මිනිපිරියගේ අඟපසඟට ලොල් වූ සීයා මරණයෙන් පසු ප්‍රේතයකු වී ඉපිද කරපු දේ ගැන සියල්ල වමාරයි

ගති” යනු මේ දීර්ඝ වූ සංසාර ගමනේ දී ඔබ මා ඇතුළු සියලු ලෝක සත්ත්වයා උපදනා තැන් ය. ඒ ගති දුගති හා සුගති යැයි දෙවැදෑරුම් වේ. එය ද අපාය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, මිනිස් ලෝකය හා ස්වර්ග ලෝකය යැයි “ගති” පහකි. ඒවායේ කර්මානුරූපව සැරිසරන සත්ත්වයා අපාය ගති, තිරිසන් ගති, ප්‍රේත ගති, මිනිස් ගති, දේව ගති වශයෙන් “ගති පුරුදු” චිත්ත සන්තානයේ රැස් කැරගනී. ඒවා අපේ මනෝමය කාය තුළ තැන්පත්වී ඇත.


ඒ ගති චිත්ත සන්තානයේ ඇති වන ලෝභ, දෝස, මෝහ, අකුසල සිත් සමඟ මෙන් ම අලෝභ අද්වේශ, අමෝහ යන කුසල් සිත් සමඟ (මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සහ දාන, සීල, භාවනා) යන ක්‍රියාවලදී මතුවේ. කිසිදා නොගිය ප්‍රදේශයකට ගිය විට එහි සිටින මිනිස් හා බල්ලන් වැනි සතුන් කුලුපගවීම පෙර හැඳුනුම්කම් වැනි ගති මතු වීම සිදු වීම උදාහරණයකි.

යම් යම් අය කෙරෙහි ආදර මිත්‍රකම් හා තරහ නුරුස්නා ගත ඇති වේ. මේ ගති පුරුදු ධර්ම ශ්‍රවණයෙන්, අවවාදයෙන්, දඬුවමින්, ආදර්ශයෙන්, නුවණින් කල්පනා කිරීමෙන්, කෙනෙකුට වෙනස් කැර ගත හැකිය. ගති පුරුදු ‍වෙනස් කැර ගත්තත් “හුරු පුරුදු” එසේ වෙනස් නොවේ. අරිහතුන් වහන්සේගෙන් ද එවන් හුරුපුරුදු මතුවූ අවස්ථා ඇත.

පොළොන්නරුවේ රාණි තිස් දෙහැවිරිදි තරුණ කාන්තාවකි. ඇය කොළඹට නුදුරු වෙළඳ කලාපයක රැකියාව කරයි. මේ වන විට ඇය පිරිමි පස් දෙනෙකු සමඟ විවාහ වී ඇත. එයින් දෙදෙනෙකු නිසා පුතුන් දෙදෙනෙකු ලබා ඇත. ඒ පුත්තු දෙදෙනා ඔවුන්ගේ තාත්තලා සමඟ ජීවත් වෙති. ඒ දරුවන් සමඟ රාණිගේ කිසි ම සම්බන්ධයක් ද නැත. ඒ දරුවන් කෙරෙහි ආදරයක්, තමන්ගේ කමක් රාණි තුළ මතුවන්නේ ද නැත. රාණි ගිය ගිය තැන අවුල් ය. ඇය මත්පැන් වලට දුම්පානයට ද ඇබ්බැහි වී සිටී. ඇය ජීවත් වන්නේ වර්තමානයේ පමණකැයි කීවත් වැරදි නැත. තමන්ට තමන්ව පාලනය කැර ගත නොහැකි මානසිකත්වයක් නිසා ඇසුරු කරන අය සමඟ නිතර රණ්ඩු සරුවල් ඇති කැර ගන්නා අවස්ථා බොහෝය. මේ තත්ත්වය රාණි කෙරෙන් මතු වන්නට පටන් ගත්තේ ඇගේ වයස අවුරුදු දහ තුනෙන් පසුවය. වැඩිවියට පත්වීමත් සමඟ බව ඇගේ මව මල්කාන්ති කියයි.

දියණියගේ මේ අමුතු ගති පැවතුම් කිනම් අපලයක් නිසා ද? කිනම් කරුම විපාකයක් නිසාදැ’යි සොයගත නොහැකි වූ නිසා මල්කාන්ති සිය දියණිය රාණි ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවාගෙන ආවාය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසි රාණිගේ මේ අසාමාන්‍යතා පිළිබඳ විස්තර කළාය. රැකියාවේ නිවාඩු දිනවලට ගමට ගිය විට මේ ගති වැඩිවන බව ද කීවාය.

ගවේෂකවරයා රාණි සමඟ සාකච්ඡා කරන විට තමාගේ ඒ ක්‍රියාකලාපය වැරදි බව වැටහුණත් ඒවා නතර කැර ගත නොහැකි බවත්, කටින් පිට වන වචන වැරදි බව වැටහුණත් ඒවා පාලනය කැර ගත නොහැකි තත්ත්වයක් ඇති බවත් ඇය කීවාය. රෝග පරීක්ෂාවේදී රාණි ගැහෙන්නට වූවාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ රාණිගේ ශරීරයෙන් භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය
“මම විල්බට්” යැයි භූතයා උත්තර දුන්නේය.
“කවුද විල්බට් කියන්නේ?”
“මේ රාණි දුවගේ සීයා. තාත්තාගේ තාත්තා.”
“මොනවා වෙලාද මැරුණේ?”
“වයසට ගිහින්”
“ඇයි මේ මිනිබිරීට කරදර කරන්නේ?”
“මම කරදර කරන්නේ නෑ. මම මේ කෙල්ලට ආදරෙයි.”
“ඔබට මොනවාද වුවමනා?”
“මට කිසි දෙයක් එපා. මට මෙයා ළඟ නිදහසේ ඉන්නයි ඕනෑ.”
“ඔබට පින් දෙන්නද?”
“එපා මට පින් එපා.”
“ඇයි මේ ළමයාගේ ඇඟට රිංගුවේ?”
“මේ දැරිවි ලස්සනයි. ඉස්ස‍ර මේ ළමයා මිදුලේ සෙල්ලම් කරන කොට කෙල්ලගේ කඩවසම් ගතියට මගේ හිත ඇදිලා ගියා. මම මැරෙන වෙලාවේ මේ ළමයාව මතක් වුණා. මැරිලා මේ ළමයා ළඟ ඉපදිලා ඇඟට රිංගුවා.”
“ඇඟට රිංගලා මොනවද කළේ?”
“ඇඟට රිංගලා මෙයාව රාගයට පෙළඹෙව්වා. කසාද බැඳලා මේ කෙල්ල සතුටු වෙනවා දැකලා මමත් සතුටු වුණා. ඒ සතුට මට ආහාරයක් වුණා.”
“ඔය කියන ආහාරවලින්මද යැපුණේ?”
“නැහැ. ඝන ආහාරත් ලැබුණා. මේ ළමයගෙ ශරීරයෙන් පිට වෙන අපවිත්‍ර ලේ ආහාරයට ගත්තා.”
“ඊට අමතරව මොනවාද කළේ?”
“පිරිමි එක්ක රණ්ඩු ‍කැරෙව්වා. විවාහ කඩාකප්පල් කළා. එක මිනිහෙක් පන්නලා තව මිනිහෙක් යාළු කෙරෙව්වා.”
“ඔබ කර තියෙන්නේ වැරදි වැඩක්. විවාහ කඩාකප්පල් කරලා. දරු දෙන්නෙක් අනාථ කරලා. මහා පාපයක්. කරුණාකර මේ ශරීරය අතහැර ඉවත් වෙලා යන්න.”
“බැහැ.... බැහැ... මට යන්න බැහැ. මම මෙයාව දාලා යන්නේ නෑ” යි ප්‍රේතයා කීවේය.

ගවේෂකවරයා රාණිගේ මව අමතමින් වයස අවුරුදු දහ තුනේ පටන් අවුරුදු තිස් දෙක වනතුරු මේ ගති පුරුදු දැකලා පිළිවෙතක් ප්‍රතිකාරයක් ක‍ෙළ් නැද්දැයි ප්‍රශ්න කළේය.

“සාස්තර අහන්න ගියා. දේවාලවල ගියා. ඒ ගිය තැන්වලින් කිව්වේ දුවට කළුකුමාර දිෂ්ටිය කියලා. ඒවාට තොවිල් කළා. ඒත් මාසයකට වඩා ගුණයක් තිබුණේ නෑ. මෙයාගෙ රණ්ඩු කරන ගති මතු වුණා. ඒ වගේ තොවිල් ගණනාවක් කළා.” මල්කාන්ත පැවසුවාය.

“හි..... හි..... කට්ටඩින්ට පුළුවන්ද මාව පන්නන්න. මගේ මහ ගෙදර. මගේ ඉඩකඩම. මුන් තොවිල් කරන්න ගොස් අතු කපන කොට, පොල් මල් පුවක් මල් හොයන කොට මම දන්නවා. මම පැනලා ගියා. කට්ටිය බොරු කරලා සල්ලි කඩා ගෙන ගියා. උන් පුංචි පුංචි ආරස්සාවල් දාලා ගියා. මම ඉඩමෙන් පිට වෙලා ගිහින් ටික දවසකින් ආයෙත් කෙල්ල හොයා ගෙන ආවා” යි මල්කාන්තිගේ කතාව අසා සිටි භූතයා යළිත් මතු වී හිනා වෙන්නට වූයේය.

බෝධි පූජා පවත්වන විට පොළොන්නරුවේ ගෙදර රාත්‍රියට සද්ද බද්ද ඇහෙන්නට වූ බවත් ගෙදර බඩුමුට්ටු පෙරළන්නට වූ බවත් මල්කාන්ති කීවාය.

“දැන් මේ අයට කරදර කළා ඇති. ඔබ මේ ළමයාගේ සීයා නොවෙයි. දැන් විල්බට් නොවෙයි, දැන් මළ ප්‍රේතයෙක්. මේ අහිංසක අයට ‍කරදර නොකර වහාම ඉවත්වෙලා යන්නැ” යි ගවේෂකවරයා කීය.

“ඇයි බොල මගේ ගෙදර මගේ ඉඩමේ මට ඉන්න බැරිද? මාව නවත්තන්න කාටවත් බෑ. මට ඕනෑ විදිහට මම ඉන්නවා.” යි භූතයා පුරසාරම් කියන්නට විය.

“මේකා හොඳින් කියන දේ අහන පෙරේතයෙක් නොවෙයි” කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතයා පුච්චා දුර්වල කොට රාණිගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය.

රාණිටත් මවටත් නිවසටත් ඉඩමටත් ආරක්ෂා යොදා දිනපතා උදේ හවස ඉටු කළ බෞද්ධ පිළිවෙත් ගණනාවක් නියම කළේය.

මතුගම මහින්ද විජේතිලක

4 comments:

Powered by Blogger.