දියමංකඩ දී බැල්ම හෙලූ අවතාරය

2017 වර්ෂයේ දී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සිදුකරන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමකි. මෙම සිද්ධියට මුහුණ දුන්නේ මාගේ ළඟම මිතුරෙකු හා ඔහුගේ පෙම්වතිය වන අතර රචනයේ පහසුව සඳහා කතාව මගේ කොට ලියමි.
කන්ද උඩරට රමණීය පරිසරය අප සිතට ගෙන එන්නේ නැවුම් ආස්වාදනීය චමත්කාරයක් ය. ඒ චමත්කාරයට සැඟවුණු අත්භූත සිදුවීම් රාශියක් අපට හමුවේ. මා එවකට සේවය කළේ අම්පාර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ය. ගම මහනුවර වුවත් සේවය සඳහා එහි නැවතී සිටිමින් සති අන්තයේ මහනුවර බලා පැමිණීම සිතට නිදහසක් ගෙන දුන්නේය.

මාගේ මිතුරන් පිරිසක් හා මගේ පෙම්වතිය වූ සඳුනි සමඟින් සති අන්තයේ අප ගල්ඔයට නෑමට ගියෙමු. අප එහි ළගා වන විටත් මධ්‍යහ්නයට ආසන්නව තිබූ අතර දහවල් ආහාරයෙන් අනතුරුව ජලයට වී සවස් කාලය ගත කරන්නට වූහ. පස්වරු 5.30 ට පමණ පරිසරය වෙළා ගිය අමුතු මන්දාරමක් පැමිණෙන්නට වූ අතර අවට පරිසරය සීතල ස්වභාවයක් වූ හෙයින් අප වතුරෙන් ගොඩට එන්නට වූහ. නමුත් අපට නොතේරුණු අමුත්තක් වන්නට විය. කඩිනමින් සියල්ල සමඟ නිවෙස්වලට ඒමට පිටත් වන්නට විය.

'අද නම් මට හරි අමුත්තක් දැනෙනවා. ඇයි දන්නෑනෙ'

'අනේ මන්දා සඳු. මටත් එහෙම දැනෙනවා. ගොඩක් වෙලා වතුර හිටිය හින්දා වෙන්ඩ ඇති.'

අප සියල්ලෝම නිවෙස්වලට වී සාමාන්‍ය පරිදි කාලය ගත කරන්නට විය. රාත්‍රී 1.00 ට පමණ මාගේ ජංගම දුරකථනය නාද වන්නට විය.

'සඳු ඇයි මේ රෑ මොකද ප්‍රශ්නේ? නෑ මං නිදාගෙන ඉන්න කොට මගේ ඇඟට තට්ටුකරා කවුරුහරි. නැගිටලා බැලුවට කවුරුත් නෑ .මට හුගක් බයයි.'

' බයවෙන්න එපා මම ෆෝන් එකෙන් පිරිත් දාන්නම්. එක අහගෙන ඉන්න.'

ඇය කතෝලික නිසා එතරම් පිරිත් ගැන වැටහීමක් නොවූ අතර එයින් සහනයක් ලැබූ බව පසුදින මා හට පවසන්නට වූවාය. පසුදින මා නැවත සේවා කටයුතු බලා අම්පාර පැමිණි අතර එදින රාත්‍රියේ දී ඈ යමෙකුට බියට පත්ව මා අමතන්නට වූවාය.

කාලය මෙසේ ගෙවී යද්දි එක් දිනක මා වේලාසන නින්දට ගිය අතර අහල පහල බල්ලන්ගේ නොනවතින බිරුම්හඬට මා අවදිවන්නට විය. කාමරයේ විදුලි පහන් නිවා තිබුණු අතර පාරේ වීදි ලාම්පුවේ එළිය යන්තමින් ජනේලය අතරින් කාමරේට වැටී තිබුණේ ය.

අසුරු සැනින් කාමරේ දොර ළඟින් ජනේලය දෙසට යම් ඡායාවක් යන්නට විය. ඒ පැහැදිලිවම ස්ත්‍රී රූපයකි. සුදු පැහැති සාරියකින් සැරසුණු කාන්තාවකි. විදුලි ආලෝකය දල්වා සෝදිසි කර බැලුවද කිසි නොවීය. හිතට බිය බොහෝ සෙයින් පැමිණ තිබූ අතර එදා රෑ කාමරයේ විදුලි පහන් දල්වා නින්දට ගියෙමි.

මේ ආකාරයෙන් ගෙවුණු සතිය තුළ විවිධ වූ සිද්ධීන්ට මුහුණ දෙන්නට සිදු විය. සිකුරාදා මගේ රාජකාරී නිමවා එන්නට වූ විට

' මහත්තයා අද ගෙදර යන හින්දා මම දඩමස් ටිකක් ගෙනාවා. මේක අරන් යන්න. අද උදේ කපපු බඩු.'

ඒ අපගේ කාර්යාලයෙන් පියන්වරයකු වූ සිරිදාසය. දඩමස් පාසලේ මාගේ වාහනයේ ඩිකියට දමා මා සුපුරුදු පරිදි මහනුවර බලා පිටත් විය. රාත්‍රී දහයට පමණ මහියංගණයේ කඩයකට ගොඩ වී වඩේ හා ප්ලේන්ටියක් බීමෙන් ගතට නව පණක් ලැබුණු අතර විඩාව නිසා වූ නිදිමත ගතිය ද නැතිවිය.

මහනුවර ලේවැල්ල හන්දියෙන් රතු බෝක්කුව අසලට වූ කෙටි පාරක් ඇත. එය ලුවී පීරිස් මාවතයි. ඒ පාරේ සංචාරක හෝටල් කිහිපයක් වූ අතර දෙපසින්ම වූ කැලෑවකි. බෑවුමට යටින් නුවර වැව පිහිටා ඇත. මා මේ මාර්ගයේ පැමිණෙන විට විශාල වංගුවක් හමුවේ. මා වංගුව ගන්නවාත් සමග පසුපස ආසනයේ සිට කුඩා දරුවෙකු හඬන්නට විය. මා ඉහින් කනින් දාඩිය දමන්නට විය.

' මොනව ළමයෙක් අඬන්නේ කොහොමද මේකේ?'

මා වාහනේ පසෙකින් නවතා පිටුපස බල්බ දල්වා බැලුවත් කිසිවෙක් එහි නොවීය. නැවත වාහනය පණ ගන්වා ඉදිරියට යද්දී නැවත හඬන්නට විය. අයියෝ මට මොකක්ද මේ වෙන්නේ.

ස්වල්ප වේලාවකින් අපගේ ගමට යන පාරේ වාහනය ධාවනය කරන්නට විය. දැන් හැඬුම් ඇසෙන්නේ නැත. අපගේ නිවසට තරමක් යාබදව මා ගමන් ගන්නා විට වයස අවුරුදු තිහක පමණ යුවතියක් එකවරම පාර මාරු වී මා දෙස බලා සිටින්නට වූවාය. මා හැකි ඉක්මනින් වාහනය ධාවනය කොට නිවසට ගියෙමි. ගෙදර ගොස් මේ සිදුවීම් පැවසූ විට අම්මා බුදු පහනින් තෙල් ස්වල්පයක් ගෙන හිස ගා මා සනසා නින්දට යන්නට විය.

පසුදින මා වාහන තිබූ දඩමස් පාර්සලය ලිහා බලන්නට වූ අතර එය සම්පූර්ණයෙන්ම කුණු වී ඇත. එය මහත් ප්‍රහේලිකාවකි. සිරිදාස කවදාවත් නරක් වූවක් දෙන්නේනම් නැත. එක් රැයක් පමණක් මෙසේ තිබූ නමුත් මේ මේ ආකාරයෙන් කුණුවිය හැකිද? මේ ප්‍රශ්නේ හිතේ තබාගෙන උදෑසනින්ම මා සඳුනී සමඟ අපගේ බොහෝ කල් සිට දන්නා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ විහාරස්ථානයකට ගියෙමු.

නායක ස්වාමීන් වහන්සේ බැහැදැක අප මුහුණදුන් සිදුවීම් සියල්ල උන්වහන්සේට පැවසුවෙමි.

' මහත්තයෝ මං අදුනෙන් බලන්නම් මේ මොකක්ද කියල.'

උන්වහන්සේ ආවාසයට ගොස් එහි අපවද කැඳවාගෙන වැඳ නමස්කාර කොට පහන දල්වා අඳුනෙන් බලන්නට විය.

'මහත්තයලා කොහෙදි හරි දිය මංකඩකදි ගොම්මං වෙලාවක හිටියද?'
' එහෙමයි හාමුදුරුවනේ. ගල්ඔයේ හවසක අපි නාන්න ගියා'
'එහෙදි තමයි මේ බැල්ම වැටිලා තියෙන්නෙ දෙන්නටම. නෝනාට නම් කළු කුමාර දිස්ඨිය වගේ. ඒත් බයවෙන්න එපා මහත්තයා හරිම පිංවන්තයි. එච්චර බලපෑමක් කරන්න බැහැ.'

උන්වහන්සේ අපිට පිරිත් දේශනා කොට පිරිත් පැන් හා පිරිත් නූල් ගැට ගසා අපට තරයේ අවවාද කරන්නට විය. එතැන් පටන් මේ අත්භූත කරදර නොවී ය.

පසුකලකදී මාගේ මිතුරෙකුගේ පියාණන්ට ලුවී පීරිස් මාවතේ දරුවාගේ හැඬීම ඇසී කලකට පෙර බිය වූ බව දැනගන්නට හැකිවිය.

තාක්ෂණය අතින් අප සමාජය කොතරම් දියුණු වුවත් අදෘශ්‍යමාන බලවේග තවමත් අප අතර සැරිසරණවා ඇත.

මගේ තුනිවෙනි කතාව කොහොමද කියලා අදහස් දක්වන්න.

මහේෂ ද අල්විස්

1 comment:

  1. Mamath nuwara aiya thankyou api danne nati de gana kiwwata

    ReplyDelete

Powered by Blogger.