මහ රෑ මුණගැසුණු අමුත්තිය

 අධි තාක්ෂණික විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ මහා විප්ලවය සිදුවෙමින් පවතින මේ යුගයේ හොල්මන් අවතාර පිළිබඳ සමාජ විශ්වාසය ඉතා අවමයෙන් පවතින බව නොරහසකි. එහෙත් ඒවා සහමුලින් ම බැහැර කළ නොහැකි ය. මන්ද තවමත් ඒ අත්දැකීම් අත්විඳින පිරිසක් අප සමාජයේ වෙසෙන බැවිණි. 2012 වර්ෂයේදී මාගේ ඥාති සහෝදරයෙක් මුහුණ පෑ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මෙම කතාව නිර්මාණය කරන අතර මෙහි එන නම් ගම් චරිත මනඃකල්පිත ය.


සහෝදර සහෝදරියන් සිව්දෙනෙකු වූ පවුලේ බාලයා කසුන් ය. ඔහු ඉගෙනීමට දක්ෂය. කඩිසරය. සරසවි විද්‍යාර්ථීයෙකි. පාසල් කාලයේ පටන් වූ ප්‍රේම සම්බන්ධතාවකි. ඔහුගේ පෙම්වතිය වූයේ සරසි ය. ඈ කසුන්ගේ ගමේ ම පදිංචිකාරියක වූ අතර ඔවුන්ගේ පෙම් බැඳීමට ගෙවල්වලින් එතරම් කැමැත්තක් වූයේ නැත. එයට හේතුව වූයේ කුල ප්‍රශ්නයකි. මේ කාරණාව නිසා කසුන් දැඩි පීඩනයකින් සිටි අතර තම දෙමාපියන්ගේ බලවත් විරෝධය හමුවේ අවසන මේ පෙම් කතාවට තිත තබන්නට සිදුවුණි. ඉන්පසු මොවුන්ට සැනසීමක් වූයේ සරසි සිය උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමත් සමඟ ය. පසුකලකදී සරසිගේ දෙමාපියන් ගේදොර විකුණා දමා පිට පළාතක පදිංචියට ගියහ.

කල්ගත වත්ම කසුන් ගෙදරින් සොයා දුන් තරුෂි සමඟින් විවාහපත් විය. කසුන් ගුරුවරයෙකු ලෙස සේවය කළ පාසලේ විෂය බාහිර කටයුතු රැසක් ඔහුට පැවරී තිබුණි. ඒ අතර පාසලේ ක්‍රීඩා උත්සවයේ සංවිධානය පැවරුණේ කසුන්ට ය. ඒ සඳහා දිවා රෑ නොතකා වෙහෙස මහන්සි වන්නට සිදුවිය. දිනක් බොහෝ රෑ බෝ වී නිවසට යන්නට සිදුවිය. රෑ 10.30ට පමණ පාසලෙන් පිටත් ව සිය මෝටර් සයිකලයේ වහා නිවසට යන්නට විය. ඒ තමා එනතුරු බලා සිටිනා බිරිඳ නිසාවෙනි.

සුපුරුදු මාර්ගය ඔස්සේ පැමිණෙන ඔහුට යම් නුපුරුදු අමුත්තක් දැනෙන්නට විය. අවට පරිසරය වැසිබර වූ නිසා දැඩි ශීතලක් තිබූ අතර ඉදිරියට යන බයිසිකලයේ ඉදිරිපස ලාම්පුවේ බල්බය ක්‍රියා විරහිත විය.

'හයියෝ මාර වැඩේ හෙඩ් ලයිට් එක ගියානේ. මේ කළුවරේ යන්න පේන්නෙත් නෑ.'

බයිසිකලය නවත්වා ඉන් බැස විපරම් කරන්නට වූ අතර නැවත පණ ගැන්වූ විට ලාම්පුව දැල්විණි.

' අම්මෝ ඇති යන්තම් ලූස් කනෙක්ෂන් එකක් වගේ. '

සුසුම් හෙලූ කසුන් නැවත ගමන් ආරම්භ කළ අතර ඔහුට එන්නට වූයේ ඉතා කෙටි දුරකි. බයිසිකලය නැවත නතරවිය.

'ඔහ් ගෝඩ්! මොකක්ද මේ පෙට්‍රලුත් තියෙනවා.'

ඔහු නැවතී සිටින ස්ථානය මීටර් තිහක් පමණ ඉදිරියෙන් පාර අයිනේ තරුණියක් ඔහු දෙස බලාගෙන සිටින බව කසුන්ට දැකගැනීමට හැකිවිය.

'මේ වෙලාවේ කෙල්ලෙක් මොකද පාරට වෙලා තනියම කරන්නේ?'

ඔහු තමාටම කියා ගත්තේය. නැවතත් වාහනය පණගැන්වීය. ඔහු ගමන් අරඹනවත් සමඟ ඉදිරිපස සිටි තරුණිය පාරේ අනෙක් පසට ගමන් කළ අතර තම නිවසට ආසන්නයේ දී බයිසිකලයේ බර වැඩි වෙන බවක් ඔහුට තේරුණේ ය. ඔහු නිවසට පැමිණෙද්දී රෑ 11.30 ට පමණ විය.

'අද හොඳටම පරක්කු උනා නේද?'
'ඔව් හෙට ස්පෝර්ට්මීට් නේ. ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ආවේ.'
'ඔයා ගිහින් වොෂ් එකක් දාලා එන්නකො කෑම ලෑස්ති කරන්නම්'

රාත්‍රී ආහාරයෙන් පසු දෙදෙනාම නින්දට වැටුණු අතර ඔහු එකවරම නින්දෙන් අවදි වූයේ කවුරුන් හෝ ඔහුගේ ගෙල සිර කරන බව දැනුණ නිසාවෙනි. ඔහු නැගිට බැලූ විට කිසිවෙක් නොවූ අතර එහි සිටියේ ඔහුගේ බිරිඳ පමණි. තමා සිහිනයක් දුටුවේ යැයි සිතා නැවතත් නින්දට වැටුණි. පසුදින තම පාසලේ ක්‍රීඩා උත්සවයට සහභාගී වී තම ජංගම දුරකථනයෙන් මුහුණු පොතේ සැරිසරණ විට දැක ගැනීමට ලැබුණේ තමාගේ පරණ පෙම්වතිය වූ සරසී ඕස්ට්‍රේලියාවේදී හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බවයි. ඒ දුටු කසුන් දැඩිසේ කම්පාවට පත්වූ අතර ක්‍රීඩා උත්සවය අවසන ගෙදරට එන්නට විය.

නිවස නිසොල්මන්ය. වෙනදා මෙන් ඔහු එන මග පිළිගන්නට බිරිඳ ආවේ නැත. ගෙදර දොර ඇර දමා ඇත. නිවසට ඇතුළු වූ ඔහුට දැකගැනීමට ලැබුණේ නිවසේ සියලුම බඩුමුට්ටු පොළොවේ ගසා කඩා බිඳ දමා ඇති ආකාරයයි. චීස් හඬ නංවා ඔහුගේ පයට පෑගුණේ මඟුල් පින්තූරයයි. කඩිනමින් නිවස ඇතුළට ගොස් බැලූ විට සිය බිරිද තරුෂි කාමරේ සිහිසුන්ව ඇද වැටී සිටින්නී. ඔහු ඇය ඔසවා තබා වතුර ඉසින්නට විය.

' තරෑ තරු.... නැගිටින්න. මං කසුන්. මොකද උනේ ගෙදර?

'මේ මේ මේ මං කුස්සියේ උය උයා ඉදිද්දි බඩු පොළොවේ ගහනවා ඇහුණා. මම ගිහින් බලනකොට කැතම කැත විරූපී වෙච්චි ගෑනියෙක් හිටියා මං දිහා කන්න වගේ බලාගෙන. මම දුවගෙන කාමරේට ආවා වැටුණා. ඊට පස්සේ මතක නෑ මොකද උනේ කියලා.'

ඇයගේ මෙම කතාවෙන් වික්ෂිප්ත වූ කසුන් අසල්වැසියන්ට ද හඬගසා සිදු වූ දේ පවසන්නට විය.

' බලාගෙන ඉඳලා හරියන්නෑ.. අමනුස්ස ගඳ ගෙදරම. කට්ටඩියෙක් ගෙනල්ලා ආරක්ෂාවක් කරගත්තොත් තමා හොඳ.'

හිතවත් අසල්වැසියෙක් ගමේ සිටි දක්ෂ යකැදුරෙක් ගෙදරට ගෙන ආහ. අවශ්‍ය කළමනා ලෑස්ති කිරීමෙන් අනතුරුව යකදුරා මතුරන්නට විය. එකවරම සිය බිරිඳ වූ තරුෂිගේ යම් වෙනසක් සිදුවන බව කසුන්ට හා අවට සිටි අයට දැක ගත හැකි වූහ.

'නවත්තපං ඕක...මං උඹලා ඉවර කරනවා නැත්නම්.'

' උඹට ලේසි වෙන්නෙ නෑ අපි ඉවරකරන්න. කවුද කියපන් තෝ මේ අහිංසක කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ.'

'අහිංසක මේකි කොහෙද අහිංසක? මගේ කසුන්ව මේකි අයිති කරගෙන. මේකී අහිංසක නෑ.මං මේකිව එක්කං යනවා.'

'කියපං කවුද ඇයි මෙහෙට ආවෙ?'

'මම සරසී. මම ආවේ එයාගේ කරේ නැගලා.'

සිදුවන්නේ කුමක්දැයි සියල්ලෝම විස්මයෙන් යුතුව බලාගෙන සිටින අතර ගුරුන්නාන්සේ

'කවුද මහත්තයා සරසී කියන්නේ?'

'ඒ මම ඉස්සර යාළුවෙලා හිටපු ගෑණු ළමයා. එයා පෙරේදා ඇක්සිඩන්ට් එකක් වෙලා ඕස්ට්‍රේලියාවේදී මැරිල.'

' උඹ එහෙ ඉදංම පරණ පෙම්වතා හොයන් ආවා මෙහේ'

තරුෂිගේ මුහුණ වෙනස්ය. කොණ්ඩෙ කඩා දා දත් විලිසා පිළිතුරු දෙන්නී ය.

'ඔව් මං මැරුණු ගමන් ආවේ මෙහාට... මට මේකිගෙන් පලි ගන්ඩ ඕනේ මගේ කොල්ලා එක්ක ඉන්නවා'

' එහෙම උඹට ඕන ඕන දේවල් කරන්න අමාරුයි මේ මං ඉන්නකං'

කට්ටඩිරාළගේ මැතිරීමත් සමඟ තරුෂි ක්ලාන්ත වූ අතර ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාවට නූල් ගැට ගසන්නට විය.

'මහත්තයා පුලුවන්නම් හත් දවසට පන්සලට දානේ ටිකක් දීලා පැන් වඩන්න. හිතේ තරහ තියාගෙන මැරිල තියෙන්නෙ. ඒකයි මෙහෙම ඇවිත් තියෙන්නේ'

සියල්ල යථා තත්ත්වයට පත්වූ අතර දන් දී පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව ඇයගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නට ඇත.

මේ මගේ හයවෙනි කතාව. කතාව කොහොමද කියලා අදහස් දක්වන්න.

කර්තෘ අයිතිය සුරකින්න.... මහේෂ ද අල්විස්

5 comments:

  1. එලම👌 කතාව ලස්සනට ලියලා තියෙනවා දිගටම හොල්මන් කතා ලියන්න.Good luck!👍👍👌🤘

    ReplyDelete

Powered by Blogger.