නුවර සුරූපිණියක් වූ ගිමාරාට යක්ෂ බන්ධනයක් කරපු මනෝජ්ට සිදුවුණු ඇඟ කිළිපොලා යන කතාව

හොඳින්, සාධාරණයෙන්, නීතියෙන් කරගන්නට බැරි දේවල් සමහරු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් ඉටු කැරගන්නට උත්සාහ කරති. ඇදුරන් එවැනි දේවල් කරන්නේ භූතාත්ම උපයෝගී කැර ගෙනය. ප්‍රේතයෙකුට දොළ පිදේනියක් දී එවැනි දේ ඉටු කරදෙන්නට කටයුතු කරන ඇදුරා රුපියල් ලක්ෂ ගණනින් උපයා ගනියි. දොළ පිදේනියේ රහ ගුණ අමතක වූ දාට ප්‍රේතයා හිතුවක්කාර වෙයි.
අතීතයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට මාතර ප්‍රදේශය හා මාතර කට්ටාඩි දක්ෂ වූහ. ප්‍රසිද්ධ වූහ. එදා මාතරට තිබුණු ඒ හැකියාව අද මහනුවර ප්‍රදේශයට හිමි වී ඇත. දිනපතා සතිපතා මාධ්‍යවල පළ වන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ දැන්වීම් ගැන විමසිලිමත් වූ විට එය සනාථ වේ. ඒ කටයුතුවලින් අසරණ වූ විපතට පත් වූ අය බොහෝය.

නුවර ගිමාරා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වලව් පරපුරකට අයත් 35 හැවිරිදි රූමතියකි. ගුවන් සේවිකාවක වන ඇය විවාහ වූයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ ය. ඔහු මනෝජ් ය. මේ යුවළට ලැබුණු දරුවා ආබාධිතය. දරුවා වයස අවුරුද්දකට වඩා ජීවත් වූයේ නැත. මනෝජ්ගේ ව්‍යාපාර බිඳ වැටී යාන වාහන හා ගෙවල් දොරවල් විකිණී දැන් උන් හිටි තැන් අහිමිව ගිමාරා ගේ ගෙදර පදිංචිව සිටී. ගිමාරා ගර්භාෂයේ පිළිකාවක් හටගැනීමෙන් අජූවට පත්ව ඇත. එදා සිටි සුරූපිනිය දැන් පරඬලාවකි. පිළිකාවට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබයි. රාත්‍රි නින්දක් නැත. හීනෙන් බියට පත්ව කෑගසාගෙන අවදි වෙයි. වත් පිළිවෙත්වලින් වැඩක් වී නැත.

ගිමාරා ගේ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට දියණිය කැඳවා ගෙන ආහ. ම‍නෝජ්ට කතා කළත් ඔහු මේ මධ්‍යස්ථානයට පැමිණීම තදින් ම ප්‍රතික්ෂේප කළේය.

ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී ගිමාරාගේ රෝග තත්ත්වය පැහැදිලි කළහ. ගවේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරන විට ම ගිමාරාට භූතාත්මයක් ආවේෂ වී කෑ ගසාගෙන දඟලන්නට විය.

“අරූගෙන් පළිගන්න ඕනෑ. අරූගෙන් පළිගන්න ඕනෑ.” යි භූතාත්මය කෑ ගැසුවේය.

“අරූ කියන්නේ කාගෙන්ද?” ගවේෂකවරයා ඇසීය.

“මේකිගෙ මිනිහා. මනෝජ්ගෙන්.”

“ඇයි මනෝජ්ගෙන් පළිගන්නේ?”

“ඌ තමයි මේ ඔක්කොම කළේ. ඌ නොසන්ඩාලයා. ඉතාලි ගිහින් ඌ කෝටිපතියා වුණා. ලොකුවට ව්‍යාපාර කළා. ඊළඟට වලව්වකට සම්බන්ධ වෙන්න ඌට ඕනැ වුණා. ගිමාරා ලස්සනයි. ඌ ගිමාරගේ පස්සෙන් ආවා. වලව්වේ අය මූට විරුද්ධ වුණා. අන්තිමේ මූ වශී ගුරුකමක් කරලා ගිමාරාව අල්ලා ගත්තා. ගිමාරා කසාද බැන්දත් මූ හොර ගෑනු පස්සේ ගියා. ගණිකා නිවාසයක් පටන් ගත්තා. ඒ වැඩවලට ගිමාරා විරුද්ධ වුණා. රණ්ඩු කළා. ඒ හැම වෙලාවේම මූ කට්ටඩියෙක් අල්ලා ගෙන ගිමාරාට ගුරුකම් කර පාලනය කළා. ගිමාරාගේ මවුපියන් විරුද්ධ වෙන කොට ගිමාරා තනිකරලා වෙනම ගෙදරකට ගිමාරාව එක්ක ගිහින් පදිංචි වුණා. මූ කරපු වැරදිවලට දැන් දිට්ඨධම්ම වේදනීය කම්ම විපාක ඇවිත්. මුගේ බිස්නස් ඉවරයි. සියල්ලම විකිණිලා. මූ දැන් බාර් එකක වේටර් වැඩක් කරනවා.” යි භූතයා විස්තර සියල්ල කීවේය.

ගිමාරා පියවි සිහියට පත්කළ ගවේෂකවරයා භූතයා කී කතාව ගැන මවුපියන්ගෙන් විමසීය.

“ඔව් මහත්තයා. සහතික ඇත්ත. ඔය මිනිහා කෝටිපතියෙක්. අපේ වලව්වට විවාහ යෝජනාවක් එව්වා. සල්ලි තිබුණට වැදගත් කමක් නැති නිසා අපි විරුද්ධ වුණා. දුව ලස්සන නිසා මූ කොහොම හරි දුව යාළු කරගත්තා. වශියක් කළ බව අපි දැනුයි දන්නේ. අපිත් දුගේ කැමැත්තට ඉඩ දුන්නා. අන්තිමට බලනකොට මූ වල් පාහර වැඩවලින් තමයි හරිහම්බ කළේ. දුවට දරුවෙක් උපන්නා. ඒ දරුවගේ හදවතේ හිලක්. එක වකුගඩුවයි තිබුණේ. අංග විකලයි. ඒ දරුවත් මළා. දුවට ගර්භාෂයෙ පිළිකා තත්ත්වයක්. දැන් ප්‍රතිකාර කරනවා. දැන් උන්හිටි තැන් නැතිව මිනිහත් අපේ ගෙදර වැටිලා ඉන්නවා. දැන් බාර් එකක වැඩ. කෝටිපතියා වැරදි වැඩ නිසා හිඟන්නෙක් වෙලා” යි ගිමාරාගේ පියා පැවසීය.

ගිමාරාට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් යෙදූ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය. නැවත එන විට මනෝජ් කැඳවාගෙන එන ලෙස ද අවධාරණය කළේය.

මවුපියන් සමඟ ගිමාරා වලව්වට යන විට මනෝජ් අතපය කොර වී වේදනාවෙන් කෑ ගසමින් සිටියේය. වශී ගුරුකම් කොට තමන් කැමති කරවාගෙන තමන්ගේ ‍ලස්සන ජීවිතය කාලකණ්ණි කිරීම පිළිබඳ වැටහීම නිසා මනෝජ් කෙරෙහි දැඩි පිළිකුලක් ගොඩනැඟී තිබුණ බැවින් ගිමාරා ඔහුගේ පැත්තවත් බැලුවේ නැත.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ම‍නෝජ් ද ආවේය.

එදින ද ප්‍රතිකාර ආරම්භ කරන විට ගිමාරාට ආවිෂ්ට වූ භූතාත්මය කතා කරන්නට වූ අතර ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?” යි ඇසීය.

“නම මතක නෑ.”

“ඇයි මේ ශරීරයට ඇතුළු වුණේ”

“ඇතුළු වුණා නොවෙයි. මෙන්න මූ මේ ළමයගෙ ඇඟට බන්ධනය කෙරෙව්වා. කට්ටාඩියා ලවා” යි මනෝජ්ට අත දිගුකොට පෙන්වා කීවේය.

“තමුන් ජීවත් වෙන්නේ කොහොමද?”

“මේ ළමයාගේ ශරීරයේ ඕජාව උරා බීලා. ඒක වැරදි බව දන්නවා. ඒත් කරන්න දෙයක් නෑ. මම මේ බන්ධනයෙන් හිරවෙලා ඉන්නේ. ඒක මහා දුකක්. ඒකයි මුගෙන් පළිගන්නේ. මේ ළමයගේ ලස්සන ජීවිතය මූ විනාශ කළා.”

මනෝජ් අඬ අඬා “මම කළ වරදට සමාව දෙන්නැ” යි කීවේය.

“අපේ දරුවගේ ජීවිතය විනාශ කළ උඹට අපෙන් නම් සමාවක් නැහැ” යි ගිමාරාගේ පියා ඔහු දෙස පිළිකුලෙන් බලා කීවේය.

ගවේෂකවරයා යළිත් භූතාත්මය ඇමතුවේය.

“ඔබට දුගතිගාමී ආත්මභාවයක් ලැබුවේ පෙර කරන ලද පාප කර්ම නිසා. දැන් මේ තවත් ජීවිතයක් විනාශ කරන්න කොන්ත්‍රාත් එකක් භාරගෙන තවත් මහා පාපයක් කර ගන්නවා. කල්ප ගණනක් දුක් විඳින්න වෙනවා. හොඳට කල්පනා කරන්න.” යැයි භූතාත්මයට පැවසූ ගවේෂකවරයා ශක්ති කිරණ මඟින් භූතයා දවාලන්නට විය.

“පිච්චෙනවා... පිච්චෙනවා... මහත්මයා වරද කල්පනා කරන කොට මාව තවත් දැවෙනවා.” භූතයා කියන්නට විය.

“ඔබ කළ අපරාධයට විපාක බරපතළයි. ඔය දැවෙනවා වගේ නොවෙයි නිරයේ ගිනි දැල්වලට මැදි වුණාම. මේ ළමයාට කරදර කරන්න එපා.”

“අනේ මහත්මයා මම කරදර කරනවා නොවෙයි. මට නිදහස් වෙන්න බැරුවයි දුක් විඳින්නේ. මාව නිදහස් කරන්නැ” යි ප්‍රේතයා ආයාචනා කළේය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේත බන්ධනය පුපුරවා හැරීය.

“මහත්මයා මට සමාවෙන්න. මම මීට පස්සේ මේ ළමයාට කරදර කරන්නේ නෑ. ඒත් අවුරුදු ගාණක් මාව හිරකරලා තියපු මූගෙනුයි මුගේ කට්ටාඩියාගෙනුයි නම් මම පළිගන්නවා.” යි ප්‍රේතයා ඉවත්ව ගියේය.

මුදල යනු ගනුදෙනු මාධ්‍යයක් පමණි. කෝටිපතියකු වන විට මිනිසුන්ට සියල්ල අමතක වේ. මනෝජ්ටත් වූයේ එයමය. ධනයෙන් ඉහළට යන විට වලව්කාර කමක් අවශ්‍ය විය.

වලව්වක ලස්සන තරුණියක අවශ්‍ය විය. ඒ සඳහා කට්ටාඩියකුගේ සහයෝගය ලබා ගත්තේය. අහක යන ප්‍රේතයෙකු බන්ධනය කරගත්තේය. ඒත් මැදිවී හොර ගෑනුන් පසු පස ගියේය. වැඩි වැඩියෙන් තවත් හම්බ කරන්නට ගණිකා නිවාසයක් පටන් ගත්තේය. විනාශය ඔහු කරා ආවේය.
ගිමාරා ද පූර්ව පාප කර්මයක විපාක වින්දාය. එසේම තවත් පෙර පිනක් මතු වී දුක් කරදරවලින් සහනයක් ලබන්නට පොටක් පෑදිණි. මේ වන විට ඇගේ ශරීරයේ පිළිකා සෛල නැති බව වාර්තා වී ඇත.

ඒ නිසා ප්‍රශ්න කරදර එන විට හේතු ඵල දහමට බහා ගළපා බැලිය යුතුය. ණය විණයෙන් නිදහස් විය යුතුය.

No comments:

Powered by Blogger.