නයෝමි ගිල ගත් ප්‍රේතියගේ කතාව

නයෝමිට විසිඑක් වියැති එක් පුතෙකු සිටී. නයෝමිට වයස මේ වනවිට හතළිස් අටකි. ඇගේ සැමියා කිසිදු රැකියාවක් නොකරන නමුත් නයෝමි නිවසේ සිට බත් පාර්සල් විකිණීමෙන් ලබන මුදලින් කීයක් හෝ ඉල්ලාගෙන ගොස් මත්පැන් බී රෑ බෝ වී නිවසට පැමිණීම සිරිතකි. නයෝමි සෑම විටම පවුලේ ආර්ථිකය ගොඩනගන්නටත් ශක්තිමත් කරන්නටත් නොකළ දෙයක් නොමැති තරම්ය. පවුලේ සියලු වගකීම් දරනුයේ නයෝමිය.
සැමියාගෙන් කිසිදු උදව් උපකාරයක් නොමැති නිසාත් තමන් හරිහම්බ කරන මුදල් පවා මත්පැන් බීමට ඉල්ලා කරදර කරන නිසාත් නිවසේ තනිවම රැඳී සිටීමට සිදුවීම නිසාත් නයෝමිගේ සහයට කිසිවකුත් නොමැති නිසාත් ඇය බොහෝ මානසික පීඩනයකට පත්ව සිටියාය. ඇයට තමන්ගේ සිතේ පවතින වේදනාව කීමටවත් කිසිදු නෑදෑයෙක් නොසිටියේය.  

නයෝමි ඉඳහිට පන්සල් යෑම පුරුද්දක් කරගෙන සිටියත් නිවසේ පිරිත් දැමීම හෝ නිවසේ බුදු පහන දැල්වීම හෝ පන්සලේ දේවාලය වෙත යෑම හෝ ඥාතිවරුන්ගේ, අසල්වාසීන්ගේ බණ ගෙවල්වලට පිරිත් ගෙවල්වලට යෑම කිසිසේත්ම කළේ නැත.  


දිනක් පන්සලේ පිරිතක් පැවතිණි. එදින නයෝමි පන්සල වෙත ගියේ වෙනදා පුරුද්දටය. එහෙත් පන්සලේ ටික වේලාවක් ගතකරන විට පිරිත් ශබ්දය කනට වැකුණු විටම ඇය තම දෙකන් තම අත්දෙකෙන් තදින් වසාගෙන පන්සලෙන් පිටතට දුව ගියාය. නිවසට පැමිණි නයෝමි ඇඳට වැටී මහ හයියෙන් හුස්ම ගත්තාය. ඇගේ මුළු සිරුරම දහදියෙන් තෙත්වී ඇත.  


එම වේලාවේ නයෝමිගේ පුතා නිවසට පැමිණියේය.  
“අම්මේ... අම්මේ...” නයෝමිගේ පුතා ඇයට අඬගසන්නට විය. එහෙත් මවගේ ප්‍රතිචාරයක් නොමැති නිසා ඇයගේ කාමරයට එබී බැලූ විට නයෝමිගේ පුතා දුටුවේ තම මව අමුතු විලාසයකින් ඇස් දෙක එක එල්ලේ තබාගෙන උඩ බලාගෙන සිටින බවයි. ඔහු වහාම මව වෙත ගොස් ඇයව අතින් සෙලවීය. එවිට පියවි සිහිය ලද නයෝමි දෑස් කරකරවා පුතා දෙස බැලීය.  


“ඇයි අම්මේ අමුතු විදියට ඉන්නේ. අම්මට අසනීප ද” පුතා ඇසීය.  
“පන්සලට ගියා බුදුන් වඳින්න. පන්සලේ පිරිතක් ද කොහෙද එකපාරටම ඒක ඇහුණ ගමන් මගේ ඇඟට මොකක් ද වුණා පුතේ” නයෝමි පැවසුවාය.  
දින කීපයක් එලෙස ගතවිය. තවත් දිනෙක ඥාති නිවසක පිරිත් පිංකමක් සිදු කෙරිණි. ඥාතිවරයා අනිවාර්යයෙන්ම පිරිත් ගෙදරට පැමිණෙන ලෙස දැන්වීම නිසාම නයෝමිත් ඇගේ සැමියාත් පුතාත් ඥාති නිවසට ගියෝය. එම නිවසේ පිරිත් ආරම්භ වුණි. බෙර ශබ්දය ඇසෙනවාත් සමඟම නයෝමි දෑතින්ම හිස බදාගෙන මහා හයියෙන් විලාප දෙන්නට පටන් ගත්තාය.  
සියල්ලෝම පිරිත කෙරෙන

තැනින් ඉවත්ව නයෝමි දෙසට පැමිණියෝය. මහා හයියෙන් බෙරිහන් දෙන නයෝමිව අල්ලා ගත් පිරිස ඇයව අසල තිබූ පුටුවක වාඩි කරවූහ. ඇය ඒ මේ අත දඟලමින් හූ තියන්නට විය. “මට ඉන්න බෑ. මොකක්ද වෙනවා. මට යන්න දීපියව්” කියමින් කෑමොරදෙමින් නයෝමි ඒ මේ අත දඟලන්නීය. එහි පැමිණ සිටි සියල්ලන් එක්වී ඇයගේ මෙම ක්‍රීයා කලාපය නතර කරන්නට වෙර දැරුව ද එය සාර්ථක නොවුණි.  
“නයෝමිගේ ශරීරයේ අමනුස්සයෙක් ඉන්නවා. බෙර ශබ්දය ඇහුණු ගමන්ම ඇවිස්සුණේ ඒකයි”. එහි සිටි එක්තරා අයෙක් පැවසීය. ඉන්පසු පිරිස නයෝමිව පිරිත් ගෙදරට ඈතින් ඇති ගෙදරකට කැටුව ගියේය. එම නිවසට පිරිත් හෝ බෙර ශබ්ද ඇසෙන්නේ නැත. එම නිවස ද නයෝමිගේ ඥාති නිවසකි. පිරිත් නොඇසෙන මානයට යාමත් සමඟම නයෝමිගේ එම ක්‍රියාකලාපය නතර විය. “මට මොකක්ද වුණේ මං කොහොමද මෙහෙට ආවේ” යනුවෙන් අන්දමන්ද වී වටපිට බලන්නට වූ නයෝමි ඇසුවාය.  
“ඇයි මාව මෙහෙට ගෙනාවේ. පිරිත් ඉවරද?.. යනුවෙන් නයෝමි තමන් අසල සිටි පුතා හා තවත් අයෙකුගෙන් විමසන්නට වූවාය. “නෑ නෑ පොඩ්ඩක් ඔහොම ඉන්නකො. පිරිත් ගෙදර යන්න ඕන නෑ” යැයි ඥාතිවරයා පැවසීය.  


නයෝමිගේ මෙම තත්ත්වය නිසාම සැමියාද ඇගේ පුතාද පිරිත් ගෙදර නොගොස් ඇය සමඟ තමන්ගේ නිවස බලා පැමිණියෝය. නමුත් පෙරදින රාත්‍රියේ ඇතිවූ නයෝමිගේ තත්ත්වය යළිත් ඇතිවේදෝයි යන බියෙන් ඇගේ සැමියා පසුවිය.  
“බලමුකෝ ආයිත් හැදුණොත් මොකක්ම හරි කරන්න වෙයි” නයෝමිගේ සැමියා තම ඥාතියෙකු සමඟ නයෝමිගේ තත්ත්වය කතා බස් කළේය. නමුත් දින කීපයක්ම කිසිඳු ගැටලුවක් ඇති නොවීය. දින කිහිපයක් යන විට ඇය සාමාන්‍ය ජීවිතයට යළිත් හුරුවිය. නමුත් ප්‍රශ්නවලින් නම් ඇයට අඩුවක් නැති වූ තරම්ය.  
නයෝමිගේ නිවසට දිනෙක ඇගේ ඥාතිවරියක් පැමිණියාය. “නයෝමි මොකද එදා වුණේ ඔයාට” යනුවෙන් මීට පෙර ඥාති නිවසේ පිරිත සිදුවන විට ඇති වූ සිදුවීම පිළිබඳව වරින් වර විමසන්නට වූවාය. නමුත් එම වේලාවට කුමක් හෝ දෙයක් පවසා නයෝමි එයින් මග හැරියාය.  


එම සිදුවීම වී සති කීපයක් ගෙවී ගියේය. මෙදින නයෝමිගේ අසල්වැසි නිවසේ පිරිතක් පැවතුණේ එම නිවස අලුත්කිරීම නිසාය. එම නිවසේ පිරිත් ශබ්දය නයෝමිගේ නිවසට හොඳටම ඇසේ. පිරිත් කන වැකෙනවාත් සමඟම පෙරදින සිදුවූ අසනීපය මෙන් නයෝමි මෙදින ද කෑ ගසන්නට විය. එක්වරම ඇය සිහි නොමැතිව ඇද වැටුණි. එවිට නිවසේ සිටියේ පුතා පමණි. ඔහු වහාම ඇය ඔසවා ඇඳේ හාන්සි කරවීය. මුහුණට වතුර ඉස මුහුණට තට්ටු කිරීමත් සමඟ නයෝමිට පියවි සිහිය ලැබිණි. තත්ත්වය එන්න එන්නම වැඩිවන්නට වූවේය. පිරිතක් හෝ බෙර ශබ්දයක් ඇසෙන විටම නයෝමි කෑගසමින් හිස අත් බදාගනිමින් අමුතු විලාසයකට පත්වී සිහි නැතිව ඇද වැටේ.  
“දැන්නම් ඉතින් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි ඇදුරකු ගෙන්වමු” යැයි නයෝමිගේ ඥාතීන් හා අසල්වැසියෝ දේවාලයක් කරගෙන යන මෑණි කෙනෙකු ගෙනවිත් නයෝමිගේ තත්ත්වය සුව කර දෙන මෙන් ඉල්ලා සිටියහ. එම මෑණියෝ දේව වරමින් සාස්තර කියනු ලබන අයෙකි. ඇය ආරූඪය ලබාගෙන නයෝමිගේ භූත දෝෂය විස්තර කරන්නට වූවාය.  


“මේ තැනැත්තියට ප්‍රේතාත්මයක බලපෑමක් තියෙනවා. ඇඟේ ඉන්න ප්‍රේත ආත්මය පිරිත්වලට බයයි. බෙර ශබ්දවලට බයයි. ඒක නිසා තමයි පිරිත් ඇහෙනකොට, බෙර ශබ්ද ඇහෙනකොට ඇයට ඉන්න බැරි. ඒක නිසාමයි ගෙදර බුදු පහනක්වත් දල්වන්න අකමැති. මේ සඳහා යාගයක් කළ යුතුයි” යැයි පවසා ඒ සඳහා දින තීරණය කරගැනුණි. නයෝමිට යාගය කිරීම සඳහා මුදල් ණයට ඉල්ලා ගැනීමට සිදුවුණි.  
යාගයේ දිනය උදාවිය. මධ්‍යම රාත්‍රියේ නයෝමිගේ ඇඟේ සිටින ප්‍රේත ආත්මය ගෙන්වීය. ඔළුව කරකවමින්, ඇස් දෙක ලොකු කරගෙන, දිව ඇදගෙන, රෞද්‍ර ලෙසින් නයෝමි වටපිට බැලීය. වරෙක හූ තබයි. වරෙක අමාරුවෙන් මෙන් මොනවා හෝ කියවයි.  
මෙලෙස ප්‍රේත ආත්මය ගෙන්වා නොයෙක් අයුරින් කතා කළ මෑණියෝ “උඹ මේ ශරීරයෙන් දැන් යා යුතුයි” යැයි පවසා කහ දියර ඉස මොනවාදෝ භාෂාවකින් කතා කරමින් ප්‍රේත ආත්මයට නයෝමිගේ ශරීරයෙන් ඉවත්ව යාමට අණ කෙරිණි.  
කහ දියර ඉසීමත් සමඟ මහා හයියෙන් බෙරිහන් දෙමින් නයෝමි බිම ඇද වැටුණි. එළිවනතුරු යාගය කර මෑණියන් පොරොන්දු වූ මුදල්ද රැගෙන ඉවත්ව ගියාය. නයෝමිගේ ශරීරයෙන් ප්‍රේතාත්මය ඉවත් වී මොවුනට නිරෝගි කලක් උදාවිය.  


මෙලෙස ද ගතවූයේ සති කිහිපයකි. අසල්වැසි නිවසක ගුවන්විදුලි නාලිකාවෙන් පිරිත් සජ්ඣායනාවක් ඇසිණ. වේලාව රාත්‍රී දහයහමාරට එකොළහට පමණ ඇත. මහා හයියෙන් යටි ගිරියෙන් කෑගසන හඬක් ඇසුණේ නිදා සිටි අය බයෙන් ඇහැරවමින්ය. නයෝමි ගුවන් විදුලියේ පිරිත් ඇසී පෙර පරිදි දඟලයි. ඇයගේ පුතා වහාම ගොස් අසල්වැසි නිවසේ ගුවන් විදුලිය ක්‍රියා විරහිත කරන ලෙස පැවසීය. ඉන් ටික වේලාවකට පසු නයෝමිගේ දැඟලීම අඩු වී යථා තත්ත්වයට පත්විය.  
මෙලෙස කිහිප වරක්ම පිරිත් ඇසෙන විට, බෙර ශබ්ද ඇසෙන විට, ඝණ්ටාර ශබ්ද ඇසෙන විට, ආගමික සිද්ධස්ථානවලට යනවිට, ශාන්තිකර්ම ඇසෙන විට, හාමුදුරුවන් දකින විට ආදී බොහෝ තැන්වලදී නයෝමිට මෙම රෝගී තත්ත්වය ඇති විය. වරින්වර නොයෙකුත් ඇදුරන් හා කපුවන් ගෙන්වා නොයෙකුත් ප්‍රතිකර්ම සිදුකළද ඒවා පවතින්නේ සති කිහිපයක් පමණි. මෙම තත්ත්වය නිසා ගේ දොර විකුණන තරම් ඔවුහු අන්ත අසරණ තත්ත්වයකට පත්වූහ.  


මේ අතර, ගමේ එක්තරා පුද්ගලයෙක් නයෝමිව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස දැන්වීය. නමුත් ඔවුන් තුළ ඒ පිළිබඳව එතරම් විශ්වාසයක් නොවීය. “මනෝ වෛද්‍යවරුන්ට පුළුවන්ද යක්කු එළවන්න” යැයි ඇතැම්හු අවඥාවෙන්ම ප්‍රශ්න කළහ. නමුත් වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙන්ම “ඒකත් කර බලමු” යැයි සිතූ මොවුන් නයෝමිව විදුල අධි මනෝවිද්‍යා සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කරවීය.  


නයෝමිගේ තත්ත්වය හා ගැටලුව පිළිබඳව විමසා බැලු වෛද්‍ය විද්‍යාකුලපති මහතා ඇයගේ සිරුරේ සිටින ප්‍රේතිය ඉවත් කිරීමේ වගකීම භාර ගත්තේය. විද්‍යාකුලපති මහතා විසින් අන් අය ඉදිරියේම නයෝමිගේ ශරීරයට එම ප්‍රේතාත්මයට පැමිණෙන ලෙස අණ කෙරිණි. එම විධානයත් සමඟ පෙර පරිදිම ඇය අමුතු විලාසයකින් හැසිරෙන්නට වූවාය.  
“කවුද තමන්. ඇයි මේ ශරීරයට ආවේ?” යනුවෙන් විද්‍යාකුලපති මහතා විසින් කිහිපවරක්ම ඇසුවේය. ඉන්පසු අපහසුවෙන් මෙන් රෞද්‍ර ලෙසින් “මම ප්‍රේතියක්. මම ප්‍රේතියක්” කියමින් අමුතු විලාසයකින් ඇය වෛද්‍යවරයා දෙස බලන්නට වූවාය. “උඹට පුළුවන් දෙයක් කරපන්. උඹට බෑ මාව යවන්න” යනුවෙන් නැවතත් හූ තබා කෑ ගැසුවාය. “නෑ මට පුළුවන් ඔබව යවන්න. ඊට කලින් කියන්න ඇයි තමන් මේ ශරීරයට ආවේ?” විද්‍යාකුලපති මහතා ඇසීය.  


මේකි ඉන්නෙ සතුටින් නෙමෙයි. මේකි දුක් විඳිනවා. මං ආවෙ මේකිගේ දුක නිසා” නයෝමිගේ පිළිතුර විය. “ඔබ ප්‍රේතියක් නෙමෙයි. ඔබට ඇති බලයක් නෑ. නයෝමිගේ හිත විසින්ම මවා පෙන්වීමක් විතරයි ප්‍රේතියගේ වේශය. පුළුවන් නම් ඔබගේ බලය පාවිච්චි කරලා මට දෙයක් කරලා පෙන්නන්න” විද්‍යාකුලපති මහතා අභියෝග කළේය.  
නමුත් ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය. “ඕක තමයි මම කිව්වේ ඔබට ඇති බලයක් නැහැ කියලා. ඔබ ප්‍රේතියක් නෙමෙයි. ඔබේ ය0ටි හිතේ ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඔබ ප්‍රේතියක් ලෙස හැසිරෙනවා. දැන් ඔබගේ එම තත්ත්වය මා ඉවත් කරනවා” යැයි පවසමින් මෝහන නිද්‍රාවේදීම එම තත්ත්වය පහදා දී එම මානසික තත්ත්වය විද්‍යාකුලපති මහතා විසින් ඉවත් කළේය. සිදුවීම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දුණි.  


මැයගේ තත්ත්වය දෙස බලන විට ඇය පුදුමාකාර ලෙස මානසික පීඩාවකට ලක්වූ කෙනෙක්. එම මානසික පීඩාවට කාලයක් තිස්සේ ලක්වීමෙන් ඇය Stress Disorders (ක්ලමථ අක්‍රමිකතා) යනුවෙන් හඳුන්වන මානසික තත්ත්වයට පත්වී තිබුණා. එහි ලක්ෂණ තමයි දුක, කලකිරීම, එපාවීම, තරහා යාම, අමතක වීම, සිතට සතුට නොදැනීම, අහේතුක බය, නින්දේ අක්‍රමිකතා, ආහාර ජීර්ණ පද්ධතිය මුල් කරගත් රෝග, නිතර නිතර කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙළීම, ජීවිතය විඳවනවා ලෙස දැනීම ආදී ලක්ෂණයි.  
මෙම රෝගයෙන් පීඩා විඳි ඇය එයට පැහැදිලි ප්‍රතිකාර ගැනීම වෙනුවට ඇය සිදුකළේ නොපෙනෙන බලවේගයක පිහිට පැතීමක්. ඇතැමුන්ගේ හිතේ විශ්වාසයක් තිබෙනවා පිරිත් කියන විට ප්‍රේතයින්ට, යක්ෂයින්ට ඉන්න බෑ කියලා.  


ඇයගේ යටි හිතේත් මෙම තත්ත්වය තැන්පත් වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිත් ඇසෙනවාත් සමඟම ඇය අවිඥානිකව මෙවැනි හැසිරීමකට ලක්වුණා. මෙය අපි මනෝ විද්‍යාවේදී හඳුන්වන්නේ Stress Disorders (මායා රෝගය -Hysteria) යනුවෙනි. මෙම තත්ත්වයේ දී අපගේ සංස්කෘතික විශ්වාස මත හා ප්‍රදේශයේ විශ්වාස මත බෙර ශබ්ද ඇසෙන විට, පිරිත් ඇසෙන විට, ගාථා කියන විට, දේවාලවල යන විට, ඝණ්ටාර ශබ්ද ඇසෙන විට, සුවඳ දුම් අල්ලන විට ආදී අවස්ථාවලදී ශරීරයේ වෙව්ලීම, ඔළුව කරකැවීම, ශරීරය සැහැල්ලු වීම, පණ නැති වීම නැත්නම් දැඩි වීම, ශරීරය දැවීම, අමනුස්සයෙකු ශරීරයේ ඉන්නවා සේ හැසිරීම ආදී දේ සිදුවෙනවා. මෙය සත්‍ය වශයෙන්ම සුළු මානසික රෝගි තත්ත්වයකි.  
මෙලෙස පැවසූ විද්‍යාකුලපති මහතා විසින් නයෝමිට මාස දෙක තුනක කාලයක් ප්‍රතිකාර කර ඇයගේ ගැටලුවලටද මනෝ උපදේශනය තුළින් විසඳුම් ලබාදුණි. ඇය සුව වී අද වනවිට වසර අටකි. නමුත් කිසිම දිනෙක ඇයගේ සිරුරට නැවත ප්‍රේතිය පැමිණියේ නැත. 

(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත  

No comments:

Powered by Blogger.