ගොපල්ලට බාරය ඔප්පු නොකර සිදුවු වින්නැහිය

ගැමි සංස්කෘතියේ නොයිදුල් සුවඳ රැදි අන්තිම පරම්පරාවට අයත් මැගි ආච්චි මට හමුවන්නේ ගැටහැත්තේ මාරඹේ දෙයියගලදී..ඒ මගේ සුන්දර ළමාවියේ දී අච්චිගේ ගම උනේ දෙයියගල.
දැන් ගෙවල් දොරවල් හැදිලා යාන වාහන අරං ගමේ මිනිස්සු වෙනස් වුණත් මේ ගම තවමත් ස්වාභාවික ගහ කොළින් යුක්තයි..ගමට දෙයියගල කියන නම ඇති වුණේ එහි දෙවියන් වැඩ වාසය කරන ගලක් ඇති නිසා වෙන්න පුලුවන්...සැබවින්ම එහි කන්දේ කහපාට දොරටුවක් සහිත නිධන් ගලක් තිබෙනවා...එයට සමීප සීතවක රාජ්‍යයේ හිටපු රාජසිංහ රජ්ජුරුවන්ගේ ආභරණ සඟවලා තියෙන්නේ ඒ ගලේ..වැඩිහිටි පරපුර කියන විදිහට ඒ නිධානේ ගන්න සුදු අශ්වයකුයි සුදු මිනිසෙකුයි බිල්ලට දෙන්න ඕන...

මැගී ආච්චි මෙහි ගංකාර ගොවි පවුලක එකම දියණිය වුණා..අකුරු සාත්තරේ දැන කිය ගත්තට පස්සේ පාසල් යෑම සමාප්ත කළ ඇය අම්මගේ තාත්තගේ වැඩ පළවලට උදව් උපකාර කළා...මේ ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ මී,එළ ගවයන් ඇති කරන එක ඒ හින්දා මී කිරියි එළ කිරියි මේ ගෙදර වරදින්නේ නෑ...මේ දෙකෙන්ම සප්පායම් වුණු මැගී ළමිස්සි කාලේ පින්න මලක් වගේ..ඇඟපත වැඩුණු ලස්සන යුවතියක් වුණා..තාත්තා මී ගවයන් බලා ගනිද්දි මැගී එළහරක් පට්ටිය බලා කිය ගත්තා..අම්මා එළවළු කොටුව බලා කියා ගනිමින් ඉවුම් පිහුම් කටයුතු කළා....

මෙහෙම ඉන්න අතරවාරයේ එළගව පට්ටයේ අලුත උපන් වහු පැටියෙකු ආ ගිය අතක් නැකි වුණා...එළදෙන දරුවා නැතිව හඬා වැටෙනවා..හොයන්න තියෙන හැම කැනකම සෙව්වත් පැටියා අතුරුදහන් වෙලා....ඒ පාර මැගී පොල්ගහක ගොක් කොළයන් ගැට ගහලා ගොපල්ලට බාර වෙලා ආපසු ගෙදරට එන විට වහු පැටියා හරක් මඩුවේ....

පොල් ගහක් ඇපයට තියලා ගොපල්ලට බාර වෙන හැම කෙනෙකුම එම පොල්ගසේ කිරිවලින් කිරිබතක් උයලා එම දෙවින්ට පූජා කරන්න ඕනෑ ..එය හමාරවෙනකං එම පොල් ගහ ගෙදර පාවිච්චියට ගන්නේ නෑ....

ඒත් මේ වැඩකටයුතු අව් අස්සේ මැගී⁣ටයි ගෙදර අයටයි බාරය අමතක වෙලා ...සතියක් දෙකක් යන විට ගොක් කොළය වේලීලා බිමට වැටුණා..ඒ වගේ දේවල් අමතක වෙන්නේ තවත් අද්භූත දිෂ්ටියක බලපෑමෙන් කියලයි කියන්නේ....
මැගී ගේ කිරි පට්ටියෙ හිටිය කිරි ගන්න පුලුවන් වැස්සියෝ හතර පස් දෙනෙක් ගමේ කඩවල් දෙක තුනකටයි ගෙවල්වලටයි ඒ කිරි දීලා මැගීට හොද ආදායමකුත් ලැබුණා..ඒත් බලාපොරොත්තු විරහිත ලෙස වැස්සියන්ගෙන් කිරි ගන්න යන විට කිරි හිඳී ගිහිල්ලා තිබුනා.....

"කිරි ටික පැටව් බොනවද දන්නේ නෑ" ...මැගී තාත්තට කිව්වා..කොහේ බොන්නද පැටව් ඉන්නේ වෙන් කරලානේ.."තාත්තා කිව්වේ මහා කල්පනාවෙන්..

"කට්ඨඩි මාමටවත් කියලා බලමුද?"

ගුරුකම් පැත්තකට යෑම ඇරෙන්න වෙන පිළිසරණක් නෑ කියලා හැම දෙනාම හිතුවා...ඒත් මේ දවස් වල කට්ඨඩි මාමා වට වන්දනාවෙි ගිහින්...උන්දෑ එන දවස නිච්චියටම කියන්න බෑ...

එළදෙනුන් කිරි වරා තුන් දිනකට පසු මැගී උන්ටික කල් තබා මඩුවට දක්කගෙන ආවේ අහස වැස්සට සූදානම් වූ නිසා..අහසේ අඳුර හතර දිග් බාගේ පැතිරුණා....ඈත කඳුවැටි මීදුමෙන් වැසි ගියා...ගැමියන් කල් තබා ජනෙල් දොරවල් වසා මහ වැස්සට එනතුරු මඟ බලා සිටියා...ඒ වැහි කෝඩේ මහ සුළඟත් එක්ක ඈතට ගහගෙන ගියා..මැදියම් රාත්‍රිය වන විට ගම පුරාම පැතිර ගියේ ගුප්ත නිශ්ශබ්දතාවයක්....
මැගි මැදියම් රාත්‍රියේ පිබිදු⁣නේ කිසියම් නොපැහැදිලි හීනයක් දැකලා..ඇගේ කාමරය තියෙන්නේ හරක් මඩුව පැත්තේ..ඒ සමගම ඇයට මහා අමුත්තක් හැඟුණා..එළදෙනුන් නඟන ස්වාභාවික ශබ්ද සියල්ලනතර වෙලා හරියට හරක් සේරම කවුරු හරිඅරං ගිහිල්ලා වගේ ...

ලන්තෑරුම පත්තු කර ගත් මැගී. අම්මා තාත්තාටවත් කතා නොකර ඉස්සරහින් දොර ඇරලා හරක් මඩුව පැත්තට ගියා..එහි දොර ඇරලා සිහින් නිල් පාටට හුරු සුදු ආලෝක ධාරාවක් මඩුව පුරා පැතිරිලා හැම එළදෙනෙක්ම වගේ නොහෙල්ලි බලන් ඉන්නවා...

මැගී ලන්තෑරැම අරන් ඇතුලටම ගියා..එවිට ඇය දැක්කා මිටි පැහැපත් අයෙක් එළදෙනුන්ගෙන් කිරි දොවනවා වැඩිදුර නොසිතූ ඇය කතා කළා..

"කවුද ඔය?"

එතකොටම අර අමුත්තා නැගිට්ටා..ඔහු අඩි දෙකක්වත් උස නෑ...

"ලාන්තෑරුම බිමින් තියනවා" ඔහු කතා කලේ පැහැදිලි හඬින්..ඒ සමඟම ඔහු දකුණු අත්ල විදහා මැගීගේ දණහිසෙන් පහළට ගැහුවා..

පහුවෙනිදා උදේ මැගීගේ තාත්තා හරක් මඩුවෙදි ඇයව හොයාගන්නවිට ඇය හිටියේ සිහි නැතිව ...අම්මගෙයි ,තාත්තාගෙයි විලාපයට ගමම එක් වුනා...වන්දනාවේ ගිහින් ආව කට්ඨඩි මාමත් එතනට ආවා...

සියලු කාරනා කටයුතු අසා දැන ගත්ත කට්ඨඩි මාමා ගොපල්ලට බාර වෙලා පොල් ගස් හතකම ගොක් කොළ ගැට ගැහුවා..ඉන් පස්සේ මැගීට ඇප නූලක් දමා ⁣තොයිලයකුත් නැටුවා..පස්සේ ගොපල්ලා වෙනුවෙන් කිරි බත් දානයක් ඔප්පු කළා..

මේ සියලු යාතු කර්ම වලින් පස්සේ මැගී හොදටම සුවපත් වුණා..එළදෙනුන් ආයෙත් පුරුදු විදියට කිරි දුන්නා ..ඒත් මැගී වයසට ගොස් මියෙන තුරුම දකුණු කකුලේ දණහිසෙන් පහළ පුංචි ලමයෙකුගේ අඟිලි පහක සළකුණ එහෙමටම තිබුණා.. ගොපල්ලා ඇගේ මතකයට ඉතුරු කරලා තිබුනේ එපමනයි.....

නිමි....

2 comments:

Powered by Blogger.