මත්කුඩු නිසා ජිවිතය අහිමි කරගත් කල්හාරි ප්‍රේතියක් වී මහේෂිකාගේ ඇඟට ඇතුළුවුණු ඇඟ කිළිපොලා යන කතාව

සියලු මව්පියන් බලාපොරොත්තු වන්නේ තම දූ දරුවන් දොස්තරුන් හෝ ඉංජිනේරුවන් කරන්නට ය. අධ්‍යාපනයේදී දරුවන්ගේ ඕනෑකම, උත්සාහය හා වීර්යය ප්‍රධාන වේ. එසේම කර්මානුරූපව ගෙන එන ගති ලක්ෂණ ද බලපායි. පරිසරය ඊටත් වඩා බලපායි.
කොළඹට ආසන්නව ජීවත් වූ වැදගත් පැළැන්තියක ජයසූරිය පවුල දෙමහල් මන්දිරයක කල් ගෙවූහ. දියණිය කල්හාරි එකම දරුවාය. ඇය දොස්තර කෙනෙකු කිරීම මවුපියන්ගේ එකම අභිප්‍රාය විය.

කල්හාරි සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා ඉහළින් සමත් වූවාය. ඒ සතුටට මවුපියෝ ඇයට ඉතා වටිනා පරිගණකයක් තෑගි කළහ. ඉහළ මාලයේ කාමරයක කල් ගෙවූ ඇය පාසල් නොයන වේලාවන්හි අන්තර්ජාලයේ සැරිසරන්නට වූවාය. උසස් පෙළ විභාගයෙන් කල්හාරිට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලකුණු මදි විය.

ඇගේ පෙම්වතා පාණදුරේ සුනෙත්ය. සුනෙත් විභාගය ‍හොඳින් සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍ය උදා කැර ගත්තේය. ස‍ුනෙත් ද ඉතා ධනවත් පවුලක දරුවෙකි.

කල්හාරි දෙවැනි වතාවටත් විභාගය අසමත් වූවාය. අන්තර්ජාලය තුළම කල් ගෙවන ඇය නිතර කාමරයේ දොර වසාගෙන බටහිර සංගීතයට අනුව පා තබමින් නැටීමට ප්‍රිය කළාය. ඒවා ඉඳහිට දකින ඇගේ මව කට කොනකින් සිනහ වුණා මිස කිසිවක් නොකීවාය.

කල්හාරි ඇමරිකාවට යවා උගන්වන්නට මවුපියෝ සැලසුම් කළහ. එය දැනගත් සුනෙත් ඊට විරුද්ධ වූවාය. එහෙත් කල්හාරි ද ඇමරිකා යන්නට කැමැත්තක් දැක්වූවාය.

කල්හාරි ඇමෙරිකා ගිය පසුද සුනෙත් ඇයට ආපසු එන්නැයි නිතර ම බල කළේය. එසේ බල නොකරන ලෙස ඇගේ මවුපියෝ සුනෙත්ට අවවාද කළහ. බැරිම තැන සුනෙත් නිහඬ විය.

දැන් සුනෙත් ගණකාධිවරයෙකි. ඉහළ වැටුපක් ලබමින් උසස් දිවි පෙවෙතක් ගෙවයි. කල්හාරි ඔහුට කතා කරන්නේ ද නැත. සුනෙත් කතා කරනවාට ද අකමැතිය. මටත් ජීවිතයක් තිබිය යුතු යැයි සිතූ සුනෙත් මහේෂිකා නමැති ඉංජිනේරුවරියක සමඟ විවාහ විය.

විවාහ වී මාස තුනක කාලයක් පටන් මහේෂිකාගේ ශරීරයට ක්ලාන්ත ගතියක් අප්‍රාණික ගතියක් දැනෙන්නට විය. දැන් විවාහ වී අවුරුදු දෙකකි. මේ වන විට ඇගේ දෙකකුල් ද අප්‍රාණිකය. ඔවුන්ට තවමත් දරු සම්පත් ද නැත. නිවසේ වරින් වර යම් ඡායාවක් එහා මෙහා යන අයුරු ඔවුන්ට පෙනෙන්නට විය. කායික වෛද්‍ය ප්‍රතිකාර හා මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොවීය. ආගමික වත්පිළිවෙත්වලින් ද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් ද සහනයක් නොවීය.

අන්තිමට සුනෙත් ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත මහේෂිකා කැඳවාගෙන ගියේය. එහිදී අධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී ඇගේ කායික රෝග තත්ත්වයන් හා නි‍වසේ පවතින අද්භූත තත්ත්වයන් වි‍ස්තර කොට ප්‍රතිකාර පැතූහ.

ගවේෂකවරයා මහේෂිකා වෙත ශක්ති කිරණ එල්ල කොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇගෙන් අමනුෂ්‍ය දෝෂයක ලක්ෂණ පැහැදිලි විය. ඒ නිසා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඊට අවශ්‍ය උපදෙස් දුන්නාය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ රෝග පරීක්ෂාවේ යෙදෙන විට මහේෂිකාගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට වූවාය. ගවේෂඛවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා කරදර කරන්නේ?” යි ඇසීය.

“මම කල්හාරි” යි භූතාත්මය උත්තර දුන්නාය.

“කවුද කල්හාරි කියන්නේ?”

“මම සුනෙත්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්”

“ඇයි ඉතින් මේ මහේෂිකාට හිරිහැර කරන්නේ?”

“මට වැරදුණා... මට වැරදුණා... මුළු ජීවිතේ ම වරද්දා ගත්තා” යැයි අඬන්නට වූවාය.

“මොකක්ද වැරදුණේ? කියන්න අපි ඔබට උදව් කරන්නම්.”

“මම සාමාන්‍ය පෙළ සමත් වුණාම අම්මයි තාත්තයි මට ලැප් එකක් තෑගි දුන්නා. මම ඉන්ටනෙට් ගිහිල්ලා බැලුවේ හොඳ දේවල් නොවෙයි. ඒකෙන් උසස් පෙළත් වැරදුණා. ඊට පස්සෙ අම්මලා මාව ඉගෙන ගන්න කියලා ඇමරිකාවට යැව්වා. එහේදි මුණ ගැහුණු යාළුවෝ නිතරම ප්‍රීතියෙන් ඉන්න අය බව පෙනුණා. මම ඒ අය එක්ක ක්ලබ් ගියා. අරක්කු බිව්වා. එක එකා එක්ක තානායම්වල දවස් ගණන් ගත කළා. ජීවිතය හරිම සුන්දරයි කියලා හිතුණා. පාටපාට ලෝකයක පියාසර කළා. ගෙදර අය මේවා දන්නේ නෑ. තාත්තා සල්ලි එවනවා. මම ඒ සල්ලිවලින් විනෝද වුණා.”

“මත්පැන් පානය නරක බව දන්නෙ නැද්ද?”

“දන්නවා. ඒත් ඒ රටේ යාළුවෝ එක්ක ආශ්‍රය කරන ‍කොට නොබී ඉන්න බැහැ. අන්තිමට ඒකට ඇබ්බැහි වුණා. ඒ සමහර යාළුවොත් මගේ සල්ලිවලින් ම බොන්න පුරුදු වුණා.”

“තමන්ගෙ ජීවිතය තමන්ම වරද්දාගෙන ඇයි මේ අයට දැන් කරදර කරන්නේ?”

“මම සුනෙත්ගේ අවවාද පිළිගත්තෙනෑ. ඒත් සුනෙත්ට ආදරෙයි.”

“වෙන ජාති කාරයොත් එක්ක තානායම්වල ලගිනකොට සුනෙත් මතක් වුණේ නැද්ද?”

“නැහැ බීලනෙ හිටියේ.”

“ඉතින් අන්තිමට මොකද වුණේ?”

“සුනෙත් විවාහ වුණා කියලා මට ආරංචි වුණා. එදා මට දරා ගන්න බැරි දුකක් ආවා. එදා දවසම ඇඬුවා. ඒ දුක නිවා ගන්නත් කළේ බොන එකම තමයි. ඔය අතරෙ මට සමාජ රෝග වැලඳුණා. ඒක දැන ගත්තාම එල්එස්ඩී කියන උග්‍ර මත්ද්‍රව්‍ය ගත්තා. සුනෙත්ගෙ හොඳ ගති ගුණ මතක් වුණා. ආදරය මතක් වුණා. මට වැරදුණා. මම පැරදුණා. මාත්‍රාව වැඩියෙන් ගත්තා. සුනෙත් හොයා ගෙන එන්න හිතුණා. මම හිටපු කාමරය තිබුණේ තට්ටු ගොඩනැඟිල්ලක අටවැනි තට්ටුවේ. මම සුනෙත් කියාගෙන බිමට පැන්නා. ඒ එක්කම මා සුනෙත් ළඟට ඇදිලා ආවා. මට සුනෙත් ළඟට වෙලා ඉන්න ඕනෑ නිසා මහේෂිකා වැඩ ඇරිලා ගෙදර ආවාම මහේෂිකාගේ ඇඟට රිංගනවා.”

“ඉතින් තමුන් කරන වැඩේ හරිද?”

“නැහැ... නැහැ... වැරදි බව දන්නවා. ඒ දෙන්නා විවාහක බවත් දන්නවා. මගේ හැසිරීම් වැරදි බවත් දන්නවා.”

“ඇයි දැහැමි චර්යාවන්ට හුරු වුණේ නැත්තේ?”

“මගේ අම්මයි තාත්තයි දෙන්නත් උප්පැන්නයට බෞද්ධයෝ. මටත් හුරු වුණේ ඒවා තමයි. නමට විතරක් බුද්ධාගම්කාරයෝ.”

“ඔව් බුදු දහම මාරග චර්යාවක්. වැඩපිළිවෙළක්. බුද්ධාගම කියන්නේ ආගමක්. ආගම්වලින් කරන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම හොඳින් දිගින් දිගට පවත්වාගෙන යන එක. බුදු දහම ආගමක් නෙමෙයි. සංසාර දුකින් මිදෙන්න ගමනේ නැවැත්ම කියා දෙන දහමක්. පැවැත්මයි නැවැත්මයි ප්‍රතිවිරුද්ධ දෙකක්. ඒ නිසා දැන්වත් සංසාර ගමනේ “නැවැත්ම” ගැන හිතන්න. ඔබ දැන් කල්හාරි නොවෙයි. ප්‍රේතියක්. ජරා ජීර්ණ ගඳ ගහන ප්‍රේතියක්. වේදනාවෙන් දුකෙන් පීඩාවෙන් දැවෙන ප්‍රේතියක්. මම මේ අයට තවත් සතියක් බෝධි පූජා නියම කරවා. එතැනට ගිහින් බුදු පිළිම වහන්සේ දිහා බලා හිත නිවාගන්න.”

“මට යන්න බැහැ. මම ඉන්නෙ නිරුවතින්. මට ඇඳුම් නැහැ” යි ප්‍රේතිය කීවාය.

දුප්පත් කාන්තාවකට ඇඳුම් කට්ටලයක් පිරිනමා බෝධි පූජා අවස්ථ‍ාවේදී ඒ පින සිහිපත් කොට කල්හාරිගේ ප්‍රාණකාරියට අනුමෝදන් කරන ලෙස සුනෙත්ට උපදෙස් දුන්නේය. ඉන්පසු පන්සලට හීල් දානයක් පිරනමා ප්‍රේතියට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ද කීවේය.

ඊළඟට පැමිණි දිනයේ මහේෂිකාට ආවිෂ්ට වූ ප්‍රේතිය තමන්ට ඇඳුම් ලැබුණු බවත්, පින් අනුමෝදන්ව සතුටු වන බවත් තමන්ගේ වැරදිවලට සුනෙත්වත් මහේෂිකාවත් වැරදි නැති බව දැන් වැටහෙන බවත් මින්පසු මේ අයට කරදර නොකර ඉවත්ව යන්නට කැමති බවත් කීවාය.

සුනෙත් ලවා සුදුමල් වට්ටියක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

-මතුගම මහින්ද විජේතිලක-

No comments:

Powered by Blogger.