සය ගෙදර ආවම ඉතින් රණ්ඩු ඉවරයක් නෑ. සත්සමුදුර තරණය කරන්න ගියත් ඕව ආරංචි වෙනව නැතෑ. ඉවසල ඉවසල බැරිමතැන දවසක් ඔය මිනිහ ගැනිට වෙඩි තිබ්බ ඔලුකටු කුඩු වෙන්නම. ඊට පස්සෙ මිනිහ පැනල ගියා. අදටත් පොලිසියට අල්ල ගන්න බැරිවුනා. රට පැන්න කියලත් කියනවා.සැලීනගෙ අවසන් කටයුතු කලෙත් ඔය වත්තෙමයි. වත්ත කෙලවරට වෙන්න ලොකු සොහොනක් බැදල තියෙනව. ඕක සිද්ධ වෙලා දැන් අවුරුදු දෙකක් විතර ඇති. මලාට පස්සේ ඔය ගෑණී සොහොන ලග හොල්මන් කරනව. දැක්ක බයට වෙච්ච උන් එමටයි. පුලුවන්නම් ඕක ගැන හොයල බලන්නයි අපි එන්න කිව්වෙ. “

ඔවුන්ගේ කතාව කෙටියෙන්ම එළෙසිනි. ඔවුන් දෙදෙනාද සමග අප දෙදෙනා දිවා කාලයේ එම වත්ත අසල ගැවසී තොරතුරු සොයැ බැලුවෙමු. සැලීනාගේ සොහෙන තිබුනේ වත්ත කෙලවරක පාර අසලම වන්නට නිසා වත්තට ඇතුල් නොවීම අපිට එය නිරීක්ෂනය කරන්නට හැකි විය.

මන බදන රූසපුවෙන් පිරිමි සිත් වසග කල රූමතිය ඉතින් ඈ එතන නිදි. සොහොන අවට ප්‍රදේශයේ පොල් වගාවක් නොවු අතරම එම ප්‍රදේශය වල් වැදී තිබුනේ කිසිවෙකුත් එම ප්‍රදේශ්‍ය ගැන උනන්දුවක් නොදක්වන නිසා වන්නට ඇත.

“ මේකෙ මුරකාරයෙක් නැද්ද? “ ඒ නන්දට ආපු ප්‍රශ්නය.
“ ඇයි නැත්තේ. ඔය බංගලාව පිටිපස්සේ පුංචි මුර ගෙයක් තියෙනවා. ඒකෙ මුර පවුලක් ඉන්නව. ඒත් එකෙක්වත් රෑ උනාට පස්සේ මේ පැත්තට එන් නෑ. හෙමිහිට මේ වැටේ කම්බිපොටවල් දෙකක් එහෙමෙහෙ කරලා වත්තට පනින්න පුලුවන්.

වත්තක්, අලුත් බංගලාවක් වත්ත පල්ලෙහ කැලෑවැදුනු කොටසක ලොකු අලුත් සොහොනක්. මේකෙ මොන හොල්මන්ද? මීට වඩා ගුප්ත පරිසර වලත් හොල්මන් නොදැකපු අපිට මේක මොක්කද? මට භූමිය නිරීක්ෂණය කරල ඉවර වෙනකොටම හිතුනා. කොහොම උනත් රෑ එකොලහ විතර වෙනකොට ගල් අරක්කු බෝතලයයි හේමදාස මාමලගෙ ගෙදර හදපු උරුමස් ඇතිලියකුයි අරගෙන මමයි නන්දනයි කලුවරේම සැලීනගෙ සොහොන ගාවට යන්න පිටත්වුනා.

“ කොල්ලනේ පරිස්සමෙන් “ හේමදාස මාම යන්න පිටත්වෙනකොට අපිට කිව්වෙ එහෙමයි. අපි හිනා වෙවි ගමන පිටත් වුනා. යන ගමන් මමයි නන්දනයි කතාවුනේ මේක එච්චර වැඩක් නැති ගමනක් කියන එකයි. කොහොම උනත් වල්උරුමස් හට්ටියකුත් එක්ක ගල් අරක්කු බෝතලක් හිස්කිරීම සදහා අනුග්‍රය දැක්වු හේමදාස මාමාට සහ රුවන් මල්ලීට ස්තුති වන්ත වෙමින් අපි හොර රහසේ සැලීනාගේ සොහොන ඇති පැත්තෙන් එම වත්තට ඇතුල් උනෙමු.

ඒ විසල් සොහොන නිසලය පාලුය. ගම්බද පලාතක රැයෙහි ඇසෙන ශබ්ද හැර වෙනත් අමුතු බිහිසුනු ඇග කිලිපොලන හොල්මන් අවතාර ශබ්ද නැත. සොහොන් කොතේ සිමෙන්තිය මත ඉද ගත් අපි උෟරු මස් කෑල්ලක රස බලමින් අරක්කු ටිකක් උගුරෙන් පහලට හලා ගැනීමට සූදානම් වූයෙමු.

“එහෙනම් සැලී අපි සෙට් වෙන්න හදන්නේ. ඔයා දොයිය ගන්න බබෝ. අපෙන් ඔයාට කරදරයක් නෑ.” එසේ කියමින් නන්දන අරක්කු බෝතලය විවෘත කලේය.

“ ආග් අයියෝ” කෙදිරිය ඇසුනේ සොහොනට මදක් ඈතින් වු පදුරු ගොල්ලක් තුලිනි.
“ කවුද බං. සැලීද ?” තිගැස්සුනු නන්දන මගෙන් ඇසුවේය.
“ පිස්සුද යකෝ. ඒ පිරිමියෙක් කෑ ගැහුවෙ. යමන් බලන්න. මුරකාරයද දන්නෑ” එසෙ කියමින් මම නන්දන සමග පදුරු ගොල්ල වෙත ගොස් එය පීරා බැලුවෙමි. හේමදාස මාමා සහ රුවන් එතන බිම වැතිර සිටියහ. හේමදාස මාමා සහ අසිහියෙන් කෙදිරිගාමින් සිටි අතර රුවන් සිටියේ සිහිසුන්වය. දෙදෙනාගේ තත්වය අවදානම් බව දැනගත් අපි වටේ පිටේ මිනිසුන්ටත් අඩ ගසා අපි දන්නා තරමින් වු සිද්ධිය පැහැදිලි කර ඔවුන් වහ වහා රෝහල් ගත කලෙමු.

සිදු වුයේ කුමක්දැයි අපි දැන ගත්තේ දින කීපයකට පසු රුවන් විසින් සිදු කල පාපෝච්ඡාරනයෙන් පසුවය. නන්දන සහ මා හොල්මන් ඇතියි එම ප්‍රදේශයේ ඇතැමුන් විශ්වාස කරන සැලීගේ සොහොනට යවා බය කිරීමට සැලසුම් කර ඇත්තේ එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ යකදුරෙකි. ඔහු හේමදාස මාමා සහ රුවන් ලොකු මුදලක් ගෙවා මේ සදහා දායක කරගෙන ඇත. අප බය වු පසු පෙරකී යකදුරා ලවා තෙල් මතුරා නුල් බැදීමත් ඉන් අනතුරුව පත්තරේට හොල්මන් නැතැයි ලිපි ලියන තරුණ මහත්තයා අවසානයේ හොල්මනකට බයවු බවත් පසුව මීගමුව ප්‍රදේශයේ දක්ෂ යකදුරකු විසින් සුවපත් කල බවටත් විශාල ප්‍රචාරයක් කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත. පරංගියා කෝට්ටේ ගියා සේ දුර පාරකක් සැලීනාගේ සොහොනට යාමට අපට පෙන්වා දුන් හේමදාස මාමා සහ රුවන් කෙටි පාරකින් අප පිටත්වූවාට පසු ගොස්, අපට බොහෝ වේලාවක පෙර සොහොන පිටුපස පදුරු ගොල්ලක සැගවී සිට ඇත්තේ අප බියකරන අටියෙනි.

“ වෙස්මුණු දෙක කුත් අරගෙන අපි සොහොන පිටිපස්සේ පදුරු ගොල්ලේ හැංගුණා. එහෙම හැංගිලා ඉන්න ගමන් මම වෙස්මුණ දාගන්න හදනකොටම එකපාරටම සීතල අතක් පිටිපස්සෙන් ඇවිත් මගෙ උරහිස උඩින් තියනව දැනුනා. මට මහ අමුත්තක් දැනුන නිසා මම එකපාරටම ආපහු හැරුණා. අප්පච්චිත් හැරුණා. අපිට පිටිපස්සේ හිටියේ සැලීනා නොනා. වෙඩි වැදිල කෑලි හැලෙන ඔලුවෙන් ලේ පෙර පෙර ඒ ගැණී අපි දිහා වියරුවෙන් බලාගෙන හිටිය. මායි අප්පචිචි කැහගෙන දිව්ව. තවත් පදුරු ගාලක් අස්සෙන් දුවද්දි ඉස්සරහින් දුවපු අප්පච්චි ඇදගෙන වැටුනා. එයාගෙ ඇගේ පැටලිලා මමත් ඇදගෙන වැටුනා. මට මතක එච්චරයි “ රුවන් කතාව ඉවර කලේ එහෙමයි.

“ ඒ කියන්නේ සැලී ඇත්තටම ඇවිත් ද?. ඒත් ඒක එහෙමනම් සැලීගෙ හොල්මන තියෙනව කියල පෙන්නන්න හදපු මිනිස්සු දෙන්නවම සැලී බය කලේ මොකද? හොල්මන් නෑ කියන අපිව නෙ බං බය කරන්න තිබුනෙ “ නන්දනට ප්‍රශ්න කෝටියයි.

“ මැරිච්ච මිනිස්සු බොරුකාරයන්ට කැමති නැතුව ඇති බං “ මම එහෙම කිව්වා.


No comments:

Powered by Blogger.